සෞඛ්‍ය වර්ජනය තාවකාලික ව අවසන්

සෞඛ්‍ය වර්ජනය තාවකාලික ව අවසන්

*********************************************

සෞඛ්‍ය වර්ජනය තාවකාලික ව අවසන්

(15.02.2022 – 13:48 +0530 – hirunews.lk/sinhala)

දින 9ක් පුරා අඛණ්ඩව පැවැති සෞඛ්‍ය වර්ජනය අවසන් කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අද (15) ප්‍රකාශ කළා.

ඒ අනුව, හෙට (16) පෙරවරු 8 සිට දින 14 ක කාලයක් සඳහා එය තාවකාලිකව අවසන් කරන බවයි ඔවුන් සඳහන් කළේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් අද (15) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි වර්ජනය අවසන් කිරීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති වර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ පසුගිය 07 වනදායි.

එමගින් රෝගී ජනතාව දැඩි පීඩාවට පත්වූ අතර, අධිකරණ නියෝගයක් මත රජයේ හෙද නිලධාරින්ගේ සංගමය මීට පෙර වර්ජනයෙන් ඉවත් වුණා.

කෙසේ වෙතත්, වර්ජනයට එක්වූ රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළේ, තම සංගමයේ ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී එකඟතාවයකට නොපැමිණීම හේතුවෙන් වර්ජනය අවසන් කිරීම ගැන අද (15) පස්වරුවේ රැස්වන විධායක සභාවේදී තීරණයක් ගන්නා බවයි.

මේ අතර, 9 වන දිනටත් අද (15) ක්‍රියාත්මක වූ සෞඛ්‍ය වර්ජනය හේතුවෙන්, රෝහල් වෙත පැමිණි රෝගී ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියා.

***************************************

සී.අයි.ඩී. අත්අඩංගුවේ සිටි ශෙහාන් මාලක ගමගේට ඇප

(15.02.2022 – 12:11 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහා‍රය සම්බන්ධයෙන් අදහස් දක්වන සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන ‘ශෙහාන් මාලක ගමගේ’ට අද (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියේ දී ඇප හිමි වුණා.

ඒ ඊයේ (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු ශෙහාන් මාලක ගමගේ අද (15) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

ඊයේ (14) සවස කොළඹ මරදාන ප්‍රදේශයේ දී ශෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පසුගිය දිනක මෙම සිවිල් සමාජ ක්‍රියා කරුවා මාධ්‍ය හමුවක් කැඳවමින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණය ඉටු නොවන බවත් සිදු කෙරෙන විමර්ශන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සැක මතුවන බවත් යනුවෙන් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙනු යි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම චෝදනා සම්බන්ධයෙන් මීට පෙර ද ශෙහාන් මාලක ගමගේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කළා.

***************************************

රුසියානු සහ යුක්රේන ජාතිකයින් වැඩි වශයෙන් මෙරටට

(15.02.2022 – 12:34 +0530 – hirunews.lk/sinhala)

රුසියා සහ යුක්රේන ජාතිකයින් මේ වන විට ලංකාවේ වැඩි වශයෙන් සංචාරයේ නිරත වන බව රජයේ නිල දත්ත පෙන්වා දෙනවා.

ඒ පවතින යුධමය වාතාවරණය යටතේ උග්‍ර වී ඇති ආතතිය හේතුවෙන් බවයි පුවත්පත් වාර්තාවක දැක්වෙන්නේ.

මෙම වසරේ පෙබරවාරි 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින් 1,13,670 න් 18,044 ක් එනම් සියයට 15.8 ක් රුසියානුවන් වන අතර එම කාලය තුළ යුක්රේනියානුවන් 9,883 ක් හෙවත් සියයට 8.7 ක් මෙරට සංචාරය සඳහා පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ජනවාරි මාසික වාර්තාවට අනුව ගෙවුණු වසර කිහිපයට සාපේක්ෂව මෙරට සංචාරය සඳහා රුසියානු සංචාරකයින්ගේ පැමිණිම විශාල ලෙස වර්ධනය වී ඇති බව දැකගත හැකියි.

රුසියාවේ Aeroflot ගුවන් සමාගම සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය අතර ඇතිකරගත් එකඟතාවකට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරනු ලැබුවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙම වසර තුළ අවම වශයෙන් සංචාරකයින් මිලියන 1.1 ක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වසර 2 ක පමණ කාලයක් මෙරට සංචාරක කර්මාන්තයට දැඩි දෙස බලපෑම් එල්ලවුණු අතර මේ වන විට එම තත්ත්වය යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා.

එය බිඳවැටී ඇති මෙරට ආර්ථිකය යළි නගාසිටුවීම උදෙසා යම් රුකුලක් වනු ඇති ෴

***************************************

ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 40,000 ක තෙල් නැවක්

(15.02.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට පවතින ඉන්ධන අර්බුදය මඟහරවා ගැනීම සඳහා ඉන්දියාව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබෙනවා.

කොළඹ වරාය වෙත පැමිණි මෙම නෞකාව, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් දියඹ වෙත ගොස් භාර ගැනීමට පියවර ගනු ලැබුවා.

මේ අතර, අනිවාර්ය විදුලි කප්පාදුවකට යා යුතු බවත් බොහෝදුරට හෙට (16) සිට එම විදුලි කප්පාදුව ආරම්භ කරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.

එහි සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ, අද (15) පස්වරුවේ විදුලි කප්පාදුව සිදු කරන ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරන බවයි.

මාස 3 ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදෙන්නැ යි ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් ද කර තිබුණා.

ඒ අනුවයි දෛනික විදුලි කප්පාදුව සඳහා උපයෝගී වන කාලසටහන් ක්‍රමවේදය අද (15) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව ඇත්තේ.

මේ අතර, කැලණිතිස්ස සොජිට්ස් බලාගාරය අද (15) අලුයම් කාලයේ සිට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අක්‍රිය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන ධාරිතාව මෙගාවොට් 160 ක්.

කෙසේ වෙතත්, අනිවාර්යෙන් විදුලි කප්පාදුවකට යාමට මේ මොහොතේ සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, ඩොලර් බිලියන 2.4 ක ණය මුදලක් ඉන්දියාවෙන් ඉදිරියේ දී මෙරටට ලැබීමට නියමිත බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරීස් ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, එම ගිවිසුම්වලට අත්සන් තැබීම සදහා මෙම මාසයේ දී යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවයි.

ජගත් මානව හිමිකම් කොමිසමේ 49 වැනි සැසිවාරය මේ මස 28 වන දා ජීනිවා නුවර දී ආරම්භ වන අතර එහි මහකොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාව මාර්තු මස 03 වනදා කොමිසම හමුවේ සාකච්ජාවට ලක් කෙරෙනවා.

එහි පිටපතක් ඊයේ (14) විදේශ අමාත්‍යාංශයට ලැබුණු අතර, ලබන 19 වනදාට පෙර ඊට ප්‍රතිචාර දක්වන බවයි මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ෴

***************************************

ඉවත් කළ සතොස සභාපති යළි පුටුවට

(15.02.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

සමුපකාර තොග වලෙළඳ සංස්ථාවේ සිදුවූ රුපියල් කෝටි තුනහමාරක (3,50,00,000) අයථා මුදල් ගනුදෙනුවක් හේතුවෙන් සේවය අත්හිටවූ සතොස සභාපති වෙනුර ගුණවර්ධන අද (15) හදිසියේ නැවතත් සතොස මූලස්ථානය වෙත පැමිණ එහි වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් රාජකාරි අත්හිටවූ සභාපතිවරයා නැවත මෙලෙස පැමිණියේ කුමන හේතුවක් නිසා දැයි මෙතෙක් තහවුරු වී නැහැ.

පසුගිය කාලසීමාව තුළදී සමුපකාර තොග වෙළඳ සංස්ථාව තුල සිදු වූ ගනුදෙනුවලදී රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් සම්බන්ධයෙන් වාර්තා නොමැති වීම පිළිබඳව සතොස සභාපතිවරයාට චෝදනා එල්ල වුණා.

ඒ අනුව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යාංශ ලේකම්වරියට නියෝග කර තිබුණේ මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු නිමාවන තෙක් සභාපතිවරයාගේ සේවය අත්හිටුවන ලෙසයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබුවා.

එම පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බවටයි වාර්තා වන්නේ.

තත්වය එසේ තිබියදී සේවය අත්හිටවූ සමුපකාර තොග වෙළද සංස්ථාවේ සභාපතිවරයා අද (15) උදෑසන නැවත සිය අසුනට පැමිණ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ද එක්වී තිබෙනවා.

කෙසේ වෙතත් හදිසියේ පැමිණ නැවත මෙලෙස සතොස සභාපති පුටුවේ වාඩි වූ වෙනුර ගුණවර්ධනගෙන් මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ තමා ගේ සේවය අත්හිටුවීමක් පිළිබඳ කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් සිදු කර නොමැති බවයි ෴

***************************************

ප්ලාස්ටික් සහ රසායනික දූෂණය මිහිතලයට දැරිය හැකි සීමාව ඉක්මවයි

(15.02.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

ප්ලාස්ටික් සහ රසායනික දූෂණය මිනිස් සංහතියේ සුරක්ෂිත සීමාව හෝ මිහිතලයට දැරිය හැකි සීමාව අභිබවා ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

විවිධ රසායනික වර්ග 3,50,000 ක් පමණ ලොව පුරා නිෂ්පාදනය කරන අතර, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් පරිසරයට එක්වනවා.

මෙම පාරිසරික දූෂණය මිහිතලයේ සහ එහි පද්ධතිවල ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් ජෛව පද්ධති බිඳ දමන මෙම රසායනික සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ජෛව විවිධත්වයට ද බලපෑම් සිදුකරන බව ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර විද්‍යාඥයන් පිරිසක් සිදුකළ අධ්‍යයනයෙන් තහවුරු වී තිබෙනවා.

2000 වසරේ සිට මේ දක්වා ලොව ප්ලාස්ටික් නිෂ්පාදනය ටොන් මිලියන 367 දක්වා ඉහළ ගිය ද ඉන් ප්‍රතිශක්තීකරණය කෙරෙන්නේ සියයට 10 ක් පමණක් බව සඳහන් ෴

***************************************

‘කුෂ්’ ග්‍රෑම් 472 ක් රේගු දැලේ

(15.02.2022 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදු කරන ආවේක්ෂණ රාජකාරිවල දී මත් ද්‍රව්‍ය අඩංගු වේ යයි සැක පිට පාර්සල් පහක් (5) පරීක්ෂණ කටයුතු සඳහා නවත්වා තිබෙනවා.

මෙම පාර්සල් බ්‍රිතාන්‍ය , ජර්මනිය හා කැනඩාව යන රටවල් වලින් කොළඹ හා ගම්පහ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබූ ඒවා බව යි වාර්තා වන්නේ.

පසුව සොයා බැලීමේ දී මේවා ව්‍යාජ ලිපිනයන් බව ද තහවුරු කරගෙන තිබෙනවා.

විවෘත කරන ලද පාර්සල් තුළ kush නැමැති ගංජා ග්‍රෑම් 472 ක් හා ectasy නැමැති මත් පෙති 302 ක් පෞද්ගලික භාණ්ඩ තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබිය දී සොයා ගත් බව යි වාර්තා වන්නේ.

මෙම සොයා ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන නවයකට (90,00,000) ආසන්න ගණනක්.

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද අතර පරීක්ෂණ කටයුතු අවසානයේ මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත යි.

***************************************

මහපොළ අරමුදල සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි

(15.02.2022 – 15:59 +0530 – hirunews.lk/sinhala)

මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා.

පසුගිය 08 වනදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එය සංශෝධන සහිතව සම්මත වුණා.

මෙමඟින් 1981 අංක 66 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනතේ දීර්ඝ නාමය වෙනස් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් සිදුකර තිබුණා.

කතානායකවරයා අත්සන් තැබීමත් සමඟ 2022 අංක 01 දරණ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සංශෝධන පනත බලාත්මක වනවා ෴

***************************************

මහින්ද ජයසිංහගෙන් දුක් ගැනවිල්ලක්

(15.02.2022 – 16:45 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා සහනය විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන්ට ලබා ලබා නො දීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ලංකා ගුරු සේවා සංගමය හා විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ සහභාගිත්වයෙන් දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දී අද (15) පැවැත්වුණා .

එහි දී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ, 1997-01-01 සිට වසර 25 ක කාලයක් පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධ වෘත්තීය අරගලය ඉකුත් ජූලි දොළොස් වැනි දා (12) සිට නොවැම්බර් දොළොස් වැනි දා (12) දක්වා මාස 4 කට අධික කාලයක් පැවැත්වුණත් එහි ජයග්‍රහණ සම්බන්ධයෙන් පූර්ණ සතුටක් නො ලබන බව යි.

එහි දී අප ජයග්‍රහණය ලැබූවත් විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන් ලක්ෂයකට (1,00,000) අධික පිරිසකට එය අහිමි වූ බව යි ඔහු සඳහන් කළේ.

වසර 25 ක් තුළ ලක්ෂයකට අධික ගුරු විදුහල්පතිවරුන් විශ්‍රාම ගොස් ඇති බව පවසන මහින්ද ජයසිංහ, එම පිරිසට සාධාරණයක් ඉෂ්ට විය යුතු බව අවධාරණය කරනවා.

ඊට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත් ඒ තුළින් සාධාරණයක් බලාපොරොත්තු වෙන බවත් ඔහු සඳහන් කරනවා.

මෙම අර්බුදයට නිසි විසඳුමක් නොලැබෙන්නේ නම්, උද්ඝෝෂණ ක්‍රියාවකට අවතීර්ණ වීමට සූදානම් බවත් ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටිනවා ෴

***************************************

ඉදිරි මාස තුනේ (3) දෛනික විදුලි කප්පාදුවක් නෑ

(15.02.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස තුනේ (3) දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා අවසර ලබා නො දෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.

එහි සභාපති ජනක රත්නායක කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවල දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් පසුගිය දා අවසර ඉල්ලා තිබුණා.

ඒ සම්බන්ධයෙන් පසුගිය සෙනසුරා දා දෙපාර්ශවය රැස් වී සාකච්ඡාවක් ද සිදු කළ අතර, ඉන් අනතුරුව යි එහි දී ගත් තීරණ මෙලෙස එහි සභාපති ජනක රත්නායක පැහැදිලි කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *