චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන ප්‍රකාශ 32 ක්

චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන ප්‍රකාශ 32 ක්

*********************************************

චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන ප්‍රකාශ 32 ක්

(15.02.2022 – 08:00 +0530 – hirunews.lk/sinhala)

හිරු ටී.වි. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය ප්‍රකාශ 32 ක් සටහන් කරගෙන තිබෙනවා.

එහිදී පිළියන්දල පොලීසිය විසින් ප්‍රකාශ 25 ක් සටහන් කරගෙන ඇති අතර, කැස්බෑව පොලීසිය ද ප්‍රකාශ 7 ක් සටහන් කරගෙන ඇති බවයි පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරීන් සඳහන් කළේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවස අවට පිරිස ඇතුළු විවිධ පුද්ගලයන්ගෙන් එලෙස ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය, ඊයේ (14) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර දුරකතන සන්නිවේදන කුළුණු සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු වාර්තා ලබා ගැනීමේ නියෝගයක් ද ලබාගෙන තිබුණා.

ඒ අනුව අද (15) දිනයේදීත් ඊට අදාළ විමර්ශන සිදු කෙරෙන අතර විශේෂයෙන් සී.සී.ටී.වී. කැමරාවල සටහන් වූ දර්ශන පරීක්ෂා කිරීම සිදු කෙරෙනු ඇති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් තුනක් (3) විමර්ශන පවත්වනවා.

හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල – ගංඟාරාම පාරේ නිවසට මුහුණු ආවරණය කරගත් නාඳුනන කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ඊයේ (14) අලුයම යි.

ඔවුන් එහි දී ආරක්ෂක කුටියේ රාජකාරියේ නිරත ව සිටි මුරකරුගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කර, නිවාස සංකීර්ණයට ඇතුළු වී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාර එල්ල කර තිබූ අතර, එමඟින් නිවසේ ජනෙල්වලට ද හානි සිදු ව තිබුණා.

නාඳුනන කණ්ඩායම නිවාස සංකීර්ණයට පැමිණෙන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශන ද මේ වන විට නිකුත් වී තිබෙනවා.

ඔවුන් පැමිණි වාහනය නිවාස සංකීර්ණය අසල නවතා ඇති ආකාරය ද එම දර්ශනවල සඳහන්.

රටේ සිදුවන වංචා, දුෂණ ඇතුළු විවිධ තොරතුරු අඛණ්ඩ ව හෙළි කරමින් අප ගෙන යන විශ්වසනීය මාධ්‍ය මෙහෙයුම අතරතුර හිරු ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට මෙම ප්‍රහාරය එල්ල වීම කෙරෙහි අප ද පසුවන්නේ නිරන්තර අවධානයකින්.

ඒ අනුව ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම් කිහිපයක් මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කළා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් හෝ ඔවුන් පැමිණි මෝටර් රථය පිළිබඳව යම් තොරතුරක් ඇතොත් දුරකතන අංක 077 032 2821 ඔස්සේ ‘හිරු සී.අයි.ඒ.’ වෙත ඔබට දැනුම්දිය හැකියි.

එලෙස ‘හිරු සි.අයි.ඒ.’ වෙත තොරතුරු ලබා දෙන ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කරන බවට අප ඔබට සහතික වනවා ෴

++++++

+ https://www.youtube.com/watch?v=IRg1A8tjW4Q

***************************************

රාජ්‍ය ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට

(15.02.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතන කිහිපයක් ඉදිරි දිනවල දී කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා.

පසුගිය සභා වාරයේ කැඳවීමට නියමිතව තිබූ එහෙත් කැඳවීමට නොහැකි වූ ආයතන ද මේ අතර වීම විශේෂත්වයක්.

ඒ අනුව ලබන 23 වන දා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කැදවා ඇති අතර, මේ මස 24 වන දා කෝප් කමිටුව හමුවට කැදවා ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි.

මීට අමතරව මාර්තු මස 10 වන දා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ද මාර්තු 11 වන දා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා.

9 වන පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරයට අදාළව පැවති පළමු කෝප් කමිටු රැස්වීමේ දී එහි නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් යලි තේරී පත් වූ අතර නව කෝප් කමිටුව පිහිටු වීමෙන් පසු එම කාරක සභාවට රාජ්‍ය ආයතන කැදවන පළමු අවස්ථාව මෙයයි ෴

***************************************

‘පරිප්පුවා’ එස්.ටී.එෆ්. අත්අඩංගුවට

(15.02.2022 – 08:18 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මානවඩුගේ අසංක මධුරංග’ හෙවත් ‘පරිප්පුවා’ නමැත්තා ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අඹන්පොළ – කෝන්කඩවල ප්‍රදේශයේ ඊයේ (14) සිදුකළ වැටලීමකදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලිස් විශේෂ කාර්‍ය බලකා අත් අඩංගුවට පත් වන අවස්ථාවේ දී ඔහු සතු ව අත් බෝම්බයක් ද තිබූ බව යි වාර්තා වන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

***************************************

කොස්ලන්දේ දී 11 හැවිරිදි දරුවෙකුගේ කටට වෙඩි තබයි

(15.02.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

හපුතලේ – කොස්ලන්ද – කැලිපනාවෙල ප්‍රදේශයේදී 11 හැවිරිදි දරුවෙකුගේ මුවට තුවක්කුවකින් වෙඩි තැබීම හේතුවෙන් දරුවා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බෙහෙත් කොටන තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, දරුවා මේ වන විට බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබන බව යි පොලිසිය සඳහන් කළේ.

කැලිපනාවෙල ප්‍රදේශයේ දී දරුවා රැඳී සිටින අවස්ථාවේ දී ඔහුගේ ඥාතියෙකු බව කියන 21 හැවිරිදි තරුණයෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් එම තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

කැලණි විශ්වවිද්‍යාලයේ ගැටුමක්

(15.02.2022 – 08:26 +0530 – hirunews.lk/sinhala)

කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ (14) ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුන් පිරිසක් විසින් තෙවන (3) වසරේ සිසුන් දෙදෙනෙකුට (2) යි මෙම පහරදීම සිදු කර ඇත්තේ.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නො මැති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු (2) රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴

***************************************

ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදී, ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි

(15.02.2022 – 08:40 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, ප්‍රවීන ලේඛකයෙකු සහ කෘතහස්ත ගීත රචකයෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 74 වන වියේ පසුවුණා.

රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔහු අද අලුයම මිය ගිය බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

රසිකයින් අතර ජනාදරයට පත්වූ ගීත රැසක් රචනා කළ ඔහුගේ ගී රචනාවලට පරම්පරා කිහිපයක ගායකයින් විසින් පණ පෙවීම විශේෂත්වයක්.

චන්ද්‍රිකා සිරිවර්ධන, පණ්ඩිත් අමරදේවයන් සමග ගායනා කළ ‘කැන්දන් යන්නේ කවදද මා’, එච්.ආර්. ජෝතිපාල ගැයූ ‘බිදක් රැදී අසන් ලදේ’, මාලනී බුලත්සිංහ ගැයූ ‘සඳ මඩලේ සිට’, දයාරත්න රණතුංග ගායනා කළ ‘සම කෝණී ත්‍රිකෝණයකි’, සුජාතා අත්තනායක ගැයූ ‘සතරවටින් කළුකරගෙන වහින වේලාවේ’, සුනිල් එදිරිසිංහ ගැයූ ‘වාදකයාණෙනි ඔබේ සිතාරය’, ගුණදාස කපුගේ ගැයූ ‘නාඹර ගොයමට’, ටී.එම්. ජයරත්න ගැයූ ‘මට තනි නැත නුඹ නාඩන් සුරතලියේ’, රූකාන්ත සමග චන්ද්‍රලේඛා ගැයූ ‘සඳලේඛා’, කීර්ති පැස්කුවෙල් ගැයූ ‘රිදී සීනු සිනාවේ’, පුන්සිරි සොයිසා ගැයූ ‘ගංගා දියවැල් ගලා’ මෙන්ම සන්ෆලවර් ගැයූ ‘ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දගලන්නේ’ සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් නිර්මාණය කළ ජයප්‍රිය ගී පදවැල් කිහිපයක්.

පසුගිය දින කිහිපය පුරා සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා සිටියේ තරමක් අසනීප තත්ත්වයකින්.

සමන් චන්ද්‍රනාත් වීරසිංහයන් ගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බවයි පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

***************************************

පදිකයින්ට මරු කැඳවූ රිය අනතුරු

(15.02.2022 – 08:55 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) උදෑසන කොළඹ මීගමුව මාර්ගයේ ජයලත් මංසන්ධිය අසලදී සිදු වූ රිය අනතුරින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වුණා.

ඒ මීගමුව දෙසට ධාවය වූ වෑන් රියක මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටීම හේතුවෙන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු රාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

‍මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 59 ක් වූ සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෑන් රථ රියදුරුගේ අපරීක්ෂාකාරි හා නොසැලකිළිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර ඊයේ (14) පස්වරුවේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ දී වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

අනතුරින් එම කාන්තාව ජිවිතක්ෂයට පත්ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

බරාව තෙත් බිම සංවේදී පරිසර කලාපයක් ලෙස සංරක්ෂණය කෙරේ

(15.02.2022 – 10:04 +0530 – hirunews.lk/sinhala)

කැලණි ගඟේ අතු ගංඟාවක් වන පුස්සෑලි ඔය ආශ්‍රිත ව පිහිටා ඇති බරාව තෙත් බිම සංවේදී පරිසර කලාපයක් ලෙස සංරක්ෂණය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙරට ජෛව විවිධත්වයෙන් වැදගත් පාරිසරික කලාප සංරක්ෂණය කිරීමේ වැඩසටහන යටතේ මෙම තෙත් බිම සංරක්ෂණය කෙරෙන බව එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මෙම වැඩසටහන යටතේ ගඟේ වාඩිය, එළුවන්කුලම, ගල්නෑව සහ මානෑව යන ප්‍රදේශ ද මේ වන විට සංවේදී පරිසර කලාප ලෙස නම් කර තිබෙනවා.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බරාව තෙත් බිම විනාශ වීමේ තර්ජනයකට ද මේ වන විට ලක් ව ඇති බව සඳහන් ෴

***************************************

මහ කන්නයේ වී අස්වැන්න නෙලීම සඳහා ගුවන් හමුදාවේ සහාය

(15.02.2022 – 10:40 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, මෙරට කෘෂිකර්මාන්තයේ නියුතු ගොවීන්ගේ ආදයම් මට්ටම උසස් කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට සමගාමී ව මොරවැව – කනුගහවැව සහ අම්පාර යන ප්‍රදේශවල අඩු ආදායම් ලාභි ගොවි පවුල් තෝරාගෙන ඔවුන්ගේ ගොයම් ගුවන් හමුදාවේ බහුකාර්ය ගොයම් කැපීමේ යන්ත්‍ර මඟින් නොමිලේ කපාදිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන තිබෙනවා.

මෙහි මූලික පියවර මොරවැව ප්‍රදේශයෙන් පසුගිය දා (12) ආරම්භ වුණා.

ඒ සඳහා ප්‍රදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රදේශයේ ගොවි සමිතිවල නිර්දේශය පරිදි අඩු ආදායම් ලාභි පවුල් 31 තෝරා ගත් බව යි වාර්තා වන්නේ.

එමඟින් එක් ගොවි පවුලකට අක්කර 03 බැගින් ප්‍රථම අදියර දී අක්කර 93 ක අස්වැන්න නෙලාදීමට නියමිත යි.

මෙමගින් අක්කරයට රුපියල් 10,000 බැගින් එක් ගොවි පවුලක් සදහා රුපියල් 30,000 ක පමණ මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව උදා වී ඇති අතර, මෙහි දෙවැනි (2) සහ තෙවැනි (3) පියවරවල් පිළිවෙලින් කනුගහවැව හා අම්පාර ප්‍රදේශවල ක්‍රියාත්මක වනු ඇති.

***************************************

මත්කරල් සන්තකයේ තබාගෙන සිටි සිවු (4) දෙනෙකු අත් අඩංගුවට

(15.02.2022 – 10:55 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර හා වෛද්‍ය නිර්දේශය නොමැතිව විකිණීම සඳහා මත්කරල් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් සිවු (4) දෙනෙකු විශේෂ කාර්ය බලකා අත් අඩංගුවට පත් වී තිබෙනවා.

විශේෂ කාර්ය බලකා තලවකැලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (14) කොටගල – සමාදානපුර ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකිනු යි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

අත් අඩංගුවට පත් වී ඇත්තේ, පතන, දිඹුලපතන යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22, 26, 27, 40 යන වයස්වල පසු වන පුද්ගලයන් සිවු (4) දෙනෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු දිඹුලපතන පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.

මේ අතර, හෙරොයින් හා එම මත්ද්‍රව්‍ය අලෙවි කර උපයා ගත් මුදල් රුපියල් විසි එක් ලක්ෂ පනස් දහසක් (21,50,000) සමඟ ද පුද්ගලයකු (1) විශේෂ කාර්ය බලකා අත් අඩංගුවට පත් වී තිබෙනවා.

දෙමටගොඩ පොලිස් වසමේ එරංග එන්ටර්ප්‍රයිසස්, දෙමටගොඩ ලිපිනයේ දි යි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක්.

සැකකරු සන්තකයේ අත් අඩංගුවට ගන්නා විට හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රැමි 90 ක් සමඟ හෙරොයින් අලෙවියෙන් උපයාගත් මුදල් රුපියල් 21,50,000 ක් හා හෙරොයින් ප්‍රවාහනයට යොදා ගන්නා ලද මෝටර් රථයක් (1) හා ජංගම දුරකථන තුනක් (3) ද සොයාගෙන ඇති බව වාර්තා වනවා.

වැඩිදුර විමර්ශන කටයුතු දෙමටගොඩ පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති.

***************************************

වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක්

(15.02.2022 – 11:05 +0530 – hirunews.lk/sinhala)

සහන සැලසීමේ පියවරක් ලෙස වතුකරයේ කම්කරු පවුල් 115,867 කට මසක් සඳහා තිරිඟු පිටි කිලෝග්‍රෑම් 15 බැගින් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි ව තිබෙනවා.

මේ සඳහා වූ යෝජනාව ඉදිරිපත් වුණේ, වෙළෙඳ ඇමතිගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින්.

එම නිර්දේශ හඳුනා නිසි පරිදි හඳුනාගැනීමෙන් අනතුරු ව යි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අතර, ජීවන වියදම ඉහළ යාමේ පීඩනය සැහැල්ලු කිරීම සඳහා සෑම ග්‍රාම නිලධාරී වසමකින් අඩු ආදායම්ලාභී පවුල් 40 ක් සඳහා රුපියල් 2000 ක් වටිනා භාණ්ඩ මිලදී ගැනීමට ඩිජිටල් කාඩ්පතක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

එම කාඩ්පත මගින් කාන්තා ව්‍යවසායකයින් මුල් කර ගත් කුඩා සුපිරි වෙළදසැල් සඳහා භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ.

එලෙස කාන්තා ව්‍යවසායකයින් සදහා කුඩා සුපිරි වෙළදසැල් ජාලයක් ස්ථාපිත කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

මේ අතර, අතවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත් කිරීම විධිමත්ව සිදුකිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් සත් පුද්ගල කමිටුවක් පත් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

මෙහි අනෙකුත් සාමාජිකයින් ලෙස වෙළඳ, කෘෂිකර්ම, වරාය අමාත්‍යවරුන් හා පාරිභෝගික, ධීවර, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරුන් නම් කර තිබෙනවා.

එමෙන්ම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අපනයනාභිමුඛ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම කාර්මික භාණ්ඩ ආනයනය කිරීම සඳහා විකල්ප ක්‍රමවේද හදුනා ගැනීම සදහා විදේශ රටවල් සමඟ සාකච්ඡා කිරීමට ද ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර තිබෙනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ට එහි සභාපති ධුරය හිමිව ඇති අතර, චීනය, ජපානය සහ මැදපෙරදිග රටවල් සමග මෙලෙස භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *