සෞඛ්‍ය සාකච්ඡා සාර්ථකයි – වර්ජනය අත්හැරීමේ තීන්දුව හෙට (15)

සෞඛ්‍ය සාකච්ඡා සාර්ථකයි – වර්ජනය අත්හැරීමේ තීන්දුව හෙට (15)

*********************************************

සෞඛ්‍ය සාකච්ඡා සාර්ථකයි – වර්ජනය අත්හැරීමේ තීන්දුව හෙට (15)

(14.02.2022 – 19:59 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ අද (14) පැවති සාකච්ඡාව සාර්ථක වුව ද දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීම පිළිබඳව තීන්දුව හෙට (15) ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, අතිකාල දීමනා සහ ඇමතුම් දීමනා සම්බන්ධයෙන් වන ප්‍රධාන ඉල්ලීමට නිශ්චිත විසදුමක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති එම සාකච්ඡාවේ දී අමාත්‍යවරයාට නොහැකි වූ බවයි.

කෙසේ නමුත්, අද (15) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ පිළිබද සාකච්ඡා කර නිශ්චිත තීරණයක් ලබා දෙනු ඇතැ යි අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් කියා සිටියා.

පසුගිය 07 වන දා පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (14) 8 වන දිනටත් ක්‍රියාත්මක වූ අතර, ප්‍රතිකාර හා රෝගී සත්කාර සේවාවන්ට මේ හේතුවෙන් බාධා එල්ල වුණා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද මෙම වර්ජනයට ආරම්භක අවස්ථාවේ දී එක්ව සිටි අතර ඔවුන් ඉන් ඉවත් වූයේ, කොළඹ දිසා අධිකරණයෙන් ලබා දුන් වාරණ නියෝගයත් සමඟයි.

කෙසේ වෙතත් අද (14) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා වර්ජනයේ නිරත පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ විරෝධතා පා ගමනට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද එක්ව සිටියා.

***************************************

පාස්කු ප්‍රහාරය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ සිවිල් ක්‍රියාකාරිකයෙකු අත් අඩංගුවට

(14.02.2022 – 16:40 +0530 – hirunews.lk/sinhala)

සමාජ ක්‍රියාකරුවෙකු වන ශෙහාන් මාලක ගමගේ නැමැත්තා අද (14) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවා, ඊට අදාළව විවිධ කරුණු ඉදිරිපත් කිරීමේ චෝදනාවකට යි.

කෙසේ වෙතත්, එම මාධ්‍ය හමුව සම්බන්ධයෙන් හා ඔහු විසින් ඉදිරිපත් කරන කරුණු පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකර තිබෙනවා.

එම විමර්ශන වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලද උපදෙස් අනුවයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

***************************************

තෙල් මිල සංශෝධනයක් ?

(14.02.2022 – 18:08 +0530 – hirunews.lk/sinhala)

2021 දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව ජනවාරි මාසයේ ලෝක වෙළෙඳපොළ තුළ තෙල් මිල ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිස් විජේසිංහ පවසනවා.

ඒ අද (14) පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින්.

ඔහු පැවසුවේ 2021 ට අදාළ මිල සංශෝධන 2022 සඳහා ගැළපීම සිදු කළ නො හැකි දෙයක් බව යි.

දැනට සංස්ථාව ලබන පාඩු පියවා ගැනීම සඳහා යම් මිල සංශෝධනයක් අවශ්‍ය බව යි ඔහු එහි දී සඳහන් කළේ.

ඩීසල් ලීටරයකින් රුපියල් 50 ක් අලාභ බවත් පෙට්‍රල් ලීටරයක අලාභය රුපියල් 17 ක් බවත් ඔහු පැවසුවා.

ඒ අනුව මෙම පාඩු පියවා ගැනීම සඳහා යම් මිල සංශෝධනයක් සිදු කළ යුතු බව යි ඔහු අවසාන වශයෙන් සඳහන් කර සිටියේ.

***************************************

ආදරවන්තයින්ගේ දිනයේ ශෝකාන්තය

(14.02.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

40 හැවිරිදි පුද්ගලයෙකුට ආදරය කළ කාන්තාවන් දෙදෙනෙකු (2) එක ම දිනෙක ගෙල වැලලා ගැනීමේ පුවතක් ආදරවන්තයින්ගේ දිනය දා පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එහිදී එක් කාන්තාවකට සිද්ධියෙන් දිවි අහිමි වී ඇති බවටයි පොලීසිය සදහන් කළේ.

අනෙක් කාන්තාව මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙහිදී මිය ගියේ වයස අවුරුදු 60 ක පමණ පිළියන්දල ප්‍රදේශයේ කාන්තාවක්.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ද පිළියන්දල ප්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බවයි පොලීසිය සදහන් කළේ.

මිය ගිය කාන්තාවගේ සැමියා මීට වසර 15 කට පමණ පෙර මිය ගොස් ඇති අතර පසුව 25 හැවිරිදි තරුණයෙකු සමග ඇසුරක් පවත්වා තිබෙනවා.

ඒ අනුව එම තරුණයා තමා වෙතම නතු කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ඇය සතුව තිබූ සියලු දේපළ ඔහුගේ නමට ලිවීමට යි කාන්තාව කටයුතු කර ඇත්තේ.

පසුව දෙදෙනා දිගු කලක් එකට දිවි ගෙවා ඇති අතර මීට දින කිහිපයකට ඉහත දී අදාළ කාන්තාවට අසන්නට ලැබී ඇත්තේ මෙම පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේම තරුණියක් සමග විවාහ වී ඇති බවයි.

පසුව 60 හැවිරිදි කාන්තාව සිය නිවසේ ඊයේ (13) දින ගෙළ වැලලාගෙන තිබෙනවා.

පසුව 32 හැවිරිදි කාන්තාව ද මෙම පුවත අසන්නට ලැබීමත් සමග තමන් විවාහ වී සිටියේ 60 හැවිරිදි කාන්තාවක් සමග ඇසුරක් පැවැත්වූ පුද්ගලයෙකු සමග බවට අනාවරණ වීමත් සමග ඇය ද ඊයේ (13) දින සිය නිවස තුළ දී ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රෝහල්ගත කර ඇය මේවන විට නිරුපද්‍රිතව සිටන බව පොලීසිය සදහන් කළා ෴

***************************************

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි අයෙකු මත් පෙති සමඟ අත් අඩංගුවට

(14.02.2022 – 22:10 +0530 – hirunews.lk/sinhala)

කොටගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් තරුණයන්ට මත්පෙති අලෙවි කල ජාවාරම්කරුවෙකු සහ මත්පෙති ලබා ගැනිමට පැමිණි තරුණයන් දෙදෙනෙකු (2) තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් (14) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි ව්‍යාජ වෛද්‍යවරයෙකු යි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ.

හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ නිවසක මෙම ජාවාරම්කරු වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටිමින් රොගින්ට ප්‍රතිකාර ලබා දි ඇති බවත් ඒ අතරතුර තරුණයන්ට මත්පෙති අලෙවි කර ඇති බවත් වැටලිම සිදු කළ තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කියා සිටිනවා.

සැකකරු හැටන් කොටගල ප්‍රදේශයේ ඖෂධ වෙලදසැලක සේවය කරන සේවකයෙකු බව යි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු සන්තකයේ තිබී මත්පෙති 338 ක් හමු වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සඳහා දිඹුල පතන පොලිසිය වෙත භාර දී ඇති බව යි සඳහන් ෴

***************************************

මුදල් ඇමතිගෙන් සහතිකයක්

(14.02.2022 – 22:24 +0530 – hirunews.lk/sinhala)

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු අරමුදල් 11 ක් යෝජිත සියයට 25 හේ අධි භාර බද්දෙන් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ ද අමාත්‍යවරයා විසින් දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙවර අයවැය මගින් යෝජිත අධි භාර බද්දට අදාළ පනත් කෙටුම්පත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබුණා.

2020 වසරේ අප්‍රේල් මස 01 වන දින ආරම්භ වන තක්සේරු වර්ෂය සදහා බදු අය කළ හැකි ආදායම රුපියල් මිලියන 2000 ක් ඉක්ම වනු ලබන යම් පුද්ගලයෙකුගේ, හවුල් ව්‍යාපාරකයක හෝ සමාගමක බදු අය කළ හැකි ආදායම මත සියයට 25 ක අධි භාර බද්ද මෙමගින් අය කර ගැනීමට නියමිත යි.

ඒ පිළිබඳ පසුගිය දිනවල සමාජයේ කතාබහට ලක්වූ අතර, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, තමා ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී ප්‍රශ්න කිරීමට සූදානම් බවයි.

කෙසේ නමුත් මුදල් පනතක් සම්බන්ධයෙන් තමාට තීරණයක් ගත නො හැකි බවයි ඔහු කියා සිටියේ.

සුපිරි අධිභාර බද්ද පිළිබදව ව්‍යාපාරික ප්‍රජාව ද නො සතුට පළ කළ අතර එමගින් සමූහ සමාගම්වල ලාභාංශ දෙවරක් (2) බද්දකට යටත් වන බව ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කළා.

මේ නිසා ඒ පිළිබඳ නැවත සලකා බලන ලෙස ද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියා ෴

***************************************

විදුලි කප්පාදුවක් අත ළඟ

(15.02.2022 – 07:11 +0530 – hirunews.lk/sinhala)

අනිවාර්ය විදුලි කප්පාදුවකට යා යුතු අතර, ඊට අදාළ ක්‍රමවේදය අද (15) දින ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ බොහෝදුරට අද (15) සිට මෙම විදුලි කප්පාදුව සිදුවිය හැකි බවයි.

කෙසේ වෙතත් එය නිශ්චිත වශයෙන් අද (15) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ඔහු කියා සිටියා.

මේ අතර, කැලණිතිස්ස සොජිට්ස් බලාගාරයේ ඉන්ධන නො මැතිකම හේතුවෙන් විදුලි උත්පාදනය ඇණහිට ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා ෴

***************************************

මිලියන 100 යේ මෝටර් රථ ගැන, ඇත්ත හෙළිවෙයි

(15.02.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

වාහන ආනයනය අත්හිටුවා ඇති මොහොතක අධිවේගී මාර්ගයේ ප්‍රවාහනය කළ අති සුඛෝපභෝගී ඇමරිකාවේ නිෂ්පාදිත ‘කැඩිලැක් එස්කලාඩේ’ වර්ගයේ මෝටර් රථ දෙක (2) ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ගෙන්වූ ඒවා බවට රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

වමෙන් ධාවනය කළ හැකි පරිදි නිපදවා ඇති මෙම වාහන දකුණතින් ධාවනය කළ හැකි වන පරිදි නවීකරණය කිරීම සඳහා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස 2003 වසරේදී මෙරට ආරම්භ කළ සමාගමක් මගින් ඒවා මෙරටට ගෙන්වා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ සමාගමේ කර්මාන්තශාලාව කඩුවෙල – හේවාගම ප්‍රදේශයේ පිහිටුවා ඇති අතර, එය නවීකරණය කර බ්‍රිතාන්‍යය වෙත යැවීම සඳහා කෙරවලපිටියේ පිහිටි අදාළ කර්මාන්තශාලාව හිමි සමාගමේ බහාලුම් අංගනය වෙත රැගෙන යමින් සිටියදී ඊට පිටුපස ගමන් ගත් මෝටර් රථයක සිටි පුද්ගලයෙකු එය රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා.

මෙලෙස වාහන ගෙන්වා නවීකරණය කරන ‘ඔටෝ ගෲප් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගමේ’ සාමාන්‍යාධිකාරී අජිත් රුද්‍රිගෝ කියා සිටියේ, ඇමරිකාවෙන් මෙරටට ගෙන්වන වාහන නවීකරණය කර වෙනත් රටවලට ප්‍රතිඅපනයනය කිරීමෙන් මෙරටට විශාල ආදායමක් තම සමාගම පසුගිය වසරවල උපයා දී ඇති බවයි.

මෙම ‘කැඩිලැක් එස්කලාඩේ’ වර්ගයේ මෝටර් රථ මෙරට පුද්ගලයින් 3 දෙනෙකු පමණක් පරිහරණය කරන අතර, මේවායේ මෙරට වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 100 ක් පමණ බවයි ඔටෝ ගෲප් ඉන්ටර් නැෂනල් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී අජිත් රුද්‍රිගෝ කියා සිටියේ ෴

***************************************

ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 2.4 ක්

(15.02.2022 – 07:42 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් බිලියන 2.4 ක ණය මුදලක් ඉන්දියාවෙන් ඉදිරියේ දී මෙරටට ලැබීමට නියමිත බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරීස් ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, එම ගිවිසුම්වලට අත්සන් තැබීම සදහා මෙම මාසයේ දී යළි ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බවයි.

ජගත් මානව හිමිකම් කොමිසමේ 49 වැනි සැසිවාරය මේ මස 28 වන දා ජීනිවා නුවර දී ආරම්භ වන අතර එහි මහකොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තාව මාර්තු මස 03 වනදා කොමිසම හමුවේ සාකච්ජාවට ලක් කෙරෙනවා.

එහි පිටපතක් ඊයේ (14) විදේශ අමාත්‍යාංශයට ලැබුණු අතර, ලබන 19 වනදාට පෙර ඊට ප්‍රතිචාර දක්වන බවයි මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ෴

***************************************

බස්, දුම්රිය ගාස්තු වැඩි කරන්නේ නෑ – මුදල් ඇමති

(15.02.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් පාලන සමයේ ඇණවුම් කර ආනයනය කළ දුම්රිය මැදිරිවල තාක්ෂණික දෝෂ නිවැරදි කොට වහාම ධාවනයට යොදවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ප්‍රවාහන, ප්‍රවාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත අමාත්‍යාංශවල ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ දී පැවති අතර ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

එම සාකච්ඡාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහි දී මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රවාහන ගාස්තු වැඩි කරමින් මඟී ජනතාව පීඩාවට පත් කිරීමට සූදානම් නො මැති බවයි.

නාස්තිය සහ වංචාව අවම කර ගත යුතු බව ද එහි දී මුදල් අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ෴

***************************************

තීරණය ලිඛිත ව අවශ්‍යය යි – සෞඛ්‍ය වෘත්තීය සමිති

(15.02.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය වර්ජනය නතර කරන්නේ ද නැද්ද යන තීන්දුව අද (15) ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ (14) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ අතර, එහි දී සුබවාදී පිළිතුරක් ලබා දී තිබුණා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේ, අතිකාල දීමනා සහ ඇමතුම් දීමනා සම්බන්ධයෙන් වන ප්‍රධාන ඉල්ලීමට නිශ්චිත විසදුමක් ලබා දීමට ඊයේ (14) පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයාට නොහැකි වූ බවයි.

එහෙත් ඊයේ (14) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ පිළිබද සාකච්ඡා කර නිශ්චිත තීරණයක් අද ලබා දෙනු ඇති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කළේ.

පසුගිය 07 වැනි දා පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයේ 9 වැනි දිනය අදයි.

අද (15) පෙරවරුවේ දී ඒ පිළිබද අවසන් තීන්දුව ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *