සෞඛ්‍ය වැඩ වර්ජන මැද්දේ වෘත්තීය සමිති ලොක්කෝ තරු පංතියේ මත්පැන් සාදයක

සෞඛ්‍ය වැඩ වර්ජන මැද්දේ වෘත්තීය සමිති ලොක්කෝ තරු පංතියේ මත්පැන් සාදයක

*********************************************

සෞඛ්‍ය වැඩ වර්ජන මැද්දේ වෘත්තීය සමිති ලොක්කෝ තරු පංතියේ මත්පැන් සාදයක

(14.02.2022 – 12:46 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් (7) මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති ගණනාවක් පසුගිය සතිය පුරා රෝහල්වල සහ සෞඛ්‍ය අංශ වල වැඩ වර්ජනයක් දියත් කර තිබුණා.

මේ හේතුවෙන් දිනපතා රජයේ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට පැමිණෙන හුදී ජනයා පත් වුයේ බරපතළ අපහසුතාවයකටයි.

මෙම වැඩවර්ජනය හේතුවෙන් දුර බැහැර සිට තමන්ගේ මාසික සෞඛ්‍ය සායනවලට පැමිණෙන අසරණ රෝගීන් මෙන්ම දිනපතා රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණණෙන්නන් ද පත්වූයේ එසේ මෙසේ අපහසුතාවයකට නොවෙයි.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින් වෙත පළ කළේ දැඩි පිළිකුල් සහගත අප්‍රසාදයක්.

කරුණු මෙසේ පවතින අසරණ රෝගීන් බිල්ලට තබා තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටනට බට වෘත්තීය සමිති ලොකු ලොක්කන් පිරිසක් එක්ව පසුගිය දිනක කොළඹ තරුපහේ හෝටලයක අවන්හලක් තුළ තරු පන්තියේ සාදයක් පවත්වා තිබෙනවා.

පසුගිය 08 වැනිදා පැවති මෙම සාදය සඳහා සෞඛ්‍ය වෘත්තිය සමිති ප්‍රධානීන් වන සමන් රත්නප්‍රිය සහ රවි කුමුදේශ් ද එක් වී තිබෙනවා.

මෙලෙස ඔවුන් සාද පවත්වන්නේ ඔවුන්ගේම නායකත්වයෙන් දියත් කර ඇති සෞඛ්‍ය වැඩවර්ජනය හරහා මෙරට දුගී දුප්පත් ජනයා තැලී පෙලී පොඩි වන පසුබිමක වීම කෙතරම් කණගාටුවට කරුණක් ද?

තමන්ගේ පටු ලාභ අරමුණු සාක්ෂාත් කර ගැනීම් සඳහා කිසිදු හිරිකිතයකින් තොරව රෝගී ජනතාව බිල්ලට දෙන මෙම සෞඛ්‍ය වෘත්තිය සමිති ප්‍රධානීන් සෑම විටම පෙනී සිටින්නේ ඔවුන් රෝගීන් ගේ මානුෂීය තත්ත්වයන් ඉහළින් සලකන පුද්ගලයින් ලෙසින්.

කෙසේ වෙතත් මෙම සාදය අතර වාරයේ රහසේ පටිගත කරගත් වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

***************************************

රුපියත් කෝටි දෙකකට (2) අධික ‘අයිස්’ සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට

(14.02.2022 – 11:58 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෝටර් රථයකින් රුපියල් කෝටි 2 කට (2,00,00,000) අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝඑකයි ග්‍රෑම් 10 ක් සන්තකයේ තබාගනිමින් ප්‍රවාහනය කිරීමේ වරදට සැකකරුවෙකු (1) හා එයට අනුබල දීමේ වරදට සැකකරුවන් සිව්දෙනෙකු (4) මෝටර් රථයක් (1) ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අවුරුදු 21 සහ 29 අතර වයස්වල පසුවන්නන් ෴

***************************************

දු දරුවන්ගේ ගමන් ගැන සැලකිලිමත් වෙන්න – පොලිසිය

(14.02.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

තරුණ පිරිස් මුලා කරමින් හා විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් අද (14) දිනයේ සංවිධාන කර ඇති සැකසහිත සාද වටලන ලෙස සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ, එවැනි ස්ථාන හඳුනාගැනීම සඳහා පොලිස් බුද්ධි නිලධාරීන්ද යොදවා ඇති බවයි.

එසේම තම තරුණ දූ දරුවන් අද (14) දිනයේ සිදු කරන ගමන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ට දැනුම් දුන්නා.

මේ අතර අනුරාධපුර – දහයියාගම ප්‍රදේශයේ හෝටලයක පැවති සුපිරි පැලැන්තියේ මත් සාදයක් වටලා පුද්ගලයින් 7 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ගනු ලැබුවේ පෙරේදා (12) දිනයේදි යි.

එහි දී ඔවුන් සතු ව තිබී විෂ මත්ද්‍රව්‍යය ද සොයාගනු ලැබුවා.

මෙම සාදයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ද සහභාගි වී ඇති අතර, ඔහු වැටලීමට පෙර එම ස්ථානයෙන් පිටත් ව ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම මුහුණු පොත හරහා මහනුවර ප්‍රදේශයේ හෝටලයක සංවිධාන කර තිබූ සාදයක් ද පෙරේදා (12) පොලිසිය වැටලූ අතර එහි දී කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු පුද්ගලයන් 36 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ විෂ මත්ද්‍රව්‍යය ද සමඟින්.

***************************************

පසුගිය දින කිහිපයේ ගිගාවොට් පැය විස්සක (20) වර්ෂාපතනයක්

(14.02.2022 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ගිගාවොට් පැය විස්සක් (20) පමණ නිපදවිය හැකි ජල ප්‍රමාණයක් පසුගිය දින කිහිපයේ වර්ෂාපතනයෙන් ලැබී ඇති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එය, විදුලි කප්පාදුව සිදු නො කිරීමට තරම් ප්‍රමාණවත් නො වන බවයි එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා ඩීසල් නෞකාවක් මෙරටට ගෙන්වාගැනීමට මේ දිනවල සාකච්ඡා කරමින් පවතින බවයි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළේ, අද (14) පස්වරුවේ තරමක වැසි ඇති වුව ද ලබන 18 වැනි දා දක්වා වැසි රහිත කාලගුණ තත්වයක් පැවතිය හැකි බව යි.

කෙසේ වෙතත් මෙම සති අන්තයේ ලැබෙන වැසි ප්‍රමාණය, ජල විදුලි බලාගාරවල ජල මට්ටම ඉහළ යාම සඳහා ප්‍රමාණවත් නො වනු ඇති බව ද ඔහු සඳහන් කළා ෴

***************************************

දේශීය ව එකලස් කරන ලද යතුරුපැදියක් වෙළෙඳපොළට

(14.02.2022 – 14:08 +0530 – hirunews.lk/sinhala)

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයෙහි හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් ඩේවිඩ් පීරිස් සමාගම මුල්වරට දේශීයව අගය එකතු කරමින් එකලස් කරන ලද යතුරුපැදිය වෙළඳපොළට හඳුන්වා දීම අද (14) පෙරවරුවේ සිදු කෙරුණා.

අමාත්‍ය විමල් වීරවංශගේ මඟපෙන්වීම යටතේ ‘ශ්‍රී ලංකාවේ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීමේ හා වාහන අමතර උපාංග නිෂ්පාදය කිරීමේ කර්මාන්ත පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටියක්’ පසුගිය වසරේ මාර්තු 15 වනදා ජනගත කිරීමෙන් පසුව මෙරට පැවති මෙවැනි සමාගම් සංඛ්‍යාව තුනේ (3) සිට 12 දක්වා වැඩි වී තිබෙනවා.

ඒ අනුව ඩේවිඩ් පිරීස් සමාගම ප්‍රථම වරට දේශීයව අගය එකතු කරමින් නිපදවන ලද ‘බජාජ් සීටී 100’ යතුරුපැදිය හම්බන්තොට – රන්න පිහිටි එම සමාගමේ වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ දී වෙළඳපලට හඳුන්වා දුන්නා ෴

***************************************

බොරැල්ල අත්බෝම්බ සිද්ධියට අදාළ වෛද්‍යවරයා අධිකරණයට

(14.02.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවේ පිලියන්දල ප්‍රදේශයේදී යි.

මේ සිදුවීම සම්බන්ධව මේ වනවිට කිහිප දෙනෙකු ම අත් අඩංගුවට ගනු ලැබුවා.

එහි දී අදාළ වෛද්‍යවරයාට බෝම්බය ලබා දුන් බවට සැකකරන පුද්ගලයා ද වනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධි දාමයෙන් පසු කාදිනල් හිමිපාණන් විසින් CCTV දර්ශණ ඔස්සේ පෙන්වා දුන් දේවස්ථානයේ බෝම්බය තැබූ බවට සැකකෙරෙන පුද්ගලයාව පසුගිය 16 වැනිදා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඒ ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී.

අදාළ සැකකරු කඩවත අශෝකාරාම පාරේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී වෛද්‍යවරයකු විසින් බෝම්බය ලබා දුන් බවටත්, ඒ සඳහා රුපියල් 50,000 ක මුදලක් ලබාදුන් බවත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසිය පසුගිය 17 වැනිදා පිළියන්දල ප්‍රදේශයේ පදංචි විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත්තා.

අනතුරුව පොලිසිය පිළියන්දල – වටමාවතේ පිහිටි සැකකරුගේ තෙමහල් නිවසද පරීක්ෂාවට ලක්කළා.

එහිදී ආයුධ කිහිපයක් පෙලිසිය සොයා ඇති බවට වාර්තා වනවා.

සැකකාර වෛද්‍යවරයා පිළියන්දල ප්‍රාදේශිය රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරීවරයා බවයි තහවුරු වී ඇත්තේ.

ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයා ගේ පෞද්ගලික බෙහෙත් ශාලාවේ ආරක්ෂක නිලධාරියා හැටියට කලකට ඉහතදී සේවය කරන ලද පුද්ගලයකුද බවටට හෙලි වී ඇතැයිද වාර්තා වනවා ෴

***************************************

කොටවෙහෙර විහාරස්ථානයේ සොරකම විමර්ශනයට සී.අයි.ඩී.යත්

(14.02.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන – දැලිවල කොටවෙහෙර රජමහා විහාරයේ ධාතු මන්දිරය කඩා වටිනා කරඬු රැසක් සොරකම් කිරීමේ සිද්ධියේ විමර්ශන සඳහා පොලිස්පතිවරයාගේ නියෝගයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක්ද යොදවා තිබෙනවා.

අදාළ විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා දඹරන් කරඩුවක් (1), තවත් රන් කරඬු පහක් (5), පළිඟු කරඬු තුනක් (3) සහ ධාතුන් වහන්සේලා තැන්පත් කරන මංජුසාවක් සොරාගෙන ගොස් තිබුණේ පසුගිය 11 වනදා රාත්‍රියේයි ෴

***************************************

හෙරෝයින් සහ අයිස් ජාවාරම්කරුවන් 3 ක් අත්අඩංගුවට

(14.02.2022 – 14:54 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක කරනලද වැටලීම් කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ප්‍රධානපෙළේ සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙමටගොඩ සහ වැලිපැන්න ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

දෙමටගොඩ බේස්ලයින් ප්‍රදේශයේ දී සහ වැලිපැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනෙකු (2) සතුව තිබී හෙරෝයින් ගෑරෑම් 33 කට ආසන්න ප්‍රමාණයක් මෙහිදී සොයාගෙන තිබෙනවා.

දෙමටගොඩ බේස්ලයින් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය වෙළදාමෙන් උපයාගන්නා ලද බව කියන රුපියල් 21,50,000 ක මුදලක්ද සොයාගෙන ඇති අතර ඔහු පැමිණි මෝටර් රථයක් (1) ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී ජංගම දුරකථන 3 ක් ද සොයාගෙන තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගන්නා ලද දෙමටගොඩ ප්‍රදේශයේ අනිත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9 යි මිලි ගෑම් 670 ක් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 25 සහ 26 වයසේ පසුවන්නන් බවයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට පත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවරුදු 26 ක පුද්ගලයෙක් බවයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන සහ අළුත්ගම කඳවුරු වල සෙබළුන් පිරිසක් මෙම වැටලීමට සම්බන්ධ වී ඈති අතර සැකකරු දෙමටගොඩ සහ වැලිපැන්න පොලීස් ස්ථානවල භාරදී තිබෙනවා ෴

***************************************

දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ජුනි මාසයේ දී පැවැත්වීමට සැලසුම්

(14.02.2022 – 16:11 +0530 – hirunews.lk/sinhala)

වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ජුනි මස 18 වන දින පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

2020 සහ 2021 වර්ෂවල පැවති කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම විභාගය පැවැත්වීමට නොහැකි වූ අතර, එම වර්ෂවල අයදුම් කළ සියලු දහම් පාසල් ගුරු භවතුන්ට මෙම වර්ෂයට නැවත අයදුම්පත් යොමු කළ හැකියි.

මේ වසරේ මාර්තු මස 15 වන දිනය වන විට අවම වශයෙන් මාස 6 ක අඛණ්ඩව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දහම් පාසලක ගුරු භවතෙකු ලෙස කටයුතු කර තිබීම හා වයස අවුරුදු 18 ට වැඩි වීම ඒ සඳහා අයදුම්පත් යොමු කිරීමට මූලික සුදුසුකම් වනවා.

අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය මාර්තු මස 15 වන දා යි ෴

***************************************

අල්ලස් ගත් සංවර්ධන නිලධාරීයෙකු අත්අඩංගුවට

(14.02.2022 – 17:07 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික කටයුත්තක් සඳහා අවශ්‍ය ලිපි ගොනුවක වැඩ කටයුතු කඩිනම් කිරීම සදහා රුපියල් 4000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරියෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ, හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංශයේ සංවර්ධන නිලධාරියෙක්.

රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව යි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දින දින වැඩිවන මරණ සැහැල්ලුවට ගන්න බෑ – වෛද්‍ය හේමන්ත හේරත්

(14.02.2022 – 11:33 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලසීමාව තුළ දිනපතා ඇඛණ්ඩ ව වාර්තා වුණු මරණ සංඛ්‍යාවේ සාපේක්ෂව වැඩි වීමක් සිදුවුණා.

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳවත් ගැටලුවක් තිබෙනවා.

අපි ආරක්ෂිතයි කියලා හිතන් ඉන්න පුද්ගලයින් රෝගයට ගොදුරු වෙනවා, රෝග ලක්ෂණ නොපෙන්වන පිරිස් සමග කටයුතු කිරීමේදී තමන්ටත් රෝගය වැලඳී තමුනුත් රෝග ලක්ෂණ නොපෙන්වා නිවෙස් වල සිටින දුර්වල පිරිස්, ඒ වගේම ආරක්ෂා සහිතව ඉන්න අය අධි අවදානම් තත්ත්වයකට පත්වෙලා.

දුර්වල අයට මේ රෝගය වැළඳීම වළක්වා ගැනීමට නම් අපි රෝගය නිවසට ගෙන යෑමෙන් වැළකී සිටීම කළ යුතුයි.

මියයන පුද්ගලයින් ගෙන් වැඩි පිරිසක් වයෝවෘද්ධ, දුර්වල අය. එම නිසා එය අවම කර ගැනීමට අප බූස්ටර් එන්නත ලබාගෙන රෝග‍ය පැතිරීමේ හැකියාව හැකිතාක් අඩු කළ යුතුයි.

එවිට නිවසේ සිටින දුර්වල අය ආරක්ෂා කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා.

දැනට පවතින තත්වය මත අපට කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කළ ඇඳන් ධාරිතාව, දරාගන්න පුළුවන්.

ඔක්සිජන් ධාරිතාවත් දැඩිසත්කාර ඇඳන් තත්ත්වයත් තවමත් පවතින්නේ අපට කළමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේයි.

තුන්වන (3) මාත්‍රාව ලබා ගත්තත් ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන රෝග හා ඖෂධ ලබාගන්නා, පිළිකා රෝගීන් වැනි දුර්වල රෝගීන්ට වැළඳුනහොත් සංකූලතා ඇති වන්නට පුළුවන්. අපි ආරක්ෂා කළ යුත්තේ මෙන්න මේ තත්ත්වයයි.

මේ වන විට පළමු එන්නත 70% ඉක්මවා ලබා දීලා තිබෙනවා.

එම පිරිස දෙවන (2) හා තුන්වන (3) මාතාවත් ලබා ගන්නවා නම් අපි ඉලක්කයට පහසුවෙන් ළඟා වන්න පුළුවන්.

පළමු (1) එන්නත ලබාගත් අය දෙවන (2) මාත්‍රාව ලබා ගන්නත් දෙවන (2) මාත්‍රාව ලබා ගත් අය තුන්වන (3) මාත්‍රාව ලබා ගන්නට මැලිකමක් දක්වනවා.

එසේ වුවහොත් අපට සාර්ථක වෙන්න පුළුවන් කමක් නැහැ.

දෙවන (2) මාත්‍රාව ලබා ගත් පිරිස අනුව තුන්වන (3) මාතාව ලබා නොගත් පිරිසක් සිටිනවා. දෛනිකව 50,000 පමණ එන්නත ලබා ගැනීමට පැමිණෙමින් සිටිනවා මෙය පවත්වාගෙන යා යුතුයි.

කිසිසේත් මෙම මරණ සැහැල්ලුවට ගන්න බෑ.

දිනකට රෝගීන් දහසක් (1000) ඉක්මවා ස්ථිරවම හමුවෙද්දී රෝග ලක්ෂණ නොපෙන්වන නිරෝගී පුද්ගලයින් රෝගය රැගෙන ගොස් දුර්වල අයට ලබා දෙනවා.

රෝග ලක්ෂණ නොපෙන්වන අය පරීක්ෂණ නොකරන නිසා රෝගීන් ලෙස හඳුනා ගන්නට හැකියාවක් නෑ.

රෝගින් හදුනා නොගත්තත් මරණ හංගන්න පුළුවන් කමක් නෑ.

දැනට මේ ඉන්න රෝගීන්ට වඩා වැඩි රෝගින් සංඛ්‍යාවක් ඉන්න පුළුවන් අපි අතර. නිවෙස් වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාවත් ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම නිවෙස් ප්‍රතිකාර ක්‍රමයේ ඉන්නේ අඩු රෝග ලක්ෂණ සහිත අය වුණත් එම සංඛ්‍යාවත් ඉහළ යමින් තිබෙනවා ෴

++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 317 ක් සුවය ලබයි

(14.02.2022 – 15:40 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 317 දෙනෙකු අද (14) දිනයේ දී සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,95,345 ක්.

තවදුරටත් පුද්ගලයින් 16,963 දෙනෙකු තවදුරටත් රෝහල්ගත ව සහ නිවෙස්ගත ව ප්‍රතිකාර ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *