චමුදිතට එල්ල වූ ප‍්‍රහාරය පසුපස බලවත් පිරිසක් … – විජිත හේරත් ගෙන් හෙලිදරවුවක් …

චමුදිතට එල්ල වූ ප‍්‍රහාරය පසුපස බලවත් පිරිසක් … – විජිත හේරත් ගෙන් හෙලිදරවුවක් …

*********************************************

චමුදිතට එල්ල වූ ප‍්‍රහාරය පසුපස බලවත් පිරිසක් … – විජිත හේරත් ගෙන් හෙලිදරවුවක් …

(14.02.2022 – 13:20 +0530 – lankacnews.com)

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බව සැක සහිත යයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ආරක්ෂක සේවා සපයන මුවාවෙන් ආණ්ඩුව විසින් සන්නද්ධ කණ්ඩායම් නඩත්තු කරමින් සිටින තත්වයක් තුළ මෙවැනි සිදුවීම් අතිශය බරපතළ බව එම පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය :

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල කරන ලද බියගුලු ප්‍රහාරය හෙළා දකිමු!

පිලියන්දල, වෑවල පෞද්ගලික නිවාස සංකීර්ණයක පිහිටි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) අලුයම නාඳුනන කණ්ඩායමක් විසින් ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම පිරිස නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් තබා දොරටුව බලහත්කාරයෙන් විවෘත කරවා ගෙන ඇතුල් වී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පැවසේ.

ශ්‍රී ලංකාවේ දේශපාලනය ආශ්‍රිත සිදුවීම් පිළිබඳව ආන්දෝලනාත්මක ජනමාධ්‍ය වැඩසටහන් සිදුකරන මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කරන ලද මෙම බියගුලු ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි දැඩිව හෙළා දකිමු. ඔහුගේ සමාජ මාධ්‍ය රූපවාහිනී වැඩසටහන් හේතුවෙන් ආණ්ඩුවට සම්බන්ධ දූෂිත දේශපාලකයින් මෙන්ම ඊට සම්බන්ධ කළු ව්‍යාපාරිකයින්ද විශාල ලෙස සමාජය හමුවේ නිරාවරණය වෙමින් තිබූ තත්වයක් තුළ මෙම ප්‍රහාරය ඔහුගේ මාධ්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස හා එම ක්‍රියාවලියට අදාළ බියගැන්වීමක් ලෙස සිදු කර ඇති බව පැහැදිලිය.

විශේෂයෙන් අගනුවර ආශ්‍රිත ප්‍රදේශයක ආරක්ෂාවද සපයා තිබූ නිවාස සංකීර්ණයකට ආයුධ සන්නද්ධව ඇතුල් වී මෙවැනි ප්‍රහාරයක් එල්ල කර පලා යාමට හැකියාව ලැබී ඇත්තේ මේ පැමිණි කණ්ඩායම පිටුපස බලවත් සබඳතා සහිත පිරිස් සිටි නිසා බවට සැකයක් නැත. විශේෂයෙන් ආරක්ෂක සේවා සපයන මුවාවෙන් ආණ්ඩුව විසින් සන්නද්ධ කණ්ඩායම් නඩත්තු කරමින් සිටින තත්වයක් තුළ මෙවැනි සිදුවීම් අතිශය බරපතළය.

මෙවැනි තත්වයක් තුළ මෙම නින්දිත ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් වීමට කිසිසේත් ආණ්ඩුවට නොහැකි බව අවධාරණය කරන අපි, මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිමු. මාධ්‍යවේදීන් බිය ගන්වා, තර්ජනය කර සත්‍යය යටපත් කරලීමෙන් තමන්ගේ බලය සදාකාලික කර ගැනීමට කිසිදු පාලකයෙකුට හැකි වූයේ නැත. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන තර්ජනයට හා ප්‍රහාරයට ලක් වූ අවස්ථා ගණනාවක් අපි දැක ඇත්තෙමු. මෙවැනි බොහෝ සිදුවීම්වලට අදාළ ඍජු වරදකරුවන් හා පිටපස සිට ඔවුන් මෙහෙයවූවන් කිසිදා නීතිය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේද නැත. එහෙත් නීතිය ක්‍රියාත්මක නොවූ එම සිදුවීම් පිටුපස, පැවති පාලනයන්ගේ සබඳතා තිබූ බවට ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි.

එබැවින් පොලිස් පරීක්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ හරින ලෙසත් මෙම ප්‍රහාරයට සම්බන්ධ වූවන් සියලු දෙනා හඳුනාගෙන නීතිය ඉදිරියට පමුණුවන ලෙසත් ආණ්ඩුවට බලකර සිටින අපි, මෙවැනි බියගුලු ප්‍රහාර හමුවේ නොසැලී සිටින ලෙසත් කිසිදු ආකාරයකින් තමන්ගේ මාධ්‍ය භාවිතයන් අත්නොහරින ලෙසත් සියලු මාධ්‍යවේදීන්ගෙන් දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

විජිත හේරත්
ප්‍රචාරක ලේකම්
ජනතා විමුක්ති පෙරමුණ

+++++++

චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පාර්ශව රැසක් හෙළා දකිති

(14.02.2022 – 19:55 +0530 – hirunews.lk/sinhala)

හිරු ටී.වී ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය හෙළා දකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

ප්‍රහාරය පිළිබද සැලවීමක් සමග දේශපාලනඥයින් රැසක් ඔහුගේ නිවසට පැමිණි අතර, මාධ්‍ය සංවිධාන ඇතුළු පාර්ශව රැසක්ද ප්‍රහාරය හෙලා දැක තිබෙනවා.

චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වු ප්‍රහාරය නිර්ලජ්ජිත, එහෙත් බරපතල සිදුවීමක් ලෙස හෙලා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසනවා.

මෙම ප්‍රහාරය ජනමාධ්‍යයට එරෙහි අදෘෂමාන බලයක් සහිත අඳුරු සෙවනැලි තවදුරටත් නිදහසේ සැරිසරමින් සිටින බවට පැහැදිලි සාධකයක්.

මේ නිසා එය තවත් එක් සිද්ධියක් ලෙස සිදුවීම් ලැයිස්තුවකට එක් කරනු වෙනුවට පුළුල් විමර්ශනයකින් මැරයින් කවුදැයි රටට හෙලි කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, මාධ්‍ය නිදහසට බරපතළ ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති කරමින් සිදු කරන මෙවැනි බියගුළු ප්‍රහාර දැඩිව හෙලා දකින බවයි.

එවැනි තත්ත්වයන් වලක්වා ගැනීම සදහා මෙරටදී මෙන්ම ජාත්‍යන්තරව ද සිදු කළ හැකි මැදිහත්වීම් සදහා පසුබට නොවන බවද ඔවුන් සිය නිවේදනයේ සදහන් කර තිබෙනවා.

තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඕනෑම පුරවැසියකුගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය මෙන්ම ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ සහ පොලිසියේ වගකීමක් වන බැවින් ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කළ යුතු බවයි.

මැර ප්‍රහාර සිදුකරමින් මාධ්‍යවේදීන් නිහඬ කිරිමට කිසියම් කණ්ඩායමක් උත්සාහ දරන්නේ නම් ඊට එරෙහිව මාධ්‍ය නිදහස රැකගැනීම සදහා නැගි සිටින බව ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වුණු ප්‍රහාරය සත්‍යය යටපත් කිරීමට ගත් නීච, බියගුලු ක්‍රියාවක් බවත් ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා කඩිනමින් නීතිය ඉදිරියට පමුණුවා ඒ පිටුපස ඇති සැගවුණු බලවේග සොයාගැනීම රජයේ වගකීමක් බවත්, මහජන යුතුකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

මේ අතර, හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද (14) අලුයම එල්ලවූ ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

මෙම නින්දාසහගත මැර ප්‍රහාරය පිළිබදව විනිවිදභාවයෙන් යුත්, අපක්ෂපාතී, සාධාරණ පරීක්ෂණයක් පවත්වා ඊට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වී සිටින සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනතා විමුක්ති පෙරමුණ සදහන් කළේ, චමුදිත සමරවික්‍රමගේ මාධ්‍ය භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස හා එම ක්‍රියාවලියට අදාළ බියගැන්වීමක් ලෙස සිදුකර ඇති මෙම බියගුලු ප්‍රහාරය දැඩිව හෙලා දකින බවයි.

පොලිස් පරීක්ෂණ නිසි පරිදි ක්‍රියාත්මක වීමට ඉඩ හැර ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පමුණුවන ලෙස ආණ්ඩුවට බලකරන ජනතා විමුක්ති පෙරමුණ, මෙවැනි බියගුළු ප්‍රහාර හමුවේ තමන්ගේ මාධ්‍ය භාවිතයන් කිසිදු ලෙසකින් අත් නොහරින ලෙස ද මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා.

චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වු මැර ප්‍රහාරය සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ, මෙම ප්‍රහාරය කලක් ශ්‍රී ලංකාව තුළ හොල්මන් කළ අතීතය පිළිබද කණගාටුදායක සිහිගැන්වීමක් බවයි.

මාධ්‍ය නිදහස සජීවී ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය අංගයක් වන අතර, එය ආරක්ෂා කිරීමට සියලුදෙනා බැදී සිටින බවයි එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ.

එමෙන්ම, හිරු ටී.වී. ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය තමා දැඩි සේ හෙළා දකින බවයි අමාත්‍ය උදය ගම්මන්පිළ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස තමා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර අමතා ඉල්ලා සිටි බවත්, සහෝදරත්වය පළ කිරීම සදහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇමතූ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.

***************************************

ඉන්ධන මිල වැඩි කරන්න තෙල් සංස්ථාවේ ඉල්ලීම අද (14) ඇමතිට

(14.02.2022 – 08:44 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල ගණන් ඉහළ යන පසුබිමක යළිත් අද (14) දිනයේ ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනාවක් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිලට ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

එහි සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ පසුගිය 07 වැනිදා ද ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු බව සඳහන් කරමින් අමාත්‍යවරයාට යෝජනාවක් ලබාදුන් බවයි.

රුසියාව සහ යුක්රේනය අතර යුද උණුසුමක් පැන නැගීම සහ ඇමරිකානු මධ්‍යම සංචිතය මගින් පොලී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවණතාව හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 3.3 කින් පමණ ඉහළ ගිය අතර, එම මිල සටහන් වූයේ ඩොලර් 94.44 ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද සියයට 3.6 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 93.10 ක් ලෙස සටහන් වුණා. ඛනිජ තෙල් මිල මේ වසරේදී මේ වනවිට සියයට විස්සට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

මෙවන් පසුබිමක මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරන සෑම ඩීසල් ලීටරයකින් රුපියල් 50 ක පාඩුවක් සහ පෙට්රල් ලීටරයකින් රුපියල් 16 ක පාඩුවක් ලබනවා.

‘ලංකා අයි.ඕ.සී. සමාගම’ පසුගිය හයවනදා (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට පියවර ගත් අතර, ඒ අනුව පෙට්රල් ලීටරයක් රුපියල් 07 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 03 කින් ඉහළ දැමුණා.

මේ අතර, ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මිල ඉහළ නැංවීමක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණද ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ ෴

***************************************

සෞඛ්‍ය වර්ජනය නවත්වනවා ද නැද්ද ? – තීන්දුව අද (14) – ජාත්‍යන්තර කම්කරු සංවිධානයටත් පැමිණිලි

(14.02.2022 – 09:54 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග ලබා ගනිමින් වෘත්තීය සමිති මර්දනය කිරීමට එරෙහිව ජාත්‍යන්තර කම්කරු සංවිධානයට සහ යුරෝපා සංවිධානයට පැමිණිලි කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් පවසනවා. ඔහු කියා සිටියේ අද දිනයේ වර්ජනය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති කොළඹට කැදවා මහ මඟ සිට මහා සභා රැස්වීමක් පවත්වා තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කරගෙන සෞඛ්‍ය වෘත්තීය සමිති 17 ක් පසුගිය 07 වන දා ආරම්භ කළ වර්ජනය අද (14) 8 වන දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවයටයි. වර්ජනය ආරම්භයේදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද ඊට එක්ව සිටි අතර කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයත් සමග ඔවුන් එම වර්ජන ක්‍රියාමාර්ගයෙන් ඉවත්වීමට කටයුතු කළා.

කෙසේ වෙතත්, ඊයේ (13) රැස්වූ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ විධායක සභාව තීරණය කළේ වර්ජනය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමටයි ෴

***************************************

ගාලු කොටුවේ ඓතිහාසික කාලතුවක්කු ආකෘති කිහිපයකට හානි

(14.02.2022 – 09:29 +0530 – hirunews.lk/sinhala)

සංරක්ෂණය කරමින් පවතින ගාලු කොටුවේ යටත් විජිත යුගයේ කාලතුවක්කු ස්ථානගත කර තිබූ ප්‍රදේශයේ ඇති කාලතුවක්කු ආකෘති කිහිපයකට එහි පැමිණි සංචාරකයින් හානි කර ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ඇතැම් කාලතුවක්කු කඩා දමා ඇති අතර, තවත් කාලතුවක්කු කිහිපයක කොටස් ගලවා ඇති බවට ව්‍යාපෘති නිලධාරීන් දැනුම් දී තිබෙනවා.

කොටුවට පැමිණෙන ඇතැම් සංචාරකයින් ඒවායේ නැග ඡායාරූප ගැනීම ආදී කරුණු හේතුවෙන් ද එම කාලතුවක්කු ආකෘති විනාශ වී ඇති බවටයි වාර්තා වන්නේ ෴

***************************************

සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු ආපන ශාලාව තුල ජිවිතක්ෂයට

(14.02.2022 – 12:16 +0530 – hirunews.lk/sinhala)

සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු ආපන ශාලාවේ මුළුතැන්ගෙහි තුල (14) දින උදැසන 8 ට පමණ ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

මෙසේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ ලිදුල ලැමරියර් වතු යායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නැමති 74 හැවිරිදි තිදරු පියෙකි.

මරණකරු ලිදුල නගරයේ ආපනශාලාවක කොකියෙකු වශයෙන් සේවය කල බවත්, සුපුරුදු පරිදි අළුයම ආපන ශාලාව වෙත පැමිණි එම පුද්ගලයා ආහාර පිසමින් සිටින අවස්ථාවේ සිරුරට ගිනි ඇවිලිමෙන් ආපනශාලාවේ උඩු මහලේ පිහිටි මුළුතැන්ගෙහි තුල මියගොස් ඇති බවට සැකකරන බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේ.

සිරුරට ගිනි ඇවිලෙන අවස්තාවේ ආපන ශාලාවේ කිසිවෙක් සිට නොමැති බවත්, ආපනශාලාවේ හිමිකරු වෙලදසැලට පැමිණ පරික්ෂා කරන අවස්ථාවේ සිරුරට ගිනි ඇවිලිමෙන් කොකියා ජිවිතක්ෂයට පත් වි ඇති බවට පොලිසිය වෙත දැනුම් දි ඇති බවයි මරණය පරික්ෂණය පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේ ෴

***************************************

ඉන්දීය සාගරය යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පද්ධතියේ දෝෂයක්

(14.02.2022 – 10:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය සාගරය යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ දෝෂයක් මතුවී ඇති බව වාර්තා වනවා.

මෙම ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතිය ඔස්සේ ලොව විවිධ රටවලට අවශ්‍ය කෙරෙන අන්තර්ජාල සම්බන්ධතා ඒකාබද්ධ කෙරෙන අතර මේ වන විට බෙංගාල බොක්ක අවට ජාත්‍යන්තර මුහුදු තීරයේ ගැඹුරින් එලා ඇති මෙම සබ්මැරීන් කේබල් (submarine cable) පද්ධතියේ මතුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් වරින්වර මෙරට ජංගම දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් දුරකථන අන්තර්ජාල සම්බන්ධතාවන්ට බලපෑම් ඇති විය හැකි බව ජංගම දුරකථන සේවා සපයන ආයතන නිවේදනය කරනවා.

කෙසේ වෙතත් මෙම තාක්ෂණික ගැටලුව යථා තත්ත්වයට පත්කිරීමට කෙතරම් කාලයක් ගතවේදැයි තක්සේරු කළ නොහැකි බවටයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.

අදාළ ජාත්‍යන්තර සබ්මැරීන් කේබලය සිංගප්පූරුවේ සිට මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාවේ චෙන්නයි සහ මුම්බායි, එමෙන්ම බර්කා සහ ෆුජෛරා යන මධ්‍යස්ථාන හරහා ජාත්‍යන්තර අන්තර්ජාල සේවාවන් සඳහා සම්බන්ධතා පහසුකම් සපයනවා ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 290 ක් සුවය ලබයි

(13.02.2022 – 14:58 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 290 දෙනෙකු අද (13) දිනයේදීත් සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,95,028 ක්.

තවදුරටත් රෝහල්ගතව සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16,161 ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++

කොරෝනා මරණ 31 ක්

(13.02.2022 – 18:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගල මරණ 31 ක් අද (13) දිනයේදී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ සමග මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ 15,808 ක් දක්වා ඉහළ යනු ඇති.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 16,161 ක් වන අතර, වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 6,26,966 ක් ෴

කොරෝනා වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 1150 ක් අද (13) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,28,116 ක්.

කෙසේවෙතත් අද (13) දිනයේ දී සිදු වූ සමස්ත වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 31 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාව ද 15,808 සීමාව ඉක්මවා ගියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *