කුඩා දරුවන් දෙදෙනා සමග අම්මයි තාත්තයි ජීවත්වෙන පාර අයිනේ අටවාගත් ගරා වැටුණු පැල්පත

කුඩා දරුවන් දෙදෙනා සමග අම්මයි තාත්තයි ජීවත්වෙන පාර අයිනේ අටවාගත් ගරා වැටුණු පැල්පත

*********************************************

කුඩා දරුවන් දෙදෙනා සමග අම්මයි තාත්තයි ජීවත්වෙන පාර අයිනේ අටවාගත් ගරා වැටුණු පැල්පත

(13.02.2022 – 16:36 +0530 – hirunews.lk/sinhala)

ඇති හැකි මිනිස්සු බොහෝ වෙලාවට අසීමාන්තිකව ජීවිතය විඳිද්දි දවස් ගණන් හරි හැටි කෑමක් බීමක්වත් නැතිව ජීවිතේ විඳවන මිනිස්සුත් සමාජයේ ඉන්නවා.

අපි මේ කියන්න යන්නේ කුසට අහරක් හිසට සෙවණක් පමණක් නොව ඒ පිළිබඳ බලාපොරොත්තු පවා අහිමි වී ගිය මනෝජ් ගෙත් දිළිණි ගෙත් කතාවයි.

දෛනිකව දහස් ගණන් රථවාහන ගමන් කරන ප්‍රධාන මාර්ගය අයිනේ පිහිටා තිබෙන මේ ‘පුංචි මාලිගාව’ දෙහිඕවිට හංදියෙන් දැරණියගල දෙසට පිවිසෙන ඕනෑම කෙනෙකුගේ ඇස ගැටෙන තැනක්.

මේ ගරා වැටුණු පැල්පතට ‘මාලිගාව’ කිව්වේ අන් කිසිවක් නිසා නෙවෙයි; මේ පැල්පතේ ජීවත් වෙන මිනිස්සු දවස් ගණන් වේල් ගණන් හරි හැටි කෑමක් බීමක් නැතුව වුණත් එකිනෙකා වෙනුවෙන් ජීවත් වෙන නිසා.

‘උත්සුක මනෝජ්’ වගේම ‘දිළිණි රණසිංහ’ත් පාර අයිනේ අටවාගත්තු අතිශයින්ම අවදානම් තත්ත්වයේ පවතින මේ ගරා වැටුණු පැල්පතේ ජීවත් වෙන්නේ පුංචිම පුංචි කිරි කැටියන් දෙදෙනෙකුත් (2) සමගයි.

වයස අවුරුදු 25 ක් වෙන මනෝජ් හදවත් රෝගියෙක්.

මනෝජ්ගේ හදවතේ ඇතිවූ සිදුරක් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මනෝජ්ට මහන්සිවී කිසිදු වැඩක් කරගන්නට මේ වනවිට හැකියාවක් නැහැ.

වයස අවුරුදු 5 ක් වන පුංචි පුතාගේ හදවතෙත් මනෝජ්ගේ හදවතේ වගේම සිදුරක් තිබුණා.

ඒ විතරක්ම නොවෙයි එක පිට එක කරදර ගොන්නක් මේ පවුල පසුපස ලුහුබඳින්නේ මාස 4 ක් වයසැති මේ සිඟිති දියණියගේ හදවතෙත් සිදුරු දෙකක් (2) තිබීම සහ දෑස් නොපෙනීමද නිසාවෙන්.

ජීවත්වීම සදහා මීට පෙර මනෝජ් සහ දිළිණි බුලත්විට විකිණීම සිදු කළත් රට තුළ පැවති කොරෝනා වසංගතයත් දරුවන්ගේ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් වියදම් වීම නිසාත් ඔවුන්ට ජීවත් වීමට පැවති එකම ජීවනෝපාය මාර්ගය ද මේ වනවිට අහිමිවී ගිහින්.

වේලක් හැර වේලක් කුසගිණි නිවාගන්නට පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන උදවු උපකාර පිළිබඳවත් කෘතවේදී වන්නට ඔවුන් අමතක කළේ නැහැ.

මනෝජ්ගේ වගේම දිළිනිගේත් එකම ඉල්ලීම පුංචි කිරිකැටියන් එක්ක ජීවිතේ ගැට ගහගන්න මාර්ගයක් වගේම නොතෙමී ඉන්න හිසට සෙවණක් විතරයි.

***************************************

වැරදි ආර්ථික ප්‍රතිපත්ති ගැන අනුර කියයි

(13.02.2022 – 16:27 +0530 – hirunews.lk/sinhala)

පාලකයින්ගේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක විඳීමට සිදුව ඇත්තේ සමස්ත සමාජයට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර
දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ රට අවශ්‍ය වන්නේ ජනතා සාමූහිකත්වය ගොඩනඟන නව
දේශපාලනයක් බවයි.

එමෙන්ම රට මේ වනවිට දැඩි ණය උගුලක පැටලී ඇති අතර, ඩොලර් අර්බුදයට විසඳුම වන්නේ තව තවත් රාජ්‍යයන්ගෙන් ආධාර ලැබීම හෝ ඉල්ලීම නොවන බව ද හෙතෙම පැවසුවා.

***************************************

දෛනික ජීවිතයට බාධා ගෙන එන ජල අර්බුදය

(13.02.2022 – 16:38 +0530 – hirunews.lk/sinhala)

ජලය යනු මිනිසාට ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතාවලින් එකක්.

නමුත් බලධාරීන්ගේ ඇල්මැරුණු ක්‍රියාකලාපය හේතුවෙන් මෙම මූලික අවශ්‍යතාවයවත් සපුරා ගත නොහැකව පීඩාවට පත්ව සිටින මිනිසුන් පිළිබඳ අප පෙන්වාදුන්නේ වරක් වෙරක් නොවෙයි.

එලෙස පීඩාවට පත්වුණු තවත් පිරිසක් ගැන වාර්තාවුණේ දෙහිඕවිට ප්‍රදේශයෙන්.

දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රංගේගම සහ තැලුම්පිටිය ගම්මානවල පවුල් 100 කට අධික සංඛ්‍යාවක් ජීවත්වනවා.

බලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් පීඩාවට පත්වන බොහෝ මිනිසුන් අතරේ මෙම ගම්මානවල ජනතාවටත් හිමිවන්නේ ප්‍රධාන තැනක්.

ඒ තම මූලික අවශ්‍යාතාවක් වන බීමට ජලය සපයා ගැනීම වෙනුවෙන් දුෂ්කරතා රැසකට ඔවුන්ට මුහුණදීමට සිදුවීම නිසයි.

මෙම ජල ගැටලුව පිළිබඳව වසර 30 කට අධික කාලයක් තිස්සේ වගකිවයුතු පාර්ශව වෙත වාචිකව මෙන්ම ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කළත් ඒවා මේවන විට කොළ කැබැල්ලිවලට පමණක් සීමා වී තිබීම ද කනගාටුවට කරුණක්.

මෙම ප්‍රදේශයේ භූමිය කළුගල් සහිත බැවින් ළිං කපා ජලය ලබාගැනීමත් ඉතා අපහසු බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් මෙතෙක් කල් විකල්පයක් ලෙස අසළ කඳු මුදුනක පිහිටි ස්වභාවික ජල උල්පතකින් නළ මාර්ගයෙන් ජලය ලබා ගැනීමටයි ඔවුන්ට සිදුවුණේ.

නමුත් ඉන් ජලය කලයක් ලබා ගැනීමට අධික කාලයක් බලාසිටීමට ඔවුන්ට සිදුවනවා.

පවතින වියළි කාලගුණයත් සමඟ මේ වන විට ජලය සපයා ගන්නා උල්පත ද සිඳී යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඉදිරියේදී මෙම දැඩි දුෂ්කරතාව තවත් උග්‍ර වනු ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

එදා වේල සරිකරගෙන ජීවිතය ගැටහගගන්නා තමන්ට මූලික අවශ්‍යතාවක් වන බීමට ජල පොදක් ලබාදෙන ලෙසයි මේ ජනතාව රට කරවන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

පිළිසරණක් පතන අවිහිංසක මල් කැකුළු

(13.02.2022 – 16:41 +0530 – hirunews.lk/sinhala)

මිනිස් ජිවිතයේ සොඳුරුතම අවධිය ලෙස සැලකෙන්නේ ළමා කාලයයි.

එහෙත් ළමා කාලය එතරම්ම සොඳුරු නොවු ළමුන් පිරිසක් පිළිබඳව මීරිගම – බෝතලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

‘ඔටිසම්’ යනු දරුවෙකුගේ මොළයේ සියුම් කොටස් නිසි ලෙස වර්ධනය නොවීම නිසා ඇති වන තත්ත්වයක්.

සමාන්‍ය දරුවෙකු මෙන් සමාජය සමග ගනුදෙනු කිරීම මෙම දරුවන්ට තරමක් අපහසුයි.

මේ හේතුවෙන්ම ඔවුන්ට අධ්‍යාපනය ලබා දීමට විශේෂ පාසල් ස්ථාපනය වී තිබෙනවා.

‘ඔටිසම්’ තත්ත්වයෙන් පෙළුණු දරුවෙකුගේ පියෙකු වන ඩී.එම්. තිලරත්න මහතා විසින් මීරිගම – බෝතලේ ප්‍රදේශයේ ‘අපේ ළමයි’ නමින් හදුන්වන මෙම විශේෂ පාසල අරම්භ කර ඇත්තේ මෙම රෝගයට ගොදුරු වු අනෙක් දරුවන්ට ද සහනයක් ලබා දීමේ අරමුණින්.

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ පැමිණි ළමුන් 51 දෙනෙකු පමන මෙහි නේවාසිකව අධ්‍යාපනය හදාරනවා.

මෙම දරුවන්ටද විවිධ දක්ෂතා ඇති බැවින් ඔවුන් ජ්‍යාන්තරයේදී ජයග්‍රහණ ලබා ගැනීමට පවා සමත් වුණා.

කෙසේ වෙතත් පවතින ගොඩනැගිලි හිගකම නිසා තවත් දරුවන්ට මෙහි අධ්‍යාපනය හැදැරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙම ළමුන්ට පාසල් උපකරණ, ක්‍රීඩා උපකරණ සහ චිකිත්සක උපකරණ ලබා දීමට හැකි නම් එය ද මහඟු උපකාරයක්.

විශේෂ අවශ්‍යතා සහිත වුවත් මේ දරුවන්ටත් සොඳුරු හෙට දවසක් උරුමයි.

එය නිර්මාණය කිරිම වෙනුවෙන් ඔබටත් කිසියම් දායකත්වයක් දැක්විය හැකිනම් එය සමාජ වගකීමටත් එහා ගිය උතුම් සත්කාරයක් ද වනු ඇති.

***************************************

වැඩි කළ වැටුප දෙන්න – වතු වෘත්තීය සමිති ඉල්ලයි

(13.02.2022 – 20:04 +0530 – hirunews.lk/sinhala)

සිය දෛනික වැටුප රුපියල 1000 දක්වා වැඩි කරන බව ප්‍රකාශයට පත් කර වසරක කාලයක් ගත වී ඇතත් තවමත් එය නිසි ලෙස නොලැබෙන බවට සමස්ත ලංකා වතු කම්කරු සංගමය චෝදනා කරනවා.

හැටන් නගරයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න මේ බව සඳහන් කළා ෴

***************************************

ගුවන් නියමුවනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(13.02.2022 – 20:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමු සංසදයේ සාමාජිකයින් විසින් තමන්ට පැවරී ඇති රාජකාරී පමණක් ඉටු කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය වසරේ දෙසැම්බර් මස සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරිපාලනයෙන් තම සංසදයේ ගුවන් නියමුවන්ට සිදු වී ඇති නීත්‍යානුකූල නොවන කප්පාදු කිරීම්වලට සාධාරණ විසදුමක් ලබා ගැනීම සඳහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි එමගින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

පසුගිය මස 31 වන දින සිය ඉල්ලීමට සාධාරණ විසදුමක් ලබාදෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා පරිපාලනය ලිඛිතව පොරොන්දු වුවත් එය මේ වන තෙක් ඉටු වී නොමැති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන් වාර ගණන නිවැරදිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගුවන් නියමුවන් සංඛ්‍යාව අඩු වුව ද මෙතෙක් කල් සිය අනුමත වාර්ෂික නිවාඩු සහ අනෙකුත් නිවාඩු දිනවල දී ද පැකිලීමකින් තොරව ගුවන් සමාගමේ අභිවෘද්ධිය උදෙසා රාජකාරී සඳහා වාර්තා කළ බවයි ගුවන් නියමු සංසදය සදහන් කළේ.

එහෙත් සාධාරණ විසදුමකට පැමිණෙන තෙක් ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් නැවතත් තමන්ගේ පියසර ලැයිස්තුවේ පවරා ඇති රාජකාරී පමණක් ඉටු කරන අතර, අනුමත වාර්ෂික නිවාඩු සහ පියසර ලැයිස්තුවේ නිවාඩු දිනයන් හිදී රාජකාරියේ නිරතවීමෙන් වැළකී සිටින බව එමගින් අවධාරණය කළා ෴

***************************************

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල අවසන් තීන්දුව හෙටට (14) කල් යයි

(13.02.2022 – 20:29 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල් කරගෙන සෞඛ්‍ය වෘත්තීය සමිති 17 ක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ අද (13) රැස්වූ වෘත්තීය සමිති සම්මේලන විධායක සභාවේ දී මෙම තීරණයට ඒකමතිකව එළඹුණු බවයි.

කෙසේ වෙතත්, හෙට (14) දිනයේදී රැස්වන මහා සභාවෙන් පසු අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන බවයි එම වෘත්තීය සමිති කියා සිටියේ.

දින 7 ක් පුරා ක්‍රියාත්මක මෙම වර්ජනය හේතුවෙන් තවදුරටත් රෝගීන් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටයි.

වර්ජනය සම්බන්ධයෙන් අධිකරණය පසුගිය දා නිකුත් කළ වාරණ නියෝගයත් සමඟ ඊට එක්ව සිටි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ (12) වර්ජනයෙන් ඉවත් වුණා.

ඒ, රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කළ පසුබිමකයි.

වර්ජනයත් සමග රෝහල් රැසකින් ඖෂධ නිකුත් නොකෙරෙන නිසා රෝගීන්ට රාජ්‍ය ඔසුසැල් මගින් ඖෂධ නොමිළේ ලබා ගත හැකි වනවා.

කෙසේ වෙතත්, ඇතැම් රෝගීන් චෝදනා කළේ රාජ්‍ය ඔසුසැල් මගින් ඖෂධ නිකුත් කරන්නේ මුදලට පමණක් බවයි.

***************************************

අනුරපුරේ සුපිරි මත්පෙති සාදයක් වටලා 7 ක් අත්අඩංගුවට

(13.02.2022 – 20:34 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – දහයියාගම ප්‍රදේශයේ හෝටලයක පැවති සුපිරි පැළැන්තියේ මත් සාදයක් වටලා පුද්ගලයින් 7 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

200 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වා ඇති මෙම සාදය අන්තර්ජාලය මගින් සංවිධානය කර ඇති බවටයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය මගින් සිදු කරන ප්‍රචාරවලට අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි වයස අවුරුදු 20 ත්, 35 ත් අතර තරුණ තරුණියන් මෙම සාදයට එක්ව තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර තිබී මත් පෙති, ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය තිබී සොයා ගත් බවයි පොලීසිය සදහන් කළේ ෴

***************************************

සාමකාමී – ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට සූදානම් ! – සජිත්

(13.02.2022 – 21:21 +0530 – hirunews.lk/sinhala)

හැකි පළමු අවස්ථාවේදීම දුර්ධාන්ත ආණ්ඩුව පෙරළන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

උඩුදුම්බර – හසලක පැවති ජනහමුවක දී විපක්ෂ නායකවරයා පැවසුවේ ආණ්ඩුව ජනතාව දිගින් දිගටම රවටමින් සිටින බවයි.

ඕනෑම අවස්ථාවක දී සිය පක්ෂය සාමකාමී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ රටාවකට යොමු කරමින් ඒ වටා සාමූහික ජන බලවේගයක් ගොඩනගා ගැනීම බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.

***************************************

රුපියල් දෙකෝටියකට අධික විෂ මත්ද්‍රව්‍ය තොගයක් සමග පස්දෙනෙකුට (5) මාංචු වැටෙයි

(13.02.2022 – 22:00 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී විෂ මත්ද්‍රව්‍ය තොගයක් අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු (5) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අද (13) පස්වරුවේ මුහුදු මාර්ගයෙන් රැගෙන ආ සින්තටික් වර්ගයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනුණා.

මෙලෙස අත් අඩංගුවට පත් සැකකරුවන් පස්දෙනා (5) වයස අවුරුදු 33 හා 45 යන වයස් සීමාවල පසුවන මන්නාරම – පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මොවුන් දිගු කලක සිට මුහුදු මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය ගෙන්වා රට වටා බෙදාහැර ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇති අතර, පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකකට (2,00,00,000) අධික බවට ද අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද මන්නාරම පොලීසිය පැවසුවා.

මේ අතර, විශේෂ කාර්ය බලකාය සූරියවැව අධිවේගී මුරපොලේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදු කෙරුණා.

එහිදී නීතිවිරෝධී මත්පෙති සහ අයිස් ඉතා සූක්ෂ්ම අයුරින් ප්‍රවාහනය කරමින් සිටි වෑන් රථයක් සමග සැකකරුවන් දෙදෙනකු (2) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලැබී ඇති අතර, අදාළ මෙහෙයුම සිදු කර ඇත්තේ, ඊයේ (12) පස්වරුවේ හම්බන්තොට පොලිස් වසමේ අධිවේගී මාර්ගයෙන් පිටවීමේ ස්ථානයේ දී යි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34 සහ 22 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් රත්ගම සහ අගලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිස් ස්ථානය විමර්ශන සිදු කරනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *