නොනවතින සෞඛ්‍ය වර්ජනය අද (13) සත්වැනි (7) දිනටත්

නොනවතින සෞඛ්‍ය වර්ජනය අද (13) සත්වැනි (7) දිනටත්

*********************************************

නොනවතින සෞඛ්‍ය වර්ජනය අද (13) සත්වැනි (7) දිනටත්

(13.02.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තියවේදීන් ආරම්භ කළ වර්ජනයට අද (13) වනවිට සතියක් ගතවනවා.

මේ හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන් දැඩි දුෂ්කරතාවන්වලට මුහුණ පෑ අයුරු හිරු ප්‍රවෘත්ති ඔස්සේද නිරන්තරයෙන් වාර්තා කළා.

කෙසේ නමුත් වර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (13) දිනයේදී සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විධායක කාරක සභාවක් රැස්වනවා.

අද (13) පස්වරුවේදී පැවැත්වෙන එම රැස්වීමේදී ගනු ලබන තීරණය හෙට (14), මහ සභාවට ඉදිරිපත් කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේ.

දින ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ වර්ජනය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයත් සමඟ ඊට එක්ව සිටි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඉන් ඉවත්වුණා.

එමෙන්ම රෝහල් සේවා, අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් පෙරේදා (11) ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබුවා.

එවන් පසුබිමක සෞඛ්‍ය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, රෝහල් වෙත පැමිණි ජනතාව එහිදී පත්වූයේ දැඩි දුෂ්කරතාවන්ටයි.

***************************************

කොකේන් මෙරටට ගෙන ඒමට තැත් කළ පිරිසකට තමිල්නාඩුවේ දී වැඩ වරදියි

(13.02.2022 – 11:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ගෙන ඒමට සැළසුම් කළ බව කියන කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.5 ක් සමඟින් ඉන්දීය ජාතිකයන් අටදෙනෙකු (8) තමිල්නාඩු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාමනාදපුරම් – අපරාධ අංශය මගින් සැකකරුවන් පස්දෙනෙකු (5) රාමේෂ්වරන් බස් නැවතුම්පලේදී පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු මත තවත් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය මදුරෙයි සිට රාමේෂ්වරම වෙත රැගෙනවිත් මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒමටයි සැලසුම් කර ඇත්තේ.

එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටියක් පමණ වන බව එරට මාධ්‍ය සඳහන් කළා.

එමෙන්ම, මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ නිරත වූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරම උතුරු මුහුදේ යාත්‍රා දෙකකින් (2) ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදී ඊයේ (12) රාත්‍රියේ ඔවුන් නාවික හමුදා භාරයට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ.

එම ධීවරයින් මේ වනවිට තලෙයිමන්නාරමට රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් සපුරාලීම සඳහා ඉන්දීය රජය අඛණ්ඩව කැපවන බව එරට විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී. මුරලීධරන් ඉන්දීය ලෝක් සභාවේදී ඊයේ (12) ප්‍රකාශ කළා.

ඔහු එහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සමීප සබඳතාවයෙන් ඉන්දු ශ්‍රී ලංකා සහයෝගීතාවට බලපෑමක් නොමැති බවයි.

අසල්වැසියාට ප්‍රමුඛත්වය ලබාදෙන ඉන්දීය ප්‍රතිපත්තිය යටතේ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ක්‍රියාත්මක වන අතර, මෙරට වාර්ගික සහයෝගීතාව දිරිගන්වන සංහිඳියා ක්‍රියාමාර්ගවලට ඉන්දියාවේ සහය නිතැතින්ම හිමිවන බව විදේශ කටයුතු පිළිබඳ ඉන්දීය රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

මහරගමදී ජනප්‍රිය නර්තන කණ්ඩායමක ශිල්පිනියක් සියදිවි හානි කරගනියි ?

(13.02.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

මහරගම ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක තිබී ගෙළ වැළලාගත් තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පළමු පටුමඟ – දුම්රිය මාවත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක තිබී ඇයගේ සිරුර සොයාගත් බවයි.

ඇය, දිවයින පුරා ප්‍රසංගවලට සහභාගිවන ජනප්‍රිය නර්තන කණ්ඩායමක වෘත්තීය නර්තන ශිල්පිනියක බවයි අනාවරණ වී ඇත්තේ.

26 හැවිරිදි මෙම තරුණිය කුරුණෑගල – අඹගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියක බව පොලිසිය සඳහන් කළා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඇය, මෙම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිට තිබෙනවා.

මෙම තරුණිය, නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සමඟ සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, ඊට සම්බන්ධ යම් ගැටලුවක් මත ඇය සිය දිවි නසාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා එම ව්‍යාපාරිකයා මහරගම පොලිස් ස්ථානය වෙත කැඳවා ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

***************************************

ඉන්ධන මිල සූත්‍රය සකස් කර අවසන් – යෝජනාව කැබිනට් මණ්ඩලයට

(13.02.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල සූත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

එම මිල සූත්‍රය ලබන සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මිල ඉහළ නැංවීමක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ පරිසර හානි ගණනයට කැන්ගරු දේශයෙන් නීති උපදෙස්

(13.02.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදු වු පරිසර හානිය නියමිත පරිදි ගණනය කිරිමට අවුරුදු තුනක (3) පමණ කාලයක් ගත වනු ඇති බව වාර්තාවනවා.

ඔස්ට්‍රෙලියානු නීති විශේෂඥ කණ්ඩායම ඒ බව සඳහන් කළේ යැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ලහදපුර ප්‍රකාශ කළා.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සිදු වු පරිසර හානිය ගණනය කිරිමට පත්කළ විද්වත් කමිටුවේ පළමු වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු ඕස්ට්‍රේලියානු නීති විශේෂඥ කණ්ඩායම මේ බව පවසා ඇත්තේ ඊයේ (12) පැවති වැඩමුළුවකදියි.

මෙරට විද්වත් කමිටුව විසින් සකස් කළ අදාල වාර්තාව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් ලබාගැනීම සදහා එය ඔස්ට්‍රේලියානු නීති විශේෂඥ කණ්ඩායම වෙත යොමුකර තිබුණා.

ඉන් පසුවයි ඒ පිළිබඳ වැඩිදුරට සාකච්ජා කිරිම සදහා මෙරට පරිසර හානිය ගණනය කරන විද්වත් කමිටුව සමග ඕස්ට්‍රේලියානු නීති විශේෂඥ කණ්ඩායම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ මෙම වැඩමුළුව පවත්වා ඇත්තේ.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදු වු පරිසර හානියට අදාලව විදේශ රටවලින් ලැබීමට නියමිත රසායනාගාර වාර්තා අන්තර්ගත කර තව මාස කිහිපයක් ඇතුළත පරිපුර්ණ වාර්තාවක් සකස් කර නෞකාව හිමිකාර සමාගමට ලබාදිය යුතු බවයි එහිදි ඔස්ට්‍රෙලියානු නීති විශේෂඥ කණ්ඩායම මෙරට විද්වත් කමිටුව වෙත දැනුම් දී ඇත්තේ ෴

***************************************

අද (13) තද වැසි

(13.02.2022 – 13:11 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට නැගෙනහිර දිශාවෙන් බෙංගාල බොක්ක ප්‍රදේශයේ සිට හමන අධික ජල වාෂ්ප සහිත සුළං රටාව හා ‘මැඩෙන් ජුලියන්’ තත්වය දෝලනය වීම හේතුවෙන් දිවයිනට අද (13) දිනයේ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමණී ජයවර්ධන පවසනවා.

‘මැඩෙන් ජුලියන්’ සංසිද්ධියේදී ‘එල්නිනෝ’ තත්වයට ප්‍රතිවිරුද්ධව නැගෙනහිර දෙසට සුළං ප්‍රවාහය ක්‍රියාත්මක වනවා.

බස්නාහිර පළාත ඇතුලු දිවයිනේ පළාත් රැසකට අද (13) දිනයේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

සබරගමුව පළාත, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙලෙස මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වෙන්නේ.

උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකියි ෴

***************************************

වැඩිකළ සමෘද්ධි දීමනා ගෙවීම හෙට (14) ඇරඹේ

(13.02.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

සියයට විසි අටකින් (28%) ඉහළ නංවන ලද සමෘද්ධි දීමනාව ගෙවීම හෙට (14) සිට ආරම්භ කරන බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

ඒ, අනුරාධපුරයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඒ අනුව මෙතෙක් රුපියල් 3,500 ක දීමනාවක් ලැබූ සමෘද්ධි පවුල් ඒකකයකට හෙට (14) සිට රුපියල් 4,500 ක් හිමිවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම 2,500 ක දීමනාවක් ලැබූ පවුල් ඒකකයක් රුපියල් 3,200 කටත් රුපියල් 1,500 ක දීමනාවක් ලැබූ සමෘද්ධිලාභීන්ට දීමනාව රුපියල් 2,900 ක් වන බවත් අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

***************************************

උතුරේ කිරි නිෂ්පාදන ප්‍රවර්ධනයට නව වැඩපිළිවෙළක්

(13.02.2022 – 13:19 +0530 – hirunews.lk/sinhala)

උතුර පළාත තුළ කිරි නිෂ්පාදන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා පශු වෛද්‍ය නිලධාරී කාර්යාල 34 ක් මුල් කරගනිමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා රුපියල් තිස්පන්ලක්ෂයක් (35,00,000) වෙන් කර ඇති අතර, මධ්‍යම රජය විසින් උතුරේ කිරි නිෂ්පාදන කටයුතු සංවර්ධනය සඳහා ලබා දී ඇති මුළු මුදල රුපියල් මිලියන 90 ක්.

උතුරේ කිරි ගොවීන් නිෂ්පාදනය කරනු ලබන කිරි විශාල වශයෙන් අපතේ යෑම වැළැක්වීමට පියවර ගැනෙනවා.

ඒ සඳහා සතොස අලෙවිසැල් සහ සමූපකාර අලෙවිසැල් යොදාගැනීමෙන් අලෙවිය ඉහළ නැංවීමට කටයුතු කරන බව උතුර පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා සඳහන් කළා ෴

***************************************

කොළඹ ඉදිවන ද්විත්ව ගුවන් පාලම්

(13.02.2022 – 13:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට විසඳුම් ලෙස ඉදිකෙරෙන විනිසුරු අක්බාර් මාවතේ සහ උත්තරානන්ද මාවත්වල ඉදිවන ද්විත්ව ගුවන් පාලම්වල ප්‍රථම කොටසේ වැඩ කටයුතු සැලසුම් කළ දිනට අවසන් කිරීමට හැකි වූ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

මෙම ද්විත්ව ගුවන් පාලම්වල ඉහළ කොටසේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් ව්‍යූහ ප්‍රවාහනය කිරීමේ අවස්ථාව අද (13) අරම්භ කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ප්‍රකාරව මෙම කටයුතු සිදු කෙරෙන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනපති සහ අගමැතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ අදාළ ඉදිකිරීම් කටයුතු 24 පැය පුරා සිදුකර ජූනි මාසය වනවිට දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙසයි.

මෙම විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිගින් මීටර 207 ක් සහ පළලින් මීටර 8.4 කින් යුක්ත යි.

උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලම දිගින් මීටර 396 ක් වන අතර එහි පළල මීටර 10.4 ක්.

මෙම ගුවන් පාලම් දෙක (2) එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310 ක් වන අතර, එහි පළල මීටර 6.9 ක් බවයි මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේ.

නව ඉදිකිරීම් වෙනුවෙන් වැයවන මුළු මුදල රුපියල් මිලියන 5270 ක්.

***************************************

බස් රථයකදී රන් මාලයක් කඩාගත් කාන්තා කල්ලියක් අල්ලයි

(13.02.2022 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල සිට අම්බලන්ගොඩ දක්වා ධාවනය වූ බස් රථයකදී කාන්තාවකගේ ගෙළ බැඳි රන්මාලය පැහැරගත් කාන්තාවන් තුන්දෙනෙකු (3) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ තුන්වන (3) එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා රන් මාලය පැළඳ සිටි කාන්තාව සිය සහෝදරිය සමඟ හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගමන් කරමින් සිටි බස් රථයේ පිටුපස එය පැහැරගත් කාන්තාවන් සිට ඇති බවයි.

කාන්තාව බස් රථයෙන් බසින අවස්ථාවේදී පසුපස දොරටුව අවහිර කරමින් රන් මාලය පැහැරගත් කාන්තාවන් තුන්දෙනා (3) පලායමින් සිටියදී හික්කඩුව පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් හලාවත සහ පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විස්ස, විසි එක සහ හතළිහ වයස්වල පසුවන අයයි.

මෙම සැකකාරියන් බස් රථවලට ගොඩවී රන් මාල පැහැරගන්නා කල්ලියක් බවට අනාවරණ වී ඇති බව සඳහන් ෴

***************************************

පොළොන්නරුවෙන් සහ අනුරාධපුරයෙන් වනඅලි සිද්ධි දෙකක් (2)

(13.02.2022 – 16:00 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – පහළ ඇල්ලේ වැව ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සිය නිවස ආසන්නයේ පැවති පුණ්‍ය කටයුත්තකට සහභාගි වී යළි ඊයේ (13) රාත්‍රියේ නිවසට පැමිණෙන අවස්ථාවේදී ඔහු මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 60 හැවිරිදි අයෙක්.

මේ අතර, එප්පාවල – කැළේගම ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටී වන අලියෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

එම ප්‍රදේශයේ නිතර සැරිසරන මෙම වන අලියා ප්‍රදේශවාසියෙකු විසින් ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙනුයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ෴

***************************************

අලුත් අවුරුද්දට සම්බා සහල් කිලෝවක් රුපියල් 125 කට

(13.02.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන අලුත් අවුරුදු සමයේ සිට සම්බා සහල් කිලෝවක් රුපියල් 125 ක මුදලකට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – උණවටුන ප්‍රදේශයේදී අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම උත්සව සමය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විශේෂ සහන රැසක් ද ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *