ජංගම දුරකථන අබ්බැහිය නිසා අනුරපුරය ම ඛේදවාචකයක ගිලෙයි

ජංගම දුරකථන අබ්බැහිය නිසා අනුරපුරය ම ඛේදවාචකයක ගිලෙයි

*********************************************

ජංගම දුරකථන අබ්බැහිය නිසා අනුරපුරය ම ඛේදවාචකයක ගිලෙයි

(13.02.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

ජංගම දුරකතන ක්‍රීඩාවේ යෙදීම සඳහා මවගේ ජංගම දූරකථනය තමන්ට ලබා නොදීමේ සිද්ධියකින් සිත්තැවුලට පත් අවුරුදු 12 ක පාසල් සිසුවෙකු දිවි හානිකර ගැනීමේ පුවතක් අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අනුරාධපුර නගරයේ පාසලක සිසුවෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ සිසුවාගේ පවුලේ ඥාතියෙකු කියා සිටියේ දිවි නසා ගැනීම සඳහා අදාළ සිසුවා එම ජංගම දූරකථන ක්‍රීඩාවල සඳහන් උපමාන භාවිත කර ඇති බවයි.

අන්තර්ජාල ක්‍රීඩාවලට ඇබ්බැහි වීම නිසා ජීවිත අවදානමට ලක් වූ දරුවන් පිළිබඳව පසුගිය කාලය තුළ නිරන්තරයෙන් අසන්නට ලැබුණා.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට වැඩිහිටියන්ට ගත හැකි පියවර පිළිබඳව අපට පැහැදිලි කිරීමක් කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් විසින් ද සිදු කරනු ලැබුවා.

***************************************

බලාගාර යළි අඩපණ වෙයි – ලයිටුත් කැපෙන ලකුණු

(13.02.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරයේ සිදු වූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (12) රාත්‍රියේ අක්‍රීය වුණා.

එසේම, ඊයේ (12) කැලණිතිස්ස සොජිට්ස් බලාගාරයේ ද ජනන කටයුතුද අත්හිටුවනු ලැබුවා.

වෙස්ට් කෝස්ට් බලාගාරයෙන් මෙගාවොට් 270 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කළ අතර, සොජිට්ස් බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 130 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කෙරුණා.

මෙලෙස බලාගාරය අක්‍රීය වීමත් සමඟ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට කෙටිකාලීනව විදුලිය විසන්ධිවීම් අපේක්ෂා කළ බවයි මහජන උපයෝගීතා කොමිසම ඊයේ (12) රාත්‍රියේ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ඊයේ (12) රාත්‍රියේම සොජිට්ස් බලාගාරය යළි පද්ධතියට එක් කෙරුණු අතර, කෙරවලපිටිය වෙස්ට් කෝස්ට් බලාගාරය තවදුරටත් අක්‍රීයව පවතිනවා.

සංස්ථා ඉන්ධන මිල වැඩි කරන්නෙ නෑ – ගම්මන්පිල

(13.02.2022 – 08:05 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර, ඒ සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්වීමේ සූදානමක් නොමැති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.

පවතින තත්ත්වය යටතේ මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරන සෑම ඩීසල් ලීටරයකින් රුපියල් 50 ක පාඩුවක් සහ පෙට්රල් ලීටරයකින් රුපියල් 16 ක පාඩුවක් ලබනවා.

ඒ හේතුවෙන් යළිත් ලබන සඳුඳා (20) ඉන්ධන මිල ඉහළ නැංවීමට අදාළ යෝජනාවක් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිලට ලබාදීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් පසුගිය 07 වැනිදාද ඔහු විසින් අමාත්‍යවරයාට ලබා දී තිබුණා.

මේ අතර රුසියාව සහ යුක්රේනය අතර යුද උණුසුමක් පැන නැගීම සහ ඇමරිකානු මධ්‍යම සංචිතය මගින් පොලී අනුපාත ඉහළ නැංවීමේ ප්‍රවණතාව හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 3.3 කින් පමණ ඉහළ ගිය අතර, එම මිල සටහන් වූයේ ඩොලර් 94.44 ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද සියයට 3.6 කින් පමණ ඉහළ ගොස් ඩොලර් 93.10 ක් ලෙස සටහන් වුණා.

ඛනිජ තෙල් මිල මේ වසරේ දී මේ වනවිට සියයට විස්සට (20%) වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

***************************************

මැතිවරණ කොමිසම සියලු පක්ෂ ලේකම්වරුන් කැඳවයි

(13.02.2022 – 08:43 +0530 – hirunews.lk/sinhala)

සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් ලබන 24 වනදා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

එහි සභාපති නිමල් පුංචිහේවා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ මේ වනවිට දැනුවත් කර ඇති බවයි.

මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කරන නව සංශෝධිත නීති මාලාවක් පිළිබඳව දේශපාලන පක්ෂ දැනුවත් කිරීමේ අරමුණින් මෙම කැඳවීම සිදු කර තිබෙනවා.

එහිදී අදාළ යෝජනා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වල අදහස් ලබා ගැනීම සහ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතයි.

මැතිවරණ නියමිත වේලාවට පැවැත්වීම, දේශපාලන පක්ෂ වල වගකීම හා කාර්යභාරය, සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිචි දේශපාලන පක්ෂ 79 ක් පවතින අතර ඉන් 06 ක් මේ වනවිට සක්‍රීයව කටයුතු නොකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙන බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු සුමිත් කොඩිකාර පෙරේදා කියා සිටියේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතුවලට අදාළ ක්‍ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වන බව යි.

ඒ හේතුවෙන් මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතුවලට බාධා මතුවිය හැකි බව ද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ප්‍රකාශ කළේ ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසඳුම් ලබා දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරියේ දී ග්‍රාම නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙනු ඇති බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් මෙතෙක් ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතුවලට කිසිදු බාධාවක් හටගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

සෞඛ්‍ය වර්ජනය අත්හිටුවීම ගැන අද (13) සාකච්ඡා

(13.02.2022 – 08:44 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර ඇති සේවක වර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද (13) දිනයේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක කාරක සභාව රැස්වනවා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවක වෘත්තීය ගැටලු විසඳීම සඳහා යම් කිසි කාල රාමුවක් තුළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අමාත්‍යාංශය නිරන්තර සූදානමක සිටින බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඊට අදාළව වෘත්තීය සමිති වෙත ලිඛිත දැනුම්දීමක් සිදු කිරීමට සැළසුම් කර ඇති බව ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

දින ගණනාවක් පුරා ක්‍රියාත්මක වුණු වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අසරණතාවකට පත් වූ අතර, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ඊයේ (12) වර්ජනයෙන් ඉවත් වන්නේ ඊට අදාළව ලබාදුන් අධිකරණ නියෝගයත් සමගයි.

එසේම, රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින් පෙරේදා (11) රාත්‍රියේ ගැසට් නිවේදනයක් ද නිකුත් කෙරුණා.

***************************************

පාස්කු ප්‍රහාර සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරියා පැදුරටත් නොකියා රටෙන් පලා යයි

(13.02.2022 – 09:45 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ප්‍රධාන විමර්ශන නිලධාරියා හොර රහසේ රටින් පලා ගොස් ඇති බව වාර්තා වනවා.

ඒ අනුව 2019 අප්‍රේල් මස 22 වැනි දින පාස්කු ඉරිදාවේ දී මෙරට ප්‍රධාන කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන කිහිපයක් සහ තරු පන්තියේ හෝටල් කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාවන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙය වූ ප්‍රධාන විමර්ශන නිලධාරියා මේ වන විට සිටින්නේ අමෙරිකාවේ බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ ජාතික ආරක්ෂක කවුන්සිලයට වාර්තා කර තිබෙනවා.

මෙම විමර්ශන ප්‍රධානියා මෑතකදී සහකාර පොලිස් අධිකාරී තනතුරක් සඳහා උසස්වීම් පවා ලැබූ පුද්ගලයකු බවටත් වාර්තා වනවා.

අදාළ විමර්ශන නිලධාරියා උසස්වීම් අපේක්ෂාවෙන් කොමිසම ඉදිරියේ තවත් ඔත්තුකරුවන් දෙදෙනකු (2) ලවා ව්‍යාජ සාක්ෂි ලබා දී ඇති බවත් බුද්ධි අංශ නිලධාරීන් මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

‘පාස්කු කොමිසම ඉදිරියේ ලබාදුන් එම ව්‍යාජ සාක්ෂි මත පදනම්ව’ (?) පාස්කු ප්‍රහාරයේ දී නම සඳහන් වූ ‘පුලස්තිනී මහේන්ද්‍රන්’ හෙවත් ‘සාරා ජෙස්මින්’ ඉන්දීය රෝ ඔත්තු සේවාවේ සහයෝගය මත මන්නාරමේ සිට බෝට්ටුවක් මගින් ඉන්දියාව වෙත පලා ගොස් ඇති බවත් වාර්තා වුණා. (?)

මෙම හෙළිදරව්වත් සමඟ පාස්කු විමර්ශන වෙනස් මගකට ප්‍රවිෂ්ට වූ අතර එම සාක්ෂි පදනම් කර ගනිමින් ‘සාරා ජෙස්මින්’ නමැත්තියට ඉන්දියාව වෙත පලා යාමට සහයෝගය දුන් බව පවසමින් මන්නාරම පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් පරීක්ෂක ‘අබු බකර්’ නැමැති නිලධාරියා අත්අඩංගුවට ගැණුනා.

මේ වන විටත් අදාළ නිධාරියා වසර දෙකකට (2) ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

පොලීසිය හා ත්‍රස්ත විමර්ශන අංශය කළ දීර්ඝ විමර්ශනයක දී අනාවරණය කරගෙන ඇත්තේ මෙම සියලු තොරතුරු ව්‍යාජ හා ගොතන ලද ඒවා බවයි.

පාස්කු විමර්ශන කොමිසම හමුවේ ඇසින් දුටු බවට සාක්ෂි ඉදිරිපත් කළ ඔත්තුකරුවන් දෙදෙනා (2) එම සිදුවීම සිදු වූ කාල සීමාව තුළදී සේවය කර ඇත්තේ වව්නියාව සහ නැගෙනහිර පළාතේ සිට බව මේ වන විට තහවුරු කරගෙන තිබෙනවා.

ඒ ඔවුන් භාවිත කළ ජංගම දූරකථන ජාල හරහා සිදු කළ විමර්ශනයකදී යි.

ඉන්පසුව අදාළ ඔත්තුකරුවන් දෙදෙනා (2) ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමක දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ ප්‍රධාන නිලධාරියාගේ වුවමනාවට මෙලෙස බොරු සාක්ෂි දුන් බව ඔවුන් පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පොලිස් පරීක්ෂක ‘අබුබකර්’ නමැති නිලධාරියා රක්ෂිත බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙස සහ ඔහුට ඇප ලබා දෙන ලෙස නීතිපතිවරයාට විමර්ශන අංශ විසින් කරුණු වාර්තා කර තිබෙනවා.

මෙම විමර්ශන අතරවාරයේදී යි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ ප්‍රධාන නිලධාරියා පොලිස් දෙපාර්තමේන්තුටත් නොදන්වා රටෙන් පලා ගොස් ඇත්තේ ෴

***************************************

දැලිවල – කොටවෙහෙර ධාතු මන්දිරය කැඩූ සැකකරුවන් අල්ලන්න මහජන සහාය පතයි

(13.02.2022 – 09:57 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන – දැලිවල කොටවෙහෙර ධාතු මන්දිරය කඩා වටිනා කරඬු රැසක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් ලබාදෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඊයේ (13) දින මෙලෙස අදාළ විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා දඹරන් කරඩුවක් (1), තවත් රන් කරඬු පහක් (5), පළිඟු කරඬු තුනක් (3) සහ ධාතුන් වහන්සේලා තැන්පත් කරන මංජුසාවක් (1) සොරාගෙන ගොස් තිබුණා ෴

***************************************

මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කළ ඉන්දීය ධීවරයින් 12 ක් නාවික හමුදා භාරයට

(13.02.2022 – 10:13 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ නිරතවූ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරම උතුරු මුහුදේ යාත්‍රා දෙකකින් (2) ධීවර කටයුතුවල නිරතවෙමින් සිටියදී ඊයේ (12) රාත්‍රියේ ඔවුන් නාවික හමුදා භාරයට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ.

එම ධීවරයින් මේ වනවිට තලෙයිමන්නාරමට රැගෙන විත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

මෙරට සිසුන්ට විදේශීය භාෂා 10 ක් ඉගැන්වීමේ වැඩසටහනක්

(13.02.2022 – 10:22 +0530 – hirunews.lk/sinhala)

වී-භාෂා යන තේමාව ඔස්සේ මෙරට සිසුන්ට විදේශීය භාෂා 10 ක් ඉගැන්වීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව කාන්තා හා ළමා හා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ යටතේ ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, ඉතාලි, හින්දි, චීන, ජපන්, රුසියානු හා අරාබි යන භාෂා හැදෑරීමේ හැකියාව සිසුන්ට හිමිවන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ වැඩසටහන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන ආරම්භ කිරීමට නියමිතයි.

ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයක් සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සම්බන්ධයෙන් දිවයින පුරා පාසල්වල විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා ෴

***************************************

රටට ම ගංජා බෙදන ‘ආප්ප සුද්දා’ගේ තවත් කෛරාටික වැඩක් මාට්ටු

(13.02.2022 – 10:41 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණයෙන් ගංජා හේන් පවත්වාගෙන යන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ‘තණමල්විල ආප්ප සුද්දා’ නමැත්තාගේ තවත් ගංජා හේනක් ඊයේ (12) වටලා තිබෙනවා.

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මෙලෙස වටලා ඇත්තේ යාල රක්ෂිතයේ පවත්වාගෙන ගිය ගංජා හේනක්.

එහිදී සැකකරුවන් අටදෙනෙකු (8) විදේශ රටක නිෂ්පාදිත ගිනිඅවි 3 ක් සමඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘ආප්ප සුද්දා’ නැමැත්තා දැනට මත්ද්‍රව්‍ය සහ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගතව සිටින තැනැත්තෙක්.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී බන්ධනාගාරගතව සිටින විට ඔහු විසින් මෙහෙයවා වගා කරන ලද මහා පරිමාණ ගංජා හේන් වැටලීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය පියවර ගෙන තිබුණා.

මේ අතර බදුල්ල – කහටරුප්ප – තැන්නහේන ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබෙනවා.

ගංජා වගාවක් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වැටලීමට ගිය අවස්ථාවේ මොහු මෙම අනතුරට මුහුණපා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *