ජනතා පොරොන්දු ඉටු කරන්න අභියෝගයේ ස්වභාවය වැදගත් නැහැ – ජනපති

ජනතා පොරොන්දු ඉටු කරන්න අභියෝගයේ ස්වභාවය වැදගත් නැහැ – ජනපති

*********************************************

ජනතා පොරොන්දු ඉටු කරන්න අභියෝගයේ ස්වභාවය වැදගත් නැහැ – ජනපති

(12.02.2022 – 20:21 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට දුන් පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීයවේදීන් සමග කෙරෙන සම්මන්ත්‍රණ මාලාවේ පළමු සාකච්ඡා වටය ඊයේ (11) ජනාධිපති මන්දිරයේදී පැවති අතර ඊයේ (11) එක්වෙමිනුයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ බව කියා සිටියේ.

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකරන අසත්‍ය මතවාද තරයේ ප්‍රතික්ෂේප කරන බව එම සාකච්ඡාවට එක්වූ වෘත්තීයවේදීන් සඳහන් කර තිබෙනවා.

කෘෂිකර්මාන්තයේ නව ප්‍රවේශයට එම ක්ෂේත්‍රවල පූර්ණ කාලීනව නියැලී සිටින පර්යේෂකයන්ගේ සහ ව්‍යවසායකයන්ගේ සහාය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බවයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එහිදී සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් විද්වතුන් ඊට පවතින බාධා ඉවත් කර ගැනීමට කොන්දේසි විරහිතව රජයට සහාය පළ කරන බවට අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

***************************************

කලකට පසු කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට තද වැසි

(12.02.2022 – 20:23 +0530 – hirunews.lk/sinhala)

මාස දෙකකට (2) ආසන්න කාලයක් දැඩි උණුසුම් කාලගුණයක් පැවති කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද (12) පස්වරුවේ තද වැසි ඇද හැලුණා.

අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ ගාල්ල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසකින් ද තද වැසි වාර්තා වූ බවයි.

අද (12) දිනයේ මේ දක්වා වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවරින් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර් 113.5 ක් ලෙසයි සටහන් වුණේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් මිලිමීටර් 110 ක වැසි වාර්තා වී තිබෙනවා.

මේ අතර, උතුර, උතුරුමැද, නැනෙනහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අද (12) පස්වරුවේ තවදුරටත් මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලට ද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

සෞදියේදී ගෑස් අනතුරකින් මියගිය ලාංකික ශ්‍රමිකයන් තිදෙනා (3) ගෙන් එක් (1) අයෙකුගේ සිරුර දිවයිනට

(12.02.2022 – 20:31 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබියේ දමාම් නුවර දී ගෑස් අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තුන්දෙනා (3) ගෙන් එක් අයෙකුගේ දේහය අද (12) මෙරටට ගෙන්වීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය සඳහන් කලේ මිය ගිය සෙසු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා (2) සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිව රැකියා සඳහා සෞදි අරාබියට ගොස් සිටියදී ගෑස් අනතුරකින් ඔවුන් මිය ගියේ පසුගිය ජනවාරි 27 වනදායි.

පෞද්ගලික කටයුත්තක නියැලෙමින් සිටියදී ඔවුන් එම අනතුරට ලක්ව ඇති බවටයි මේ වනවිට අනාවරණය වී ඇත්තේ.

මේ අතර සෞදි අරාබියේ අභා ගුවන් තොටුපල අසළ ඊයේ (11) සිදු වූ ඩ්‍රෝන අනතුරින් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම පිළිබඳව තානාපති කාර්යාල සම්බන්ධ කර ගනිමින් අඛණ්ඩව සොයා බැලෙන බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළා ෴

***************************************

කොළඹ ප්‍රධාන මාර්ගයක නැවත දැනුම්දෙන තුරු ගමනාගමනය සීමා කෙරේ

(12.02.2022 – 22:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – හොරණ මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු නිසා, හෙට (13) සිට නැවත දැනුම්දෙන තුරු මාර්ගයේ ගමනාගමනය සීමා කර තිබෙනවා.

ඒ අනුව හෙට (13) උදෑසන 6 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.

අදාළ මාර්ගයේ සංවර්ධන කටයුතු හෙට (13) දිනයේ සිට ආරම්භ කරන බවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ විසින් පොලිස් මූලස්ථානය වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොළඹ දෙසට මංතීරු දෙකක් (2) සහ හොරණ දෙසට මංතීරු එකක් (1) ද, සවස 3 සිට පසුදා (14) උදෑසන 6 තෙක් කොළඹ දෙසට මංතීරු එකක් (1) සහ හොරණ දෙසට මංතීරු දෙකක් (2) ද වශයෙන් වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

එමෙන්ම, උදෑසන 6 සිට උදෑසන 9 තෙක් සහ සවස 4 සිට රාත්‍රී 8 දක්වා මගී බස් රථ හැර සියලුම බර වාහන පාලම මතින් ගමනාගමනය නවත්වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

මේ සඳහා විකල්ප මාර්ග ද හඳුන්වා දී ඇති අතර, හොරණ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පිළියන්දල – කටුබැද්ද හරහා ගාලු පාරට පැමිණ කොළඹ දෙසට ගමන් කළ හැකියි.

හොරණ සිට වේරහැර දක්වා ගමන් කරන වාහන ගාලු පාර ඔස්සේ රත්මලාන – බොරුපන මාර්ගය හරහා වේරහැර වෙත පැමිණිය හැකි අතර, කොළඹ දෙස සිට හොරණට ගමන් කරන වාහන බොරලැස්ගමුව සිට මහරගමට පැමිණ මහරගම සිට පිළියන්දල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

12 ට අඩු දරුවන්ට කොවිඩ් එන්නත ලබාදීමේ සූදානමක්

(12.02.2022 – 08:00 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට අදාළ නිර්දේශ එළඹෙන සතියේදී ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 1259 ක් ඊයේ (11) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,25,804 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,754 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (11) වාර්තා වූ කොරෝනා මරණ 31 ත් සමගයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පුරවැසියන් සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කිරීමටත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමටත් කටයුතු කළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.

මේ අතර වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමට අදාළ නිර්දේශ ලබා දෙන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ එම නිර්දේශ ලබන සතියේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ෴

++++++++++++++

ගෝලීය වසංගතයේ දරුණු තත්ත්වය ගැන WHO වෙතින් ප්‍රකාශයක්

(12.02.2022 – 09:14 +0530 – hirunews.lk/sinhala)

ලෝක ජනගහනයෙන් සියයට 70 ක් පමණ එන්නත්කරණය ලැබුවහොත් මේ වසරේ මැද භාගය වනවිට කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ උග්‍ර තත්ත්වය පහව යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා.

මේ අතර, මෙරට සියයට 60 ක ප්‍රමාණයක් එන්තත්කරණය කිරීමේ ඉලක්කය කරා යාම තම ඉලක්කය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, මෙතෙක් කොරෝනා එන්නත් ලබා නොගත් දරුවන් හෝ වැඩිහිටියන් ළගම පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත ගොස් එන්නත ලබාගන්නා ලෙසයි කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ ඉල්ලා සිටියේ.

ඊයේ (11) දිනයේදී මෙරට බූස්ටර් මාත්‍රාව පුද්ගලයින් 48,091 ක් ලබාගෙන ඇති අතර, මේ වනවිට මෙරට තුළ බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 60,48,537 ක් බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

මේ අතර යුද හමුදාව මගින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ කොරෝනා පළවන (1), දෙවන (2) සහ තුන්වන (3) මාත්‍රා ලබාදීම තවදුරටත් සිදු කරන අතර, දිස්ත්‍රික්ක විස්සක (20) එන්නත්කරණ මධ්‍යස්ථාන සහ ජංගම මධ්‍යස්ථාන මගින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම සිදු කෙරෙනු ඇති.

මේ අතර වසර මැද භාගයේදි කොරෝනා වෛරසයේ උග්‍ර තත්ත්වය පහ කිරීමට නම් එය සියල්ලන් අත පවතින වගකීමක් මෙන්ම තේරීමක් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර දී කියා සිටියේ.

ඉලක්කගත සියයට හැත්තෑවක (70%) එන්නත්කරණය ජූනි හෝ ජූලි මාස වනවිට ළඟා කර ගැනීමට අපේක්ෂා කරන අතර, එසේ වුවහොත් වසංගතයේ දරුණු තත්වය සැබවින්ම අවසන් කළ හැකිවනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූයේ මොඩර්නා එම්.ආර්.එන්.ඒ. තාක්ෂණ ක්‍රමවේදය යොදාගනිමින් දකුණු අප්‍රිකාව නිපදවූ කොරෝනා එන්නත නිරීක්ෂණයටයි.

ගබඩා කිරීමේ දුෂ්කරතා අවම මිල අඩු එන්නතක් ලෙස එය වඩාත් යෝග්‍යවන බව ඔහු සඳහන් කළා. දකුණු අප්‍රිකානු ඇෆ්‍රිජන්, කොරෝනා එන්නත නොවැම්බරයේදී සායනික පරීක්ෂණ සඳහා ඉදිරිපත් කෙරෙන අතර, 2024 වසරේ දී ඊට අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂිතයි.

මේ වනවිට අප්‍රිකානු ජනගහනයෙන් කොරෝනා එන්නත්කරණය ලබා ඇත්තේ සියයට 11 ක් පමණක් වන අතර, එහි සියයට හැත්තෑවේ (70%) ඉලක්කය වෙත ළඟාවීමට එන්නත්කරණ වේගය හය (6) ගුණයකින් ඉහළ නැංවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කළා ෴

+++++++++++++++

කොරෝනා වෛරසය ආසාදිතයින්ගෙන් අනාවරණ වූ නවතම හෙළිදරව්ව

(12.02.2022 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් දෛනිකව වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් 150 – 200 ත් අතර ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුළත් කෙරෙන අතර, සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ, ඒ කිසිවෙකුත් තෙවැනි (3) මාත්‍රාව ලබා නොගත් පිරිස වන බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ පවසනවා.

මෙම රෝගීන්ගෙන් සංකූලතා වැඩි වශයෙන් පෙන්නුම් කරන අතර, මේ වනවිට ශීඝ්‍රයෙන් පැතිරෙන ඔමික්‍රොන් හේතුවෙන් හමුවන රෝගීන්ගෙන් 80% ක් පමණ නව වෛරසයට ගොදුරු වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි වෛද්‍ය දිලීප් ප්‍රකාශ කළේ.

සෙසු රෝගීන් 20% දෙනා ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වූවන් බව ද හෙතෙම සඳහන් කරනවා.

කුමන ප්‍රභේදය සමාජගත වුව ද ඊට කළ හැකි විධිමත් ප්‍රතිකර්මය වන්නේ නිසි අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැඳ පූර්ණ එන්නත්කරණයට ලක් වීම බව විශේෂඥ වෛද්‍ය දිලීප් වැඩිදුරටත් පවසනවා.

මේ වනවිට දුර්මතයක් ව පවතින කල් ඉකුත් වූ එන්නත් පුද්ගලයින් හට ලබාදීම යන චෝදනාව සෞඛ්‍ය අංශ වශයෙන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර, අතිරික්ත එන්නත් තොගයේ කල් පිරීම ද ලබන වසර තෙක් පවතින බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

පසුගිය සතියක කාලය තුළ මෙරට කොවිඩ් මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව පෙරදාට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බැවින් මේ වනවිට බොහෝ පිරිසක් පෙරට වඩා උනන්දුවෙන් බූස්ටර් එන්නතට යොමු වන බව දක්නට ලැබීම ද ඉතාමත් වගකීම්සහගත අයුරින් ක්‍රියාකිරීමක් බව වෛද්‍ය දීපාල් අවධාරණය කළා.

+++++++++++++++

කොරෝනා ආසාදිතයින් 390 ක් පූර්ණ සුවයට

(12.02.2022 – 15:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 390 දෙනෙකු අද (12) දිනයේ දී සුවය ලබා තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,94,738 දක්වා ඉහළ ගියා.

කෙසේවෙතත් , වෛරසය ආසාදනය වීමෙන් මෙරටට අහිමි වූ පුද්ගල ජීවිත සංඛ්‍යාව ද 15,754 ක් වන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15,312 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

+++++++++++++++

කොරෝනා මරණ 23 ක්

(12.02.2022 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත ව සිදු වූ පුද්ගල මරණ 23 ක් ඊයේ (11) දිනයේ දී තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,777 ක්.

කෙසේවෙතත් වෛරසය ආසාදිත ව තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15,312 ක් වන අතර, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,94,738 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා ෴

+++++++++++++++

දෛනික ආසාදිතයින් අදත් (12) දහස (1000) ඉක්මවයි

(12.02.2022 – 20:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1162 දෙදෙනකු අද (12) දිනයේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 626,966 ක්.

අද (12) දිනට මෙරටින් කොරෝනා මරණ 23 ක් වාර්තා වන අතර, සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 15,777 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් වෛරසය ආසාදනය වී තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 16,451 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

***************************************

2022 ජූනි කරළියට එන සැබෑ දියසෙන් ගැන හෝමාගම වික්‍රමආරච්චි වෙදමහතා ප්‍රථම වරට හෙළි කරයි (13.02.2022)

https://www.youtube.com/watch?v=c0-pC5gwD4Y

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *