විපක්ෂයේ ඒකාබද්ධ සන්ධානයෙන් රටේ නොපෙනෙන පැතිකඩක් එළියට ඇද ගනියි

විපක්ෂයේ ඒකාබද්ධ සන්ධානයෙන් රටේ නොපෙනෙන පැතිකඩක් එළියට ඇද ගනියි

*********************************************

විපක්ෂයේ ඒකාබද්ධ සන්ධානයෙන් රටේ නොපෙනෙන පැතිකඩක් එළියට ඇද ගනියි

(12.02.2022 – 16:06 +0530 – hirunews.lk/sinhala)

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාදීමට රජය වහාම කටයුතු කළ යුතු බව සඳහන් කරමින් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් ඉල්ලා ඇත්තේ පවතින තත්ත්වයට විසඳුමක් ලෙස රාජ්‍ය ණය ගෙවීම් ප්‍රතිව්‍යූහ ගත කිරීමට පියවර ගන්නා ලෙසයි.

ණය වාරික ගෙවීම කල් දැමීම හරහා විදේශ විනිමය ගැටලුව විසඳා ගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබෙනවා.

කොළඹ දී රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කළ බවයි ඊට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පැවසුවේ.

මෙම ඒකාබද්ධ නිවේදනයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මෙන්ම දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන් හා ශාණක්‍යන් රාසමානික්කම් සහ දෙමල ප්‍රගතිශිලි සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අත්සන් තබා තිබෙනවා.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් රවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්.

එමෙන්ම, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ලංකා සම සමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ ද ඊට අත්සන් තබා තිබීම විශේෂත්වයක්. හිටපු කථානායක කරු ජයසූරිය ද එම නිවේදනයට අත්සන් තැබූවන් අතර වනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ද අදාළ සර්ව පාක්ෂික සාකච්ඡාවට සහභාගි වී ඇතත්, ඔවුන් ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා නැහැ.

***************************************

දකුණෙන් මතු වූ මෝටාර් බෝම්බය

(12.02.2022 – 17:48 +0530 – hirunews.lk/sinhala)

මාතර – සුල්තානාගොඩ පොලිස් වසමේ මාදුරුදූව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක ගඩොල් ගොඩක තිබී මෝටාර් බෝම්බයක් සොයාගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසනවා.

එම නිවස අලුත්වැඩියා කටයුතු සිදු කරමින් සිටි පෙදරේරුවෙකු විසින් මෙම මෝටාර් බෝම්බය ගඩොල් ගොඩක තිබියදී දැක පසුව පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සොයාගත් මෝටාර් බෝම්බය මිලිමීටර් 81 ජීව මෝටාර් බෝම්බයක් බවට හඳුනාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් මාතර අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත පොලිස් විශේෂ කාර්යය බලකා හියාරේ කඳවුරේ නිලධාරී කණ්ඩායමක් පැමිණ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කළා.

ඒ උනැල්ල – පොත්දූව නමැති පාළු ප්‍රදේශයකදී අද (12) පස්වරුවේදී අදාළ මෝටාර් බෝම්බය විනාශ කර දැමීමට පියවර ගැනුණා.

කිසියම් පුද්ගලයෙකු විසින් අපරාධයක් සිදු කිරීම සඳහා මෙම මෝටාර් බෝම්බය මෙම ස්ථානයට ගෙනත් තැබුවා ද යන්න සෙවීමට මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

***************************************

සෞඛ්‍ය වර්ජනයට වහාම ජනපති මැදිහත් විය යුතුයි – මන්ත්‍රී රාජිත

(12.02.2022 – 17:56 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යවරයාට හටගෙන ඇති හෙද සේවක වර්ජන ගැටලුවට විසඳුම් ලබාදීමට නොහැකි නම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැමිණ අදාළ අර්බුද සඳහා වහාම විසඳුම් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

මේ වනවිටත් අධිකරණ නියෝග හමුවේ වුව ද නොනැවතී ඉදිරියට යන වර්ජනය හේතුවෙන් රෝගීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති අතර, එහි වගකීම පාලකයන් ගත යුතු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එමෙන්ම මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් මහජනතාව සාමාන්‍යයෙන් අධිකරණය වෙත පැමිණිලි කෙරෙන අතර, නමුත් මෙවර එහි අනිත් පැත්ත සිදුව ඇති බව ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් උසාවි ගොස් ඇත්තේ නීතිපතිවරයා බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

කම්කරු ප්‍රඥප්තියේ ඇති ආකාරයට මෙවැනි උද්ඝෝෂණ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹිය නොහැකි බව ද මන්ත්‍රී රාජිත ප්‍රකාශ කළා.

***************************************

සිහිසුන්ව සිටි වනඅලි පැටවෙකු වැලිකන්දෙන් සොයා ගැනේ

(12.02.2022 – 18:09 +0530 – hirunews.lk/sinhala)

මනම්පිටිය – වැලිකන්ද විල අලිමංකඩ ප්‍රදේශයේ අතරමංව සිටි වනඅලි පැටියෙකු සොයා ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

වැලිකන්ද වනජීවී නිලධාරීන් අලි පැටවා සොයා ගන්නා අවස්ථාවේ දී එම සත්ත්වයා සිහිසුන්ව වැටී සිටි බවයි වාර්තා වන්නේ.

සිහිසුන්ව සිටි වන අලි පැටවා ප්‍රතිකාර සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

මෙලෙස බිම වැටී සිටි වන අලි පැටවා දින හතක් (7) පමණ වයසැති පිරිමි සත්ත්වයෙකු වන අතරම, ප්‍රතිකාර සඳහා රැගෙන යාමේ දී වනජීවී නිලධාරීන් විසින් අලි පැටවා වඩාගනිමින්, කරමත තබා රැගෙන යන ආකාරය ද දක්නට ලැබෙනවා.

+++++

***************************************

හෙද නිලධාරින් අඩියක් පස්සට ගනියි

(12.02.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද (12) හයවැනි (6) දිනටත් ක්‍රියාත්මක වූ අතර අදත් (12) රෝගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත් වුණා.

ඒ, රෝගී සත්කාරක සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් මෙන්ම වර්ජනය අත්හිටුවන ලෙස අධිකරණ නියෝගයක් ද නිකුත් කර ඇති පසුබිමකයි.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18 ක් ආරම්භ කළ වැඩ වර්ජනයෙන් ‘රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය’ ඉවත් වී තිබෙනවා.

එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පැවසුවේ වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වූ තම පාර්ශ්වය පමණක් තාවකාලිකව වර්ජනයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

හෙද , පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18 ක් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 07 වැනිදා සිටයි.

ඒ වැටුප් විෂමතාව ඉවත්කරගැනීම ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින්.

මේ අතර සෞඛ්‍ය සේවය අඩාලවන ලෙස සිදු කරන වැඩ වර්ජන අත්හිටුවන ලෙස කොළඹ දිසා අධිකරණය පෙරේදා (10) වාරණ නියෝගයක් නිකුත් කළ අතර එයද නොසළකමින් වර්ජනය අඛණ්ඩව 6 වැනි දිනටත් ක්‍රියාත්මක වුණා.

සිය ඉල්ලීම් ලබා දෙන ලෙස ඉල්ලමින් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය විරෝධතා පා ගමනක් ද සංවිධාන කර තිබුණා.

මේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කරමින් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ද මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණා.

මේ අතර වර්ජනයෙන් රෝගී ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා රජයේ රෝහල්වලින් නිකුත් කරන ඖෂධ තුණ්ඩු සඳහා දිවයින පුරා රාජ්‍ය ඔසුසල්වලින් නොමිලේ බෙහෙත් නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (11) පැවසුව ද නියමිත ඖෂධ නොලැබුණු රෝගීන් අදත් (12) කොළඹ පුරහල රාජ්‍ය ඔසුසල අසල පෝලිම්වල සිටිනු දක්නට ලැබුණා.

වර්ජනය හේතුවෙන් සියළුම රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සායනික සහ බාහිර රෝගීන්ට ඖෂධ සැපයීම , රසායනාගාර පරික්ෂණ , විකිරණ පරික්ෂණ , වාට්ටු සහ ඒකකවල රෝගී සත්කාරක සේවා සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සේවා අඩපණ වූ අතර ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩී පීඩාවට පත් වුණා.

***************************************

යළි විදුලි කප්පාදුවක් ?

(12.02.2022 – 20:06 +0530 – hirunews.lk/sinhala)

මෙගාවොට් 270 ක් නිපදවන කෙරවළපිටිය බටහිර බලාගාරයේ බිඳ වැටීමක් සිදුව තිබෙනවා. ඒ අද (12) රාත්‍රියේදී යි.

බිඳ වැටීමකට ලක් වූ සොජිට් බලාගාරය යළි පද්ධතියට සම්බන්ධ කිරීමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතිනවා.

ඇතැම් ප්‍රදේශවල මේ හේතුවෙන් කෙටි කාලීන විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *