වී ගොවීන්ට සහයවීමට සෑම දිස්ත්‍රික් කමිටුවකටම හමුදා නිලධාරියෙක්

වී ගොවීන්ට සහයවීමට සෑම දිස්ත්‍රික් කමිටුවකටම හමුදා නිලධාරියෙක්

*********************************************

වී ගොවීන්ට සහයවීමට සෑම දිස්ත්‍රික් කමිටුවකටම හමුදා නිලධාරියෙක්

(12.02.2022 – 13:34 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ දී වී ගොවීන්ට සහය ලබාදීමේ අරමුණින් සෑම දිස්ත්‍රික් කමිටුවක්ම නියෝජනය කරන පරිදි හමුදා නිලධාරියෙකු යෙදවීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු සඳහන් කළේ ලබන මාර්තු සිට සැප්තැම්බර් දක්වා යල කන්නයේ වී ගොවීන්ගේ වගා කටයුතුවලට උපරිම සහය දැක්වීම සහ ඉන් නිසි අස්වැන්නක් ලබාගැනීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

ඒ අනුව ගොවිජන සේවා මධ්‍යස්ථාන සහ දිස්ත්‍රික් කමිටු නියෝජනය කරන පරිදි එහි සම්බන්ධීකරණ කටයුතු සඳහා මෙලෙස හමුදා නිලධාරීන් සෑම දිස්ත්‍රික්කයකටම යෙදවීමට නියමිතයි.

ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (11) දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

මේ අතර රජයේ මුදල් කෝටි ගණනක් වැය කර ඉදිකරනු ලැබූ සතොස ආයතනයට අයත් හිඟුරක්ගොඩ කැකුළු සහල් නිෂ්පාදනාගාරයක් ප්‍රයෝජනයක් නොගෙන විනාශවීමේ අවදානමකට ලක්ව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

1998 වසරේ මෙම හිඟුරක්ගොඩ පිහිටි සතොස වී ගබඩා සංකීර්ණය කැකුළු සහල් නිෂ්පාදනය සඳහා නව යන්ත්‍ර සවි කර ආරම්භ කරනු ලැබුවා.

මෙම වී ගබඩා සංකීර්ණය රජයට අයත් වී ගබඩා සංකීර්ණවලින් දෙවන (2) විශාලතම වී ගබඩා සංකීර්ණයයි.

මේ වනවිට එහි නිෂ්පාදන කටයුතු නවතා දමා ඇත්තේ යන්ත්‍ර සූත්‍ර දිරායාමට ලක්වීම හේතුවෙන්.

මෙහි වී කිලෝ එක්කෝටි විසි ලක්ෂයක් (1,20,00,000) ගබඩා කළ හැකියි.

***************************************

ටිපර් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටී මහමග අනතුරක් – තිදෙනකු (3) රෝහලට

(12.02.2022 – 11:27 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දී අද (12) පෙරවරුවේ රිය අනතුරක් සිදුව තිදෙනකු (3) තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ හබරණ – හිරිවඩුන්න ප්‍රදේශයේ දී යි.

ටිපර් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති අතර, එම අනතුරෙන් යුද හමුදා සෙබලෙකු තුවාල ලබා තිබෙනවා.

දඹුල්ල දෙසින් හබරණ දෙසට එක් ටිපර් රථයක් ධාවනය වෙමින් තිබියදී, අනෙක් ටිපර් රථය හබරණ සිට දඹුල්ල දෙසටයි ධාවනය වී ඇත්තේ.

අනතුරෙන් ටිපර් රථ දෙකටම (2) දැඩි හානි සිදු වුණා.

කෙසේවෙතත් අනතුරින් තුවාල ලැබූ ටිපර් රථ රියදුරන් දෙදෙනා (2) සහ ඉන් එක් (1) ටිපර් රථයක නිවාඩු අවසන් කර යළි කඳවුර බලා යන යුද හමුදා සෙබලෙකු (1) ද සිට ඇති අතර , ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම අනතුරෙන් හබරණ – දඹුල්ල මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වූ අතර, දඹුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

+++++

***************************************

අර්ථසාධක අරමුදල රැක ගැනීම වෙනුවෙනුත් අරගල ඇරඹෙන ලකුණු

(12.02.2022 – 13:48 +0530 – hirunews.lk/sinhala)

සේවක අර්ථසාධක අරමුදලෙන් බදු අයකර ගැනීමේ සූදානමට එරෙහිව අඛණ්ඩව අරගලයක නිරතවන බව පොදු දේපොළ හා මානව අයිතීන් සුරැකීමේ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජිතයින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේබව සඳහන් කළා.

තම ශ්‍රමය සූරාකමින් ආණ්ඩුව මෙලෙස ජීවිතය කාලය පුරා දුක්විඳ මහන්සියෙන් උපයා ගත් මුදල්වලට ද බදු පනවා කොල්ලකෑමට උත්සාහ දරන බව ද මෙම සංගමය චෝදනා කළා.

***************************************

සංවර්ධනය හීනයක් වූ මිනුවන්දෙණිය පාලම

(12.02.2022 – 13:52 +0530 – hirunews.lk/sinhala)

යටිතල පහසුකම් සංවර්ධනය නගරයට මෙන්ම ගමටත් එක සේ ලැබෙන බව පැවසුණ ද, මෙතෙක් බලධාරීන්ගේ ඇස නොගැටුණු ග්‍රාමීය මාර්ග
මෙන්ම පාලම් ද බොහෝ විට දක්නට ලැබෙනවා.

අත්වැටක් නොමැති දිරාපත්ව තිබෙන පාලමක් භාවිත කිරීමට සිදුවීම හේතුවෙන් අවදානම් සහගතව දිවිගෙවන ගම්වැසියන් පිරිසක් පිළිබඳව
අපට වාර්තා වුණේ ගාල්ල – කරාගොඩ ප්‍රදේශයෙන්.

මේ ගාල්ල – කරාගොඩ – කනංකේ මාර්ගයේ රසදොළ හරහා ඉදිකර ඇති ‘මිනුවන්දෙණිය’ පාලමයි.

වසර 70 කට පමණ පෙර ඉදිකර ඇති මෙම පාලම මේ වනවිට ඉතාම අබලන් තත්ත්වයට පත්ව තිබෙනවා.

කෘෂි කර්මාන්තය කේන්ද්‍ර කර ගනිමින් දිවිගෙවන ගම්මාන කිහිපයක ජනතාව තම භවභෝග නගරයට ගෙන යෑමට භාවිත කරන්නේ ද මෙම පාලමයි.

දෛනිකව වාහන 200 – 300 ක් පමණ මෙම පාලම මතින් ගමන් කරන අතර, පාලම දිරාපත්ව පැවතීම හේතුවෙන්ම ගම්මානයේ පිහිටි ගල්කොරියක් ද මේ වනවිට තාවකාලිකව වසා ඇති බවයි ගම්වාසීන් පවසන්නේ.

පාලමේ අත්වැට කලකට පෙර කැඩී ගොස් තිබූ හෙයින් ගම්වැසියන් එක්ව උණගස් යොදා තාවකාලික අත්වැටක් සකස් කළ ද එය ද මේ වනවිට කැඩී ගොස් තිබෙනවා.

මේ වනවිට අබලන්ව ඇති පාලම යම් හෙයකින් කැඩී ගියහොත් ඇල්ල ඉහළ, උඩුවැල්ල, මිනුවන්දෙණිය ඇතුළු ගම්මාන රැසක ජනතාවට දැඩි අසීරුතාවලට මුහුණ දීමට සිදුවනවා.

දිරාපත් වූ මිනුවන්දෙණිය පාලම නිසා මිනිස් ජීවිතයකින් වන්දි ගෙවීමට පෙරාතුව කඩිනමින් මෙම ගැටලුව විසඳීම බලධාරීන් සතු වගකීමක්.

***************************************

වගා ජලය බෙදාගත නොහැකි ගොවි අරගලය

(12.02.2022 – 13:56 +0530 – hirunews.lk/sinhala)

ඌව පරණගම – කළුගමුව වැවේ, ජලය අක්කර 100 ක පමණ වගා කටයුතු සඳහා භාවිත කෙරෙන අතර, ප්‍රදේශයේ පානීය ජල ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක වන්නේ කළුගමුව වැවේ ජලය භාවිත කරමින්.

කෙසේවෙතත් ඌව පරණගම ප්‍රාදේශීය සභාව මඟින් පානීය ජල ධාරිතාවය ඉහළ නැංවීමට එරෙහිව ප්‍රදේශවාසීන් විරෝධය පළකළේ සිය වගා අවශ්‍යතා සඳහා පවා වැවේ ජලය හිඟව තිබියදීත් මෙලෙස පානීය ජලය සඳහා වැඩි සැපයුමක් යොමුකිරීම සාධාරණ නොවන බවයි.

***************************************

කොටවෙහෙර රජ මහා විහාරයේ පෞරාණික කරඬු 8 ක් සොරාගැනේ

(12.02.2022 – 13:58 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන – කොටවෙහෙර රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ පෞරාණික රන් කරඬු 5 ක් සහ පළිඟු කරඬු 3 ක් සොරකම් කර තිබෙනවා.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ ඊයේ (11) රාත්‍රියේ විහාරයට පැමිණි සොරුන් පිරිසක් ඒවා පැහැර ගන්නට ඇතැයි සැක කරන බවයි.

මෙලෙස සොරා ගෙන ඇත්තේ දැදිගම – කොටවෙහෙර පුරාවිද්‍යාත්මක භූමියේ සිදුකල කැනීම්වලදී සොයා ගැණුනු ඉතා වටිනා කරඬු බව ද ඔහු සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර විමර්ශන සඳහා පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානයට යොමු කර තිබෙනවා.

***************************************

බඩල්ගම දී මියගිය දරුවාට කොරෝනා ආසාදිත බව හෙළි වෙයි

(12.02.2022 – 15:35 +0530 – hirunews.lk/sinhala)

දෙමව්පියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මීගමුව – බඩල්ගම – ආඬිමුල්ල ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත් වූ පිරිමි දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබෙනවා.

ඖෂධ ලබා නොදී අසනීප තත්ත්වයෙන් පෙළුණු මෙම දරුවාට සුවය පතා දෙමව්පියන් යාඥා කරමින් සිටිය දී දරුවා මියගොස් තිබූ අතර, දින දෙකක් (2) යනතුරු ඒ බව ඔවුන් කිසිවෙකුටත් හෙළි කර තිබුණේ නැහැ.

එසේම දරුවා මියගිය පසුත් ඔවුන් යාඥා කරමින් සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය අනාවරණ වීමෙන් පසු දරුවාගේ මව, පියා සහ මිත්තණිය අත්අඩංගුවට ගැනුණු අතර,පසුව මව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

***************************************

ගංජා වැටලීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකුට වෙඩි වැදෙයි

(12.02.2022 – 16:57 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – කහටරුප්ප – හෙට්ටියගල ප්‍රදේශයේ ගංජා හේනක් වැටලීමට ගිය බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයෙකු බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා තිබෙනවා.

ඔහු බදුල්ල පලාත්බද මහරෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පාදයට තුවාල සිදුව ඇතත් තත්ත්වය බරපතළ නොවන බවයි පොලීසිය සඳහන් කළේ.

තුවක්කුව බැඳ තිබූ ඉඩමේ හිමිකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *