සෞඛ්‍ය සේවක වර්ජනය : රජයේ රෝහල්වලින් නිකුත් කරන ඖෂධ වට්ටෝරු සඳහා රාජ්‍ය ඔසුසල් වලින් නොමිලේ බෙහෙත්

සෞඛ්‍ය සේවක වර්ජනය : රජයේ රෝහල්වලින් නිකුත් කරන ඖෂධ වට්ටෝරු සඳහා රාජ්‍ය ඔසුසල් වලින් නොමිලේ බෙහෙත්

*********************************************

සෞඛ්‍ය සේවක වර්ජනය : රජයේ රෝහල්වලින් නිකුත් කරන ඖෂධ වට්ටෝරු සඳහා රාජ්‍ය ඔසුසල් වලින් නොමිලේ බෙහෙත්

(11.02.2022 – 12:51 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝහල්වලින් නිකුත් කරන ඖෂධ සඳහා රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ බෙහෙත් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මේ අතර, සිය වර්ජනය අත්හිටුවීමට අදාළ ව අධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගය මේ දක්වා තමන්ට හෝ තම සංගමයට නො ලැබුණු බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එම අධිකරණ නියෝගය ලැබුණු පසුව වර්ජනය සම්බන්ධ ඉදිරි තීන්දු ගැනීමට බලාපොරොත්තු වන බවයි.

වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වෘත්තිය සමිති පසුගිය සඳු දා ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (11) පස්වන (5) දිනටත් ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත් නීතිපතිවරයා සිදු කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන කොළඹ දිසා අධිකරණය ඊයේ (10) සමන් රත්නප්‍රියට නියෝග කළේ එම වර්ජනය වහා ම අත්හිටුවන ලෙසයි.

කෙසේ වෙතත් සිය වර්ජනය නීත්‍යානුකූල පසුබිමක් යටතේ ක්‍රියාත්මක කරන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ, වර්ජනයේ නිරතවන්නන් නීතියට ගරු කළ යුතු බවයි.

අද (11) පස්වන (5) දිනටත් ක්‍රියාත්මක වන වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ලවී ඇති අතර, රෝගීන්ද පත්ව සිටින්නේ දැඩි අපහසුතාවකට යි ෴

***************************************

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

(11.02.2022 – 08:50 +0530 – hirunews.lk/sinhala)

වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පිළිපැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද (11) පෙරවරුවේ මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

මේ වනවිට දුම්රිය පීලිගත කරමින් පවතින අතර, එය යථා තත්ත්යට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයේ ප්‍රමාදයක් සිදු වනු ඇති බව පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(11.02.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala)

වත්තල ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඊයේ (10) සිදු කළ වැටලීමක දී 52 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතු ව තිබී අයිස් කිලෝ 2 යි ග්‍රෑම් 500 කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගනු ලැබුවා.

සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කළක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

පුත්තලම – කුරුණෑගල මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්

(11.02.2022 – 10:19 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – කුරුණෑගල ප්‍රධාන මාර්ගය 03 කණුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසින් පිරිසක් විරෝධතාවක නිරතවනවා.

ඒ අක්කර 200 ක පමණ භුමි ප්‍රමාණයක පිහිටා ඇති පෞද්ගලික ඉඩමක සිදු වන අනවසර පස් කැපීම නිසා ප්‍රදේශයේ කාණු පද්ධතිය අවහිර වීමට සහ සිදු වන පරිසර හානියට එරෙහි ව පොලිසිය කටයුතු නො කිරීමට විරෝධය දක්වමින් ෴

***************************************

හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන්ගෙන් මැසිවිලි

(11.02.2022 – 11:48 +0530 – hirunews.lk/sinhala)

තිරිගු පිටි සමාගම් විසින් තමන් වෙත ලබාදෙන තිරිගු පිටි ප්‍රමාණය 35% කින් පහළ දමා ඇති බව හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් සහ ව්‍යාපාරික ප්‍රජාව පවසනවා.

මසක පමණ කාලයක සිට ප්‍රධාන තිරිගු පිටි සමාගම් විසින් හැටන් ප්‍රදේශයේ තිරිගු පිටි එජන්තවරුන්ට ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග ලබා
නො දීම නිසා එම එජන්තවරුන් විසින් තමන් වෙත තිරිගු පිටි තොග ලබාදෙනු ලබන්නේ, ඉතා සීමිත ප්‍රමාණවලින් බව යි ඔවුන් සඳහන් කරන්නේ ෴

***************************************

මනුස්සකම ගිලිහුණ මහරගම පිපිරීම

(11.02.2022 – 12:43 +0530 – hirunews.lk/sinhala)

මහරගම – පිළියන්දල පාරේ පලිගෙදර හන්දිය ආසන්නයේ පිහිටි හාඩ්වෙයාර් එකක ඉකුත් ජනවාරි 19 වැනි දා පිපිරීමක් සිදු වුණා.

එම ගින්නට හසු වී පිළිස්සෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) බේරාගැනීමට උත්සාහ නොකොට එහි හිමිකාරිය ඇතුළු පිරිසක් හාඩ්වෙයාර් එකේ ගින්න නිවා දැමීමට උත්සාහ දරන අයුරු එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් වී තිබුණා.

මෙලෙස පිළිස්සුම් තුවාල ලැබූ දෙදෙනා (2) කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මියයාමත් සමග මහරගම පොලිසිය නිසි විමර්ශනයක් සිදු නොකිරීමෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව යි මියගිය අයගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් චෝදනා කරන්නේ.

මෙසේ මිය ගියේ, පිළියන්දල මකුළුදූව ගොඩපර ගහවත්ත පදිංචි ප්‍රියන්ත සංජීව නමැති 43 හැවිරිදි පියකු සහ පිළියන්දල ගොරකපිටිය ඇළපහළ පාරේ පදිංචි අස්ල ජයසිංහ නමැති 26 හැවිරිදි අවිවාහකයෙක්.

මියගිය දෙදෙනා (2) ඥාති සහෝදරයින් දෙදෙනෙකු (2) බව ද වා‍ර්තා වනවා.

මෙම දෙදෙනා ඉකුත් 19 වැනි දා ඉහත සඳහන් හාඩ්වෙයාර් එකේ සේවා කටයුත්තක් සිදු කරමින් සිටිය දී හදිසියේ ඇති වූ ගින්නකට හසු ව තිබූ අතර, එහි හිමිකරුවන් සිදු කර ඇත්තේ, ගින්නට හසු වී පිළිස්සෙමින් සිටි පුද්ගලයින් බේරාගැනීම පසෙක ලා තම හාඩ්වෙයාර් එකේ ගින්න නිවා දැමීමට ක්‍රියා කිරීම යි.

පසුව දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉකුත් 23 වැනි දා ප්‍රියන්ත සංජීව මිය ගිය ඇති අතර, අසේල සම්පත් ඉකුත් 04 වැනි දා මිය ගියා.

එලෙස මියගිය අසේල සම්පත්ගේ දේහය භාර ගැනීමට ගිය අවස්ථාවේ දී ඔහුට කොරෝනා වැළඳී ඇති බව ද වෛද්‍යවරුන් පවසනවා.

ඒ අනුව එම දේහය 08 වැනි දා ඔට්ටමාවඩි ප්‍රදේශයට රැගෙන ගොස් භූමිදාන කළ බව සඳහන්.

ඒහෙත් මේ දක්වා හාඩ්වෙයාර් එකෙන් පැමිණ තමන්ට සාධාරණයක් ඉටු නොකළ බවත් සාධාරණයක් ඉටු කිරීම සඳහා පොලිසිය මැදිහත් නොවන බවත් ඥාතීන් චෝදනා කරනවා.

එසේ ම හාඩ්වෙයාර් හිමිකරුවන් පැමිණ රුපියල් 25,000 ක් ලබා දෙන්නම් පොලිසියේ පැමිණිල්ල ඉවත් කර ගන්නා ලෙසට ඉල්ලීමක් කළ බව ද වැඩිදුරටත් කරුණු වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක කොට තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස යි ඥාතීන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

ශ්‍රී ලංකාව මූල්‍ය සහාය ඉල්ලා නෑ – අයි.එම්.එෆ්. තහවුරු කරයි

(11.02.2022 – 13:46 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය සහය ලබාගැනීම සඳහා ලක් රජය විසින් ඉල්ලීමක් සිදුකර නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කළා.

වොෂින්ටනයේ අයි.එම්.එෆ්. මූලස්ථානයේ ඊයේ (10) පැවති දෛනික මාධ්‍ය හමුවේදී එහි සන්නිවේදන අධ්‍යක්ෂ ගැරී රයිස් කියා සිටියේ එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් විකල්ප පිළිබඳව සාකච්ඡා කිරීමට මූල්‍ය අරමුදල සූදානම් බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ප්‍රතිපත්තිමය වර්ධනයන් පිළිබඳව සමීප අවධානයකින් පසුවන බවයි ඔහු කියා සිටියේ.

අයි.එම්.එෆ්. මාධ්‍ය හමුවේදී එහි සන්නිවේදන අධ්‍යක්ෂ ගැරී රයිස් වෙත යොමුවූ පැනය වූයේ මේ මොහොතේ මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම අපේක්ෂා නොකරන ශ්‍රී ලංකාවට සහය වීම සඳහා එමඟින් ගෙන ඇති පියවර මොනවාද යන්නයි.

මේ අවස්ථාවේ කිව හැක්කේ කොළඹ සිටින මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම ලක් රජය සමඟ උපදේශාත්මක සංවාදයක නිරත වන බවයි.

ඇත්ත වශයෙන්ම පසුගිය වසර අවසානයේ නිමාවට පත්වූ එම සංවාදයේ ප්‍රතිඵල පිළිබඳව අයි.එම්.එෆ්. විධායක කමිටුව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. එමෙන්ම සාමාන්‍ය ක්‍රමවේදයක් ලෙස මේ මස අවසානයේදී පමණ එය සිදුවේවි.

මුදල් අමාත්‍යාංශයේ සාර්ව මූල්‍ය ඒකකය ශක්තිමත් කරලීම සඳහා තාක්ෂණික සහය ලබාදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහිදී අපේක්ෂා කළ කරුණක්.

එමෙන්ම සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා හැකියාව ගොඩනැංවීම අයි.එම්.එෆ්. අරමුණක්. අපගේ අවසන් සංවාදය අතත්‍ය අන්දමින් පවත්වා සමාප්ත කෙරුණා.

ශ්‍රී ලංකාව, මූල්‍ය අරමුදල වෙතින් මූල්‍ය සහයක් ඉල්ලා නොමැති අතර, එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් සාකච්ඡා කළ හැකියි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික හා ප්‍රතිපත්තිමය වර්ධනයන් පිළිබඳව අප සමීප අවධානයෙන් පසුවනවා.

ණය සම්බන්ධයෙන් කිව හැක්කේ එය, ගැටළුවක් වුවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මූල්‍ය අරමුදල සතු නොවන බවයි.

මෙහිදී සියලුම පාර්ශවයන් උචිත ආකාරයෙන් කටයුතු කරනු ඇතැයි යන්න අයි.එම්.එෆ්. අපේක්ෂාවයි ෴

***************************************

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපය, වවුනියාව විශ්වවිද්‍යාලය බවට පත්වෙයි

(11.02.2022 – 13:52 +0530 – hirunews.lk/sinhala)

යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපය මෙරට 17 වන විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදු කෙරුණා.

වවුනියාව මණ්ඩපය, විශ්වවිද්‍යාලයකට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වන ලෙස සංවර්ධනය කර මෙහිදී සිසු අයිතියට පත් කිරීම සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

***************************************

ලබන සඳුදා (14) තෙක් විදුලි කප්පාදුවක් නැහැ

(11.02.2022 – 14:32 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 14 වනදා සඳුදා දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක කියා සිටියේ, ඉල්ලුමට සාපේක්ෂව ප්‍රමාණවත් තරම් විදුලි නිෂ්පාදනයක් සිදු කිරීමේ හැකියාව පැවතීම හේතුවෙන් මෙලෙස විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

එසේම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට ද ඔහු විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළා ෴

***************************************

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍ෂේත්‍ර රාජකාරිවල අර්බුදයක්

(11.02.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතුවලට අදාළ ක්‍ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඊට අදාළව පසුගියදා පැවති සාකච්ඡාවක දී එළඹි තීරණවලට පටහැනිව කටයුතු කිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට හේතුව බවයි එහි සම කැඳවුම්කරු සුමිත් කොඩිකාර කියා සිටියේ.

මේ හේතුවෙන් මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතුවලට බාධා මතුවිය හැකි බව ද ඔහු සඳහන් කළා ෴

***************************************

බස් රථ දෙකක් (2) ගැටී එක් අයෙකු මරුට – 6 ක් රෝහලේ

(11.02.2022 – 15:23 +0530 – hirunews.lk/sinhala)

දික්වැල්ල – බෙලිඅත්ත මාර්ගයේ රිය අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අද (11) පස්වරුවේ දී යි.

මෙම අනතුර වලස්ගල ප්‍රදේශයේ දී සිදුව ඇත්තේ, මගී ප්‍රවාහන බස් රථ දෙකක් (2) එකිනෙක ගැටීමෙන්.

අනතුරින් එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සය (6) දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *