පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ‘අබ්බා’ ජීවිතක්ෂයට

පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ‘අබ්බා’ ජීවිතක්ෂයට

*********************************************

පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ‘අබ්බා’ ජීවිතක්ෂයට

(11.02.2022 – 07:00 +0530 – hirunews.lk/sinhala)

විදේශගත ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුර සළිඳු’ගේ ගෝලයෙකු වූ ‘දුලාන් සමීර සම්පත්’ හෙවත් ‘අබ්බා’ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව එගොඩඋයන – මෝදර ප්‍රදේශයේ ඊයේ (10) රාත්‍රියේ සිදු කළ මෙහෙයුමක දී මෙලෙස සැකකරු තුවාල ලබා රෝහල් ගතකළ බවයි.

ඉන් සුළු මොහොතකට පසු ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

සැකකරු නිවසක කාමරයක් තුළ සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුම දියත් කළ අතර, එහි දී මෙම වෙඩි හුවමාරුව සිදු ව ඇති බව සඳහන්.

සිද්ධියෙන් 26 හැවිරිදි ‘දුලාන් සමීර සම්පත්’ හෙවත් ‘අබ්බා’ මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළෙකු ද තුවාල ලැබුවා.

මේ අතර, ‘දුලාන් සමීර සම්පත්’ නොහොත් ‘අබ්බා’ අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩි හුවමාරුව සිදු වූ අවස්ථාවේ දී ඔහු සමඟ සිටි තවත් සැකකරුවන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනාගේ ඡායාරූප :

***************************************

වල් වැදුණු නීතියේ ඇත්ත හෙළිකළ ‘ඒෂියන් මිරර්’ මාධ්‍යවේදියාට තර්ජන

(11.02.2022 – am.lk)

‘ඒෂියන් මිරර්’ ප්‍රාදේශීය මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට දුරකතනය ඔස්සේ තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස තර්ජනාත්මක ඇමතුම් ලැබී ඇත්තේ ඔහු වාර්තා කළ පුවතක් සම්බන්ධ කරගනිමින්.

අම්බලන්තොට, තවාළුවිල හා පුහුල්යාය ප්‍රදේශවල කුඹුරු ඉඩම් පුරන් කොට නීති විරෝධී ලෙස එම ඉඩම් ගොඩකරමින් ඉදිකිරීම් සිදු කිරීම සම්බන්ධයෙන් හෙට්ටිආරච්චි මහතා සිදු කළ හෙළිදරව්වක් මීට මුල් වී තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව හරහා ලබාගත් තොරතුරු ද ඇතුළත්ව යි ඔහු එම මාධ්‍ය ගවේෂණය සිදු කොට ඇත්තේ.

කෙසේ වෙතත් එම පුවත පළ වීමෙන් අනතුරුව අදාළ ඉඩම් ගොඩකිරීමට සම්බන්ධ පුද්ගලයෙකු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාගේ දුරකතනයට ඇමතුම් ගෙන බැණ තර්ජනය කොට ඇති බව සඳහන්.

මේ පිළිබඳව ඔහු අම්බලන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ද සිදු කොට තිබෙනවා.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා යනු තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිත කරගනිමින්, ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවරක යෙදෙන සම්මානලාභී මාධ්‍යවේදියෙකුවන අතර සමාජයෙහි ඇති නොපනත්කම් කෙරෙහි සිය මාධ්‍යකරණය ඔස්සේ මැදිහත් වෙමින් මාධ්‍යවේදියෙකු සතු සැබෑ වගකීම ඉටුකරන්නෙකු ද වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ, අදාළ ඉඩම් ගොඩකිරීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පවා නිහඬ පිළිවෙතක් අනුගමනය කළ පසුබිමක තමන් සිදු කළේ, රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි සහ විවිධ පුද්ගලයින් සිදුකරන නීති විරෝධී ක්‍රියා අනාවරණය කිරීම බව යි.

නීතිය ක්‍රියාත්මක නොවන පසුබිමක ඒ පිළිබඳ රටට අනාවරණය කරමින් සිය මාධ්‍ය වගකීම ඉටු කිරීම හේතුවෙන් හෙට්ටිආරච්චි මහතාට සිදුව ඇති තර්ජනය සම්බන්ධයෙන් පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව ‘ඒෂියන් මිරර්’ නිරන්තර අවධානයෙන් ෴

***************************************

නීති විරෝධී ව බීඩි කොළ ගෙන් වූ සැකකරුවෙකු අත් අඩංගුවට

(11.02.2022 – 06:47 +0530 – hirunews.lk/sinhala)

කැලණිය පොලිස් වසමේ වරාගොඩ ප්‍රදේශයේ දී විශේෂ කාර්‍ය බලකා නිලධාරින් විසින් සිදු කරනු ලැබූ පරීක්ෂාවකින්, නීති විරෝධී බීඩි කොළ තොගයක් හමු වී තිබෙනවා.

ඊයේ (10) දින කළ මෙම පරීක්ෂාවේ දී නීති විරෝධී ලෙස ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 661 ක් හා ග්‍රෑම් 885 ක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව යි වාර්තා වන්නේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 43 ක වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (11) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කැලණිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

‘හිරු නිවුස්’ තවත් පරිච්ඡේදයක් අරඹයි

(11.02.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකීය ප්‍රවෘත්ති කලාව නව මානයක් කරා ඔසවා තැබූ මෙරට වැඩි ම පිරිසක් නරඹන ප්‍රවෘත්ති විකාශය වන ‘හිරු නිව්ස්’ අද (11) සිට නව පරිච්ඡේදයක් අරඹනවා.

ඒ අනුව, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ව ජනතා කේන්ද්‍රීය ප්‍රවෘත්තිකරණයේ පුරෝගාමියා බවට පත්වෙමින් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවෘත්ති විකාශයක් සුවහසක් හිරු ප්‍රේක්ෂකයන් වෙත සමීප කරන්නට ‘හිරු ටී.වී.’ අද (11) සිට සූදානම්.

දශක ගණනාවක් ඈතට දිව යන ශ්‍රී ලාංකීය රූපවාහිනි ප්‍රවෘත්ති කලාව විප්ලවීය වෙනසකට මුල පුරන්නේ, හිරු ප්‍රේක්ෂක ජනතාවට ගෙන ආ නවමු අත්දැකීම සමඟ යි.

තොරතුරු සන්නිවේදනයේ ප්‍රමිතිගත සහ නිවැරැදි ම ක්‍රමවේදය හඳුනා ගනිමින් රාත්‍රී 06:55 ටත් රාත්‍රී 09:55 ටත් හිරු නිව්ස් ජනතාව අතරට පැමිණියේ, සිය ඍජු ප්‍රතිපත්තිවලට මුල්තැන ලබාදෙමින්.

නිරවද්‍යතාව සහ ආකර්ශනීය බව සමඟ ජනතා පුවත් පිපාසය සංසිඳුවීම හේතුවෙන් නොබෝ කලකින් ම ප්‍රේක්ෂක ජන මනස තුළ ලැගුම් ගන්නට අපට හැකි වුණා.

දේශපාලන මතිමතාන්තරවලින් ඔබ්බට ගොස් ජනතා ගැටලු රට හමුවේ තබමින් අප නිරන්තරයෙන් ප්‍රදර්ශනය කළේ, ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉටු විය යුතු යුතුකම් සහ වගකීම්වල වටිනාකම යි.

නගරයෙන් ඈත හුදෙකලා ජිවිත ගෙවන ජනතාවගේ ගැටලු වෙනුවෙන් අප හඬ නැගුවේ වරක් දෙවරක් නො වේ.

මෙරට අංක එකේ ප්‍රවෘත්ති විකාශය බවට හිරු නිවුස් විරුදාවලි ලබන්නේ, එකී මෙහෙවරට ලැබෙන වටිනාකමක් වශයෙන්.

ඉන් පසු මධ්‍යාහ්න පුවත් විකාශයක් ද අරඹමින් හිරු නිව්ස් සිය ප්‍රවෘත්ති මෙහෙයුම පුළුල් කළා.

එතැන් පටන් මෙරට සෑම ප්‍රවෘත්ති විකාශයක ම අප පෙරමුණේ පසුවන්නේ, නිරන්තර ව ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් රට හමුවේ බොහෝ දේ හෙළිකරමින්.

ජනතාවගේ බත්පතට වැලි දැමූ ජාවාරම්, රටේ ආරක්ෂාව අනතුරේ හෙළිය හැකි අවදානම් තත්ත්වයන් මෙන්ම, ලක් මව ලැබූ ජයග්‍රහණවල විශිෂ්ටත්වය ද ඒ අතර වුණා.

ජනතා කේන්ද්‍රීය ප්‍රවෘත්ති ප්‍රකාශයක ගුණ සුවඳ සුරකිමින් අප ඔවුන්ගේ හඬට කන් දුන්නා පමණක් නො ව, ඒ හඬට වටිනාකමක් දෙමින් අදාළ පාර්ශවයන්ගේ අවධානය ඒ වෙත යොමු කරවීමටත් අපට නිබඳ ව හැකි වුණා.

+

***************************************

වී මිල දී ගැනීම සඳහා ගබඩා 22 ක්

(11.02.2022 – 08:08 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව කලාපයේ ගොවීන්ගේ වී මිල දී ගැනීම සඳහා ගබඩා 22 ක් විවෘත ව පවතින බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරුව ප්‍රදේශීය කළමනාකරු නිමල් ඒකනායක මේ බව සඳහන් කළා ෴

***************************************

අවුරුදු 17 ක තරුණයෙකු බිලිගත් මාරක අනතුර

(11.02.2022 – 08:40 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) උදෑසන කන්කසන්තුරය වර්ථවිලාන් මාර්ගයේ ශාන්ත මංසන්ධියේදී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජිවිතක්ෂයට පත් වුණා.

වර්ථවිලාන් සිට කන්කසන්තුර බලා ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු තෙලිප්පලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ , වයස අවුරුදු 17 ක් වන උදයපුරම්, ඉලවාලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ටිපර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී සහ නොසැළකිලිමත් රිය ධාවනය මෙම අනතුරුට හේතුව බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

මේ අතර ඊයේ (10) පස්වරුවේ සිදුවූ තවත් අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ බලපිටිය බස් නැවතුම අසලදී කොළඹ දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා ගමන්කළ පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

ජීවිතක්ෂයට පත් කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝදරථ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.

එමෙන්ම ඊයේ (10) උදෑසන නිට්ටඹුව මහනුවර ප්‍රධාන මාර්ගයේ මුරුතවෙල ප්‍රදේශයේදී මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මෝටර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 37 ක් වන රඹුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *