මහ කන්නයේ අස්වැන්න අඩු වී ඇතැ යි ගොවීන්ගෙන් චෝදනා

මහ කන්නයේ අස්වැන්න අඩු වී ඇතැ යි ගොවීන්ගෙන් චෝදනා

*********************************************

මහ කන්නයේ අස්වැන්න අඩු වී ඇතැ යි ගොවීන්ගෙන් චෝදනා

(10.02.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර යොදා සිදු කළ මෙවර මහ කන්නයේ අස්වැන්න සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැ යි බොහෝ ප්‍රදේශවල ගොවීන් පවසනවා.

ඇතැම් ප්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ, රජයෙන් ප්‍රමාණවත් තරම් කාබනික පොහොර ද නො ලැබුණු බවයි.

මෙවර මහ කන්නය යටතේ කාබනික පොහොර යොදා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ගොවීන් වී වගාව සිදු කර තිබුණා.

කෙසේ වෙතත් අක්මීමන, වලහන්දූව, යග්ගන, තොටගොඩ ආදී ප්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ, සිය වගාවන් අසාර්ථක වී ඇති බවයි.

***************************************

වෛද්‍ය සාෆි ෂිහාබ්දීන්ගේ රීට් පෙත්සම ලබන 17 කැඳවෙයි

(10.02.2022 – 14:14 +0530 – hirunews.lk/sinhala)

වඳ සැත්කම් කළේ යැයි අසත්‍ය චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට හිඟ වැටුප් හා දීමනා ලබාදෙන ලෙස නියම කරන්නැ යි ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ගොනුකළ රීට් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 17 කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

ඒ අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (10) කැඳවූ අවස්ථාවේදීයි.

එහි දී පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන සඳහන් කළේ, මෙම පෙත්සම සහ ඊට අදාළ ලියකියවිලි තමන්ට ඊයේ (09) දිනයේ ලැබුණු බැවින් ඒවා අධ්‍යයනය කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

ඊට පෙත්සම්කාර පාර්ශවය විරෝධයක් පළ නො කළ බවයි අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඒ අනුව, කරුණු සලකා බැලූ අධිකරණය එම ඉල්ලීමට අවසර දෙමින් පෙත්සමින් සලකා බැලීම සඳහා ලබන 17 වන දා එය කැඳවන ලෙස නියෝග කර තිබෙනවා ෴

***************************************

ලිංගාශ්‍රිත රෝගවලින් රැඳවියන් ආරක්ෂා කරගැනීමට පියවර

(10.02.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

ඒඩ්ස් රෝගය වැළැක්වීම සදහා ආරක්ෂිත ලිංගික ක්‍රමවේදයන් හා නිරෝගී ප්‍රජනනය වෙනුවෙන් හැසිරීම වෙනස් කිරීමේ සන්නිවේදනය පිළිබඳව විශේෂ වැඩමුළුවක් 09, 10 හා 11 යන තෙදින බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා.

ඒ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය හා එක්වයි.

දිවයින පුරා විසිරි ඇති බන්ධනාගාර ආයතන වලින් තෝරාගත් බන්ධනාගාර සැරයන් නිලධාරීන් හා කාන්තා නිලධාරිණියන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වෙනුවෙන් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කර තිබෙනවා.

රටතුල පවතින කොව්ඩ් වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ කර ඇති නිසි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන් වලට අනුකූලව මෙය ක්‍රියාත්මක කෙරෙන බවයි බන්ධනාගාර මුලස්ථානය සඳහන් කරන්නේ.

මේ තුළින් බන්ධනාගාර ගත රැදවියන්ට ලිංගාශ්‍රිත රෝග පිලිබඳ දැනුවත් කිරීම හා එම රෝග වලින් ආරක්ෂා වීම පිලිබඳව දැනුම හා නිසි ක්‍රමවේදයන් දැනුවත් කිරීම අපේක්ෂා කෙරෙනවා.

ඒ සදහා පුහුණුව ලබන නිලධාරීන් මගින් ආයතනික වශයෙන් පුනරුත්ථාපන අංශය හා එක්ව බන්ධනාගාරගත රැදවියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි ෴

***************************************

හඬපටයෙන් කියන රුපියල් කෝටි තුනක් වංචා කළ ලොක්කා කවුද ?

(09.02.2022 – 23:56 +0530 – lankadeepa.lk)

රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුගේ රුපියල් කෝටි තුනහමාරක (3,50,00,000) අයථා ගනුදෙනුවක් සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ඉවත් කර නව විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, ආයතනය සතු වාහන දහයක් විකිණීම ඇතුළු කාර්යයන් කීපයකට ටෙන්ඩර් කැඳවා ඇති බවටද එම ටෙන්ඩර් පත්‍රිකාවල මිල ගණන් වෙනස් කර තමන්ට හිතවත් ව්‍යාපාරිකයකුට ටෙන්ඩරය ලබාදීම වෙනුවෙන් එම ආයතන ප්‍රධානියාගේ ළඟගම ගෝලයකුට මෙම රුපියල් කෝටි තුනහමාරක මුදල ලබාදී ඇති බවට ද එම හඬ පටයේ සංවාදවලින් හෙළිවන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ප්‍රශ්නගත ආයතන ප්‍රධානියාගේ ගිණුමකටද එම ව්‍යාපාරිකයා සෘජුවම රුපියල් ලක්ෂ පහළොව (15,00,000) හා රුපියල් ලක්ෂ හතර හමාර (4,50,000) බැගින් අවස්ථා දෙකකදී (2) රුපියල් දහනව ලක්ෂ පනස් දහසක (19,50,000) මුදලක් ලබාදී ඇති බවද එම හඬපටයෙන් හෙළි වී ඇතැයි වාර්තා වේ.

රුපියල් කෝටි තුනහමාර ලබාගත් බව කියන සේවකයා මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා නොකිරීමෙන් හා තමන්ගේ ගනුදෙනුව සිදුනොවීමෙන් ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා මෙම හඬපටය නිකුත් කර ඇති බවද දැන ගන්නට තිබේ.

මෙම සේවකයා එම ආයතනයේ ප්‍රවාහන අංශයේ හා ප්‍රවර්ධන අංශයේ කළමනාකරුවකු ලෙස පත්වීම් ලබාදී තිබෙන්නේ ප්‍රශ්න ගත ආයතන ප්‍රධානියා විසින්ම බවද, එසේ සිදුකර තිබෙන්නේ එම සේවකයා මීට පෙරද මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වැඩතහනමට ලක්ව සිටියදී එය සමථයකට පත්කර බවද ආරංචිමාර්ගවලින් වාර්තා වේ.

මේ හඬපටය නිකුත් වීමත් සමග එම ආයතන ප්‍රධානියා ඔහුගේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක්ද යොදවාගෙන ඇතැයිද දැන ගන්නට තිබේ. එහෙත් ආයතනයේ සිටින ආරක්ෂකයන් එයට ප්‍රමාණවත් නොවන නිසා තාවකාලිකව තුන්දෙනකු (3) පමණක් ආරක්ෂාවට ලබාදිය හැකි බවට ආරක්ෂක අංශ ප්‍රධානියා එම නිලධාරියාට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

ආයතනයේ සිටින ආරක්ෂකයන් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් පෞද්ගලික ආරක්ෂක සේවාවකින් පිරිසක් ගෙන්වා ගන්නා ලෙස ඔහු ආරක්ෂක අංශ ප්‍රධානියාට උපදෙස් දී ඇති බවද දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද අප කළ විමසීමකදී එම ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.

(මුදිතා දයානන්ද)

***************************************

තැඹිලිගහේ සිහිසුන් වූ තරුණයා බේරාගන්න මෙහෙයුමක්

(10.02.2022 – 14:40 +0530 – lankadeepa.lk)

තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය වී ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සහ පොලිසිය එක්ව බේරාගැනීමට හැකිවූ බව දොඩම්ගොඩ පොලිසිය කියයි.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙකි.

දොඩංගොඩ සුදර්ශනාරාම විහාරස්ථානයේ තැඹිලි වල්ලක් කැපීම සඳහා ඔහු ගසට නැග ඇති අතර, එහිදී තැඹිලි වල්ලට එල්ල කළ මන්නා පහරක් වම් පාදයකට වැදී ඇතිවූ අධික රුධිර වහනය සමගින් ඔහු සිහි මුර්ජා වී ගස උඩ සිරවී ඇත.

කළුතර නගර සභාවට සිද්ධිය සැලවීමත් සමගින් නගරාධිපති අමීර් නසීර් මහතා ගේ උපදෙස් පරිදි , ස්ථාන භාර ගිනි නිළධාරී ටී.ඒ.යූ.එස්. කුරේ ඇතුළු සිව් (4) දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගිනි රථයක් සමග ස්ථානයට පිටත්කර යවා දැඩි පරිශ්‍රමයක් දරා තුවාල කරු බිමට ගෙන රෝහල් ගත කර ඇත.

***************************************

මහ කන්නයේ අස්වැන්න අඩු වී ඇතැ යි ගොවීන්ගෙන් චෝදනා

(10.02.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර යොදා සිදු කළ මෙවර මහ කන්නයේ අස්වැන්න සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැ යි බොහෝ ප්‍රදේශවල ගොවීන් පවසනවා.

ඇතැම් ප්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ, රජයෙන් ප්‍රමාණවත් තරම් කාබනික පොහොර ද නො ලැබුණු බවයි.

මෙවර මහ කන්නය යටතේ කාබනික පොහොර යොදා ගනිමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ගොවීන් වී වගාව සිදු කර තිබුණා.

කෙසේ වෙතත් අක්මීමන, වලහන්දූව, යග්ගන, තොටගොඩ ආදී ප්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ, සිය වගාවන් අසාර්ථක වී ඇති බවයි.

***************************************

මල්ශාලා හිමිකරුගේ නිවසක් කොල්ලකෑ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(10.02.2022 – 16:06 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ලේ ප්‍රසිද්ධ මල්ශාලාවක හිමිකරුවෙකුගේ නිවස බිඳ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් සහ රන් භාණ්ඩ සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් බවයි.

ඔවුන් මෙම ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුලු වී රුපියල් 5,53,000 ක මුදලක්, රන් මාලයක් (1), මුදු සහ ජංගම දුරකථන 3 ක් සොරා ගෙන ගොස් තිබෙනවා.

පසුව පොලීසිය සිදු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් නවගමුව – කොරතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සොරා ගත් මුදල් වලින් භාණ්ඩ මිල දී ගෙන ඇති බව සඳහන්.

පසුගිය 6 වනදා මෙම පුද්ගලයන් දෙදෙනා (2) විසින් බොරැල්ල – කොටා පාරෙහි පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වී මෙම කොල්ලකෑම සිදුකර තිබුණා ෴

***************************************

මහාචාර්ය චරිත හේරත් සහ මහචාර්ය තිස්ස විතාරණ යළිත් පැරණි තනතුරුවලටම

(10.02.2022 – 16:17 +0530 – hirunews.lk/sinhala)

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය චරිත හේරත් සහ මහචාර්ය තිස්ස විතාරණ යළි පත්කර තිබෙනවා.

එමෙන්ම, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට යලි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පත් කෙරුනු බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

09 වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ජනාධිපතිවරයා විසින් අවසන් කිරීමත් සමග මෙම කාරක සභා අහෝසි වු අතර පසුගිය මස 18 වන දා දෙවන (2) සභාවාරය ආරම්භ කිරිමෙන් අනතුරුව පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව විසින් මෙම කාරක සභාව වලට නව සමාජිකයින් පත් කරනු ලැබුවා.

ඒ අනුව කෝප් කමිටුව අද (10) පළමු වරට රැස්වු අතර එහිදි තීරණය කෙරුණේ පසුගිය සභාවාරයේදි එම කමිටුව වෙත කැඳවා එහෙත් විවිධ හේතුන් මත කල් දැමීමට සිදු වු ආයතන නැවත එහි කැදවීමටයි.

එසේම, පළමු සභාවාරයේ අවසාන කාර්තුවේ සිදුකරන ලද විමර්ශණයන් හා සම්බන්ධ සකස් කළ තුන්වන (3) වාර්තාව මෙම සභාවාරයට ඉදිරිපත් කිරීම සදහාද අනුමැතිය හිමිවුණා.

මේ අතර, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත, පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත සහ පළාත් සභා මුද්දර ගාස්තු මාරු කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත් අද (10) සංශෝධ සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා ෴

***************************************

කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයක

(10.02.2022 – 16:47 +0530 – hirunews.lk/sinhala)

වසා දමා ඇති තේ කර්මාන්තශාලාවක් යළි විවෘත කරන ලෙස සහ තමන්ට වැඩ කළ දින ගණනට වැටුප් ගෙවන ලෙසට බල කරමින් අද (10) වතු කම්කරුවන් පිරිසක් කොටගල ප්‍රදේශයේ දී උද්ඝෝෂණයක නිරත වුණා.

හිරු වාර්තාකරු සඳහන් කළේ අදාළ වතු සමාගම විසින් ප්‍රතිසංස්කරණය කරන බවට පවසමින් කොටගල ප්‍රදේශයේ ප්‍රධාන තේ කර්මාන්තශාලාවක් වසා දමා ඇති බවයි.

වසා දමන අවස්ථාවේදී එහි සේවය කළ වතු කම්කරුවන්ට වැටුප් නොගෙවීම හේතුවෙනුයි මෙලෙස වතු කම්කරුවන් අද (10) විරෝධතාවයේ නිරත වී ඇත්තේ ෴

***************************************

වනඅලියෙකුට හිංසා කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2 දඩයක්

(10.02.2022 – 17:45 +0530 – hirunews.lk/sinhala)

මාර්ගයේ ගමන් ගත් වනඅලියෙකුට හිංසා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වු පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 2 ක දඩ මුදලක් නියම කිරිමට අද (10) අධිකරණය පියවර ගත්තා.

ඒ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවැති නඩු විභාගයකින් අනතුරුවයි.

ත්‍රිකුණාමලය – හබරණ ප්‍රධාන මාර්ගයේදි පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වනදා මෙම පුද්ගලයා කැබ් රථයකින් ගමන් ගන්නා අවස්ථාවේදි ඔහු විසින් මාර්ගයේ ගමන් ගත් වනඅලියෙකු පසුපස ලුහුබැඳ ගොස් හිංසා කර තිබුණා.

ජිප් රථයේ නලාව හඬවමින් අලි පැටවා බිය කරමින් ඔහු අලි පැටවා පීඩාවට පත් කරන ආකාරය සඳහන් වීඩියෝවක් ‘ටික්ටොක්’ සමාජ මාධ්‍යයේ සැරිසැරූ අතර හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද ඒ පිලිබඳව බලධාරින්ගේ අවධානය යොමුකර තිබුණා.

අනතුරුවයි වනජීවී දෙපාර්තමේන්තුව එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *