2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹෙයි

2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹෙයි

*********************************************

2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹෙයි

(10.02.2022 – 11:46 +0530 – hirunews.lk/sinhala)

විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 2021 දෙසැම්බර් 29 වැනි දා නිකුත් කළ උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා අදාළ කඩඉම් ලකුණු 2022 පෙබරවාරි 04 වැනි දා නිකුත් කෙරුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසිනු යි.

මේ අනුව අදාළ පාඨමාලාව සඳහා තෝරා ගැනුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට හැකියාව ලැබෙනු ඇති.

***************************************

බායිලාගේ කුණු අල තොගයක් දඹුල්ලේ

(10.02.2022 – 12:21 +0530 – hirunews.lk/sinhala)

පාකිස්තානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල කිලෝ හතළිස් දහසක (40,000) පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද ව පෞද්ගලික ගබඩා දෙකක (2) තිබී අද (10) දින සොයා ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත පවසනවා.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාතට ලැබුණු තොරතුරක් මත යි මෙම ගබඩා පරීක්ෂාව සිදු කර ඇත්තේ.

කාන්තාවන් යොදා ගෙන මෙම අර්තාපල් අල තොග සුද්ද පවිත්‍ර කරමින් හොඳ අලවලට කලවම් කොට ඇසුරුම් කිරීම සිදු කරමින් සිටි බව නගරාධිපතිවරයාවරයා සඳහන් කරනවා.

මෙම අර්තාපල් අල පාකිස්ථානයේ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩා හිමි හිමිකරුවන්ට ලබා දී ඇතැ යි සිදු කළ පරීක්ෂණවල දී හෙළි වී තිබෙනවා.

පකිස්ථානයේ සිට ලංකාවට පැමිණ සිටින ව්‍යාපාරිකයින් කිහිප දෙනකු ඉතා සූක්ෂ්ම ලෙස මෙම ව්‍යාපාරය සිදු කරගෙන යන බවත් දිනකට කන්ටේනර් රථ තිස් පහක් හතළිහක් (35-40) පමණ පැමිණෙන බවත් වාර්තා වනවා.

ගබඩා දෙක (2) ම මුද්‍රා තබා නීතිමය පියවර ගන්නා බව යි නගරාධිපතිවරයා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

***************************************

හම්බන්තොට නගරාධිපති ඉල්ලා අස් වෙයි

(10.02.2022 – 12:30 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති එරාජ් ප්‍රනාන්දු සිය ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ, අද (10) දහවල් හම්බන්තොට මහනගර සභා මාසික රැස්වීමට එක් වූ නගරාධිපතිවරයා සභාව අමතමින් මේ බව දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත්, දේශපාලනයෙන් තමන් ඉවත් නො වන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

2010 වසරේ සිට මේ දක්වා එරාජ් ප්‍රනාන්දු හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළා.

මේ අතර, ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලා සිටිමින් පසුගිය ජනවාරි 11 වැනිදා මාරාන්තික උපවාසයක් ද සිදුකරනු ලැබුවා.

උපවාසයේ යෙදී සිටින අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහු රෝහල් ගත කිරීමටද කටයුතු කරනු ලැබුවා ෴

***************************************

අබලි යකඩ මිල ඉහළට

(10.02.2022 – 13:23 +0530 – hirunews.lk/sinhala)

යකඩ මිල සීග්‍රයෙන් ඉහළ යාම නිසා ඉදිකිරීම්වල නිරත පිරිස් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.

මේ වන විට යකඩ මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 240,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි යකඩ ආනයනකරුවන් සහ යකඩ ආශ්‍රිත නිෂ්පාදනකරුවන් ප්‍රකාශ කළේ.

ලෝක වෙළදපොළේ යකඩ මිල ඉහළ යාම, ඩොලර් අර්බුදය ප්‍රධාන වශයෙන් මිල ඉහළ යාමට හේතු වී තිබෙනවා.

මෙරට වානේ කර්මාන්තයේ නිරත සමාගමක් වන එස්.ආර්. ස්ටිල් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.එෆ්. රොබින්සන් කියා සිටියේ, මෙලෙස මිල ඉහළ යාමත් සමග මෙරට එක්රැස් වන අබලි යකඩ මිලට ගැනීමේ දී ලබාදෙන මුදල ද සමාගමක් විසින් ඉහළ නංවා ඇති බවයි.

කෙසේ වෙතත්, මෙරට ප්‍රධාන පෙළේ යකඩ නිෂ්පාදන සමාගමක් වන මෙල්වා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද පුල්ලේ සදහන් කළේ, වෙළදුන් විසින් අනවශ්‍ය පරිදි මිල ඉහළ නැංවීම ද යකඩ මිල ඉහළ යාමට හේතු වී ඇති බවයි.

එම නිසා ඉදිකිරීම් කර්මාන්තයට නිෂ්පාදනය කරන යකඩ අමුද්‍රව්‍යවල සැබෑ මිල ගණන් ඉදිරියේදී විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමට තම සමාගම තීරණය කර ඇති බව ඔහු කියා සිටියා.

මේ අතර, ඩොලර් නොමැතිකම හේතුවෙන් වරාය තුළ සිරව ඇති කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් මුදා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් විශ්‍රාම ජෙනරාල් දයා රත්නායක ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව සමග නිරන්තරයෙන් සාකච්ඡා සිදුකරන බවයි.

ඩොලර් නොමැතිකම හේතුවෙන් කර්මාන්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට නොහැකි වී ඇති බවයි ප්‍රධාන පෙළේ කර්මාන්තකරුවන් සඳහන් කළේ.

ඔවුන් කියා සිටියේ, කඩිනමින්ම අදාළ අමුද්‍රව්‍ය නිදහස් නොකළහොත් කර්මාන්ත ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි.

***************************************

‘සුවවිරු’ වැඩ වැරුමෙන් රෝගීන් අදත් (10) පීඩාවට

(10.02.2022 – 13:33 +0530 – hirunews.lk/sinhala)

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිය සමිති දහඅටක් (18) එක්ව දින හතරක් (4) පුරා ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් අදත් (10) රෝගී ජනතාව දැඩි පීඩාවන්ට ලක් වුණා.

මේ අතරින් වඩාත් වැඩි බලපෑමක් එල්ල වන්නේ දුප්පත් අසරණ රෝගීන් හට නොමිලේ ලබාදෙන බෙහෙත් වට්ටෝරු රෝහල් ඖෂධ හල් හරහා ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන්.

දින හතරක් (4) පුරා ක්‍රියාත්මක වන මෙම වැඩ වර්ජනයට ඖෂධවේදීන් ද එක්ව සිටින බැවින් රෝහල් ඖෂධහල් හරහා කිසිදු ඖෂධ නිකුත් කිරීමක් සිදු කෙරෙන්නේ නැහැ.

මේ හේතුවෙන් අද (10) දිනයේදීත් කොළඹ පුරහල ඉදිරිපිට පිහිටි ඔසුසල ඉදිරිපිට ඉතා දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ තත්ත්වය පසුගිය දින කිහිපය පුරාම අඛණ්ඩව පැවති තත්ත්වයක්.

රෝහල් වලින් නිකුත් කරන බෙහෙත් තුණ්ඩුවලට මෙම රජයේ ඔසුසල් සතියක කාලයක් සඳහා ඖෂධ නිකුත් කිරීමක් සිදු කෙරෙනවා.

කෙසේ වෙතත් මෙම දිගු පෝලිම්වල රැඳී සිටින ජනතාව පවසන්නේ ආණ්ඩුව සහ සෞඛ්‍ය සේවාව තමන් බරපතළ පීඩාවන්ට ලක් කරන බවයි.

මේ වන විට රට තුළ ඇති දහසකුත් එකක් ප්‍රශ්න අතරේ සිය සෞඛ්‍යය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය සහයෝගය හෝ ආණ්ඩුවෙන් ලබා දිය යුතු බවටයි ඔවුන් පවසන්නේ.

***************************************

ඡන්දයක් ගැන මැතිසබයේදී ඉඟියක්

(10.02.2022 – 13:28 +0530 – hirunews.lk/sinhala)

කඩිනමින් මැතිවරණ පැවැත්වීමට රජය කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙහිදී අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරයා අතර මෙවැනි සංවාදයක් ඇති වුණා.

ලියාපදිංචියකින් තොර ව ග්‍රාමීය සංවර්ධන බැංකුවක් පවත්වාගෙන යන බවට චමින්ද විජේසිංහ මන්ත්‍රීවරයා ඊයේ ඉදිරිපත් කළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි අද පිළිතුරු ලබාදුන්නා.

ඊට චමින්ද විජේසිංහ මන්ත්‍රීවරයා ද යළි මැදිහත් වුණා.

රට සතු විදෙස් සංචිත පිළිබද පාර්ලිමේන්තුව දැනුවත් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා.

ඊට පිළිතුරු ලබාදුන්නේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි.

***************************************

ඡන්ද ක්‍රමයේ වෙනසක් ?

(10.02.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා, ඊට අඩංගු විය යුතු කරුණු සම්බන්ධයෙන්, රැස් වූ එම කාරක සභාව සාකාච්ඡා කළ බව, එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

මැතිවරණ ක්‍රමය කුමක් විය යුතුද යන්න මෙහිදී සාකාච්ඡාවට ලක්වී ඇති අතර, මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම් කොට්ඨාශ හා අනුපාත ප්‍රතිශතයන්, කෙසේ විය යුතුද යන්න පිළිබඳවද කාරක සභාවේ දී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

එමෙන්ම කාන්තා නියෝජනය පිළිබඳවද සාකච්ඡාවට ලක් වූ බව එහි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

මෙම විශේෂ කාරක සභාව මේ මස 22 හා 24 යන දිනවල යළිත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි.

පසුගියදා (10) පැවති මෙම විශේෂ කාරක සභා රැස්වීම සඳහා ජී.එල්.පීරීස්, නිමල් සිරිපාලද සිල්වා යන අමාත්‍යවරු, සාගර කාරියවසම්,මධුර විතානගේ, ජීවන් තොණ්ඩමන්, කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, එම්. ඒ. සුමන්දිරන්, මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුද සහභාගී වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *