අදත් (10) විදුලි කප්පාදුවක් නැහැ

අදත් (10) විදුලි කප්පාදුවක් නැහැ

*********************************************

අදත් (10) විදුලි කප්පාදුවක් නැහැ

(10.02.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

අද (10) දිනයේ දී දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදු නො කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් වසන්තා පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, විදුලිය ලබා දීම සඳහා අද (10) දිනට අවශ්‍ය ඉන්ධන ලංකා විදුලිබල මණ්ඩලය වෙත සැපයීමට ඛණිජ තෙල් සංස්ථාව එකඟතාව පළ කර ඇති බව යි.

කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඉදිරියේ දී ඉන්ධන ලබා ගැනීම සීමා කිරීමට සිදු විය හැකි බවයි ඇය කියා සිටියේ.

ඒ අනුව අඛණ්ඩ ව විදුලි සැපයුමයක් ලබාදීම සඳහා අංශ රැසක් සමග මේ වන විටත් දීර්ඝ සාකච්ඡා ආරම්භ කර ඇති බව විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරිය සඳහන් කළා.

ඇය වැඩිදුරටත් අවධාරණය කලේ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වා ගැනීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට සියලු පුරවැසියන් සහයෝගය ලබා දිය යුතු බවයි.

මේ අතර විදුලි ජනන අර්බුද හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නො කෙරුණු ද නඩත්තු කටයුතු හේතුවෙන් සිදු කරන කප්පාදු සහ හදිසි විදුලි බිඳවැටීම් අහඹු ලෙස සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා ෴

***************************************

ඩෙංගු සහයකයන්ගේ රැය පහන් කිරිල්ල

(10.02.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය අද (10) 4 වන දිනටත් ක්‍රියාත්මක යි.

වර්ජනය හේතුවෙන් ඊයේ (09) රෝහල් රැසක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් අපහසුතාවයට පත්වුණා.

මේ අතර, ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක තනතුරු 1,169 ක් ස්ථිර කර දෙන ලෙස ඉල්ලා ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි ඩෙංගු මර්දන සහායකයන්ගේ සංගමයේ නියෝජිතයින් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටිනවා.

ඊයේ (09) දහවල් ඔවුන් විරෝධතාවක් සිදු කළ අතර, පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වුණා.

අනතුරුව කැරලි මර්දන පොලිසිය ද එහි කැඳවූ අතර, ගැටලුවට විසඳුම් ලබාදෙන තෙක් ඔවුන් එහි රැඳී සිටීමට යි කටයුතු කළේ ෴

ඩෙංගු මර්දන සහායකයින් විසිර යයි

(10.02.2022 – 10:29 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැඳී සිටි ඩෙංගු මර්දන සහායකයින් පෙබරවාරි 21 වැනි දා රැස්වීමක් පවත්වන බවට පොරොන්දු වීමෙන් පසු එම පරිශ්‍රයෙන් පිටව ගිය බව වාර්තා වනවා.

ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක තනතුරු 1,169 ක් ස්ථිර කර දෙන ලෙස ඉල්ලමිනු යි ඊයේ (09) සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි ඩෙංගු මර්දන සහායකයන්ගේ සංගමයේ නියෝජිතයින් මෙම විරෝධතාව ක්‍රියාත්මක කළේ.

ඊයේ (10) දහවල් ඔවුන් විරෝධතාවක් සිදු කළ අතර, පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයට ද බලහත්කාරයෙන් ඇතුළු වුණා.

අනතුරුව කැරලි මර්දන පොලිසිය ද එහි කැඳවූ අතර, ගැටලුවට විසඳුම් ලබාදෙන තෙක් ඔවුන් එහි රැඳී සිටීමට කටයුතු කර තිබුණා ෴

***************************************

බෝට්ටු වෙන්දේසි ගැන ඉන්දියාව සාකච්ඡාවක් ඉල්ලයි

(10.02.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

මෙරට භාරයේ පවතින ධීවර බෝට්ටු වෙන්දේසි කිරීම සම්බන්ධයෙන් ලක් රජය සහ ඉන්දීය රජය අතර ද්විපාර්ශවික අවබෝධයක් පවතින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

ඒ අනුව මෙරට භාරයේ පවතින පිළිසකර කළ නො හැකි තත්ත්වයේ ධීවර බෝට්ටු බැහැර කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තමිල්නාඩුවේ කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිත ව තිබූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

ඒ සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නැවතත් ශ්‍රී ලංකා රජයෙන් අවස්ථාව ඉල්ලා ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්.

රාජසන්තක වූ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට දී වෙන්දේසි කිරීමට එරෙහි ව තමිල්නාඩුවේ රාමේෂ්වරන් ධීවරයින් ඊයේ (09) මුහුදු යාමෙන් වැළකී වර්ජනයක් ආරම්භ කළා.

රාමේෂ්වරන් ධීවර කාර්යාලය ඉදිරිපිට ඔවුන් විරෝධතාවක් ද පැවැත් වූ අතර, ඊට එක්වෙමින් ධීවර නියෝජිතයින් සදහන් කළේ ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රා වෙන්දේසි කිරීමෙන් ලක් රජය ලබන ආදායමෙන් අවම වශයෙන් 25% ක මුදලක් හෝ ඉන්දියාවට ලබා දිය යුතු බවට යි.

මේ අතර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඉන්දීය ධීවර නියෝජිතයින් පිරිසක් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහි දී මෙරට භාරයේ පැවති ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසි කිරීම පිළිබඳ ද සාකච්ඡා වී ඇති අතර, පැරණි බෝට්ටු පමණක් වෙන්දේසි කළ බවයි අමාත්‍යවරයා එහි දී ප්‍රකාශ කර ඇත්තේ.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා 140 ක් කරෙයිනගර් සහ කන්කසන්තුරේ ධීවර වරායවල දී වෙන්දේසි කෙරුණු අතර ඉන් රුපියල් පනස් හත් ලක්ෂයකට (57,00,000) ආසන්න මුදලක් ආණ්ඩුව උපයාගෙන තිබුණා ෴

***************************************

සැබෑ ලෝකය අහිමි වෙයි ද ?

(10.02.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය තුළ වැඩි කාලයක් ගතකිරීම මගින් සැබෑ ලෝකය සමග සහසම්බන්ධතාව පවත්වා ගැනීමට ඇති කාලය අඩුවන බව අමෙරිකානු මානසික වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ට්විටර්, ෆේස්බුක් සහ ප්‍රින්ටරෙස්ට් වැනි සමාජ මාධ්‍ය ජාල බොහෝ දෙනෙකුට තනිකම පිළිබඳ හැඟීම වැඩිකිරීමට හේතුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දිනකට පැය දෙකකට (2) වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම තුළින් පුද්ගලයෙකු සමාජයෙන් වෙන්වීමට ඇති හැකියාව දෙගුණයකින් (2) වැඩිවන බව සමීක්‍ෂණ වාර්තාව මගින් හෙළි වී තිබෙනවා.

අනෙකුත් පුද්ගලයන් තමන්ගේ ජීවිත පිළිබඳ කරන මනෝමය හුවා දැක්වීම් යමෙකු තුළ ඊර්ෂ්‍යාව වැනි හැඟීම් ඇතිවීමට හේතුවක් වන බව ද එහි සඳහන් ෴

***************************************

ගිලන්රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(10.02.2022 – 08:25 +0530 – hirunews.lk/sinhala)

පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දින 7 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණ අවසර ලබා දී තිබෙනවා.

ඒ, ඔහු ඊයේ (09) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පානදුර – දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු පෙරේදා (08) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ, හෙරොයින් ග්‍රෑම් 8 ක් ද සමඟ යි ෴

***************************************

ඊයේ (09) සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

(10.02.2022 – 08:41 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (09) පස්වරුවේ පන්නල තලම්මැහැර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 21 ක තරුණයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

ගිරිඋල්ල සිට පන්නල දෙසට ධාවනය වූ බස්රථයක් පසුකර ධාවනය කළ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සඳලංකාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

යතුරුපැදිකරුගේ සහ වැන්රථ රියදුරුගේ අපරික්ෂාකාරී සහ නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත් තරුණයා බෝපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ඊයේ (09) දහවල් මුන්දලම ආඩිගම මාර්ගයේ අක්කරවෙල්ලිය කලු පාලම අසලදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.

ආඩිගම සිට කිරියන්කල්ල්ට දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගමන් කළ පාපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

ජිවිතක්ෂයට පත් කාන්තාව වයස අවුරුදු 52 ක් වන පුදුකුඩුරිප්පුව, බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ලොරි රථයේ රියදුරුගේ නොසැළකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව බවයි පොලීසිය පවසන්නේ.

නාරම්මල කුරුණෑගල මාර්ගයේ ගනේගොඩ ප්‍රදේශයේදී සිදුවූ තවත් අනතුරකින් අවුරුදු 37 ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙම පුද්ගලයා පදික මාරුවක් මතින් ගමන් කීරිමේදී අපරීක්ෂාකාරි ලෙස ධාවනය කළ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසු මෝටර් රථයේ රියදුරු පලාගොස් ඇති අතර මෝටර් රථය සහ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා නාරම්මල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ඇති.

එසේම ඊයේ (09) උදෑසන නෙදුන්කෙත්ති ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 78 ක පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වුණා.

මේ අතර තඹුත්තේගම බුල්නෑව මංසන්ධිය අසලදී යතුරුපැදි දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 41 ක් වයසැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරින් තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා තිබෙනවා ෴

***************************************

නීති විරෝධී මත්පෙති බෙදාහරින පුද්ගලයෙකු අත්අඩංගුවට

(10.02.2022 – 09:37 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ජා ඇල පොලිස් වසමේ වික්ෂෝප මාතා පල්ලිය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී සමාජ ශාලා සඳහා නීති විරෝධී මත්පෙති බෙදාහැරීම වෙනුවෙන් මත්පෙති සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු යි අත්අඩංගුවට පත්ව ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී නීතිවිරෝධී මත්පෙති 259 ක් සහ ඒවා බෙදාහැරීම සදහා යොදාගන්නා වැන් රථයක් ද භාරයට ගත් බව පොලිසිය වාර්තා කරනවා.

සැකකරු ජා ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙක්.

වැඩිදුර ප්‍රශ්න කිරිමේදී මෙම මත්පෙති එකක් රුපියල් 3000 සිට ඉහලට අලෙවි කිරීමට සූදානම්කර තිබූ බවයි සැකකරු ප්‍රකාශකර තිබෙන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු ජා ඇල පොලිසිය විසින් සිදුවේ ෴

***************************************

බන්ධනාගාරගත කිරීමට විකල්පයක්

(10.02.2022 – 09:56 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර දෙපාර්තමේන්තුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණවලට ප්‍රමුඛතාවයක් ලබාදෙමින් පස් (5) අවුරුදු සැලැස්මකට අනුව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර තදබදය අවම කිරීමට ප්‍රමුඛතාවක් ලබා දී තිබෙන අතර, ඒ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් විසඳුම් යෝජනාකර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව බන්ධනාගාර තදබදයට විසදුමක් ලෙස මෙන්ම සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්පයක් ලෙස දියුණු විශෝධන ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන රටවල භාවිතා කෙරෙන නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක කිරීමට යි ඉහත පස් අවුරුදු සැලැස්ම මගින් යෝජනාකර ඇත්තේ.

නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමවේදයේ දී සුළු වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන මෙන්ම සුළු දඬුවම් ලබන රැඳවියන් බන්ධනාගාරගත නොකොට, ඔවුන්ගේ නිවස්වල ම නියමිත කාලය තුළ රැඳවීම සිදු කරන අතර, තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් ව අධීක්ෂණය කිරීම සිදු කරනු ලබයි.

තවද සෞඛ්‍ය අවශ්‍යතා, රැකියා අවශ්‍යතා වැනි සීමා සහිත හා පෙර අනුමැතිය ලද කාර්යයන්ට පමණක් නිවසින් පිටතට යාමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇති.

ඒ අනුව මෙම යෝජනාවට අදාළ ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පිළියෙල කරන ලද ව්‍යාපෘති යෝජනාව, අධිකරණාභිමානයක උතුරු පළාත් ජන අභිමුව යුක්තියේ ප්‍රවේශය වැඩ සටහනට සමගාමි ව අධිකරණ අමාත්‍ය අලී සබ්රිගේ යාපනය බන්ධනාගාරය නිරීක්ෂණ සංචාරයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය විසින් ඔහු වෙත පිළිගැන්වීම සිදු කළ බව වාර්තා වනවා.

මෙම අවස්ථාව සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගි වී තිබෙනවා ෴

***************************************

ඒ-09 පාරේ යතුරුපැදියක් හදිසියේ ගිනි ගනියි

(10.02.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (09) රාත්‍රීයේ මහනුවර යාපනය ඒ-9 මාර්ගයේ මාතලේ දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නාඋල අරංගල ප්‍රදේශයේදී සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

නාඋල පොලිසීය පවසන්නේ අලුතින් මිල දී ගෙන ඇති මෙම යතුරුපැදිය රැගෙන යමින් සිටියදී මෙලෙස හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇති බවයි.

යතුරු පැදියේ ගිනි ගැනීම හේතුවෙන් යාබද පිහිටි වෙළෙඳසලකටද සුළු හානි සිදුව තිබෙනවා.

ගින්නෙන් යතුරුපැදිකරුට අනතුරක් සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ඇති ෴

***************************************

හමුදා සෙබළුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(10.02.2022 – 10:08 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරයෙන් ලොරි රථයක් ධාවනය කළ යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ආණමඩුව මහේස්ත්‍රත් අධිකරණය ඉදිරිපිටින් පෙරේදා (08) මෙම ලොරි රථය අධිකරණ කටයුතුවලට බාධා වන අන්දමින් ගමන් කර ඇති බවයි.

කෙසේ වෙතත්, ලොරි රථය නවතන ලෙස පොලීසිය අණ කර තිබුණත්, එය නො නවත්වා ධාවනය කිරීමට යි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව, පොලීසිය විමර්ශනයක් ආරම්භ කළ අතර, එහි දී අනාවරණය වී ඇත්තේ, එය කොටගල යුද හමුදා බල සේනා මූලස්ථානයට අයත් ලොරි රථයක් බවයි.

අනතුරුව පොලිසිය සිදු කළ දැනුම්දීම මත ලොරි රථයේ ගමන් ගත් සෙබලුන් දෙදෙනා (2) ඊයේ (09) පොලීසියට භාර දී තිබෙනවා ෴

***************************************

මිත්‍යාදෘෂ්ටිය නැවතුණු තැන

(10.02.2022 – 11:20 +0530 – hirunews.lk/sinhala)

බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ නිවසකින් සැක කටයුතු දුර්ගන්ධයක් ඇති වන බවට ලැබුණු තොරතුරක් මත පොලිස් විමර්ශනයක් ක්‍රියාත්මක වී තිබෙනවා.

ඒ ඊයේ (09) දිනයේ දි යි.

එහි දී අදාළ නිවසේ කාමරයක ඇඳක් මත මියගොස් සිටි වයස අවුරුදු 10 ක පමණ පිරිමි දරුවෙකුගේ මළසිරුරක් හමු වී ඇති බව පොලිසිය වාර්තා කරනවා.

මෙම දරුවා පසුගිය හත්වැනි (07) දා උගුරේ සෙම සිරවීම ආශ්‍රිත රෝගී තත්ත්වයකින් පෙළී තිබෙන අතර, දරුවාගේ දෙමව්පියන් විසින් ඔහු කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා යොමු කරනු නොලැබූ බව යි සඳහන් වන්නේ.

දෙමව්පියන් විසින් දරුවා ව කාමරයක තබා රෝගය සුව වන තුරු ආගමික යාඤාවක් සිදු කරනු ලැබ ඇති අතර, එම යාඤාව අතර තුර දරුවා මිය ගොස් තිබෙනවා.

ඉන් පසු ද නැවත දරුවාගේ ප්‍රාණය එන තුරු ඔවුන් අදාළ ආගමික යාඤාව සිදු කර ඇති අතර, කිසිදු අවස්ථාවක දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර නෑ.

දරුවාගේ මව, පියා හා මිත්තනිය යන තිදෙනා (3) ම මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුවීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර, මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත යි.

වැඩිදුර විමර්ශන කටයුතු බඩල්ගම පොලිසිය විසින් මෙහයවෙනු ඇති.

++++++++

https://www.youtube.com/watch?v=GQQlSI5BAqw#t=6

***************************************

ගොවීන්ගෙන් සහතික මිලට අමු කහ මිල දී ගැනීම ඇරඹේ

(10.02.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

කහ ගොවීන්ගෙන් සහතික මිලට අමු කහ මිල දී ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කුළුබඩු, වැවිළි භෝග ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා කුළුබඩු අලෙවි මණ්ඩලය ඒකාබද්ධව ඊයේ (09) වන විට ගම්පහ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ගොවීන්ගෙන් කහ කිලෝ ලක්ෂයක් මිලදී ගෙන තිබෙනවා.

කිලෝවක් රුපියල් 165 බැගින් මිලදී ගත් අමු කහ කුඩු ලෙස සකස් කර කුළු බඩු අලෙවි මණ්ඩලයේ අලෙවිසැල් මගින් සාධාරණ මිලකට පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සිදුකරන බව ද එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *