බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් !

බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් !

*********************************************

බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් !

(09.02.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම දේවස්ථානයේ සේවක ‘ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන්’ නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව විමර්ශන දියත් කළ බොරැල්ල පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය බෝම්බ සිද්ධියට අදාළව සැකපිට ප්‍රැන්සිස් මුනීන්ද්‍රන් ඇතුළු තවත් තිදෙනෙකු (3) පළමුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතර වයස අවුරුදු නවයක් (9) වූ දරුවකු ද ඇතුළත්ව සිටියා.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඒ අතර වාරයේ බොරැල්ල සියළු ශාන්තුවරයින්ගේ දෙවස්ථානය භාර පියතුමා ඇතුළු පිරිස් දේවස්ථානයේ සවි කර තිබු සී.සී.ටී.වී. කැමරා දර්ශන සමීපව නිරීක්ෂණය කරද්දී අනාවරණය වූයේ අදාළ බෝම්බය තබනුයේ මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් දේවස්ථාන සේවකයා නොවන බවයි.

පසුව මේ පිළිබඳව නැවත වරක් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම සී.සී.ටී.වී. දර්ශන නැවත පරිශීලනය කළ කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගනු ලැබුවා.

++++++

නීතිඥ හිජාස් හිස්බුල්ලා නිදහස්

(09.02.2022 – 16:19 +0530 – hirunews.lk/sinhala)

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව නීතිඥ හිජාස් හිස්බුල්ලා අද (09) පුත්තලම මහාධිකරණයෙන් පිටව ගියා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කර සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරින ලෙසයි අභියාචනාධිකරණය පසුගියදා නියම කළේ.

රක්ෂිත බන්ධනාගරගත කර සිටින හිජාස් හිස්බුල්ලා ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් (2) සහ මුදල් ඇපයක් මත නීතිඥ හිජාස් හිස්බුල්ලා මුදා හැරීමටයි හලාවත මහාධිකරණ විනිසුරු මාලනී අබේරත්න නියෝග කළේ.

සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද විනිසුරුවරිය මෙහිදී නියෝග කර තිබෙනවා.

***************************************

යුරෝපා සංගමයෙන් දැනුම් දීමක්

(09.02.2022 – 11:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා ඉවත් කරන ලෙසට යුරෝපා සංගමය දැනුම් දී තිබෙනවා.

ඒ, ඊයේ (08) බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා සංගම් රැස්වීමේදියි.

එහි දී ශ්‍රී ලංකා නියෝජිතයින් සදහන් කර ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියත් සමග මුහුණ දී ඇති විදේශ විනිමය ගැටලුව හේතුවෙන් මෙලෙස ආනයනය සීමා පැනවීමට කටයුතු කළ බවයි.

එම තත්ත්වයන් සම්බන්ධයෙන් විටින් විට අධ්‍යයනයන් කරන අතර විදේශ විනිමය ගැටලුව යම්තාක් දුරටකට නිරාකරණය කර ගැනීමට හැකි වුව හොත් ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම නියෝජිතයින් සඳහන් කර තිබෙනවා.

මෙහිදී යුරෝපා සංගමය සදහන් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණය යහපත් පියවරක් බවයි.

එමෙන්ම, ජාත්‍යන්තර නීතිරීතිවලට අනුකූලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සකස් කරන ලෙසත් අවශ්‍ය නීති රීති මේ වන විටත් ඊට ඇතුළත් වී නොමැති බව යුරෝපා සංගමය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

***************************************

ධීවර යාත්‍රා වෙන්දේසියට එරෙහි ව රාමේෂ්වරන්හි විරෝධතා

(09.02.2022 – 13:20 +0530 – hirunews.lk/sinhala)

රාජසන්තක වූ ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසි කිරීමට එරෙහිව තමිල්නාඩු – රමේෂ්වරන් ප්‍රදේශයේ ධීවරයින් මුහුදු යාමෙන් වැළකී වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රාමේෂ්වරන් ධීවර කාර්යාලය ඉදිරිපිට ඔවුන් විරෝධතාවක් ද පවත්වා ඇති අතර, ඊට එක්වෙමින් ධීවර නියෝජිතයින් සදහන් කර ඇත්තේ, ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රා වෙන්දේසි කිරීමෙන් ලක් රජය ලබන ආදායමෙන් අවම වශයෙන් සියයට 25 ක මුදලක් හෝ ඉන්දියාවට ලබා දිය යුතු බවයි.

එමෙන්ම, යාපනය – ඩෙල්ෆ් දූපත ආසන්නයේ අනවසරයෙන් ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ධීවරයින් 11 දෙනා සහ ට්‍රෝලර් යාත්‍රා 3 නිදහස් කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිනවා.

රාමේෂ්වරන් ධීවර වරායේ ධීවර යාත්‍රා 800 ක් පමණ නැංගුරම්ලා ධීවර කටයුතුවලට යාමෙන් වැළකී ඇති බව යි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන්ගේ මෙම වර්ජනය නිසා දිනකට ඉන්දීය රුපියල් කෝටි 10 ට ආසන්න මුදලක පාඩුවක් ඉන්දීය රජයට සිදු වන බව සඳහන්.

මේ අතර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඉන්දීය ධීවර නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ (08) පස්වරුවේ අතත්‍ය සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී මෙරට භාරයේ පැවති ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසි කිරීම පිළිබඳව ද සාකච්ඡා වී ඇති අතර, පැරණි බෝට්ටු පමණක් වෙන්දේසි කළ බවට යි අමාත්‍ය ඩග්ලස් දේවානන්ද එහි දී ප්‍රකාශ කර ඇත්තේ.

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවර යාත්‍රා 140 ක් කරෙයිනගර් සහ කන්කසන්තුරේ ධීවර වරායේ දී පෙරේදා (07) සහ ඊයේ (08) වෙන්දේසි කෙරුණු අතර ඉන් රුපියල් පනස් හත් ලක්ෂයකට (57,00,000) ආසන්න මුදලක් ආණ්ඩුව උපයාගෙන තිබුණා ෴

***************************************

තීරණාත්මක මොහොතක් එනතුරු නොසිට ආණ්ඩුවෙන් යන්න – ශ්‍රීලනිප වෙත දැනුම්දීමක්

(09.02.2022 – 13:33 +0530 – hirunews.lk/sinhala)

තීරණාත්මක මොහොතක් එනතුරු නොසිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.

මැදවච්චිය ප්‍රදේශයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔවුන් ඉදිරියේ දී රජය නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ සමග නව සන්ධානයක් බිහි කරලීමට අපේක්ෂාවෙන් සිටින බවයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (09) සිට දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජනරැළි මාලාවක් ආරම්භ කරනවා.

එහි පළමු රැළිය අද (09) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී යි ෴

***************************************

ජාත්‍යන්තරය හමුවේ යටත් නො වන්න – මැදගොඩ අභයතිස්ස හිමි

(09.02.2022 – 14:41 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සතු කිරීමට තමන් විරුද්ධ වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

ත්‍රිකුණාමලයේ පැවැති රැස්වීමක දී උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

ජනපතිවරයාට ප්‍රබල ජනවරමක් ලැබී ඇත්තේ, ජාත්‍යන්තරය හමුවේ යටහත් පහත් නො වීමට බවත් උන්වහනසේ එහි දී අවධාරණය කළා.

***************************************

කර්මාන්ත ඇමතිගෙන් උපායමාර්ගික සැලසුම් සඳහා යෝජනාවක්

(09.02.2022 – 14:58 +0530 – hirunews.lk/sinhala)

පැවති අපිළිවෙළ වෙනස්කර, උපායමාර්ගික සැලසුමකට අනුව යමින් තමන්ට අදාළ නිශ්චිත කර්මාන්ත ක්ෂේත්‍රයට නිසි මග පෙන්වීමේ බලවත් භූමිකාවට පණ පෙවීමට සූදානම් වන ලෙස, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 12 කට අදාළව කර්මාන්ත අමාත්‍යාංශය විසින් පිහිටුවන ලද උපදේශක සභාවන්හි සභාපතිවරුන් හා සාමාජිකයන්ට අවධාරණය කරනවා.

ඊයේ (08) එම පිරිසට පත්වීම් ලිපි ප්‍රදානය පිණිස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සව සභාව අමතමිනුයි ඔහු මෙසේ අවධාරණය කළේ.

++++++

***************************************

මත්තල සක්‍රීය ගුවන්තොටුපලක් කිරීමේ ක්‍රියාමාර්ග පුළුල් කෙරේ

(09.02.2022 – 15:05 +0530 – hirunews.lk/sinhala)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වසරේදී තවදුරටත් පුළුල් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එහි ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ලොව ප්‍රමුඛ පෙලේ ගුවන් සමාගම් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙම වසර තුල එම ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපලේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි ද අමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා.

පසුගිය වසර තුල මත්තල ගුවන්තොටුපලේ ගුවන් මගී මෙහෙයුම් 32,957 ක් සිදු කර ඇති අතර, හසුරුවා ඇති ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව 722 ක්.

ඉන් 584 ක්ම ජාත්‍යන්තර ගුවන් යානා වීම විශේෂත්වයක් වනවා.

එසේම මේ වසරේ ජනවාරි පළමුවනදා (01) සිට පෙබරවාරි 03 වන දා දක්වා කාලය තුල දී මත්තල ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 2919 ක් බව ද සඳහන් ෴

***************************************

ජාත්‍යන්තරයට ගෙවිය යුතු ණය ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

(09.02.2022 – 15:41 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ඉදිරියේදී ගෙවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවක් මතු වී ඇති බවට විවිධ මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව ස්වෛරී ණය පැහැර හැරීමක අද්දර සිටින බවට කර ඇති ඇතැම් මාධ්‍ය වාර්තා සහමුලින්ම නොමග යවන සුළු ඒවා බවයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන ලද විශ්වාසනීය නිල දත්ත තිබියදීත්, මෙලෙස සාවද්‍ය තොරතුරු සහ වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව කනගාටු වන බවත් එම නිවේදනයේ සඳහන්.

2022 ජූලි මාසයේ දී කල් පිරෙන ඇමරිකානු ඩොලර් බිලියන 1 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ඇතුළු ඉදිරි ණය බැඳීම් සපුරාලීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අරමුදල් සහ විවිධ විකල්ප ක්‍රමවේදයන් ගණනාවක් හරහා විදේශ විනිමය සංචිත සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මහබැංකුව මෙම නිවේදනය හරහා අවධාරණය කරනවා.

එබැවින්, ඉදිරියේ දී කල් පිරීමට නියමිත සියලුම ණය බැඳීම්වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකසා එමගින් ශ්‍රී ලංකාවේ නොකැළැල් ණය සේවා වාර්තාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමට රජය සහ මහබැංකුව කැපවී සිටින බවට දේශීය හා ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාවට සහතික වන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එබැවින්ම 2020 ජනවාරි මාසයේ සිට ඩොලර් බිලියන 2.5 ක් වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ආපසු ගෙවීමත් සමඟ, ජාත්‍යන්තර ණය අඩු කිරීමේ රජයේ උපාය මාර්ගයට අනුව 2022 ජූලි වන විට සමස්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.55 දක්වා අඩු වී ඇති බව මෙම වාර්තාවේ සඳහන්.

එමෙන්ම ලබන ජූලි මාසයේ දී කල්පිරෙන ඇමරිකානු ඩොලර් බිලියන එකක් වන ජාත්‍යන්තර බැඳුම්කර වාරිකය ද ගෙවා දැමීමෙන් පසු එම ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 11.55 දක්වා අඩු වනු ඇති බවටත් මහා බැංකුව පුරෝකථනය කරනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *