මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට

මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට

*********************************************

මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට

(09.02.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් (SLIIT) මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද පෙරේදා (07) අනුමැතිය හිමි වුණා.

මහපොළ භාරකාර අරමුදල යටතේ පැවති ස්ලිට් ආයතනය පසුගිය ආණ්ඩුව සමයේ ඉදිරිපත් කළ විවිධ අණ පනත් හරහා එම අරමුදලින් බැහැර කර ඇතැයි අමාත්‍යවරයා කියා සිටියා.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව එම අණපනත් අහෝසි කර ස්ලිට් ආයතනය මහපොළ භාරකාර අරමුදලට නැවත පැවරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

මේ අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සංශෝධන පනත් කෙටුම්පත ද ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිත ව සම්මත කෙරුණා.

එමෙන්ම දුප්පත් පවුල් ලක්ෂයකගේ නිවාසවල වහල මත සූර්ය කෝෂ සවි කර ඔවුන්ට ආදායමක් ලබාදීමේ ව්‍යාපෘතියක් ද මේ වනවිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා ෴

***************************************

සෞඛ්‍ය සේවක වර්ජනය ගැන වෛද්‍යවරුන් ගෙන් රතු එළියක්

(09.02.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය හේතුවෙන් අද (09) දිනයේත් රෝහල් රැසක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් අපහසුතාවයට පත්වුණා.

3 වන දිනටත් මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ ඊයේ (08) සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වීමත් සමගයි.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ ගැටලු විසඳන තෙක් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව දියත් කරන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙලෙස වැටුප් විෂමතා වෙනස් කරන්නේ නම් සිය සංගමය ද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවයි.

මෙම වැඩවර්ජනය හේතුවෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ කටයුතුවලට ද බාධා සිදුව තිබෙනවා.

හෙද නිලධාරින් 400 ක් පමණ සාමාන්‍යයෙන් දෛනිකව රාජකාරි සිදු කරන එම විද්‍යායතනයේ අද දිනය වනවිට සේවය කරන්නේ හෙද නිලධාරින් 26 දෙනෙකු පමණක් බවයි එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. විජේසිංහ කියා සිටියේ.

මේ අතර, ඊයේ (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියා සිටියේ අතාවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතින බවත් එය මඟහරවා ගැනීමට ඉදිරි දින කිහිපයේදී කටයුතු කරන බවයි.

මේ අතර, සිය සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා ඩෙංගු මර්දන සහයකයින් දියත් කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට අද (09) දහවල් දැඩි රථ වාහන තදබදයක් හට ගත්තා.

***************************************

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින් උද්ඝෝෂණයක

(09.02.2022 – 15:17 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමය අද (09) දහවල් පුරහල සිට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත පාගමනින් පැමිණ විරෝධතාවක නිරත වුණා.

පුරහල ප්‍රධාන මාර්ගවල පැමිණි විරෝධතාකරුවන්ගේ පා ගමන හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ද ඇති වූ බව යි වාර්තා වෙන්නේ.

ලංකාව පුරා සිටින මදුරු මර්දන සහායක තනතුරු 1169 ක සේවකයින්ගේ රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමිනු යි මෙම විරෝධතාවය සිදු කර ඇත්තේ.

මෙම 1169 ක් වූ මදුරු මර්දන සහායකයින් ස්ථිර වැටුපක් නො මැති ව සේවය ස්ථීර නො කිරීම හේතුවෙන් සේවා අස්ථිර භාවයක් ඇති වී තිබෙන බවත් සෞඛ්‍ය ක්රෂේත්‍ර තුළ තම වෘත්තීය ස්ථිර කරන ලෙසත් ඉල්ලා ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන්ගෙන් කිහිප දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ගොස් සාකච්ඡා කිරීමට ද අවස්ථාව ලබා දී තිබුණා.

මේ වන විට කැරලි මර්දන කණ්ඩායම් ද එම ස්ථානයට කැඳවා ඇති බව යි වාර්තා වෙන්නේ.

+++++++

ඩෙංගු මර්දකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා පනියි

(09.02.2022 – 20:41 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු මර්දන සහායකයන්ගේ සංගමයේ විරෝධතාකරුවන් පිරිසක් අද (09) සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වීමත් සමග උණුසුම් තත්ත්වයක් මතුවුණා.

තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරින් ද කැඳවනු ලැබුවා.

දිවයින පුරා සිටින මදුරු මර්දන සහායක තනතුරු 1169 ක් ස්ථිර කර දෙන ලෙස ඉල්ලා ඩෙංගු මර්දන සහායකයන්ගේ සංගමය අද විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

විහාර මහාදේවි උද්‍යානයෙන් ආරම්භ වූ විරෝධතා පාගමනට එක්වූ පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුලු වීමත් සමඟ ඇති වූයේ උණුසුම්කාරි තත්ත්වයක්.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යවරයා එහි නොසිටීමට හේතුවෙන් ඔවුන්ට අද (09) දිනයේ සාකච්ඡාවක් ලැබී තිබුණේ නැහැ.

මේ අතර, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වර්ජනය හේතුවෙන් අද දිනයේත් රෝහල් රැසක ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් අපහසුතාවයට පත්වුණා.

කෙසේ වෙතත්, රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව අද (09) දිනයේත් අපහසුතාවයට පත්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

***************************************

ගම්පහ දී මනුෂ්‍ය ඝාතනයක්

(09.02.2022 – 09:18 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ පොලිස් වසමේ ලක්ෂ්මී පාර ප්‍රදේශයේ දී නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් පිහි ඇනුමකින් සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා.

මරණකරු වයස අවුරුදු 62 ක ලක්ෂ්මී පාර – ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට සම්බන්ධ ව වයස අවුරුදු 35 ක හා 32 යන වයස්වල පසු වන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ (08) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අතර, නියෝගය අනුව සැකකරුවන් ව 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි නියමිත ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ගම්පහ පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

(09.02.2022 – 09:22 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන 17 වැනි දා දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අයදුම්පත් භාර ගැනීමේ දිනය හෙට (10) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.

ඒ අනුව මාර්ගගත ක්‍රමයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම වෙත පිවිස අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

+ [ https://www.doenets.lk/ ]

***************************************

බලපත්‍ර නොමැතිව තහනම් කෘමිනාශක ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට

(09.02.2022 – 09:25 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර – පරණ බස් නැවතුම්පොළ අසල දී බලපත්‍ර නොමැති ව තහනම් වල් නාශක සහ කෘමි නාශක ප්‍රවාහනය කළ සැකකරුවෙකු, කැබ් රථයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී කැබ් රථයේ තිබී ග්‍රෑම් 100 යේ කෘමිනාශක පැකට් 14 ක්, ග්‍රෑම් 100 යේ වල් නාශක පැකට් 230 ක් සොයාගෙන ඇති බව සඳහන්.

මීට අමතර ව තවත් කුඩා ප්‍රමාණයේ කෘමිනාශක පැකට් තොගයක් සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් 34 හැවිරිදි වියේ පසුවන සැකකරු පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි

(09.02.2022 – 09:40 +0530 – hirunews.lk/sinhala)

වයස 55 ක් පමණ වන නාඳුනන කාන්තා මළ සිරුරක් මාතර තොටමුන මෝයකට ආසන්න තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම කාන්තාව කාගේ කවුරුන් ද සහ මරණයට හේතුව යන කරුණු පිළිබඳ මෙතෙක් අනාවරණය වී නෑ.

මෘත දේහය මේ වනි විට මාතර මහ රෝහල වෙත යවා ඇති බව යි වාර්තා වෙන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු මාතර පොලිසිය මඟින් මෙහෙයවෙනු ඇති.

***************************************

කාන්තාවන්ගේ රන්මාල සොරාගත් දෙදෙනෙකු (2) අත් අඩංගුවට

(09.02.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

ත්‍රී රෝද රථයකින් ගොස් මාර්ගයේ ගමන් කරන කාන්තාවන්ගේ රන් මාල කොල්ල කෑ සැකකරුවන් දෙදෙනෙකු (2) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නුගේගොඩ, බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ඊයේ (08) දින සිදු කළ විමර්ශනයකට අනුව යි.

අත් අඩංගුවට ගන්නා විට සැකකරුවන් සතු ව තිබී රන් මාල 04 ක් හා රන් පෙන්ඩන‍යක් (1) තිබී ඇති බව යි වාර්තා වෙන්නේ.

සැකකරුවන් වයස අවුරුදු 29 හා 28 වයස්වල පසුවන ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

ඔවුන් අද (09) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, නුගේගොඩ, බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

වියළි කාලගුණයත් සමඟ කැලෑ ගිනි ගැනීම් ඉහළට

(09.02.2022 – 10:29 +0530 – hirunews.lk/sinhala)

වියළි කාලගුණයත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ඇතැම් කැළෑබඳ ප්‍රදේශවල ගිනි ගැනීම් වාර්තා වනවා.

හැටන් සහ බගවන්තලාව ප්‍රදේශවල රක්ෂිත දෙකක ඊයේ (08) මෙලෙස ගිනි ගැනීම් වාර්තා වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගිනි ගැනීම් හේතුවෙන් අක්කර 10 කට වැඩි භූමි ප්‍රමාණයකට හානි සිදු වුණා ෴

***************************************

නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

(09.02.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala)

හොරණ පොලිස් වසමේ සලුයන් කන්ද ප්‍රදේශයේ දී හොරණ පොලිසිය විසින් වැටළීමක් සිදු කරනු ලැබ තිබෙනවා.

එහි දී නීතිවිරෝධී මත්පැන් ලීටර් 99 ක් (බෝතල් 132 ක්), නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 1807 ක් (බැරල් 10 ක්) සහ තඹ දඟරයක් ද සොයාගැනීමට පොලිසිය සමත් වී ඇති බව වාර්තා වෙනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 33 ක පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අද (09) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, හොරණ පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර, විදේශ රටක සිට තැපැල් මඟින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබුණු, මෙරටට ගෙන්වන ලද සැකකටයුතු පාර්සල් 02 ක් සම්බන්ධ ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයට තොරතුරක් ලැබී තිබෙනවා.

මෙම පාර්සල් පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ලබා ගත් නියෝගයක් මත ඊයේ (08) වැනි දින මෙම පාර්සල් විවෘත කර ඇති බව යි වාර්තා වෙන්නේ.

එහි දී එම පාර්සල් තුළ මරිජුවානා වර්ගයේ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 458 ක් තිබී හමු වූ බව සඳහන්.

සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නැති අතර, පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති ෴

***************************************

පිළිස්සුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරිය මිය යයි

(09.02.2022 – 11:28 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – ගෝනපීනුවල ප්‍රදේශයේ දී සිය සැමියා විසින් ගිනි තබා රෝහල්ගත කළ කාන්තා පොලිස් සැරයන්වරිය මිය ගොස් තිබෙනවා.

බරපතළ තත්ත්වයේ පසු වූ ඇය බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ (08) මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

35 හැවිරිදි ගෝනපීනුවල පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම පොලිස් සැරයන්වරිය සේවය නිම කර නිවසට පැමිණි අවස්ථාවේ ඇති වූ ආරවුලක් මත සැමියා විසින් පසුගිය දා ඇයගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *