සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

*********************************************

සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

(07.02.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala)

හෙද ඇතුලු සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති 18 ක් අද (07) උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කළ අඛන්ඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක සේවාවන්ට බාධා මතුව තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය මෙම වර්ජනය දියත් කරන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින්.

හෙද සේවාවට අමතරව, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විකිරණවේදීන් ඇතුළු අංශ ගණනාවක වෘත්තිකයන් වර්ජනය සදහා එක්ව සිටිනවා.

මේ හේතුවෙන් අද (07) ප්‍රතිකාර සදහා රෝහල් වෙත පැමිණි රෝගීන් පත්වුයේ දැඩි අසීරුවතාවයකටයි.

කෙසේ වෙතත් පිළිකා, කාන්තා හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතනවල වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද මෙම අඛන්ඩ වැඩවර්ජනයට සහය දැක්වීම හේතුවෙන් කොරෝනා හා ඩෙංගු මර්දන කටයුතුවලටද බාධා එල්ලවී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වර්ජනය සඳහා සිය සංගමය සහය ලබා නොදෙන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ සිය දේශපාලනික අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් වෘත්තිය සමිති මෙම වර්ජනය සිදුකරන බවයි.

රාජ්‍ය ඔසු සලේ දිගු පෝලිම්

(07.02.2022 – 14:12 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් හතක් (7) මුල් කරගනිමින් සෞඛ්‍ය සේවකයින් විසින් අද (07) උදෑසන 07:00 සිට දිවයින පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කලා.

මේ හේතුවෙන් රෝහල් රැසක දෛනික සේවාවන්ට දැඩි බාධා එල්ල වුණා.

එමෙන්ම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දුර බැහැර ප්‍රදේශ වල සිට රෝහල් වෙත පැමිණි රෝගීන් ද මෙම හදිසි වැඩවර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්වූනා.

ඔවුන් බොහෝ දෙනෙක් කියා සිටියේ මෙවැනි වැඩ වර්ජන හේතුවෙන් අවසානයේ අන්ත අසරණ වන්නේ දුගී දුප්පත් තමන් බවයි.

මෙම වැඩවර්ජනය හේතුවෙන් රෝහල් හරහා ඖෂධ නිකුත් කිරීමක් ද සිදු නොවූ අතර රෝහල් බොහොමයක ඖෂධාගාර ඉබි යතුරු දමා වසා දමා ඇති අයුරු දක්නට ලැබුණා.

මේ හේතුවෙන් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද ඖෂධ ලබා ලබා ගැනීම සඳහා රෝගීන් බොහොමයක් පෞද්ගලික ඖෂධ හල් ඉදිරිපිට රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

මේ අයුරින් කොළඹ රාජ්‍ය ඔසු සල ඉදිරිපිට ද දිගු පෝලිම් දක්නට ලැබුණේ මෙලෙසින්.

කොළඹ පුරහල ආසන්නයේ පිහිටි මෙම ඔසුසල ඉදිරිපිට දිගු පෝලිම් වල රැඳී සිටි ජනතාව අදහස් දක්වමින් කියා සිටියේ ආර්ථික ගැටලු හේතුවෙන් හෙම්බත් වී ඇති තමන් මේ ආකාරයට තව තවදුරටත් පීඩනයට ලක් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.

මේ අතර පිරිවෙන් ගුරුවරුන්ගේ විරෝධතාවක් හේතුවෙන් බත්තරමුල්ල පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට මාර්ගය අවහිර වීමෙන් දැඩි රථ වාහන තදබධයක් හට ගෙන තිබෙනවා.

++++++++++++

විසදුම් ලැබෙන තෙක් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයේ

(07.02.2022 – 20:08 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක කර ඇති අඛන්ඩ වැඩවර්ජනයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉදිරි දින හත (7) ඇතුළත අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවාවලින් ද ඉවත්වන බවට හෙද – පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තිය සමිති අනතුරු අඟවනවා.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් හෙද – පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්හි වෘත්තීන් 17 ක පිරිස් අද (07) උදෑසන සිට දීපව්‍යාප්තව අඛන්ඩ වැඩවර්ජනයක් ආරම්භ කළ අතර, ඒ හේතුවෙන් රෝහල් රැසක සේවාවන්ට බාධා එල්ලවී තිබෙනවා.

කෙසේ වෙතත් පිළිකා, කාන්තා හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව ඇතුළු ප්‍රධාන රෝහල් හා ආයතන 10 ක අත්‍යාවශ්‍ය ප්‍රතිකාර හා සේවා තවදුරටත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වර්ජනයට සහය පළ නොකරන බවයි එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ සිය දේශපාලනික අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් වෘත්තිය සමිති මෙම වර්ජනය සිදුකරන බවයි.

හෙද සේවාවට අමතරව, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විකිරණවේදීන් ඇතුළු අංශ ගණනාවක වෘත්තිකයන් වර්ජනය සදහා එක්ව සිටින අතර මේ හේතුවෙන් අද (07) ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණි රෝගීන් රැසක් දුෂ්කරතාවට පත් වුණා.

එමෙන්ම, පෞද්ගලික රෝහල්වලින් ඖෂධ ලබා ගැනීමට නිකුත් කළ තුණ්ඩුවලට ඖෂධ නිකුත් කළ ද රත්නපුර මහරෝහලෙන් නිකුත් කළ තුණ්ඩු සඳහා බෙහෙත් ලබා නොදීමේ සිද්ධියක් ද රත්නපුර රාජ්‍ය ඔසුසැලෙන් වාර්තා වුණා.

මේ අතර මෙවැනි අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේදී අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය ඊට සම්බන්ධ කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය කපිල රණසිංහ අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉල්ලා සිටියා.

***************************************

සංස්ථා තෙල් මිල ඉහළ දැමීමට මෙතෙක් තීරණය කර නැතැයි ඇමති ගම්මන්පිල කියයි

(07.02.2022 – 13:57 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා අයි.ඕ.සී.’ සමාගම ඉන්ධන මිල ඉහළ දැමූවද තෙල් සංස්ථාව මිල ඉහල නැංවීමට මෙතෙක් තීරණය කර නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සංස්ථාවද මිල ඉහල නංවනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්, තොග සඟවාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් අද (07) සොයා බැලීමක් සිදුකරන බවද අමාත්‍යවරයා කියා සිටියා.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ‘ලංකා අයි.ඕ.සී.’ සමාගම, ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින්, ඩීසල් ලීටරයක් සහ එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 ලීටරයක් රුපියල් තුන (3) බැගින් ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව එම සමාගමේ ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 184 ක් වන අතර, ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 213 දක්වා ඉහළ ගියා.

ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 124 ක්.

මේ අතර අද (07) දිනයේ ප්‍රමාණවත් පරිදි දැවි තෙල් සහ ඩීසල් ලබා දුනහොත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි සඳහන් කළා.

මෙම සතියේ විදුලි බල මණ්ඩලයට අයත් බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් ලබාදීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරීන් අතර අද (07) සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රවාහන කටයුතු සහ කර්මාන්තශාලාවට අවශ්‍ය ඉන්ධන තොග වෙන් කිරීමෙන් අනතුරුව ඉතිරි ඉන්ධන සංචිත විදුලි උත්පාදනය වෙනුවෙන් මුදා හැරීමට සූදානම් බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

පසුගිය සති අන්තයේදී දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 300 කින් පමණ පහල ගියද එය යලිත් අද (07) සිට මෙගවොට් 2750 ඉක්මවා යාමේ අවදානමක් පවතිනවා.

මෙම තත්ත්වය වඩාත් උග්‍ර වන්නේ පසුගිය සතියට සාපේක්ෂව මේ වනවිට ජලාශවල ධාරිතාවය තවදුරටත් පහළ බැස තිබීම හේතුවෙන්.

මෙම තත්ත්වයත් සමඟ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මෙන්ම අනෙකුත් තාප බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදින් ඇරඹුණු උසස් පෙළ විභාගය හේතුවෙන් තාප බලාගාර ක්‍රියාත්මක කිරීමට සිය පාර්ශවයෙන් උපරිම සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර විදුලි අර්බුදයක් රට තුළ පවතින මොහොතක මහරගම පිහිටි ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට පිහිටා ඇති ඩිජිටල් විදුලි ආලෝක පුවරු දෙකක් (2) රාත්‍රී කාලයේ ප්‍රදර්ශනය කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.

++++++++++++

අද (07) විදුලි කප්පාදුවකට ඉල්ලීමක් කර නැතැයි මහජන උපයෝගීතා කොමිසම කියයි

(07.02.2022 – 17:08 +0530 – hirunews.lk/sinhala)

අද (07) දිනයේදී විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් සිදුකර නොමැති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

කොළඹ අද (07) මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු ප්‍රකාශ කළේ පවතින ධාරිතාව මගින් ඉල්ලුම සපුරාලිය හැකි බැවින් බොහෝදුරට හෙට (08) සහ අනිද්දා (09) ද විදුලි කප්පාදුවක් සිදුනොකිරීමට ඉඩ පවතින බවයි.

මේ අතර, විදුලි උත්පාදනයට හැකි පමණින් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළා.

මේ අතර, ලංකා විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සම්මේලනයේ කැදවුම්කරු රංජන් ජයලාල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉන්ධන මිල ඉහල දැමීමත් සමග විදුලි බිල ඉහල දැමීමේ සුදානමක් ද පවතින බවයි.

මේ අතර, බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් ලැබුණහොත් අද (07) දිනය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

ගෙවුණු සතිඅන්තය තුළ ජාතික විදුලි ඉල්ලුම සාමාන්‍ය මට්ටමක පැවති අතර ඊයේ (06) රාත්‍රියේ එම අගය මෙගාවොට් 2374.1 ක පැවතුණා.

විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරන්නේ අද (07) දිනයේ විදුලි ඉල්ලුම ඉහළ යා හැකි බවයි.

කෙසේවෙතත් මහජන උපයෝගිතා කොමිසම ඊයේ (06) පැවසුවේ, අද (07) දිනය තුළ මෙගාවොට් 2750 ක පමණ විදුලි ප්‍රමාණයක් පරිභෝජනය වුවහොත් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවයි.

එවැනි විදුලිය ප්‍රමාණයක් උත්පාදනය සඳහා හැකියාවක් නැති බව එම කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව අද (07) දිනයේ විදුලිය උත්පාදනය සඳහා තාප බලාගාර සතුව ඇති ඉන්ධන සංචිතයන් පිළිබඳ අප සොයා බැලීමක් සිදුකළා.

පසුගිය දින කිහිපයේ ඉන්ධන නොමැතිව අක්‍රීය කර තිබූ කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ සංයුක්ත චක්‍රීය බලාගාරය සඳහා අවශ්‍ය සම්පූර්ණ නැප්තා ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අද (07) අලුයම් කාලයේදී ලැබී තිබෙනවා.

එම බලාගාරයෙන් මෙගාවොට් 165 ක් ජාතික විදුලි පද්ධතියට ලබාදෙන අතර කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් උත්පාදනය කෙරෙන විදුලි ප්‍රමාණය මෙගාවොට් 115 ක්.

මේ අතර අළුත්වැඩියා කටයුත්තක් සඳහා අක්‍රිය කෙරුණු කැලණිතිස්ස සොජිට්ස් පුද්ගලික බලාගාරයද යළි ජාතික විදුලි ජනන පද්ධතියට එක්කිරීමෙන් පසු එමඟින් මෙගාවොට් 160 ක් මේ වනවිට උත්පාදනය කෙරෙනවා.

සපුගස්කන්ද බලාගාර සංකීර්ණයටද අවශ්‍ය දැවිතෙල් සති අන්තයේ ලැබී තිබූ අතර මේ වනවිට සුපුරුදු ධාරිතාවෙන් එහි විදුලි උත්පාදනය කරන බව විදුලිබල මණ්ඩලය දැනුම් දුන්නා.

කෙසේවෙතත් කොළඹ වරායේ බත්තල බලාගාරය අද (07) පෙරවරුවේ යළිත් වරක් අක්‍රීය කර තිබෙනවා.

ඒ විදුලි උත්පාදනයට ප්‍රමාණවත් තරම් ඉන්ධන එම බලාගාරය සතු නොවීමෙන්.

මේ හේතුවෙන් මෙගාවොට් 60 ක් විදුලි පද්ධතියට අද (07) දිනයේ අහිමි වනවා.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා පැවසුවේ බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් ලැබුණහොත් අද (07) දිනය තුළ විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි.

මේ අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමුවා.

+++++++++++++

ඇතැම් ඉන්ධනහල්වල පෝලිම්

(07.02.2022 – 20:14 +0530 – hirunews.lk/sinhala)

‘ලංකා අයි.ඕ.සී.’ සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම තුළින් ඔවුන්ගේ පාඩුව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ‘ලංකා අයි.ඕ.සී.’ සමාගම ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

කෙසේ වෙතත්, ඉන්ධන මිල වැඩි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙතෙක් අදහසක් නොමැති බවයි අමාත්‍ය උදය ගම්මන්පිළ සඳහන් කළේ.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ‘ලංකා අයි.ඕ.සී.’ සමාගම, ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින්, ඩීසල් ලීටරයක් සහ එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 ලීටරයක් රුපියල් තුන (3) බැගින් ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව එම සමාගමේ ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 184 ක් වන අතර, ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 213 දක්වා ඉහළ ගියා.

‘ලංකා අයි.ඕ.සී.’ සමාගමේ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 124 ක්.

කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ යන බවට වූ ප්‍රචාර හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් බොහෝ පිරවුම්හල් ආශ්‍රිතව ඊයේ (06) රාත්‍රියේ මෙන්ම අද (07) දිනයේ ද පෝලිම් පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලාභ විදින බව ලිඛිතව දැනුම් දී ඇතත්, ඉන්ධන මිල ඉහළ නැංවීමට මෙතෙක් අවසර ලබාදී නොමැති බවයි.

++++++++++++++

විදුලිය කැපීම කඩා කප්පල්කාරී ක්‍රියාවක්- සොයා බලන්නැයි ආණ්ඩු පක්ෂය ජනපතිගෙන් ඉල්ලයි

(07.02.2022 – 20:27 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල අර්බුදය, ඩොලර් හිඟය ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (07) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක්ව සිටි මෙම රැස්වීමේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ සිදුකළ ප්‍රකාශයකට ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විරුද්ධව අදහස් පළ කර තිබෙනවා.

මෙම හමුවට පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත ද එක්ව සිටියා.

පසුගිය දා උදය ගම්මන්පිළ අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී සදහන් කළේ විදේශ විනිමය අර්බුදයට හේතුව අසීමිත ලෙස ණය බර ඉහළ යාම මිස කොරෝනා අර්බුදය නොවන බවයි.

මෙම ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයන්ත කැටගොඩ, තිස්ස කුට්ටිආරච්චි ඇතුළු තවත් පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දක්වා තිබෙනවා.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සඳහන් කර ඇත්තේ විදුලිබල අර්බුදය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සහ විදුලිබල අමාත්‍යවරයා පරස්පර අදහස් පළ කරමින් සිටින බවයි.

එහිදී කිසියම් කරුණක් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්නේ නම් පුළුල්ව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම විදුලිබල අර්බුදය ක්ෂණිකව ඇතිවූවක් නොව අවශ්‍ය බලාගාර නිසි කලට ඉදි නොවීම නිසා මතු වූවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්තිය පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බව සදහන් කළා.

මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සදහන් කළේ මෙම වසරේ දී ඩොලර් මිලියන 31,000 ක විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය බවයි. එම ප්‍රමාණය ලබා ගැනීම සඳහා සෑම උත්සාහයක්ම දරණ බව මුදල් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

මේ අතර, පාර්ලිමේන්තුව හෙට (08) සිට එළඹෙන 11 වන දා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේදී එළඹුණු තීරණයකට අනුවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *