බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්

බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්

*********************************************

බලාගාරවලට ඉන්ධන සැපයුම ගැන විශේෂ සාකච්ඡාවක්

(07.02.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala)

විදුලි උත්පාදනය සඳහා ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවේ විශේෂ සාකච්ඡාවක් අද (07) පෙරවරුවේ පැවැත්වෙනවා.

ඒ අනුව ඉදිරි සතිය සඳහා බලාගාර වෙත ඉන්ධන නිකුත් කිරීම තීරණය කරන බවයි වාර්තාවන්නේ.

මීට සතියකට පෙර බලාගාර සඳහා අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල් තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලය වෙත සපයනු ලැබුවා.

කෙසේ වෙතත් එම ඉන්ධන තොග අද දිනය වනවිට අවසන් වීමට නියමිතව ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය සති අන්තය වනවිට දෛනික විදුලි ඉල්ලුම මෙගවොට් 2,000 ක් දක්වා පහළ ගියද අද (07) සිට ඉදිරි වැඩකරන දින කිහිපය තුළ දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,750 ක් ඉක්මවීමේ තත්වයක් ඇතිවිය හැකියි.

එසේ වුවහොත් නොරොච්චෝලේ බලාගාරය ද ඇතුලුව සියලු ඩීසල් සහ දැවිතෙල් මගින් ක්‍රියාත්මක කෙරෙන බලාගාර විදුලි ජනනය සඳහා යොදාගැනීම අත්‍යවශ්‍ය වනවා.

ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසන්නේ මීට පෙර තෙල් සංස්ථාව මගින් විදුලි උත්පාදනය සඳහා ලබාදුන් ඉන්ධන අදින් (07) අවසන් වන බවයි.

මේ අතර ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිළ ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් තුනකිනුත් (3), ඔක්ටේන්-92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් හතකිනුත් (7) ලෙසයි.

එමෙන්ම එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 හෙවත් ඔක්ටේන්-95 පෙට්රල් ලීටරයක් රුපියල් තුනකින් (3) ද ඉහළ දමනු ලැබුවා.

මේ අතර මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ ඉන්ධන මිල වැඩිවුණද බස් ගාස්තුවල වැඩිවීමක් සිදු නොවන බවයි ෴

***************************************

වාලම්පූරි දෙකක් (2) සමග පුද්ගලයෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට

(07.02.2022 – 11:02 +0530 – hirunews.lk/sinhala)

අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ රුපියල් කෝටියකට (1,00,00,000) අධික වටිනාකමකින් යුත් වාලම්පුරි දෙකක් (2) සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට, වාලච්චේන යුධ හමුදා කඳවුරේ බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (06) මුතුර් පොලිස් වසමේ නෙයිදල් නගර් ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකින්.

මෙලෙස අත්අඩංගුවට ගත් වාලම්පූරි අලෙවි කිරීම සදහා සුදානම් කර තිබියදී යි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

සැකකරු මුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයෙක්.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුතුර් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴

***************************************

‘පරිප්පුවා’ පැන යයි ගෝලයෝ කොටු වෙති

(07.02.2022 – 11:24 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘වැල්ලම්පිටියේ අමල්’ නොහොත් ‘පරිප්පුවා’ නැමැත්තාගේ ගෝලයන් සිව්දෙනෙකු (4) තියුණු ආයුධ සමඟ කැලණිතිස්ස වේරගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘ඉන්නම්බි’ නමැති අපරාධකරු ද ඒ අතර සිටින බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සැකකරුවන් සන්තකයේ තිබී කඩු හතරක් (4) සහ පිහි දෙකක් (2) පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ එම ඒකකයේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

වැටලීමේදී පරිප්පුවා නැමැති සංවිධානාත්මක අපරාධකරු පලාගොස් තිබෙනවා.

මිනීමැරුම්, මුදල් බලෙන් ලබා ගැනීම් සහ කොල්ලකෑම් රැසකට චෝදනා ලැබූවෙකු වන ‘පරිප්පුවා’ට එරෙහිව නඩු ගණනාවක් අධිකරණ කීපයක විභාග වෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

තෙල්දෙණියෙන් කිලෝ 60 ක ගෝන මස් අල්ලයි

(07.02.2022 – 12:17 +0530 – hirunews.lk/sinhala)

කැබ් රථයකින් ගිනි අවි සහ ගෝන මස් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු (2) තෙල්දෙණිය – රංගල – ගලබඩවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (06) රාත්‍රියේ ලද තොරතුරක් මත පොලීසිය කළ වැටලීමකදී යි.

එහිදී ගෝන මස් කිලෝ 60 යි ග්‍රෑම් 500 ක් සහ විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි 2 ක් ඇතුළු ගිනි අවි 3 ක් මෙන්ම පතොරම් තොගයක් ද සොයාගැනුනා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 සහ 60 යන වයස්වල පසුවන දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

විදුලි පාපැදියකින් ගමන් කළ ඇමති විමල් වීරවංශ

(07.02.2022 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (07) පැවැත්වුණා.

මෙහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රදර්ශනයට එක්කර තිබූ විදුලි පාපැදියකින් ගමන් කළේ මෙලෙසින්.

***************************************

නෙලුම් පොකුණ අපේ වැඩක්.. මහින්දගේ වැඩක් නොවේ.. මා සංස්කෘතික ඇමති කාලයේ ලැබුන දෙයක්.. – විජිත හේරත්

(07.02.2022 – 14:10 +0530 – lankacnews.com)

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකළ බව කියන නෙළුම් පොකුණ ඔහුගේ සංකල්පයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

2004 වසරේ තමන් සංස්කෘතික අමාත්‍ය ධුරය දරන කාලයේ චීනය සමඟ සාකච්ඡා කර ආරම්භ එකඟතාවකට පත් වූ ව්‍යාපෘතියක් බව ද ඔහු පැවසීය.

චීනය විසින් මුලින් යෝජනා කරන ලද සැලැස්ම තමන්ගේ මැදිහත්වීමෙන් නෙළුම් පොකුණ හැඩයට ඉදි කළ බවත් එහි අදහස ලබාදුන්නේ සංස්කෘතික අරමුදලේ වැඩ පරීක්ෂකවරයෙකු බවත් ඔහු සඳහන් කළේය.

සුනාමි සහන මණ්ඩල ගිවිසුම් යෝජනාවලිය මත ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී ආණ්ඩුවෙන් ඉවත් වූ පසු 2005 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් මේ සඳහා මුල්ගල තැබූ බවත් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වී තමන්ගේ නමින් නම් කරමින් එය විවෘත කල බවද ඔහු පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

***************************************

ගානියා බැනිස්ටර්ගේ නඩුව අගෝස්තු මස 05 වනදා විභාගයට

(07.02.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් තමන්ට ලිංගික හිංසනයන් සිදු කළ බවට අසත්‍ය පැමිණිල්ලක් සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින කොළඹ පිහිටි ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිණියක වන ‘ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්’ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අගෝස්තු මස 05 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කළා.

ඒ මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කුරුඳුවත්ත පොලිස් වසමේදී සුදු වෑන් රථයකින් පැමිණි පස්දෙනෙකු (5) තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදුකොට, රටින් පලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවට මෙම විත්තිකාරිය විසින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා කරමින් නිතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.

***************************************

උසස් පෙළ සිසුන්ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පණිවිඩයක්

(07.02.2022 – 13:48 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය තුළ දැන් පැවැත්වෙන උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් හැකිතාක් ඒකරාශී වීමෙන් වළකින ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කළා.

කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ‘කොරෝනා මර්දන බුස්ටර් එන්නත් මාත්‍රාව’ ලබා ගැනීම සඳහා ජනතාව තුල පවතින උනන්දුව මේ දිනවල වර්ධනය වී ඇති බවයි.

මේ අතර, රුසියාවේ නිෂ්පාදිත ‘තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත’ භාවිතයට ඉන්දියාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඉන්දීය වාර්තා සඳහන් කළේ ‘මාත්‍රා ද්විත්වයේ ස්පුට්නික් වී එන්නත’ ලබා ගත් අයෙකුට බූස්ටර් මාත්‍රාවක් ලෙස ‘තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත’ භාවිතයට ගත හැකි බව ‘රුසියානු ඍජු ආයෝජන අරමුදල’ ප්‍රකාශ කර ඇති බවයි.

එසේම, කොරෝනා වසංගත තත්වය හමුවේ 2020 වසරේ මාර්තු මාසයේ සිට වසා දමා ඇති සිය දේශසීමා සංචාරකයින් සඳහා යළි කඩිනමින් විවෘත කරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළා.

මෙම සතියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

***************************************

අමුද්‍රව්‍ය හිඟයට විසඳුම් ඉල්ලා ඇමති විමල්ගෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

(07.02.2022 – 14:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට කර්මාන්තකරුවන් මුහුණදී සිටින අමුද්‍රව්‍ය ගැටළුව විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩලයට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (06) පැවති වැඩසටහනක් අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ෴

***************************************

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැඩි රථ වාහන තදබදයක්

(07.02.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ පිරිවෙන් ගුරුවරුන්ගේ විරෝධතාවක් හේතුවෙන් ෴

***************************************

අරුන්දිකපුත්‍ර ඇතුලු හය (6) දෙනා අධිකරණයට

(07.02.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු 06 දෙනා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට යළි ඉදිරිපත් කර තිබෙනවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ සැකකරුවන් අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කර ඇති බවයි.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පසුගිය පළමු වැනිදා (01) සිදුකළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවිරිදි පුත්‍රයා සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකු ඇතුලු 06 දෙනෙකු අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් පසුගියදා නියෝග කළේ ෴

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුලු 9 දෙනා අද (07) ඇප මත මුදාහැරුණා.

ඒ, ඔවුන් වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් 5,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මොවුන් මුදාහරින ලෙසටයි.

මීට අමතරව ඔවුන්ට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබුවා.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පසුගිය පළමු වැනිදා සිදුකළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

නඩුව අප්‍රේල් 29 වනදා දක්වා කල් තැබුණා ෴

***************************************

පානීය ජල බෝතල්වල නව මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ

(07.02.2022 – 15:24 +0530 – hirunews.lk/sinhala)

උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් පසු පානීය ජල බෝතලයක මිල ඉහළ දමා තිබෙනවා.

ශ්‍රී ලංකා ජල බෝතල් සංගමයේ සභාපති උපුල් සෙනරත් සඳහන් කළේ රුපියල් 35 කට අලෙවි වූ මිලිලීටර 500 පානීය ජල බෝතලයක මිල රුපියල් 15 කින් ඉහළ නංවා ඇති බවයි.

පානීය ජල බෝතලයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර පනවා තිබූ ගැසට් නිවේදනය ඉවත් කරමින් පසුගිය දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්.

නැව් ගාස්තු ප්ලාස්ටික් ඇතුලු අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබීම නිසා උපරිම සිල්ලර මිල ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබුණා.

ඒ අනුව නව මිලට අනුව රුපියල් 50 ක්ව පැවති ලීටරයේ ජල බෝතලයක මිල රුපියල් 70 දක්වා රුපියල් විස්සකින් ඉහළ දමා ඇති අතර, ලීටර 1.5 ජල බෝතලයක නව මිල රුපියල් 90 ක්.

එම ජල බෝතලයක් මීට පෙර අලෙවි වූයේ රුපියල් 75 කටයි.

එසේම ලීටර් 5 ජල බෝතලයක් රුපියල් 200 දක්වාත්, ලීටර් 7 ජල බෝතලයක් රුපියල් 240 දක්වාත් ඉහළ දමා තිබෙනවා ෴

***************************************

ඊශ්‍රායලයෙන් ලද වෛද්‍ය උපකරණ

(07.02.2022 – 15:28 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතාව සඳහා වන ඊශ්‍රායල නියෝජිත ආයතනය හරහා ඊශ්‍රායල රජය විසින් කොරෝනා ආශ්‍රිත වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කර තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය පැවසුවේ වෙන්ටිලේටර් යන්ත්‍ර, පෞද්ගලික ආරක්ෂණ උපකරණ සහ ස්පන්දන ඔක්සිමීටර ඇතුලු වෛද්‍ය උපකරණ තොගයක් ඒ අතර වන බවයි.

ඊශ්‍රායල රජයේ මෙම පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති නඕර් ගිලොන් විසින් විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ වෙත භාරදෙනු ලැබුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *