සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක

සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක

*********************************************

සෞඛ්‍ය සේවකයන් හෙට (07) වර්ජනයක

(06.02.2022 – 19:24 +0530 – sinhala.adaderana.lk)

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 07 ක් මුල්කර ගනිමින් හෙට (07) පෙරවරු 07 සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය පවසයි.

හෙද හෙදියන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු අංශ ගණනාවක සේවකයන් මීට එක්වන බව එම සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තීයවේදී සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කිරීම, විශේෂ රාජකාරී දීමනාව රු. 10,000 ක් ලෙස ඉහළ දැමීම, ගුරු වැටුප් විෂමතාවය පමණක් ඉවත් කිරීම හේතුවෙන් ඇතිවූ සමාන්තර වැටුප් විෂමතාවය ඉවත් කිරීම, සියලු සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය වන ‘සෞඛ්‍ය පරිපාලන සේවය’ ස්ථාපිත කිරීම, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට උද්ගතවී ඇති ගැටලු සඳහා විසඳුම් ලබා දීම ප්‍රමාද වීම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවකයන් එම දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකිරිමට තීරණය කර තිබේ.

නමුත් වැඩවර්ජනය සිදුකරන කාලය තුළ පිළිකා, මාතෘ හා ළමා රෝහල්, වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර කරන රෝහලේ, මධ්‍යම ලේ බැංකුව ආදී සෞඛ්‍ය ආයතන තුළ වැඩවර්ජනය සිදුනොවන බව සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය සඳහන් කළේය.

සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු, සමන් රත්නප්‍රිය :

“එම ඉල්ලීම්වලට පිළිතුරක් දෙන්නේ නැත්නම්, ඒ තාක් මේ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව ආණ්ඩුව අවධාරණය කරගත යුතුයි. ආණ්ඩුව හෙට විසඳුමක් දුන්නොත් හෙට නතර කරන්න පුළුවන්. දෙන්නේ කවද්ද එදාට අපිට තීරණයක් ගන්න පුළුවන්.”

කෙසේවෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ තම සංගමය මේ සඳහා සහයෝගය ලබානොදෙන බවය.

“07 වනදින පවත්වන වැඩ වර්ජනයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සම්බන්ධ නෑ. අපිට විශ්වාසයක් තියෙනවා ඉල්ලීම් 7 න් 4 ක් ලැබිලා තියෙන්නේ. අපට තව 3 ක් දිනාගන්න තියෙන්නේ. සති තුනක් (3) ඇතුළත එම ඉල්ලීම් තුන (3) ක්‍රියාත්මක නොවුණොත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට ද මෙයට විරෝධය දක්වන සිදුවන බවට ලිඛිතව ජනාධිපතිතුමාටත්, ජනාධිපති ලේකම්ටත් ලිඛිතව යැව්වා.”

+++++++

සෞඛ්‍ය සේවක වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

(07.02.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala)

හෙද ඇතුලු සෞඛ්‍ය සේවයේ වෘත්තිය සමිති 18 ක් අද (07) උදෑසන දීප ව්‍යාප්තව ආරම්භ කළ අඛන්ඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක සේවාවන්ට බාධා මතුව තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය මෙම වර්ජනය දියත් කරන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින්.

හෙද සේවාවට අමතරව, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, විකිරණවේදීන් ඇතුළු අංශ ගණනාවක වෘත්තිකයන් වර්ජනය සදහා එක්ව සිටිනවා.

මේ හේතුවෙන් අද (07) ප්‍රතිකාර සදහා රෝහල් වෙත පැමිණි රෝගීන් පත්වුයේ දැඩි අසීරුවතාවයකටයි.

කෙසේ වෙතත් පිළිකා, කාන්තා හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව යන ආයතනවල වැඩවර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද මෙම අඛන්ඩ වැඩවර්ජනයට සහය දැක්වීම හේතුවෙන් කොරෝනා හා ඩෙංගු මර්දන කටයුතුවලටද බාධා එල්ලවී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වර්ජනය සඳහා සිය සංගමය සහය ලබා නොදෙන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ සිය දේශපාලනික අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් වෘත්තිය සමිති මෙම වර්ජනය සිදුකරන බවයි ෴

++++++++

***************************************

ෆේස්බුක් ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වූ අයකු සීඅයිඩී කැඳවීම ගැන සිරිල් ගාමිණි පියතුමා කනස්සල්ල පළ කරයි

(07.02.2022 – 05:59 +0530 – lankaleadnews.com)

මුහුණු පොතේ පළවී ඇති පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තමා කළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර එක්කළ පුද්ගලයකු පෙරේදා (05 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව කතෝලික සභාවේ මාධ්‍ය ප‍්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.

“අපි පෙබරවාරි 04 නිදහස සැමරුවා. අපිට තියෙන නිදහස මොකක්ද? භාෂණයේ නිදහස අන්තර්ජාතික මූලික මිනිස් අයිතිවාසිකමක්. එවැනි සමාජයක අපි ජීවත් වෙන්නේ. අදහස් ප‍්‍රකාශ කළාම පොලිසියට සීඅයිඞීයට ගෙන්වනවා නම් අදහස් ප‍්‍රකාශ කරන්න ජනතාව මැලිවෙනවා.

අපේ අයිතිවාසිකම්වලට ගරුකරන්න ඕන. අපි භාෂණයේ නිදහස පාවිච්චි කරන්නේ කාගෙවත් නම කැතවෙන්න නොවෙයි. ඒ වගේ අවස්ථාවලදී අහිංසක මිනිස්සු රස්තියාදු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකට ඔබින්නේ නෑ. අපිට කියන්න තියෙන්නේ භාෂණයේ නිදහස ආරක්ෂා කරන්න. පොලිසියට සීඅයිඩී එකට ඊට වඩා වැඩ තියෙනවා කරන්න. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන හරියට කරන්න කියලා ඉල්ලා සිටිනවා.”

කතෝලික ක‍්‍රියාකාරිකයකු වන පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචි කුමාර ජෝෂන් නමැති පුද්ගලයකු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව පියතුමා වැඩිදුරටත් පැවසීය ෴

***************************************

අනපේක්ෂිත සිදුවීමකට මුහුණදුන් සොරෙක් – CCTV

(06.02.2022 – 11:42 +0530 – sinhala.adaderana.lk)

මාතර හක්මන ප්‍රදේශයේ වෙළෙඳසැලක් මංකොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකුට මුහුණදීමට සිදු වු අනපේක්ෂිත සිදුවීමක් වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවේ සටහන් ව තිබුණි.

සැකකරු තියුණු ආයුධයක් පෙන්වා වෙළෙඳසැලේ සේවිකාව බියවැද්දවීමට උත්සාහ කළ අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වු ඇය කෙක් කැපීමට තිබු පිහියකින් සැකකරුට පහරදීමට ඉදිරියට පැමිණේ.

එම අවස්ථාවේ දී බිය වූ මංකොල්ලයට පැමිණි පුද්ගලයා වහාම එම ස්ථානයෙන් පළා යන අතර, අදාළ කාන්තාව දිවගොස් ඔහු පැමිණ තිබූ යතුරුපැදියේ අංකය සටහන් කර ගනී.

හක්මන වේපතඉර ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන අලෙවි කරන වෙළෙඳසැලක ඊයේ (05) සවස මෙය සිදුව ඇත.

පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හක්මන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

https://www.youtube.com/watch?v=vhIR4m5RxH8

***************************************

අපොස උසස් පෙළ විභාගය ඇරඹේ

(07.02.2022 – 07:23 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,438 කදී අද (07) දිනයේදී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර මෙවර විභාගයට පෙනීසිටීමට නියමිත මුළු අයදුම්කරුවන් ගණන 3,45,242 ක්.

ඒ පාසල් අයදුම්කරුවන් 2,79,141 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 66,101 ක් ලෙස බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර කොවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයින් සදහා දිවයින පුරා රෝහල් 29 ක විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වනවා.

ඊට අමතරව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක් ක්‍රියාත්මක වන බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

සියලුම ආසාදිත විභාග අපේක්ෂයින් මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසික වීම අනිවාර්ය වන අතර වෙනත් කිසිදු ස්ථානයක දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටියා.

විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායන වන විභාග අපේක්ෂයින්, විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්තානය පිහිටුවා ඇති විශේෂ විභාග කාරමයේ දී විභාගයට පෙනී සිටිය යුතුයි.

තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිට දන්වා සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.

මේ අතර විභාග ප්‍රවේශ පත්‍රය සහ හැඳුනුම්පත රැගෙන පෙ.ව. 8 වන විට විභාග ශාලාවේ අසුන් ගන්නා ලෙස, විභාග කොමසාරිස්වරයා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ වයස අවුරුදු 43 ක සහ 46 ක සිරකරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 38 ක් වයසැති එල්.ටී.ටී.ඊ. විශේෂ ගණයේ සැකකරුවෙකු අද (07) උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බවයි බන්ධනාගාර මූලස්ථානය සඳහන් කළේ ෴

***************************************

මරණෙන් කෙළවර වුනු සහෝදර ආරවුල

(07.02.2022 – 08:16 +0530 – hirunews.lk/sinhala)

පනාමුර පොලිස් වසමේ මුල්ඇඩියාව ප්‍රදේශයේ සිදු වූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම සිද්ධියේ සැකකරු සහ මරණකරු සහෝදරයන් වන බවයි පොලිසිය සදහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දරුවෙකු අදාළ සහෝදරයාගේ නිවසේ සිටින සුනඛයකුගේ සපාකෑම හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත සැකකරුගේ බිරිදට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීම හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරුගේ බිරිද තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 41 වන ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා වයස අවුරුදු 27 ක අයෙක්.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පනාමුර පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා ෴

***************************************

ග්‍රෑන්ඩ්පාස්වලින් සහ වැල්ලවත්තෙන් මතුවූ හෙරොයින්

(07.02.2022 – 09:28 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (07) ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකින් හෙරොයින් කිලෝග්‍රෑම් 15 මිලිග්‍රෑම් 480 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 37 ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එම ප්‍රදේශයේදී ම කොළඹ උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ තවත් වැටලීමකින් වදුල්ලවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 100 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අද (07) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවෙකු ඊයේ (06) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත නොච්චියාගම නගරයේදී සිදුකළ විශේෂ වැටලීමකින් කිලෝග්‍රෑම් 02 කට ආසන්න මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

සැකකරු අද (07) නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නොච්චියාගම පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර නීති විරෝධීව මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1079 ක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හොරණ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගුරුගොඩ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී යි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46 ක් වන පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පවසන්නේ ෴

***************************************

මහමග දී ත්‍රීරෝද රථයකින් කළ පැහැර ගැනීම

(07.02.2022 – 09:39 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (06) පෙරවරුවේ පේදුරුතුඩුව පොලිස් වසමේ දී පුද්ගලයෙකු ත්‍රීරෝද රථයකින් පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ දෙකක් (2,00,000) පමණ වටිනා රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂයකට (1,00,000) ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකතන 02 ක් කොල්ලකෑමක් සිදුකර එම පුද්ගලයා මහමග දමා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වූ තොරතුරු මත ඊයේ (06) රාත්‍රී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 46 ක් වන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු අද (07) පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය පවසන්නේ ෴

***************************************

කුඹුරු අක්කර 3,000 ක් අස්වද්දන්න කළුගල්ඔය ජලාශයේ සූදානම

(07.02.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala)

අම්පාර උහන – බණ්ඩාරදූව – කළුගල්ඔය ජලාශයේ මුල් දියවර නිකුත් කිරීම වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

මෙහි ඉදිකිරීම් 2014 වසරේ ආරම්භ වූ අතර, ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2,350 ක්.

ඊයේ (06) මුල් දියවර නිකුත් කෙරුණු, අක්කර අඩි 8,177 ක ජල ධාරිතාවකින් යුත් මෙම ජලාශයෙන් කුඹුරු අක්කර 3,000 ක් පමණ අස්වැද්දිය හැකි වනවා ෴

***************************************

හිජාස් හිස්බුල්ලාට ඇප

(07.02.2022 – 10:30 +0530 – hirunews.lk/sinhala)

නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

අන්තවාදී දේශනා ප්‍රචාරය කිරීමේ චෝදනා මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර දෙකකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවූ නීතිඥ හිජාස් හිස්බුල්ලා හට ඇප ලබාදෙන ලෙස අභියාචනාධිකරණය අද (07) පුත්තලම මහාධිකරණයට නියෝග කර තිබෙනවා.

මානව හිමිකම් නීතිඥයකු වන හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත් වූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන අතරවාරයේදීයි.

අත්අඩංගුවේ පසු වන අතර වාරයේ වරින් වර සිදු කෙරුණු ඇප ඉල්ලීම් ගණනාවක් ප්‍රති ප්‍රතික්ෂේප කෙරුණු හිජාස් හිස්බුල්ලා මාස 18 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට ඇති නීතිමය හැකියාව

(06.02.2022 – 17:25 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් මර්දන එන්නත් තුනම (3) ලබානොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට ප්‍රවේශවීම වළක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් නොවන බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, එවැනි ක්‍රියාවක් මහජන සුබසිද්ධිය පවත්වාගෙන යෑම ඉතා අත්‍යාවශ්‍ය අවස්ථාවක දී යම් යම් රෙගුලාසිවලට යටත්ව සෞඛ්‍ය අමාත්‍යවරයාට එය කළ හැකි බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා :

“එවැනි ක්‍රියාවක් මහජන සුබසිද්ධිය සඳහා පවත්වාගෙන යෑම ඉතාමත් අත්‍යාවශ්‍ය අවස්ථාවක දී අවශ්‍ය කරන ඒ ඒ රෙගුලාසි වෙනස් කිරීම්වලට යටත්ව සෞඛ්‍ය අමාත්‍යවරයාට එය කළ හැකියි. එලෙස පටහැනිව ක්‍රියා කරනවා නම්, එවැනි අය අපේ නීතියේ සඳහන් වන රෝග කාරක තත්ත්වයන් අනෙක් අයට බෝකිරීම සඳහා කටයුතු කරන පුද්ගලයෙක් හැටියට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළ හැකියි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තිය යටතේ ක්‍රියාකිරීමේ හැකියාව තිබෙනවා. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම තහනම් වගේ, මෙයත් පොදු ස්ථානවලට, පොදු ප්‍රවාහනයට, පුර්ණ එන්නත්කරණයෙන් තොරව හෝ ඔහුව මුදාහැර ඇති බවට සහතිකයක් නොමැතිව ඇතුළුවීම හෝ ප්‍රවාහනය කිරීම තහනම් කිරීම මෙයින් කරනු ලබයි.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *