2021 උසස් පෙළ විභාගය හෙට (07)

2021 උසස් පෙළ විභාගය හෙට (07)

*********************************************

2021 උසස් පෙළ විභාගය හෙට (07)

(06.02.2022 – 08:28 +0530 – hirunews.lk/sinhala)

2021 උසස් පෙළ විභාගය හෙට (07) ආරම්භ වනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා දැමීමට සිදුවීම නිසා විභාගය හෙට (07) දිනය දක්වා කල් දැමීමට සිදු වුණා.

හෙට (07) ආරම්භ වන විභාගය මාර්තු 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 2,437 ක් පිහිටුවා ඇති අතර, ඒ සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 2,79,141 ක්.

එමෙන්ම පෞද්ගලික අපේක්ෂකයින් 66,101 ක් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.

එසේම, කොරෝනා වෛරස ආසාදනය වූ සහ නිරෝධායනය වෙමින් සිටින, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 29 ක් පිහිටුවා තිබෙනවා.

නිරෝධායනය වන සියලුම විභාග අපේක්ෂකයින් තම විභාග ප්‍රවේශ පත්‍රයේ දක්වා ඇති නියමිත විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කර තමන් නිරෝධායනය වන අයෙකු බව අදාළ ශාලාධිපති වෙත දැනුම්දීම අනිවාර්ය වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා ආසාදිත විභාග අපේක්ෂකයන් රෝහල් ආශ්‍රිතව දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන අතරින් තමන්ට අදාළ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථානයේ දී හෝ නිවසට ආසන්න වෙනත් දිස්ත්‍රික්කයක පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයක දී හෝ නේවාසිකව සිටිමින් විභාගයට පෙනී සිටිය යුතුයි ෴

***************************************

• 2022.02.06 දින පැය 05:15 ට ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කල :

***************************************

ජලය සහ විදුලිය රැකගන්න – ජනතාවට විශේෂ දැනුම්දීමක්

(06.02.2022 – 08:40 +0530 – hirunews.lk/sinhala)

බලාගාරයක හදිසි බිඳ වැටීමක් සිදු නොවුණහොත්, අද (06) දිනයේදීත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත්, හෙට (07) දිනයේදී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බව ද එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.

මේ අතර, පසුගියදා අළුත්වැඩියා කටයුත්තක් සඳහා ජනන කටයුතු අත්හිටවූ කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය ඊයේ (05) යළි ජාතික පද්ධතියට එක් කරනු ලැබුවා.

ඊයේ (05) පස්වරුවේ සිට එමඟින් යළිත් විදුලි උත්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර, එමඟින් ජාතික පද්ධතියට මෙගවොට් 160 ක විදුලි ධාරිතාවක් එක් කෙරෙනවා.

මේ වනවිට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාරය අක්‍රියව පවතින අතර, ඒ සඳහා නැෆ්තා ලබාදීම ඊයේ (05) ආරම්භ කෙරුණා.

නැප්තා ලීටර් මිලියන 2.6 ක් ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් කැලණිතිස්ස බලාගාරයට ලබාදීමට නියමිතයි.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙසත් ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

එසේම, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ විදුලි ඉල්ලුම අනුව සඳුඳා (07) දිනයේදී විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වනු ඇති බවයි.

මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය සමග ජල සැපයුමට බාධා පවතින බැවින් තවදුරටත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය යළි ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිත කරන ලෙසයි එමඟින් ඉල්ලා සිටියේ ෴

***************************************

රාගම වෛද්‍ය පීඨ සිද්ධිය ගැන තවත් පරීක්ෂණයක්

(06.02.2022 – 09:16 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයේ රාගම පිහිටි වෛද්‍ය පීඨයේ පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් එළැඹෙන සතියේදී අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන බව එම විශ්වවිද්‍යාලයේ උපකලපතිනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඇය කියා සිටියේ ඒ සඳහා ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් තුන් දෙනෙකු (3) ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවයි.

විශ්වවිද්‍යාලය තුළ සිදුවන බව කියන නවක වද ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද එහිදී විමර්ශනය කෙරෙන බව ඇය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ 23 හැවිරිදි පුත්‍රයා සහ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙකු ඇතුළු 6 දෙනෙකු මේ වන විට හෙට (07) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් රාගම වෛද්‍ය පීඨයේ තවත් වෛද්‍ය සිසුන් 3 දෙනෙකු ඇප මත මුදා හැරීමටයි පසුගියදා වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම හේතුවෙන් තමන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව අරුන්දික ප්‍රනාන්දු පසුගිය 3 වනදා ප්‍රකාශ කළා.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පසුගිය පළමු වනදා සිදුකළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෝටර් රථ දෙකකින් (2) පැමිණි පුද්ගලයින් 15 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විසින් අදාළ පහරදීම සිදුකර ඇති බවටයි වාර්තා වුණේ.

නවක වද සිද්ධියක් පදනම් කර ගනිමින් සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු ස්වාධීනව සිදුකිරීම සඳහා අවස්ථාව ලබා දිය යුතු බව ‘කොටුවේ පොඩි හාමුදුරුවන්’ ලෙස ප්‍රකට පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් ප්‍රකාශ කළේ කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

***************************************

දියේ ගිලීම්වලින් වසරකට අහිමි වන ජීවිත ගණන ඉහළට

(06.02.2022 – 09:52 +0530 – hirunews.lk/sinhala)

දියේ ගිලී සිදුවන අනතුරු වලින් වසරකට පුද්ගලයන් 500 ක් පමණ මිය යන බව පොලිස් නාවික හා ජීවිත ආරක්ෂක බලකාය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියංකර ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ වසරකට ජල අනතුරුවලට ලක්වන පුද්ගලයන්ගෙන් දහසකගේ (1000) පමණ දිවි ගලවා ගැනීමට පොලිස් නාවික හා ජීවිත ආරක්ෂක බලකා කණ්ඩායම්වලට හැකි වන බවයි.

අනතුරු ඇඟවීම් නොතකා අනාරක්ෂිත ස්ථානවල දිය නෑම සහ එම ස්ථාන ආශ්‍රිතව බීමතින් හැසිරීම ජල අනතුරු වැඩි වශයෙන් වාර්තා වීමට හේතු වී තිබෙනවා.

එමෙන්ම අනතුරු වාර්තා වී ඇති ස්ථාන බහුතරයක අනතුරු ඇඟවීමේ සංඥා පුවරු සවි කර නොමැති බව ද පොලිස් නාවික හා ජීවිත ආරක්ෂක බලකාය සඳහන් කළා ෴

***************************************

NPP විශේෂ මාධ්‍ය හමුව – 2022-02-06

***************************************

භාරතීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් දිවි ගමනට සමුදෙයි

(06.02.2022 – 10:03 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ භාරතීය ගීත කෝකිලාවිය වන ලතා මංගෙෂ්කාර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොරෝනා ආසාදිතව මුම්බායි නුවර රෝහලකට පසුගිය මාසයේ ඇතුළත් කෙරුණු ඇගේ තත්ත්වය ඊයේ (05) යළි අසාධ්‍ය වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන් පසු වෙන්ටිලේටර් යන්ත්‍රයකට සවි කර සිටි ඇය අද (06) උදෑසන අභාවප්‍රාප්තව තිබෙනවා.

කොරෝනා රෝගයට මෙන්ම, නියුමෝනියා තත්ත්වයට ප්‍රතිකාර ලැබූ ලතා මංගේෂ්කාර් ඉන් සුවය ලැබූ බව පසුගිය ජනවාරි 30 වැනිදා ප්‍රකාශයට පත්කෙරුණා.

පරම්පරා ගණනාවක් භාරත සිනමාවේ ගීත කෝකිලාවිය වූ ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36 කින් ගීත දහස් ගණනක් ගායනා කර ඇති අතර, 2001 වසරේදී ‘භාරත් රත්න’ සම්මානයෙන් පිදුම් ලැබූයේ, ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය ලැබූ දෙවන ගායිකාව බවට පත්වෙමින්.

වර්ෂ 1929 සැප්තැම්බර් මස 28 වැනි දින මධ්‍යම ඉන්දියාවේ ඉන්දෝර ප්‍රාන්තයේ උපත ලැබූ ලතා මංගෙෂ්කාර් සිය ජීවන ගමනට සමුදෙන විට භාෂා 20 කින් පටිගත කළ ගීත ඇල්බම් ද සහිත ගායිකාවක් වුණා.

ඇය අභාවප්‍රාප්ත වන විට 92 හැවිරිදි වියෙහි පසුවූවා.

බොලිවුඩ් සිනමාවේ වැඩිම ගීත ප්‍රමාණයක් ගායනා කර ඇති ලතා මංගෙෂ්කාර්, ගායන කළ ගීත සංඛ්‍යාව 30,000 කට අධිකයි.

එම ගීත ද ඇය ගායනා කර ඇත්තේ, විවිධ භාෂාවලින් වීම ද සුවිශේෂීයි.

Mohabbatein, Veer-Zaara, Kranti, Woh Jo Hasina ආදී අතිශය ජනප්‍රිය සහ සම්මානවලට පාත්‍ර වූ චිත්‍රපට ගණනාවකට සිය ගායනයෙන් දායකත්වය සැපයූ ඇය ඉන්දීය කලා ලොවෙහි විරුදාවලිය ලැබුවේ ‘ඉන්දියාවේ නයිටිංගේල්’ යනුවෙන් .

රසික හදවත්වලට මනා ලෙස ළෙංගතු වූ ලතා මංගෙෂ්කාර් ගායන ජීවිතයට පිවිසෙන්නේ වයස අවුරුදු 13 දී වන අතර, 1942 වසරේ දී ඇයගේ පළමු ගීතය පටිගත වනවා.

දශක 04 ක් පුරා විහිදෙන ඇයගේ ගායන ජීවිතය ඉන්දීය සංගීතයේ සහ සිනමාවේ ස්වර්ණමය යුගයක් ලෙසින් හැඳින්වීමේ කිසිදු දොසක් නැත ෴

***************************************

මාරක රිය අනතුරකින් පියෙකු සහ කුඩා දියණියක ජීවිතක්ෂයට

(06.02.2022 – 10:24 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – අස්ගිරි – වල්පොල ප්‍රදේශයේ දී යතුරුපැදියක් හා බව්සර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරකින් පියෙකු සහ කුඩා දියණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ සිදු වු මෙම අනතුරින් මියගෙස් ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක් සහ ඔහුගේ 6 හැවිරිදි කුඩා දියණියයි.

අනතුරට හේතුව දෙපාර්ශවයේම නොසැකිලිමත් රිය ධාවනය බවයි පොලිසිය සඳහන් කළේ ෴

***************************************

සුනඛයන්ගෙන් තුනෙන් දෙකකට (2/3) ජලභීතිකා එන්නත් ලබා දී නැහැ

(06.02.2022 – 10:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඇස්තමේන්තුගත සුනඛ ගහනයෙන් පසුගිය වසරේ ජලභීතිකාව වෙනුවෙන් එන්නත් කර ඇත්තේ සුනඛයන් තුනෙන් එකක් (1/3) පමණක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, පසුගිය වසරේ දී ජලභීතිකාව හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජලභීතිකා දිනය නම් කෙරුණේ ද, විවිධ රාජ්‍යයන් තුළ සුනඛයින් සහ මිනිසුන් අතර දැඩි සම්බන්ධතාවක් පවතින නිසා සිදුවන සහ වාර්තා වන සෞඛ්‍යමය අර්බුද හේතුවෙන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමටයි.

මේ අනුව සුනඛ‍යින්ට ජල භීතිකා එන්නත ලබා දෙන අතර, එතුළින් සත්ත්ව ආරක්ෂණය සහ මානුෂීය ආරක්ෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අරමුණු වනවා ෴

***************************************

ලෙබනනයේ සාමසාධක මෙහෙවරට යුද හමුදා නිලධාරිනියක් සමග සෙබලියන් 7 ක්

(06.02.2022 – 12:09 +0530 – hirunews.lk/sinhala)

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙහෙයුම් සඳහා ඊයේ (05) රාත්‍රියේ පිටත්ව ගිය යුද හමුදා 13 වන කණ්ඩායම සමග ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය නියෝජනය කරමින් නිලධාරිනියක් (1) සහ සෙබලියන් 7 දෙනෙකු එක්ව තිබෙනවා.

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (05) රාත්‍රියේ නිලධාරින් 8 දෙනෙකු සමගින් සෙබලුන් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපල අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

***************************************

ඩිජිටල්කරණයේ අරුණළු උදාකරලීම මගේ එකම අරමුණ යි – සජිත්

(06.02.2022 – 13:39 +0530 – hirunews.lk/sinhala)

තම රජයක් යටතේ රටේ සෑම පුරවැසියෙකුටම ඩිජිටල්කරණයේ අරුණළු උදාකරලීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

යාල වනෝද්‍යානයේ සුබසාධන කාර්යාලය සඳහා උපකරණ බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ තමන් විපක්ෂයේ සිටියද ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගනිමින් සිටින බවයි.

එමෙන්ම, හරිත ව්‍යාපෘතියක් හරහා මෙරට මතු පරපුර ගොඩනගමින්, සැබෑ ජන දුක හඳුනාගනිමින් තම දේශපාලන මෙහෙවර ඉටු කිරීමට තමන් සූදානම් බව ද විපක්ෂ නායකවරයා මෙහිදී පැමිණ සිටි පිරිස අමතමින් කියා සිටියා.

***************************************

ජල විදුලිය ගැන බලාපොරොත්තුව තවත් ඈතට

(06.02.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

අද (06) රාත්‍රියේ සිට පවතින වියලි කාළගුණ තත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බවයි එමගින් නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

එහෙත් එම වර්ෂාපතනය විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ දැමීමට ප්‍රමාණවත් නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියා.

මේ අතර, බලාගාරයක හදිසි බිඳ වැටීමක් සිදු නොවුනහොත් අද (06) දිනයේදීත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත්, හෙට (07) දිනයේදී විදුලි ඉල්ලුම ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බවද එහි උසස් නිලධාරියෙකු සඳහන් කළා.

එමෙන්ම, පසුගියදා අළුත්වැඩියා කටයුත්තක් සඳහා ජනන කටයුතු අත්හිටවූ කැලණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය ඊයේ (05) යළි ජාතික පද්ධතියට එක් කරනු ලැබුවා.

ඊයේ (05) පස්වරුවේ සිට එමඟින් යළිත් විදුලි උත්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර, එමඟින් ජාතික පද්ධතියට මෙගවොට් 160 ක විදුලි ධාරිතාවක් එක් කෙරෙනවා.

එසේම, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ විදුලි ඉල්ලුම අනුව සඳුඳා (07) දිනයේදී විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි.

මේ අතර, පවතින වියලි කාලගුණ තත්ත්වය සමඟ ජල සැපයුමට බාධා පවතින බැවින් තවදුරටත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය යළි ජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිත කරන ලෙසයි එමඟින් ඉල්ලා සිටියේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *