වැල්ලවායේ ඇල්ලක නෑමට ගිය තුන්දෙනෙකු (3) දියේ ගිලී මරුට

වැල්ලවායේ ඇල්ලක නෑමට ගිය තුන්දෙනෙකු (3) දියේ ගිලී මරුට

*********************************************

වැල්ලවායේ ඇල්ලක නෑමට ගිය තුන්දෙනෙකු (3) දියේ ගිලී මරුට

(05.02.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)

මීට පෙර සිදුවූ අනතුරු හේතුවෙන් දියනෑම තහනම් කර ඇති වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ලේ නෑමට ගිය පුද්ගලයින් තුන්දෙනෙකු (3) අද (05) දියේ ගිලී ජිවිතක්ෂයට පත්වුණා.

මාතර සිට පැමිණි පිරිසක් අද (05) මෙලෙස අනතුරට පත්ව ඇති අතර, ඔවුන්ගේ සිරුරු ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගොඩගනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා එම සිරුරු මොණරාගල – සිරිගල රෝහලට රැගෙන යාමට නියමිතයි.

පුද්ගලයන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇල්ල නැරඹීමට අද (05) උදෑසන පැමිණ ඇති අතර ඉන් හතරදෙනෙකු (4) දිය නාමින් සිටියදීයි දියේ ගිලී ඇත්තේ.

පසුව ප්‍රදේශවාසීන් විසින් එක් (1) අයෙකු බේරාගෙන ඇති අතර අනෙක් තිදෙනා (3) දියේ ගිලී අතුරුදන්ව තිබුණා.

මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 51, 53 සහ 54 වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් බීමතින් සිට ඇති බවට ද පොලීසිය සැක කරනවා.

දියනෑමට පැමිණි පිරිසේ සිටි අයෙකු අදහස් පල කරමින් කියා සිටියේ යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ තොරතුරු අනුව මාර්ගය සොයා ගෙන මෙම ස්ථානයට පැමිණි බවයි.

මීට පෙර පසුගිය වසරේ ඔක්තෝම්බර් 20 වනදා පියෙකු තම දියණිය සහ පුතු සමග දියේ ගිලී ජිවිතක්ෂයට පත්වූ වැල්ලවාය – ඇල්ලවල දිය ඇල්ලේ දියනෑම එම සිද්ධියෙන් පසු තහනම් කෙරුණා.

කෙසේ වෙතත්, ඊට අදාළ පුවරු ද ප්‍රදර්ශනය කර තිබියදී එම නියෝග කඩ කිරීම හේතුවෙන් මෙවැනි අනතුරු සිදුවන බවයි වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.

***************************************

උසස් පෙළට සියල්ල සූදානම්

(05.02.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

විභාගය අනිද්දා (07) සිට ලබන මස 5 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

එහිදී කොරෝනා ආසාදිත සහ නිරෝධායනය වන අපේක්ෂකයින් සඳහා රෝහල් ආශ්‍රිත විශේෂ විභාග මධ්‍යස්ථාන 29 ක් පිහිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර උසස් පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 2,437 ක් පිහිටුවා ඇති අතර, ඒ සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 2,79,141 ක්.

එමෙන්ම පෞද්ගලික අපේක්ෂකයින් 66,101 ක් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි ෴

***************************************

තේ මිලේ පහත වැටීමක්

(05.02.2022 – 14:27 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතියේ තේ වෙන්දේසිය සඳහා තේ කිලෝග්‍රෑම් මිලියන 6.6 ක් ඉදිරිපත් වූ අතර එහි දී තේ මිලෙහි පහත වැටීමක් දක්නට ලැබුණු බව තේ අපනයනකරුවන්ගේ සම්මේලනය පවසනවා.

මෙලෙස තේ මිල පහත වැටී ඇත්තේ ජනවාරි මාසයේ අවසන් සති දෙක (2) තුළ කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා කිරීමෙන් අනතුරුවයි.

ඉහළ ප්‍රමිතියේ බෙස්ට් – වෙස්ටර්න් තේ මිල තවදුරටත් ඉහළ මට්ටමක පැවති අතර, ඊට පහළ වර්ගවල තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් විස්සක් තිහත් (20-30) අතර ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා.

පහත රට තේ කිලෝග්‍රෑම් මිලියන 2.7 ක් වෙන්දේසියට ඉදිරිපත් වී ඇති අතර, සී.ටී.සී. වර්ගවල තේ මිල ද කිලෝග්‍රෑමයකට රුපියල් 30 කින් පමණ පහත වැටුණු බවයි තේ අපනයනකරුවන්ගේ සම්මේලනය සඳහන් කළේ ෴

***************************************

ජාතික රෝහලේ රෝගියෙකුට මාරක ප්‍රහාරයක්

(05.02.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකුට, පිටතින් පැමිණි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී පලායාමේ සිද්ධියක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මරදාන – ආනන්ද මාවත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු බවයි.

අද (05) අලුයම එකට පමණ ඔහු ජාතික රෝහලට ඇතුලු කරනු ලැබුවේ ද සිය නිවස ආසන්නයේදී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුවයි.

පසුව අද (05) උදෑසන රෝගීන් බැලීමට පැමිණෙන මුවාවෙන් පැමිණි සැකකරුම රෝහල් වාට්ටුවට පැමිණ යළි තියුණු ආයුධයකින් පහරදී පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ රෝගියාගේ කෑගැසීමත් සමඟ සැකකරු ඔහුගේ අතකට පිහියෙන් පහර දී පලාගොස් ඇති බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා බරපතල තත්ත්වයේ පසු නොවන අතර පලාගිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධියෙන් පහරකෑ පුද්ගලයා මරදාන ප්‍රදේශයේ සුළු අලෙවිසැලක් පවත්වාගෙන යන අයෙකු වන අතර ඔහුට පහරදුන් සැකකරු මීට පෙර වැරදි කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබූ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

සෞඛ්‍ය වෘත්තියවේදීන් අනිද්දා (07) සිට වර්ජනයක

(05.02.2022 – 15:34 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් හතක් (7) මුල් කරගෙන අනිද්දා (07) පෙරවරු හතේ (7) සිට වර්ජනයක නිරතවන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

එම බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළා ෴

***************************************

මඩකලපුව දුම්රිය මාර්ගයේ අනතුරක් – දුම්රිය ගමනටත් බාධා

(05.02.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද දුම්රිය ස්ථානය ආසන්නයේ දී ටිපර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදු වුණා.

මෙම අනතුර අද (05) පස්වරුවේ සිදු ව ඇති අතර, අනතුර සිදුවීමත් සමග දුම්රිය පීලිපැනීමකට ද ලක් ව තිබෙනවා.

මේ හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදවීමක් සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසූවේ.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ උදය දේවී දුම්රියේ අදාළ ටිපර් රථය ගැටී ඇත්තේ.

ඒ මැණික්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී යි ෴

***************************************

වැල්ලවත්ත වෙරළෙන් හඳුනා නොගත් මළ සිරුරු දෙකක් (2) හමුවෙයි

(05.02.2022 – 17:03 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාව ආසන්න මුහුදු වෙරළේ ස්ථාන දෙකක (2) තිබී නාඳුනන පිරිමි මළ සිරුරු දෙකක් (2) අද (05) සොයා ගත්තා.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

***************************************

පොලිස් කොස්තාපල්වරයෙකුට පුද්ගලයෙකු කෙටේරියකින් පහර දෙයි

(05.02.2022 – 17:33 +0530 – hirunews.lk/sinhala)

රථ වාහන නඩුවක් පැවරීම සම්බන්ධයෙන් උරණ වූ පුද්ගලයෙකු අම්බලන්තොට පොලීසියේ කොස්තාපත්වරයෙකුට කෙටේරියකින් පහරදී පසුව වස පානය කර තිබෙනවා.

දෙදෙනාම අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට මාරු කර යැවුණා.

මීට දින කිහිපයකට පෙර අදාළ පොලිස් කොස්තාපල්වරයා බීමතින් රිය පැදවීමේ වරදට සැකකරුට නඩු පවරා ඇති අතර අද (05) අම්බලන්තොට නගරයේ රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී ඔහු මෙලෙස කොස්තාපල්වරයාට පහරදී තිබෙනවා ෴

***************************************

මෑත ඉතිහාසයේ දුර්වලතම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව විපක්ෂ නායක කියයි

(05.02.2022 – 19:33 +0530 – hirunews.lk/sinhala)

මෑත ඉතිහාසයේ බිහිවූ දුර්වලම ආණ්ඩුව වත්මන් ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජනබලවේගයේ ගම්පහ – දිවුලපිටිය ආසන බලමණ්ඩල රැස්වීමට අද (05) එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ෴

***************************************

15 හැවිරිදි සිසුවියකට 17 හැවිරිදි තරුණයෙකුගෙන් පිහි පහරක්

(05.02.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala)

පිහි ඇනුමක් හේතුවෙන් තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර සිටි 15 හැවිරිදි සිසුවියක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහල වෙත රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පිහි ප්‍රහාරය එල්ලකළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

කන්තලේ අග්බෝපුර පේරමඩුව ප්‍රදේශයේදී 15 හැවිරිදි මෙම සිසුවියට ප්‍රහාරය එල්ල වී තිබුණේ පසුගිය පළමුවෙනිදා (01) යි.

ඇගේ නිවසේ සැඟව සිටි 17 හැවිරිදි තරුණයෙකු පහරදීම සිදු කර තිබෙන්නේ ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙනයි.

මිය ගිය සිසුවියගේ සහෝදරිය : “සම්බන්ධයෙට කැමති නැතිව හිටියේ අම්මා. ඡායාවක් දැක්කලු. දොර රෙද්දෙන් වැහිලා නංගිට පිහියෙන් ඇනලා.”

තුවාල ලැබූ සිසුවිය කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සිදු කළ ශල්‍යකර්මයකින් පසු ඇය සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබා තිබෙනවා.

කෙසේ වෙතත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා බව පවසමින් ඇය කෑගල්ල මහ රෝහල වෙත මාරු කිරීමට වෛද්‍යවරුන් පියවර ගත් බවයි සිසුවියගේ සහෝදරිය ප්‍රකාශ කළේ.

මිය ගිය සිසුවියගේ සහෝදරිය : “හොදට හිටියා වාට්ටුවේ. ඇම්බියුලන්ස් එකේ යත්න අම්මට එනන් එපා කියලා. බස් එකේ එන්න කිව්වලු.”

ඇය වැඩිදුරටත් සඳහන් කළේ කෑගල්ල රෝහලට සිසුවිය රැගෙන ආවේදැයි විමසුවත් නිශ්චිත තොරතුරක් නොලද හෙයින් ඥාතීන් හරහා දඹුල්ල රෝහලෙන් කළ විමසීමකදී ඇය මිය ගොස් ඇති බව දැනගන්නට ලැබුණු බවයි.

මිය ගිය සිසුවියගේ සහෝදරිය : “පීසීආර් නෙගෙටිව් කන්තලේ ඉන්නකොට. දැන් පොසිටිව්ලු. පිච්චුවොත් නංගිට මොකද වුණේ කියලා හොයා ගන්න බැහැ.”

අප මේ සම්බන්ධයෙන් කන්තලේ රෝහලේ වෛද්‍ය අධිකාරිවරයාගෙන් කළ වමසීමකදී ඔහු සඳහන් කලේ , ඇය දැඩි සත්කාර ඒකකයක් සඳහා යොමු කළ යුතුව තිබූ අතර ආසන්න කිසිඳු රෝහලක ඊට ඉඩක් නොතිබූ බැවින් ඇය කෑගල්ල රෝහලට මාරු කළ බවයි ෴

***************************************

බන්දුලගෙන් අලුත් සහන මල්ලක් – යෝගට් මිල තවත් වැඩිවන ලකුණු

(05.02.2022 – 20:28 +0530 – hirunews.lk/sinhala)

පවතින ඩොලර් හිඟය හමුවේ වරායේ සිරවී ඇති බහාලුම්, නිදහස් කර ගැනීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට ප්‍රමුඛතාවය ලබා දෙමින් එම බහාලුම් කොටස් වශයෙන් නිදහස් කර ගැනීමට සැලසුම් කර ඇති බවයි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහාලුම් 1,800 ක් මෙන්ම පොත්පත්, ලිපිද්‍රව්‍ය සහ කඩදාසි අඩංගු බහාලුම් 8 ක් වරායේ සිරවී ඇති බව හිරු ප්‍රවෘත්තී අද (05) උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තී ප්‍රකාශයෙන් වාර්තා කළා.

එමෙන්ම දිවයින පුරා පිහිටි සතොස වෙළඳසැල් තුලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු රුපියල් 998 ක සහන බඩු මල්ලක් හඳුන්වා දීමද අද (05) සිදු කෙරුණා.

එමෙන්ම වෙළඳපොලේ දියර කිරි ලීටරයක මිල මේ වන විට රුපියල් 280 සිට රුපියල් 320 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මිල්කෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ කිරි ගොවීන්ගෙන් ලැබෙන දියර කිරි ප්‍රමාණය අඩු වීම මෙම මිල වැඩි වීමට හේතු වී ඇති බවයි.

දෛනික දියර කිරි අවශ්‍යතාවය ලීටර ලක්ෂ 4 ක් පමණ වුවද කිරි ගොවීන්ගෙන් ලැබෙන කිරි ධාරිතාවය ලීටර 1,30,000 ක් පමණක් බවද මිල්කෝ සමාගම සඳහන් කළා.

මෙවන් පසුබිමක දියර කිරි ලීටරයක් සඳහා ලබා දෙන මිල ඉහළ නංවන ලෙස දේශීය කිරි ගොවීන් ඉල්ලා සිටිනවා.

දියර කිරි ලීටරයක් සඳහා කිරි ගොවීන්ට ලබා දෙන මුදල පෙබරවාරි පළමු වනදා සිට රුපියල් 5 කින් ඉහළ නංවන බව මිල්කෝ සමාගමේ හිටපු සභාපතිවරයා ප්‍රකාශ කලද නව සභාපතිවරයෙකු පත් කිරීමත් සමග එය ක්‍රියාත්මක වුයේ නැහැ.

ඒ සම්බන්ධයෙන් අප කල විමසීමකදී නව සභාපතිවරයා කියා සිටියේ කිරි ගොවීන්ට ලබා දෙන මුදල ඉහළ නැංවීමට ඇති හැකියාව තවදුරටත් අධ්‍යයනය කල යුතු බවයි.

කෙසේ වෙතත සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ හිරු ප්‍රවෘත්තී අංශයට සඳහන් කළේ කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ලබා දෙන මුදල රුපියල් 5 කින් ඉහළ නැංවීමට තම කළමනාකාරීත්වය යටතේ හැකියාව පැවති බවයි.

මෙවන් පසුබිමක අමුද්‍රව්‍ය මිල ඉහළ ගියහොත් ඉදිරියේදී යෝගට් මිල රුපියල් 5 ත් 10 ත් අතර මුදලකින් ඉහළ දැමීමට සිදුවන බව දේශීය කිරි ආහාර නිෂ්පාදන සංගමය පවසනවා.

එහි උප සභාපති මංජුල නිශාන්ත කියා සිටියේ යෝගට් ඇතුලු කිරි ආහාර නිෂ්පාදනය සඳහා ද දියර කිරි හිඟ වීමේ තත්වයක් හටගෙන ඇති බවයි ෴

***************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අයත් සමාගමේ නෞකාවක් ශ්‍රී ලංකා භාරයට

(05.02.2022 – 20:42 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අයත් සමාගමේ නෞකාවක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබියදී ඊයේ (04) රාත්‍රියේ වෙළඳ නාවික අධ්‍යක්ෂක කාර්යාලය භාරයට ගෙන තිබෙනවා.

ඒ පෙර්දා කොළඹ වානිජ මහාධිකරණයෙන් ලබා දුන් තීන්දුවකට අනුවයි.

පසුගිය වසරේ මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ තිබී මුහුදුබත් වූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 6 කට අධික වටිනාකමින් යුත් බහාලුම් 6 ක් අයත් සමාගමක් ඒ වෙනුවෙන් හානිපූර්ණය කිරීම වෙනුවෙන් මීට පෙර නීතිමය පියවර ගෙන තිබුණා.

කෙසේ වෙතත්, ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව අයත් සමාගම එය සම්පූර්ණ කර තිබුණේ නැහැ.

නාවික නීති අනුව එවැනි තත්ත්වයකදී අදාළ සමාගමේ වෙනත් නෞකාවක් රඳවාගෙන හානි පූර්ණ සුරක්ෂිතයක් ලෙස තබා ගත හැකි අතර, ආරංචි මාර්ග සඳහන් කළේ, ඒ අනුව එක්ස්ප්‍රස් කුහිමා නැමති මෙම නෞකාව රඳවා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කර ඇති බවයි ෴

***************************************

පාස්කු ප්‍රහාරය ගැන සනත් නිශාන්තගෙන් ස්වයං විවේචනයක්

(05.02.2022 – 23:42 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ වගකිව යුත්තන්ගෙන් කටඋත්තරයක් හෝ ලබානොගැනීම තුළින් ආණ්ඩුව ඔවුන් ආරක්ෂා කරන්නේදැයි තම හෘදය සාක්ෂිය ද තමන්ගෙන් විමසන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසනවා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සහභාගී වූ පුත්තලම දිස්ත්‍රික්කයේ පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුඹුක්කඩවල ගම්මාන කිහිපයක් ආවරණය කරමින් ඉදිවූ අලිවැට විවෘත කිරීම සිදු කෙරුනේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *