සපුගස්කන්දට තෙල් එයි – කැළණිතිස්ස තවමත් අක්‍රීය යි

සපුගස්කන්දට තෙල් එයි – කැළණිතිස්ස තවමත් අක්‍රීය යි

*********************************************

සපුගස්කන්දට තෙල් එයි – කැළණිතිස්ස තවමත් අක්‍රීය යි

(05.02.2022 – 09:28 +0530 – hirunews.lk/sinhala)

අද (05) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු කෙරෙන්නේ ද යන්න පිළිබඳව පස්වරුවේ දැනුම්දෙන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කැළණිතිස්ස බලාගාරයට තවදුරටත් ඉන්ධන ලැබී නොමැති බවයි.

ඒ හේතුවෙන් එම බලාගාරයේ නිපදවන මෙගාවොට් 280 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවනවා. කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක වීම හේතුවෙන් පසුගිය දිනවල විදුලි කප්පාදුවක් සිදු වුණේ නැහැ.

එහෙත් අද (05) දිනයේ පවතින විදුලි ඉල්ලුම අනුව විදුලිය කැපීම සම්බන්ධයෙන් තීරණය කරන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊයේ (04) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොවූ අතර, පෙරේදා (03) දිනයේදී පස්වරුවේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබුණා.

මේ අතර කැළණිතිස්ස විදුලි බලාගාරයේ පිහිටි සොජිස්ට් පෞද්ගලික බලාගාරයේ කටයුතු ද තවමත් ආරම්භ කර නැහැ.

කෙසේ නමුත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි සඳහන් කළේ දැවි තෙල් මෙට්‍රික් ටොන් 330 ක් සපුගස්කන්ද බලාගාර සංකීර්ණය වෙත ලබාදීම අද (05) උදෑසන 10:20 ට පමණ ආරම්භ වූ බවයි.

ඉන් මෙට්‍රික් ටොන් 50 ක් පළමු බලාගාරය වෙත සහ මෙට්‍රික් ටොන් 280 ක් දෙවන බලාගාරය වෙත මේ වනවිට යොමු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අනවශ්‍ය විදුලි පහන් නිවා දමා අඛන්ඩ විදුලිබල සැපයුමකට සහය වන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර පෙට්‍රල් සහ ඩීසල් වෙළඳපොලට නිකුත් කිරීමේදී තවදුරටත් පාඩු දැරීමට සිදුව ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඩීසල් ලීටරයකින් රුපියල් 36 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් අටක (8) පාඩුවක් සංස්ථාවට සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කළ බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළා.

ජාත්‍යන්තරය එක්ක සාකච්ඡාව ගැටලුවක් නෙවෙයි – ඇමති විමල්

(05.02.2022 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ජාත්‍යන්තර ආයතනයක් සමඟ සාකච්ඡා කිරීම ගැටලුවක් නොවන බව, ‘ජාතික නිදහස් පෙරමුණේ’ නායක අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

තලංගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ගැටලුව ඇත්තේ රටට අහිතකර කොන්දේසි ඉදිරිපත් කළහොත් ඊට එකඟ වීම සම්බන්ධයෙන් බවයි.

කොළඹ දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ තලංගම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙත නිවසක් ලබාදීම අද (05) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ, ‘ජාතික නිදහස් පෙරමුණේ’ නායක අමාත්‍ය විමල් වීරවංශ සහ ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක අමාත්‍ය උදය ගම්මන්පිල යන සහභාගීත්වයෙන්.

හෙටට (06) යෙදන උදය ගම්මන්පිල මහතාගේ ජන්ම දිනය සැමරීම ද මෙහිදී සිදු කෙරුණා.

***************************************

දියර කිරි ලැබීමේ අඩුවක්

(05.02.2022 – 10:57 +0530 – hirunews.lk/sinhala)

තම සමාගම වෙත කිරි ගොවීන් දෛනිකව සපයන දියර කිරි ප්‍රමාණය බෙහෙවින් පහළ ගොස් ඇති බව මිල්කෝ සමාගම පවසනවා.

එම සමාගම පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය හමුවේ දේශීය කිරිපිටි නිෂ්පාදනය සහ දියර කිරි නිෂ්පාදනය පහළ ගොස් ඇති බවයි.

දේශීය කිරිපිටි සහ දියර කිරි නිෂ්පාදනය සඳහා මිල්කෝ සමාගම වෙත දෛනිකව දියර කිරි ලීටර් ලක්ෂ 4 ක අවශ්‍යතාවක් පවතිනවා.

එහි නිලධාරියෙකු පෙන්වා දුන්නේ, මේ වනවිට කිරි ගොවීන්ගෙන් සිය සමාගම වෙත සැපයෙන්නේ දියර කිරි ලීටර් 1,30,000 ක් පමණක් බවයි.

එම තත්ත්වය හමුවේ සිය නිෂ්පාදන කටයුතු නියමිත පරිදි කරගෙන යාමට දැඩි බාධා මතුව ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර, සිය නිෂ්පාදන කටයුතු සඳහා අමුද්‍රව්‍ය හිඟය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් කිරි ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, සිය ගැටලු විසඳා ගැනීම සඳහා රජයෙන්ද සහනයක් නොලැබීම හේතුවෙන් දියර කිරි කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මේ අතර, සිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් තමන් දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බව ශ්‍රී ලංකා කිරි ආහාර නිෂ්පාදන සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළා.

***************************************

පනාමුරේ පුද්ගල ඝාතනයක්

(05.02.2022 – 11:15 +0530 – hirunews.lk/sinhala)

පනාමුර – ඕමල්පේ ප්‍රදේශයේ දී පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පොල්ලකින් පහර දී ඊයේ (04) මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා අවුරුදු 61 ක අයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

ඩෙවෝන් ගිනි ගනියි – විනෝදයට ගිනි තියන බවට ගම්වැසියන්ගෙන් චෝදනා

(05.02.2022 – 11:54 +0530 – hirunews.lk/sinhala)

හැටන් – දිඹුල, පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවොන් ඇල්ල රක්ෂිතයේ ඊයේ (04) රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25 පමණ ගිනිගෙන විනාශ වී ඇති බව නුවරඑළිය ආපදා කලමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් පවසනවා.

ඩෙවොන් දිය ඇල්ලට බටහිර ප්‍රදේශයෙන් පිහිටි දිඹුල පතන වත්ත ප්‍රදේශයට මායිම්ව, මෙම ගින්න රාත්‍රී 7 ට පමණ හටගෙන ඇති බවත්, මේ දිනවල ඩෙවොන් දිය ඇල්ල රක්ෂිත ප්‍රදේශවලට පවතින දැඩි වියළි කාලගුණයත් සමග ඉලුක් සහිත එම රක්ෂිතයේ ගින්න ශීඝ්‍රයෙන් පැතිර යන බවත් ප්‍රදේශවාසීන් සඳහන් කළා.

පසුගිය දින කිහිපය තුළ ම ඩෙවොන් ඇළ රක්ෂිතය පුරා කිසියම් පිරිසක් විසින් ගිනි තැබිම් සිදු කිරිම නිසා එම රක්ෂිතයේ අක්කර 100 ආසන්න භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ විම නිසා විශාල පරිසර හානියක් සිදු වුණා.

ඩෙවොන් ඇල්ලේ සුන්දරත්වයට බලපෑමක් මේ හේතුවෙන් සිදු වී ඇති බවයි එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින් කියා සිටින්නේ.

මධ්‍යම කදුකරය පුරා මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ඇතැම් පිරිස් විසින් සතුන් දඩයම් කිරිම සහ විනෝදාස්වාදය සඳහා මෙවැනි ගිනි තැබීම් සිදු කරන බව ද ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

අක්බාර් පාලමෙහි බැඳි බඹර වද ගැලවෙයි

(05.02.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ ඇති අක්බර් පාලමේ බැඳ තිබූ බඹර කූඩු 18 ක් ආරක්ෂිතව ඉවත් කිරීමට ‘බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ’ නියෝජතයින් පිරිසක් පියවර ගෙන තිබෙනවා.

මහවැලි ගං මධ්‍යයට ඉහළින් බැඳ තිබූ අදාළ බඹර කූඩු ගැලවීම ඉතා සූක්ෂ්ම අයුරින් සිදු කිරීමටයි එහිදී පියවර ගැනුණේ.

ඊට හේතුව වන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් එදිනෙදා පාලම මතින් ගමන් කිරීමත්, බඹර ප්‍රහාරවලට නිරාවරණය වීම වැළැක්වීමටත් මෙම පියවර ගැනුණා.

***************************************

උඩ ගිය එළවළු මිල යළි පහළට

(05.02.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

පොහොර නොමැතිවීමෙන් අස්වැන්න අඩු වූ වී ගොවීන්ට වන්දි ලබාදීමට රජය කටයුතු කරද්දී රටේ කුඩා තේ වතු හිමියා අමතක කර ඇති බව මහනුවර දිස්ත්‍රික් කුඩා තේ වතු සමිති සන්ධානය චෝදනා කරනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ නැවත පොහොර සහනාධාරය ලබා දෙන්නේ නම් තමන්ට වන්දි අවශ්‍ය නොවන බවයි.

මේ අතර, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලෙහි යම් පහළ යාමක් මේ දිනවල වාර්තා වෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු සැපයුම වැඩිවීමත් සමඟ පසුගිය සතියට සාපේක්ෂව එළවළු මිලෙහි යම් අඩුවීමක් දක්නට ලැබෙනවා.

විශේෂයෙන් යාපනය අර්ධද්වීපයේ වගා කරන ලද බීට් රූට් අස්වැන්න ලැබීමත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දන් පවසනවා.

පසුගිය දිනවල බීට් රූට් කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 350 ක පමණ මිලකටයි.

වෙළෙඳුන් පෙන්වා දෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන අනෙකුත් එළවළු තොගවල වැඩි වීමත් සමග එළවළු මිල සියයට 40 කින් පමණ පහත වැටී ඇති බවයි.

පසුගිය මාසයේ ඉහළ ගොස් තිබු සෑම එළවළුවකම මිල මේ වනවිට කිලෝවක් රුපියල් 50 ත් 100 ත් අතර සංඛ්‍යාවකින් පහත වැටී තිබීම විශේෂත්වයක්.

යාපනය අර්ධද්වීපයේ එළවළු අස්වැන්න නෙළීම ඉදිරි දින කිහිපයේදී ආරම්භ වීමට නියමිත නිසා එළවළු මිලෙහි යම් අඩුවක් දක්නට ලැබිය හැකි බවයි වෙළෙන්ඳුන් පවසන්නේ.

කෙසේවෙතත්, කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ පවතින්නේ මීට හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

පොහොර නොමැති වීම සහ පවතින වැසි රහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට ප්‍රදේශවල වගා කරන එළවළු තොග ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෙළඳ ප්‍රජාව පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් එම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, පොහොර නොමැති වීමෙන් මහනුවර දිස්ත්‍රික්කයේ තේ වගාව විනාශ වී ඇති බවයි කුඩා තේවත් හිමියන් පවසන්නේ.

සාමාන්‍ය තත්ත්වයක් යටතේ වෙනදා තේ දළු කිලෝග්‍රෑම් 1000 ක් ලබාගත් තේ වත්තකින් මේ වනවිට තේ දළු කිලෝග්‍රෑම් 50 ක්වත් ලබා ගැනීමට නොහැකි වී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

***************************************

වනජීවී නිලධාරින් කොල්ල කෑ හේන් ගොවි අස්වැන්න

(05.02.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල රටේ කෘෂිකර්මාන්තයට උදාවී ඇත්තේ හොද කල දසාවක් නම් නොවේ.

එවන් පසුබිමක තම අක්කර ගණනාවක ගොවිබිම් අහිමිවීමෙන් ගොවීන් පිරිසක් පිඩාවට පත්වුණු පුවතක් අපට වාර්තා වුණේ මොණරාගල ප්‍රදේශයෙන්.

මොනරාගල මාලිගාවිල ප්‍රදේශයේ ගොවි මහතෙක් මෙලෙස පැවසුවේ පසුගියදා තම හේන්වලට පොලිසිය සමග පැමිණි වනජීවී නිලධාරින් තමන් ඇතුළු ගොවිමහතුන්ට පැවසූ කරුණක් පිළිබඳවයි.

මෙම අක්කර 30 ක පමණ භුමියේ වගා කිරීමෙන් වළකින ලෙසයි ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ.

අස්වනු නෙලා ගැනීමට ආසන්නව තිබියදී ලබාදුන් මෙම නියෝගය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත් වූ බවයි ගොවීන් අපට පවසන්නේ.

පොලිසිය සමග පැමිණි වනජීවී නිලධාරීන් අස්වැන්නේ කොටසක් මෙන්ම තවත් වටිනා උපකරණ රැගෙන ගිය බවටත් ගොවින් චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ මෙවර තම වගාවන්ගේ අස්වැන්න නෙළා ගැනීමට හෝ බලධාරීන් ඉඩ ලබාදිය යුතු බවයි.

***************************************

ජන නිදහස වෙනුවෙන් යළි සටන් වැදිය යුතුයි – සජිත්

(05.02.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ නිදහස දිනා ගැනීම සඳහා යළිත් සටන් කිරීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේගයේ ‘හුස්මක්’ වැඩසටහන යටතේ අකරගම ප්‍රාදේශීය රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කිරීම වෙනුවෙන් පැවති උත්සවයක දී විපක්ෂ නායකවරයා මේ අදහස් පළකළා.

***************************************

දලයිලාමා තුමන්ගේ අනුගාමික පිරිසගේ චාරිකාව

(05.02.2022 – 13:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරයක නිරත ටිබෙටයේ දලයිලාමා තුමාගේ අනුගාමික ශිෂ්‍ය අතිඋතුම් හත්වන ලින්ග් රින්පොචේ (Ling Rinpoche) නාහිමිපාණන් වහන්සේ ඇතුළු ටිබෙට් ජාතික මහා සංඝරත්නය වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත වැඩම කළා.

අමරපුර සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක, ආචාර්ය පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ ස්වාමීන්වහන්සේ බැහැදැක සුහද කතා බහක නිරත වුණා.

අළුත්වැඩියා කරමින් තිබූ ධීවර යාත්‍රාවක ගින්නක්

(05.02.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

අළුත්වැඩියා කටයුත්තක් සඳහා අම්බලන්ගොඩ ධීවර වරාය පරිශ්‍රයේ තිබූ බහුදින යාත්‍රාවක ඇති වූ ගින්නකින් එහි බඳ කොටස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විමර්ශන සිදු කරනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴

***************************************

දැරියක් රක්කනාව ඇල්ලට බිලිවෙයි

(05.02.2022 – 10:43 +0530 – hirunews.lk/sinhala)

දැරණියගල – නූරිය – කිරිහේන ප්‍රදේශයේ පිහිටි රක්කනාව ඇල්ලේ දියනාමින් සිටි කුඩා දැරියක් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (04) සිදු වූ මෙම අනතුරෙන් මියගිය දැරියගේ වයස අවුරුදු 9 ක් බවයි පොලීසිය පැවසුවේ.

දියේ ගිලීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ ඇය දැරණියගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ තම දුවාදරුවන් සමඟ දියනෑමට පැමිණි පිරිසක් අතර සිටි දැරියක් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *