කොරෝනා බුස්ටර් එන්නත නිවසටම

කොරෝනා බුස්ටර් එන්නත නිවසටම

*********************************************

කොරෝනා බුස්ටර් එන්නත නිවසටම

(05.02.2022 – 09:12 +0530 – hirunews.lk/sinhala)

නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ දිවයිනම ආවරණය පරිදි ක්‍රියාත්මක ජංගම එන්නත්කරණ වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශවල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් එන්නත්කරණ කණ්ඩායම් යොදවා ඇති බවයි.

මේ අතර ගත වූ සති කිහිපය තුළ දිවයින පුරා සිදුවූ කොරෝණා මරණ වලින් 3 න් 2 ක්ම පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ හෝ බූස්ටර් එන්නත ලබා නොගත් පුද්ගලයන් බවට තහවුරු වී තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 1,243 ක් ඊයේ (04) වාර්තා වූ අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 6,15,902 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,544 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (04) වාර්තා වු කොරෝනා මරණ 29 ත් සමගයි ෴

පූර්ණ එන්නත්කරණය නැත්නම්, ගමන් බිමන් තහනම් !

(05.02.2022 – 10:02 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණය පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා අනිවාර්යය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනය අප්‍රේල් 30 සිට බලාත්මකයි.

තවත් කොවිඩ් ආසාදිතයින් 1243 ක් ඊයේ (04) වාර්තා වූ අතර, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,15,902 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,544 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (04) වාර්තා වූ කොවිඩ් මරණ 29 ත් සමගයි.

නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඡා පනත සංශෝධනය කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනවාරි 25 වැනිදායි.

පසුගිය ජනවාරි 25 වැනිදා නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි පූර්ණ එන්නත්කරණය යනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වා ඇති පරිදි අදාළ එන්නත්කරණය අවශ්‍ය මාත්‍රාවන් ලබාගෙන තිබීම අදහස් කෙරෙනවා.

එම සංශෝධනවලට අනුව පොදු ස්ථානය යන පොදුවේ අර්ථ නිරූපනය සඳහා ගෙවිම් සිදුකරන හෝ නොකරන පොදු ප්‍රවාහන සේවා යන්න ද ඇතුළත් කෙරෙනවා.

සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන පරිදි කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයක් කර තිබෙන බව ඔප්පු කිරිමට සාධක නොමැති අයෙකු පොදු ස්ථානයකට ඇතුළු නොවිය යුතුය වශයෙන් නව වගන්තියක්ද ඊට එක්කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස පොදු ස්ථානවලට පිවිසීම සඳහා පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කෙරෙන විධිවිධාන ලබන අප්‍රේල් 30 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති.

මේවන විට මෙරට පූර්ණ එන්නත්කරණය ලැබූවන් බව පැවසෙන්නේ එන්නත් 3 ම සම්පූර්ණ කළ පිරිස් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මීට පෙර සඳහන් කර තිබෙනවා.

මේ අතර, නිවෙස්වලින් පිටතට පැමිණිය නොහැකි පිරිස් සඳහා නිවසටම පැමිණ බූස්ටර් එන්නත් ලබාදීමේ වැඩසටහනක් ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ අතර, ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඔමික්‍රොන් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් වන BA2 ප්‍රභේදය මේවන විට අප්‍රිකානු කලාපය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ අතර, මේ වනවිට රටේ වත්මන් දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සිව් (4) ගුණයකින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

එහෙත් කුමන ගැටලුව පැමිණිය ද කිසිදු අයුරකින් රට වසා දැමීමකට නොයන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම පවතින වසංගත තත්ත්වය අවම කර පාලනයට වහාම එන්නත්කරණයට යොමු වන ලෙසට ද රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මේවන විටත් වෛරසයේ වැඩිම බලපෑම සිදුවී ඇත්තේ අප්‍රිකාව, කෙන්යාව, මලාවි, බොට්ස්වානා වැනි රාජ්‍යයන්ටයි.

ඔමික්‍රොන් ප්‍රභේදයේ නව ආසාදිතයින් සංඛ්‍යාව පහත වැටුණද මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින අමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,00,000 සීමාව ඉක්මවා ගියා.

එරටින් කොවිඩ් මරණ අටලක්ෂයක් (8,00,000) වාර්තා වූයේ මීට මාස එක හමාරකට (1½) පෙරයි.

එරට සෞඛ්‍ය දත්ත වාර්තා පෙන්වා දෙන්නේ දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ 2400 සීමාව ඉක්මවා යන බවයි.

මේ අතර, ඉන්දියාවේ ද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 5,00,000 ඉක්මවා ගොස් තිබෙනවා ෴

ඔමික්‍රොන් සඳහා විශේෂිත බූස්ටර් එන්නතක් අවශ්‍ය නැති බවට හෙළි වෙයි

(05.02.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala)

ලොව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සඳහා විශේෂිත වූ බූස්ටර් එන්නතක් අවශ්‍ය නොවන බව ඇමරිකානු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

ඒ, දැනට භාවිත කරන මොඩර්නා බූස්ටර් එන්නත සහ ඔමික්‍රොන් ප්‍රභේදය සඳහා විශේෂිතව නිර්මාණය කළ බූස්ටර් එන්නත වඳුරන්ට එන්නත් කොට ලබාගත් ප්‍රතිඵල අනුවයි.

එහිදී පෙනී ගොස් ඇත්තේ ඒ අවස්ථා දෙකේදීම සතුන් තුළ සමාන ප්‍රතිශක්තියක් නිර්මාණය වන බවයි.

එම එන්නත් දෙක මගින්ම කැපී පෙනෙන අන්දමින් ප්‍රතිදේහ ගොඩනැගීමක් දක්නට ලැබෙන බව ද ඇමරිකානු රජයේ පර්යේෂකයන් සඳහන් කළා.

මොඩර්නා සහ ෆයිසර් සමාගම් මේ වනවිට ඔමික්‍රොන් සඳහා විශේෂිත බූස්ටර් එන්තත් සායනික පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

+++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 550 ක් සුවය ලබයි

(05.02.2022 – 14:59 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 550 ක් සුවය ලබා තියෙනවා. සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 5,80,770 ක් ෴

+++++++++++++

තවත් කොරෝනා මරණ 28 ක්

(05.02.2022 – 17:39 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 28 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 8 ක් සහ පිරිමි පුද්ගලයන් 20 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ මරණ දෙකක් (2) වාර්තාවී ඇති අතර ඒ එක් (1) කාන්තාවක් සහ එක් (1) පිරිමියෙක්.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 5 ක්.

කාන්තාවන් තුන්දෙනෙකු (3) සහ පිරිමින් දෙදෙනෙකු (2) ඒ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 17 ක් සහ කාන්තාවන් 4 ක් වශයෙන් මරණ 21 ක් වාර්තා වුණා.

අද (05) වාර්තා කළ මෙම මරණ 28 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,572 ක් ලෙසටයි.

මේ අතර මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයන් 6,15,902 ක් වාර්තාවී තිබෙනවා.

ඉන් 19,588 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,80,770 ක් ෴

+++++++++++++

එන්නත්කරණ නීතියට අදාළ පොදු ස්ථාන ඉදිරියේදී

(05.02.2022 – 19:43 +0530 – hirunews.lk/sinhala)

පොදු ප්‍රවාහන සේවා ඇතුලු පොදු ස්ථානවලට ප්‍රවේශවීමේදී ලබන අප්‍රේල් 30 වනදා සිට කොරෝනා මර්දන පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කිරීමට අදාළ වැඩිදුර උපදෙස් ඉදිරියේදී නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ අතර, එහි දැක්වෙන්නේ කොරෝනා රෝගයට එරෙහිව පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බව ඔප්පු කිරීමට සාධක නොමැති තැනැත්තෙකු යම් ලබන අප්‍රේල් 30 වනදා සිට පොදු ස්ථානයකට ඇතුලු නොවිය යුතු බවයි.

අදාළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ගෙවීමක් සිදුකර හෝ නොකර මෙන්ම ආරාධයක් මත හෝ නොමැතිව ජනතා ප්‍රවේශයක් සහිත යම් ස්ථානයක් හෝ පොදු ප්‍රවාහනය සඳහා භාවිත කරන ප්‍රවාහන ක්‍රමයක් පොදු ස්ථානයක් ලෙස අර්ථ ගන්වා තිබෙනවා.

ඒ අනුව, ජනතාව බහුලව ගැවසෙන හෝ වෙනත් ප්‍රසිද්ධ ස්ථාන මෙන්ම බස් රථ දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා මීට ඇතුළත්.

එන්නත් සඳහා යම් සංකූලතාවයන් දක්වන හෝ ඇතැම් නිධන්ගත රෝග තත්ත්වයන්ගෙන් පෙලෙන පුද්ගලයින් මෙන්ම යම් විශේෂ තත්ත්වයන් යටතේ ඇතැම් පුද්ගලයින්ට කොරෝනා එන්නත්කරණය නොකළ යුතු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කර තිබෙනවා.

එසේම, කොරෝනා වෛරසය වැළඳී මාස 3 ක කාලයක් ඉක්මවන තෙක් යම් පුද්ගලයෙකු කොරෝනා මර්දන එන්නත ලබාගැනීමෙන් වැළකී සිටිය යුතුයි.

එවැනි අවස්ථාවක යම් අයෙකු එන්නත්කරණයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන මාර්ගෝපදේශ මගින් නිශ්චිතව දක්වනු ඇති.

මේ වනවිට මෙරට ඕනෑම වර්ගයක කොරෝනා මර්දන එන්නත් පළමු (1) මාත්‍රාව ලබාගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,67,74,088 ක් වන අතර, දෙවන (2) මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 14,04,130 ක්.

කොරෝනා මර්දන බූස්ටර් මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 50,43,242 ක් වනවා.

මේ අතර අද (05) මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,287 ක් වාර්තා වුනා.

ඒ අනුව මෙරට මුළු කොරෝන ආසාදිතයින් ගණන 6,17,189 ක් ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

අම්බිකාට විදේශ අමාත්‍යංශයෙන් පිළිතුරු

(05.02.2022 – 08:55 +0530 – hirunews.lk/sinhala)

යුරෝපා පාර්ලිමේන්තු අනුකමිටුව හමුවේ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් නීලන් තිරුචෙල්වම් සංවිධානයේ සභාපතිනී, අම්බිකා සත්ගුණනාදන් ලබා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහිදී ඇය සඳහන් කර තිබුණේ මානව හිමිකම් සම්බන්ධයෙන් ලක් රජයට බලපෑම් කිරීම සඳහා යුරෝපා සංගමය ‘ජී.එස්.පී. ප්ලස්’ සහනය භාවිත කළ යුතු බවයි.

නීලන් තිරුචෙල්වම් සංවිධානයේ සභාපතිනී අම්බිකා සත්ගුණනාදන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලාංකිකයින්ගේ ජීවනෝපාය කෙරෙහි බලපෑම් එල්ල වී ඇති අවස්ථාවක පදනම් විරහිත චෝදනා මගින් මෙවැන්නක් සිදුකිරීම පිළිගත නොහැකි බවයි.

ඇයගේ ඇතැම් ප්‍රකාශ සහ චෝදනා මගින් ජාතීන් අතර වෛරය ඇති කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්ම කරන වැඩපිළිවෙළ නිරූපණය වන බවද විදේශ අමාත්‍යංශයේ අදහසයි.

එම නිසා අම්බිකා සත්ගුණනාදන්ගේ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දෙන විදේශ අමාත්‍යාංශය, වගවීම සහ ප්‍රතිසන්ධානය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය විවෘතව සිටින බවද අවධාරණය කරනවා.

සිංහල බෞද්ධ ජාතිකවාදය සහ මිලිටරීකරණය සම්බන්ධයෙන් සත්ගුණනාදන් දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ, සියලු ජාතීන්ට රට තුළ සමාන අයුරින් මූලික අයිතිවාසිකම් ලබා දී ඇති බවයි.

යුද ගැටුම් නිමාවීමෙන් පසු හමුදාව යටතේ පැවති පෞද්ගලික ඉඩම්වලින් 92% කට වැඩි ප්‍රමාණයක් නීත්‍යානුකූල ඉඩම් හිමි ජනතාවට ලබා දී ඇති බවද විදේශ අමාත්‍යාංශ නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර මෙරට නිදහස් දිනයට සැමරූ ඊයේ (04) දිනයේ ඊට සමගාමීව බ්‍රිතාන්‍යයේ දෙමළ ඩයස්පෝරාව විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර ශ්‍රී ලංකාවේ ජාතික ධජයට ගිනි තබමින් LTTE ධජ ප්‍රදර්ශනය කරන අයුරු ද දක්නට ලැබුණා.

***************************************

මාළඹේ මවක් අතුරුදන්

(05.02.2022 – 08:56 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ – උතුරු තලංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තුන්දරු මවක් අතුරුදන් වීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ඥාතීන් සඳහන් කළේ අදාළ කාන්තාව පසුගිය 31 වනදා සිය දියණිය වෙනුවෙන් කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සායනයකට ගිය අවස්ථාවේ සිට අතුරුදන්ව ඇති බවයි.

එදින ඊට පෙර අදාළ මව, සිය දියණිය පෙර පාසලට රැගෙන ගොස් ඇති බව ද ඥාතීන් ප්‍රකාශ කළා.

අතුරුදන් වූ මවට වයස අවුරුදු තුන හමාරක (3½) ළදරුවෙකු සහ 10 සහ 12 යන වයස් වල පසුවන දරුවන් ද සිටී.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මාලඹේ පොලීසිය සඳහන් කළේ පැමිණිල්ලට අදාළව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සී.සී.ටී.වී දර්ශන ඔස්සේ එම විමර්ශන සිදු කරන බව පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

කැලෑ ගිනි තියන්න එපා – වන සංරක්ෂණයෙන් ඉල්ලීමක්

(05.02.2022 – 09:05 +0530 – hirunews.lk/sinhala)

පවතින වියලි කාළගුණ තත්ත්වයත් සමඟ වනාන්තර ගිනි තැබීමේ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත එදිරිසිංහ කියා සිටියේ මේ හේතුවෙන් වසරකට වනාන්තර ආශ්‍රිතව ගිනි ගැනිම් 500 ක් පමණ වාර්තා වන බවයි.

මේ අතර ඇල්ල පොලිස් වසමට අයත් කුඹල්වෙල රක්ෂිතයේ කඳු පන්තිය ආශ්‍රිතව ඊයේ (04) පස්වරුවේ හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි.

ගින්නෙන් රක්ෂිතයේ විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.

අයගම පොලිස් වසමට අයත් ගලඋඩහේන රක්ෂිතයේ ඊයේ (04) හටගත් ගින්න ද පොලිසිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අඩවි වන නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මැඩපවත්වනු ලැබුවා.

ගින්නෙන් රක්ෂිතයේ අක්කර 12 ක් පමණ විනාශ වී තිබෙනවා.

***************************************

ගෙවන්න ඩොලර් නැතුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් 1,800 ක් පමණ වරායේ සිර වී ඇත

(05.02.2022 – 09:23 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් 1,800 ක් පමණ තවදුරටත් වරායේ සිර වී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති බවයි.

මෙලෙස වරාය තුළ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ඇතුළත් බහලුම් අතරට පරිප්පු, සීනි, වියළි මිරිස්, අල, ලූණු වැනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවතිනවා.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, සහල් බහලුම් පමණක් 500 කට ආසන්න සංඛ්‍යාවක් ඒ අතර පවතින බවයි.

මේ අතර, පොත්පත් සහ ලියකියවිලි මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආනයනය කළ කඩදාසි අඩංගු කන්ටේනර් 8 ක්ද කොළඹ වරායේ සිර වී ඇති බව වාර්තා වනවා.

ඩොලර් නොමැතිකමින් මෙම කන්ටේනර් තොගය වරාය තුළ සිරව ඇති අතර, මෙම තත්ත්වය හමුවේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධාවන් ද මතුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේගෙන් විමසීමක් කළා.

ඇය පැවසුවේ, අදාළ කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරන බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *