රට තුළ පරීක්ෂණ කට්ටල හිඟ ද ? – කොරෝනාත් දිනෙන් දින ඉහළට

රට තුළ පරීක්ෂණ කට්ටල හිඟ ද ? – කොරෝනාත් දිනෙන් දින ඉහළට

*********************************************

රට තුළ පරීක්ෂණ කට්ටල හිඟ ද ? – කොරෝනාත් දිනෙන් දින ඉහළට

(04.02.2022 – 09:35 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 1,181 දෙනෙකු ඊයේ (03) මෙරටින් හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,14,659 ක් දක්වා ඉහළ ගියා.

එසේම, ඊයේ (03) දිනයේ තහවුරු කරන ලද පෙරේදා සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 23 ක්.

ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 15,515 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඇතැම් පාර්ශවයන් චෝදනා කරන පරිදි රට තුළ කොරෝනා පරීක්ෂණ කට්ටලවල කිසිදු හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දැනට පවතින පරීක්ෂණ කට්ටල තොගවලට අමතරව තවත් පරීක්ෂණ කට්ටල ඉන්දියාව, ජපානය වැනි රටවලින් ඇණවුම් කර ඇති බවයි ෴

+++++++++++

කොරෝනා ආසාදිතයින් 440 දෙනෙකු සුව අතට

(04.02.2022 – 14:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් 440 දෙනෙකු අද (04) සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 5,80,220 ක්.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,14,659 ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,515 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 18,924 ක් ෴

+++++++++++

තවත් කොරෝනා මරණ 29 ක්

(04.02.2022 – 18:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 29 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,544 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 12 ක් සහ පිරිමි පුද්ගලයන් 17 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 04 ක් වන අතර එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 03 දෙනෙකු ඊට අයත්.

අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 11 ක් සහ පිරිමි 14 ක් වශයෙන් මරණ 25 ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර මෙරටින් මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 6,14,659 ක්.

ඒ අතරින් 18,924 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,80,220 ක් ෴

++++++++++

අද (04) කොරෝනා ආසාදිතයන් 1243 ක්

(04.02.2022 – 19:20 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1243 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,15,902 ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 20,138 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,80,220 ක්.

මෙරටින් කොරෝනා මරණ 15,544 ක් ද වාර්තාවී ඇති අතර ඒ අද වාර්තා කළ මරණ 29 ත් සමගින්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (03) තහවුරු කළ එම මරණ අතර කාන්තාවන් 12 ක් සහ පිරිමි පුද්ගලයන් 17 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 04 ක් වන අතර එක් (01) කාන්තාවක් සහ පිරිමින් 03 දෙනෙකු ඊට අයත්.

අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 11 ක් සහ පිරිමි 14 ක් වශයෙන් මරණ 25 ක් වාර්තාවී තිබෙනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යහපත් ප්‍රතිචාරයක්

(04.02.2022 – 14:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මූල්‍ය සහනයක් අපේක්ෂා කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානී මසාහිරෝ නොසාකි ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පාර්ශවයෙන් මෙතෙක් එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

වර්තමානය වනවිට ශ්‍රී ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී ඇති බව එම සංවිධානය උපුටා දක්වමින් ආසියානු රටවල ආර්ථිකය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ඒෂියා ෆයිනෑන්ෂල් සඟරාව වාර්තා කරනවා.

එම සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානියා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ කොරෝනා බලපෑම සහ සංචාරක කර්මාන්තයේ කඩා වැටීම මෙන්ම, විදේශ ප්‍රේෂණ අවම වීම වැනි කාරණා හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සාර්ව මූල්‍ය ඒකකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තාක්ෂණික සහය ලබාදීමේ මෙහෙයුමක් ද ලබන 09 වනදා ක්‍රියාත්මක කරන බව ‘ඒෂියා ෆයිනෑන්ෂල්’ සඟරාවේ සඳහන්.

මේ අතර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පවතින මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවයි.

මුදල් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුව ට්විටර් සටහනක් එක් කර තිබුණා.

එහි දැක්වුණේ මුදල් අමාත්‍යවරයා පවසා ඇත්තේ අමාත්‍යාංශයේ ස්ථාපිත සාර්ව මූල්‍ය නව ඒකකය සඳහා ධාරිතාව ඉහළ නැංවීමේ සාමාන්‍ය තාක්ෂණික උපදෙස් ලබා ගැනීමක් පිළිබඳ පමණක් බවයි.

ඊට අදාළව ආර්ථික තත්ත්වය පිළිබඳ විශේෂඥ උපදෙස් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඉල්ලීම හැර මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ වෙනත් කිසිවක් සඳහන් නොවූ බව ද මහබැංකු අධිපතිවරයා පැහැදිලි කළා ෴

***************************************

කඩදාසි කන්ටේනර් 8 ක් කොළඹ වරායේ සිර වේ

(04.02.2022 – 17:17 +0530 – hirunews.lk/sinhala)

රජයේ පොත්පත් සහ ලියකියවිලි මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විදේශයන්ගෙන් ගෙන්වූ කඩදාසි අඩංගු කන්ටේනර් 8 ක් කොළඹ වරායේ සිරව ඇති බව වාර්තා වනවා.

ඩොලර් නොමැතිවීමෙන් මෙලෙස මෙම කන්ටේනර් තොගය වරාය තුළ සිරව ඇති බවත් මේ හේතුවෙන් මුද්‍රණ දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා ද එල්ල වී ඇති බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ කියා සිටියේ අදාළ කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර ඇති බවයි.

කෙසේ වෙතත්, තවත් මාස 6 කට අවශ්‍ය මුද්‍රණ කඩදාසි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සතුව පවතින බව ද ඇය සඳහන් කළා ෴

***************************************

තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

(04.02.2022 – 19:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 77,000 ක් වටිනා භාන්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 09 වනදා පැවැත්වෙනවා.

එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 37,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 15,000 ක බිල් පත් සහ දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 25,000 ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති ෴

***************************************

වෛද්‍ය පීඨ මැර ප්‍රහාරයට එරෙහිව කැලණිය පාරට බසියි

(04.02.2022 – 19:57 +0530 – hirunews.lk/sinhala)

රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයේදී සිසුන්ට පහරදීමේ සිද්ධියට අදාළව සියලු සැකකරුවන් අත්අඩංගුවට ගතයුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

මේ අතර වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීමේ සිද්ධියට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවීම සහ වෛද්‍ය පීඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (03) රාත්‍රියේ පන්දම් දල්වා විරෝධතාවකද නිරත වුණා.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වූ පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා ද වන අතර තුවාල ලබා රෝහල්ගතව සිටින වෛද්‍ය ශිෂ්‍යයෙකුද වනවා.

මේ අතර රෝහල්ගතව සිටින ශිෂ්‍යයා ලබා දුන් කටඋත්තරයක් මත තවත් විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරීමටයි අධිකරණය ඊයේ (03) නියෝග කළේ.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද මෙම සිද්ධියට අදාළව ඊයේ (03) සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණේ, සිය පුත්‍රයා සිද්ධියට සම්බන්ධ බවට හෙළිවීමත් සමඟයි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු කණ්ඩායමක් විසින් වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් පැහැර ගැනීමට තැත්කළ අවස්ථාවේ මෙම ගැටුම්කාරී තත්ත්වය උද්ගතව ඇති බවයි.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඊයේ (03) රාත්‍රියේ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණේ, වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධියට නිසි විමර්ශන සිදු නොවන බවට චෝදනා කරමින්.

***************************************

මන්ත්‍රී විජිතට විරෝධයක් – ඉඩමෙන් පිටවන ලෙසට ද නියෝගයක්

(04.02.2022 – 20:15 +0530 – hirunews.lk/sinhala)

මීරිගම – මඩබාවිට පෞද්ගලික ඉඩමක එහි හිමිකරු විසින් පස් කැපීමක් සිදු කරන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු සම්බන්ධයෙන් විමසා බැලීමට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී ඉඩමේ හිමිකරු කලහකාරිව හැසිරුණේ පැමිණ සිටි පිරිසට පහරදීමට මෙන් ගල් ද අතට ගෙන යි.

ඔහු කලහකාරී ලෙස කියා සිටියේ වහාම ඉඩමෙන් පිටව යන ලෙසයි.

***************************************

මෙරට සිදුවන වන සත්ත්ව හිංසනය ගැන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ගෙන් සැර කතාවක්

(05.02.2022 – 07:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදු වන සත්ත්ව හිංසනය සහ වනසතුන්ට සාමකාමී අයුරින් ජීවත් වන්නට ඉඩ ලබා නොදීමේ පසුබිම පිළිබඳ සටහනක් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන විසින් උපුටා දක්වා තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් මහේල ජයවර්ධන පෙන්වා දී ඇත්තේ, වන අලියෙකුට සිදු කරන අඩත්තේට්ටම් සහ එම සත්ත්වයාව විහිළුවකට ගෙන මෙරට ඇතැම් මිනිසුන් හැසිරෙන ආකාරය දැඩි විවේචනයකට ලක් කරමිනි.

කිසියම් පුද්ගලයෙකු විසින් කැලෑවෙන් මහමගට පිවිසෙමින් සිටි වන අලියෙකු විනෝදයට ගෙන, සිය රථයෙහි විදුලි පහන් එළිය වැඩි වශයෙන් එම සත්ත්වයාගේ මුහුණ දෙසට එල්ල කරමින්, සිය රථය භාවිත කරමින් එම සත්ත්වයාව බිය ගන්වන ආකාරය දැක්වෙන ටික්ටොක් වීඩියෝවක් දැඩි ලෙස විවේචනයට හසු කරමින් මහේල කියා සිටින්නේ, මෙම සිදුවීම සුළුවෙන් තැකීමක් සිදු නොකළ යුතු බවයි.

එනම්, මෙම සිදුවීම මෙරට සිදු වූ පළමු වන සත්ත්ව හිංසනයක් නොවන බවත්, මෙවැනි සිදුවීම් බොහෝ විට වාර්තා වන බවත්, ඇතැම් විට එම සතුන් විසින් ප්‍රතිප්‍රහාර එල්ල කළ විට දී අදාළ සිදුවීම් සමාජගත වන බවත් ඔහු එම ටික්ටොක් වීඩියෝව විවේචනය කරමින් පෙන්වා දෙන්නේ මෙවැනි සිදුවීම් කිසිදිනෙක සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවයි.

එබැවින් මෙලෙස රාත්‍රී කාලයේදී වන අලියෙකු සමග ඉතා ත්‍රාසජනක අයුරින් හැසිරීම සහ එය සමාජයට වැරදි පූර්වාදර්ශයක් දෙන අයුරින් ම මුදා හැරීම ද ඉදිරියේ දී වන සත්ත්වයින්ට සාමකාමීව ජීවත් වන්නට ඇති හැකියාව පළුදු කිරීමක් සේම තවත් පිරිස් එවැනි ක්‍රියාකාරකම්වලට යොමු කරවීමට උත්සාහ කිරීමකි.

මේ හේතුවෙන් අහිංසක වන සත්ත්වයින්ට සාමකාමී අයුරින් නිදහසේ ජීවත් වීමට අවකාශය ලබාදීමට කටයුතු කළ යුතු අතර, මෙවැනි වගකීම් විරහිත සහ බිහිසුණු ක්‍රියාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇති බව ද වගකිව යුතු බලධාරීන්ට මතක් කර දිය යුතුව ඇත.

මේ අතර, වන අලියන්ගෙන් මිනිසුන්ට සිදුවන තර්ජන සේම ඇතැම් නොහොබිනා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙරටින් ඉතාමත් වටිනා සහ සංචාරක ආකර්ෂණයක් ගෙනෙන වන අලීන් වඳවීමේ සහ ඔවුන්ට හානි පැමිණවීමේ තත්ත්වයකට රට පරිවර්තනය වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇත.

මීට කදිම උදාහරණය වන්නේ සුප්‍රසිද්ධ හොලොවුඩ් චිත්‍රපට නළුවෙකු වන ලියනාඩෝ ඩිකැප්රියෝගේ ද අවධානය ශ්‍රී ලංකාව වෙත යොමුව තිබුණේ ඔහු විසින් ද සංවේදී සටහනක් සිය ට්විටර් ගිණුමෙහි සටහන් කරමින්.

ඡායාරූපකරණයට දැඩි ඇල්මක් දක්වන ලියනාඩෝ විසින් ශ්‍රී ලංකාවේ වන අලීන්ට අත්ව ඇති ඛේදනීය ඉරණම පිළිබඳ ව සටහනක් තබමින් පැවසූවේ, දිරාපත් නොවන මිනිසුන් විසින් බැහැර කරන ලද කැළිකසළ ආහාරයට ගනිමින් ජීවිතක්ෂයට පත්වන වනඅලීන් සම්බන්ධයෙනි.

අම්පාර – පල්ලක්කාඩු ප්‍රදේශයට බැහැර කරන කසළ ආහාරයට ගැනීමෙන් අලි ඇතුන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මියයෑම පිළිබඳව ලියනාඩෝ විසින් හුවා දක්වා ඇති අතර, පසුගිය (28) වැනි දින දී හිරු ප්‍රවෘත්ති අංශය ද ඒ පිළිබඳ ව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගෙන් ද ඒ පිළිබඳ ව විමසා සිටියා.

නමුත්, විදෙස් සුප්‍රසිද්ධ නළුවාට තරම් සංවේදීබවක් හෝ අවධානයක් යොමු කිරීමට මෙරට බලධාරීන්ට ඇති නොහැකියාව මනාවට ප්‍රදර්ශනය කරමින්, රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මෙලෙස මියයන වන අලීන් රැකගැනීම සඳහා තමන්ට රජයෙන් කිසිදු මූල්‍යාධාරයක් නොලැබෙන බවයි.

මෙවන් තත්ත්වයක් තුළ දී තවදුරටත් ශ්‍රී ලංකාවට විදේශ විනිමය පමණක් නොව , පාරිසරික වශයෙන් ද මනා සහයෝගයක් ලබාදෙන වන අලි ඇතුන් මෙලෙස හිංසාවට පත් කිරීම සුප්‍රසිද්ධ නළු ලියනාඩෝ දකින්නා සේම, මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ ද දැඩි විවේචනයට පත් ව ඇත්තේ එවැබින්.

මේ හේතුවෙන් අලි ඇතුන්ට පමණක් නොව සියලුම වනසතුන්ට අර්බුදකාරී වාතාවරණයක් උදාකර ඇති මෙවන් පසුබිමක වගකිව යුතු නිසි බලධාරී දෑස් ඒ සඳාහා විවර කිරීමට කාලය එළඹ ඇති බව ද ඒ සඳහා නිසි විසඳුම් කඩිනමින් ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බව ද ‍යළි යළිත් මතක් කළ යුතුව ඇත ෴

***************************************

පයාගල වෙරළ තීරයෙන් හමු වුණු අබිරහස් මළසිරුර

(05.02.2022 – 08:16 +0530 – hirunews.lk/sinhala)

අබිරහස් අයුරින් ජීවිතක්ෂයට පත් වූ පුද්ගල මළසිරුරක් පයාගල වෙරළ තීරයෙන් හමු වී තිබෙනවා.

මෙම මළසිරුර අද (05) උදෑසන හමුව ඇත්තේ, පයාගල -දළුවත්ත ප්‍රගති මාවත වෙරළ තීරයේ දී යි.

පොලීසිය සැක පළ කරන්නේ, මෙම පුද්ගලයාව කිසියම් පුද්ගලයෙකු හෝ කිහිපදෙනෙකු විසින් ඝාතනය කර ඇති බවටයි.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 45 ක් පමණ වන අයෙකු වන අතර, මියගිය පුද්ගලයාගේ ශරීරයේ කිහිප තැනක පහරදීම් සහ තුවාල දැකිය හැකි බව ද පයාගල පොලීසිය පවසනවා.

ප්‍රදේශවාසීන් මළසිරුර දැක පොලීසියට දන්වා ඇති අතර, එම අවස්ථාවේ දී අපරාධය සිදු වූ ස්ථානයට පැමිණි පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කටයුතු සිදු කරනවා.

***************************************

රුපියල් කෝටිය ඉක්ම වූ මත්ද්‍රව්‍ය ජාවාරම

(05.02.2022 – 08:43 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම පොලිස් වසමේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගල‍යින් තිදෙනකු අත් අඩංගුවට ගැනුණා.

අද (05) පෙරවරුවේ සිදු කළ මෙම මෙහෙයුමේ දී සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගැනුණේ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සහ අලෙවි කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මතයි.

අදාළ වැටලීම මන්නාරම පොලීසිය විසින් සිදු කරනු ලැබුවේ මන්නාරම – එරුක්කලම්පිටිය ප්‍රදේශයේ දී යි.

එහිදී අයිස් කිලොග්‍රෑම් 01 යි ග්‍රෑම් 76 කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණු අතර, එහි තක්සේරු වටිනාකම රුපියල් කෝටියක් (1,00,00,000) පමණ වන බවට ද සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා ෴

***************************************

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *