ඊයේ (03) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය කැපේ

ඊයේ (03) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය කැපේ

*********************************************

ඊයේ (03) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය කැපේ

(04.02.2022 – 08:57 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ (03) රාත්‍රියේත් දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳ වැටීම් සිදු වුණා.

හිරු වාර්තාකරුවන් සඳහන් කළේ පැයකට (1) වැඩි කාලයක් විදුලිය විසන්ධි වීම් වාර්තා වූ බවයි.

සංචිත දැවිතෙල් අවසන් වීමෙන් මෙගවොට් 60 ක විදුලි ධාරිතාවක් සපයන කොළඹ වරායේ බත්තල බලාගාරය ඊයේ (03) සම්පූර්ණයෙන්ම යළි අක්‍රීය වුණා.

කෙසේ වෙතත් ඊයේ (03) රාත්‍රිය වන විට යළිත් ඊට දැවි තෙල් ලබා දීම ආරම්භ කෙරුණා.

එමෙන්ම කැලණිතිස්ස බලාගාරයේ මෙගවොට් 280 ක් ධාරිතාවයක් සපයන විදුලි ජනන යන්ත්‍ර තුනක් (3) ද දැනට අක්‍රියව පවතිනවා.

ඒ අනුව, ජාතික පද්ධතියට අහිමි වන ධාරිතාව මෙගවොට් 340 ක්.

මේ අතර, විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය, ඉල්ලීමක් කර නොමැති බැවින් එලෙස, විදුලි කප්පාදුවක් සිදු කළහොත් විදුලිබල පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන බවයි මහජන උපයෝගිතා කොමිසම ඊයේ (03) පස්වරුවේ කියා සිටියේ.

මේ අතර, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය කැමැත්ත පළ කර තිබෙනවා. මෙරට ඩෙන්මාර්ක තානාපති ලෙස පත් වූ ෆෙඩී ස්වේන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර ඊයේ (03) අරලියගහ මන්දිරයේ දී හමුවක් සිදුව ඇති අතර, එම අවස්ථාවේදීයි මෙම කරුණු සංවාදයට බඳුන් වී ඇත්තේ.

විදුලි කප්පාදුව වැරදි පූර්වාදර්ශයක්

(04.02.2022 – 14:08 +0530 – hirunews.lk/sinhala)

ජාතික විදුලි ඉල්ලු‍ම අඩු මට්ටමක පැවති ඊයේ (03) රාත්‍රියේ සිදුකළ විදුලි කප්පාදුව කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඔහු සඳහන් කළේ නොදන්වා සිදුකළ විදුලිය විසන්ධි කිරීමට එරෙහිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග අද (04) සිටම ආරම්භ කරන බවයි.

ගතවූ දිනය තුළ ජාතික විදුලි ඉල්ලු‍ම මෙගාවොට් 2276.6 ක් වූ බව විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ, විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන අවසන් වීමෙන් බලාගාර දෙකක් අක්‍රීය වී මෙගාවොට් 340 ක් ජාතික පද්ධතියට අහිමිව තිබූ පසුබිමකයි.

මෙගාවොට් 280 ක ධාරිතාවක් එක්කරන කැලණිතිස්ස බලාගාර සංකීර්ණය සහ මෙගාවොට් 60 ක විදුලි ධාරිතාවක් සපයන කොළඹ වරායේ බත්තල බලාගාරය මෙලෙස අක්‍රීයව පවතිනවා.

ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම ඊයේ (03) රාත්‍රී කාලයේ අවස්ථා කිහිපයක දී විදුලිය බිඳවැටීම් සිදු වුණා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බලාගාර අක්‍රිය වීමත් සමග විදුලි උත්පාදනය අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වු බවයි.

කෙසේ වෙතත් විදුලි කප්පාදුවක් සඳහා ඊයේ (03) දිනයට අදාළව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තීබුණේ නැහැ.

එවැනි තත්ත්වයක් තුළ මණ්ඩලය විදුලි බිඳවැටීමක් සිදුකළහොත් විදුලිබල පනතේ ප්‍රතිපාදන අනුව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඊයේ (03) මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

ඒ අනුව, හිරු ප්‍රවෘත්ති අංශය ඊයේ (03) සිදු වූ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඔහුගෙන් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ ඊයේ (03) සිදුකළ විදුලි කප්පාදුව වැරදි පූර්වාදර්ශයක් බවයි.

ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු ආරම්භ කළ බව ද ඔහු ප්‍රකාශ කළා.

++++++++++

අද (04) විදුලිය කැපෙයි ද නැද්ද ?

(04.02.2022 – 18:46 +0530 – hirunews.lk/sinhala)

අද (04) දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොකර බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී පවසනවා.

ඉන්ධන නොමැති විම හේතුවෙන් මෙගාවොට් 60 ක විදුලි ධාරිතාවක් සපයන කොළඹ වරායේ බත්තල බලාගාරය ඊයේ (03) අක්‍රීය වුව ද අද (04) එම බලාගාරයට ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පෙරේදා (02) දිනයේදී ඉන්ධන නොමැති විමෙන් මෙගාවොට් 280 ක ධාරිතාවක් එක්කරන කැලණිතිස්ස බලාගාර සංකීර්ණය අක්‍රීය වු අතර, ඒ සඳහා මේවනවිටත් ඉන්ධන ලබා දිමට කටයුතු කර නැහැ.

ඒ අනුව අද (04) දිනයේ දී ජාතික පද්ධතියට අඩුවන්නේ මෙගාවොට් 280 ක් පමණයි.

එම නිසා අද (04) දිනයේදි විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසිමක දී කියා සිටියේ.

කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලීමක් සිදුනොකර ඊයේ (03) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් විදුලිබල පනතේ ප්‍රතිපාදන අනුව විදුලිබල මණ්ඩලයට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (04) සඳහන් කළා.

***************************************

යල කන්නයේ කාබනික පොහොර නියමිත කලට දෙන්න – ජනපති

(04.02.2022 – 09:00 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයට අවශ්‍ය කාබනික පොහොර නියමිත කාලයේදීම ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ, පොහොර කාර්ය සාධක බලකාය ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදීයි.

කාබනික පොහොර පිළිබඳව ගොවීන් නිසිලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළ ජනාධිපතිවරයා ඇතැම් නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන්වලට සහභාගිවීමට මැලිකමක් දක්වන බව ද කියා සිටියා.

අදාළ සියලු දෙනා එම වැඩසටහන්වලට සහභාගිවීම අනිවාර්ය කළ යුතු බවටයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.

කුමන හේතුවක් මත හෝ ගොවීන්ගේ ආදායම අඩුවීමට ඉඩ තැබිය නොහැකි බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා ෴

***************************************

වනඅලියා රථයට පහර දී පෙරළා දැමීම කැමරා ඇසෙහි ගැටේ

(04.02.2022 – 09:04 +0530 – hirunews.lk/sinhala)

හබරණ රක්ෂිතයේ සිටි වන අලියෙකුගේ ඡායාරූපයක් ගැනීමට ගිය යුක්රේන ජාතික යුවලක් පැමිණි මෝටර් රථයකට එම වනඅලියා විසින් පහරදීමේ පුවතක් ද වාර්තා වී තිබෙනවා.

පොලොන්නරුවේ සිට හබරණ බලා ගමන් කරමින් සිටිය දී මෙම විදේශීය යුවල වනඅලියෙකුගේ ඡායාරූපයක් ගැනීමට ගොස් ඇති අතර, එහිදී අදාළ වනඅලියා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී යුක්රේන ජාතික යුවලට කිසිදු හානියක් සිදුව නොමැති අතර, වනඅලියා සිදුකළ පහරදීමෙන් එම මෝටර් රථයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

+——

මේ අතර, උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය – 31 සහ 32 බිම් ගෙවල් දෙක අතර ප්‍රදේශයේදී ප්‍රංශ ජාතික තරුණියක් දුම්රියෙන් ඇද වැටී තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් එම තරුණිය ඇද වැටුණු පසු ඇය බේරා ගැනීමට ඇයගේ පෙම්වතා ද දුම්රියෙන් පැන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී එම තරුණයා ද තුවාල ලබා තිබෙනවා.

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ දී එම තරුණිය මෙම අනතුරට මුහුණ දී ඇති බවයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

***************************************

මෙරට කුරුඳුවලට යුරෝපා සංගමයෙන් අනන්‍යතා සහතිකයක්

(04.02.2022 – 09:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා කුරුඳුවලට සුවිශේෂී කුළුබඩු වර්ගයක් ලෙස අනන්‍යතාවක් හිමි කරදෙන භූගෝලීය දර්ශකයක් ලෙස යුරෝපා සංගමයේ ලියාපදිංචි කළ බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මෙරට නිෂ්පාදනයක් යුරෝපා සංගමය තුළ ලියාපදිංචි කළ ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

පසුගිය වර්ෂය තුළ දී කුරුඳු අපනයනය මගින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 230 ක ආදායමක් උපයා ඇති බවයි වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

***************************************

එස්.ටී.එෆ්. වීරවිල මෙහෙයුම

(04.02.2022 – 10:44 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ කතරගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව වැටලීමක් සිදු කෙරුණා.

ඒ ඊයේ (03) පස්වරුවේ වීරවිල පොලිස් වසමේ වීරවිල හන්දිය අසල දියි.

එහිදී බලපත්‍ර රහිතව සහ නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනුණා.

මෙම ගිනි අවිය විදෙස් රටක නිපදවූවක් බවටයි සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

විදෙස් රටක නිපදවූ අදාළ ගිනි අවිය මිලිමීටර් 0.38 ක වර්ගයේ ‍රිවෝල්වරයක් බව ද පොලීසිය පවසනවා.

වැඩිදුර විමර්ශන වීරවිල පොලීසිය විසින් ක්‍රියාත්මකයි ෴

***************************************

වනජීවී නිලධාරීන්ට පහරදුන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(04.02.2022 – 11:35 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – බක්කිඇල්ල – රජගල කන්ද ප්‍රදේශයේ වනඅලි පළවා හැරීම සඳහා අලුතින් ඉදි කරන ලද විදුලි වැටක් පරීක්ෂා කිරීමට ගිය වනජීවී නිලධාරීන් තුන්දෙනෙකුට (3) පිරිසක් විසින් පහර දී තිබෙනවා.

පෞද්ගලික ඉඩමක් හරහා එම නිලධාරීන් පිරිස ගමන් කරමින් සිටියදී ඉඩම් හිමියන් විසින් ඔවුන්ට පහරදී තුවාල සිදුකර ඇති බවටයි බක්කිඇල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

තුවාල ලැබූ වනජීවී නිලධාරීන් තුන්දෙනා (3) ගෙන් එක් අයෙකු අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනෙක් දෙදෙනා (2) ගොනාගොල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු (3) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

කාදිනල් හිමි CCD වෙත

(04.02.2022 – 14:04 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එම දේවස්ථානයේ සන්ක්‍රිස්තියන් තනතුර දැරූ පුද්ගලයාගේ සුවදුක් විමසීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (04) කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියා.

එම ස්ථානයට පැමිණි උන්වහන්සේ සුළු වේලාවකින් පිටත්ව ගිය අතර, එහිදී මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටියා.

***************************************

පානදුරේ ගිලන් රථ රියදුරා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(04.02.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)

පානදුර මූලික රෝහල ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන්රථ රියදුරු දින හතක් (7) රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබී තිබෙනවා.

කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ඔහු පානදුර වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් රුද්‍රිගූ වෙත ඊයේ (03) පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේ මෙම රැඳවුම් නියෝගය ලබාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මීට අමතරව ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු සහ ඔහුට මුදල් ලබාදුන් පුද්ගලයෙකු ද ඊයේ (03) මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

යතුරුපැදිකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

වෙඩි තැබීම මෙහෙය වූ පුද්ගලයන් බැංකු ගිණුමකට තැන්පත් කළ මුදලක්, වෙඩි තැබීම සිදුකළ පැදිකරුට ලබාදීමට අනෙක් සැකකරු මැදිහත්වී ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව ඔහු ද දින හතක් (7) රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට අධිකරණයෙන් අවසර හිමි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ මත්කුඩු මිලිග්‍රෑම් 8,220 ක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජික ‘පානදුර සළිඳු’ සහ ‘පියුම් හංසක’ නමැත්තන් විසින් මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාවාරමකට පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන්රථ රියදුරු ඍජුවම සම්බන්ධ වී කටයුතු කර ඇති බව අනාවරණ වී ඇති අතර, ඒ අනුවයි ඔහු ඊයේ (03) අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකාර ගිලන් රථ රියදුරු ගාල්ල, මාතර, පානදුර ආදී ප්‍රදේශවල වසරක පමණ කාලයක සිට මත්කුඩු කිලෝ 100 කට අධික ප්‍රමාණයක් ගිලන් රථය යොදාගනිමින් ප්‍රවාහනය කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

රෝගී කාන්තාවක් රැගෙන පානදුර මූලික රෝහල වෙත පැමිණෙමින් සිටියදී පසුගිය මස 27 වනදා දහවල් යතුරුපැදි දෙකකින් (2) පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු මොහුට වෙඩි තැබූ අතර, එය වැළකුණේ ගිනි අවියේ උණ්ඩ ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

***************************************

ආධුනික බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

(04.02.2022 – 14:11 +0530 – hirunews.lk/sinhala)

තම යට ඇඳුම තුළ සඟවාගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රුපියල් දහසේ (1000) නෝට්ටුවක් (1) රැගෙන යාමට උත්සාහ කළ ආධුනික බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නියාමකවරයා රාජකාරිය අවසන් කර රැඳවියන් බන්ධනාගාරය තුළට ඇතුළත් කිරීමෙන් අනතුරුව යළිත් බන්ධනාගාරය තුලට යාමට ගිය අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඔහුව සෝදිසි කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහිදී උපක්‍රමශීලි ලෙස සඟවාගෙන සිටි රුපියල් දහසේ නෝට්ටුවක් ඔහුගේ යට ඇඳුමේ තිබී සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් ආධුනික නියාමකවරයා බන්ධනාගාර අධිකාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට යටත්ව ඔහු වැඩතහනමට ද ලක් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *