1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට ඇත්තට ම ලැබුණේ පූර්ණ නිදහසක් ද ?

1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට ඇත්තට ම ලැබුණේ පූර්ණ නිදහසක් ද ?

*********************************************

1948 පෙබරවාරි 04 ශ්‍රී ලංකාවට ඇත්තට ම ලැබුණේ පූර්ණ නිදහසක් ද ?

(04.02.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වූයේ වර්ෂ 1815 දී ය.

ඒ වර්ෂ 1796 දී බ්‍රිතාන්‍යයන්ට ශ්‍රී ලංකාව යටත් වීමට පෙර, සිංහලයින්ට ඉඟුරු දී මිරිස් ගත්තා වන් වූ සිදුවීම් දාමයක් එකපිට එක සිදු වන්නට වුණා.

එනම්, ශ්‍රී ලංකා ඉතිහාසයේ ක්‍රි.ව. 1505-1658 දක්වා පෘතුගීසීන් පාලනයට නතු වූ මෙරට ඉන්පසුව ක්‍රි.ව. 1658 දී පෘතුගීසින් පරාජය කොට අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ තම පාලනයට නතු කර ගත්තේ ලන්දේසින් විසින්.

1796 ලන්දේසි පාලනය අවසන් වීමත් සමග මෙරට මුහුදුබඩ ප්‍රදේශවල පාලනය ගෙන ගියේ ඉංග්‍රීසින් විසින් වූ අතර, එහිදී සිංහල රාජ්‍ය වංශය උඩුයටිකුරු වීම්වලට ලක් වන්නට වුණා.

1802දී බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්‌ බවට පත්වූ ලංකාව සම්පූර්ණයෙන් යටත් වූයේ වර්ෂ 1815 දීය.

එතැන් සිට ශ්‍රී ලංකාව වර්ෂ 1948 දක්වා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් බවට පත් වූ බවත්, 1948 පෙබරවාරි මස 04 වැනි දින ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් කරලීමට හෙළ විරුවන් උත්සුක විය.

බ්‍රිතාන්‍යයන්ගේ යටත්විජිතයක් වීමට පෙර සිටම ශ්‍රී ලංකාවට නිදහස අහිමි වූ අවස්ථා බොහොමයක් ඇත.

පාණ්ඩ්‍ය, චෝල, කාලිංග මාඝ, එළාර වැනි පාලකයින්ගේ යටත් විජිතයන් බවට පත් වූ අවස්ථාවල දී මෙරට සිටි රජවරුන් විසින් යුද වැදී ශ්‍රී ලංකාව නිදහස් කරගත් අවස්ථා ද බොහෝ කොට ඉතිහාසයේ සාක්ෂි දරයි..

වර්ෂ 1505 දී එනම් 16 වෙනි සියවස ආරම්භයේ දී පෘතුගීසි නාවිකයෙකු වූ ලොරෙන්සෝ ද අල්මේදා අහම්බෙන් ගාලු වරායට සේන්දු වීම මත මෙරට ගැන යුරෝපිකයින් දැනගන්නට විය.

පසුව මෙරට දේශපාලනය හා ඒකාබද්ධ වූ පිටරැටියන් ලංකා සමාජයට ද දැඩි ලෙස බලපෑම් කරන්නට විය.

1505 දී මෙරටට පය තැබූ පෘතුගීසීහූ ලංකාවේ මුහුදුබඩ පෙදෙස්වල බලය ඉතා සූක්ෂම ලෙස අත්පත් කර ගැනිණි.

ඉන් පසු මෙරටට සම්ප්‍රාප්ත වූ බටහිර ජාතිය වූයේ ලන්දේසීන් ය.

ඒ වර්ෂ 1603 දී ය.

එතැන් සිට ඔවුන් මුහුදු බඩ පළාත් හා සම්බන්ධ වුවත් පෘතුග්‍රීසීන්ගේ අවසන් බල කොටු දෙක වූ මන්නාරම හා යාපනය කොටුව බළකොටු අත්පත් කරගෙන කේන්ද්‍රීය ලෙස තම බලය ස්ථාපිත කර ගන්නා ලද්දේ‍ වර්ෂ 1658 න් පසුවය.

බ්‍රිතාන්‍යයෙන්ගේ මෙරට ආගමනය සිදු වන්නේ 18 වන සියවස තුළ දී ය.

එසේ පැමිණී බ්‍රිතාන්‍යයන් විසින් 1802 න් පසු ලංකාවේ මුහුදු බඩ පළාත් පාලනය කිරීමට පටන් ගන්නා ලදී.

මුහුදු බඩ පෙදෙස් පාලනය කරන ලද බ්‍රිතාන්‍යයන්ගේ ඊළඟ අරමුණ වූයේ සමස්ත දිවයිනම තමන්ගේ කිරීටයට යටත් කර ගැනීමයි.

ඒ සඳහා තිබූ එකම බාධකය වූයේ උඩරට රාජධානිය යි.

සිංහලයන්ගේ මුදුන් මල්කඩ වූ දන්න ධාතූන් වහන්සේ උඩරට රාජධානිය සතුවීමත්, වසර 2000 ක් පමණ පැරණි රාජ්‍යත්වයේ සංකේතය වූ රාජ පරම්පරාවක් පැවතීමත්, කිසිම ආක්‍රමණයකට නතුකළ නොහැකි සටන් කලාවක් වූ අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කළ පුද්ගලයින් සිටීමත් නිසා පහසුවෙන් ඉංග්‍රීසීන්ට උඩරට අත්පත් කරගැනීමට නොහැකි විය.

මීට අමතරව උඩරට රාජධානිය වටා ගොඩනැගී තිබූ ස්වාභාවික ගිරි දුර්ග, ජලදුර්ග, වනදුර්ගයන් නිසා ප්‍රබල හමුදාවක් සමඟ ආක්‍රමණයට පැමිණියත් සිංහලයන්ගේ ගරිල්ලා සටන් ක්‍රම හමුවේ ඉංග්‍රීසීන්ට අයත් වූයේ අන්ත පරාජයකි.

මේ නිසා යුද්ධයෙන් ජයගත නොහැකි උඩරට රාජධානිය ලබා ගැනීමට දේශපාලනමය වශයෙන් කැරැල්ලක් ඇති කිරීමට ඉංග්‍රීසීන් පෙළෙඹෙන්නේ මේ නිසාය.

උඩරට සිංහල රදළ නායකයින් අතර බලය වෙනුවෙන් ව්‍යාජ සටනක් ඇති කරවා එම සටන ඔස්සේ උපක්‍රමශිලීව උඩරට රාජධානිය බිඳ දැමීමට ඉංග්‍රීසීන් කටයුතු කරන ලදී.

ඒ සඳහා සිංහල වැසියන් රජු සමග අමනාප කොට, රජුට භික්ෂූන්ගේ තිබූ ආදරය සහ ගෞරවය පළුදු කිරීමට ඉංග්‍රීසින් මාන බැලූ අතර, ඒ වෙනුවෙන් ජෝන් ඩොයිලි නම් දූතයා ලවා උඩරට නායක්කාර් වංශික පාලක ශ්‍රී වික්‍රම රාජසිංහ මතට ලොල් කොට, විශ්වසනීයත්වය පළුදු කරන්නට බ්‍රිතාන්‍යයන්ට එතරම් කලක් ගත නොවීය.

මෙවන් පසුබිමක අවසන් ප්‍රතිඵලය වූයේ, වර්ෂ 1815 මාර්තු 02 වන දින උඩරට ප්‍රධානීන් විසින් මහනුවර මඟුල් මඩුවේ දී බන්දේසියක තබා ඉංග්‍රීසීන්ට ශ්‍රී ලංකාව පවරා දෙනු ලැබීමයි.

1815 මාර්තු 02 වැනි අත්සන් කළ උඩරට ගිවිසුම අනුව ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට නතු වූ අතර අපගේ ස්වෛරීත්වය බිඳ වැටීමේ පළමු නෛතිකමය පියවර ද එය විය.

එසේම බ්‍රිතාන්‍යයන්ට යටත් වීමත් සමගම මෙතෙක් පැවැති ශ්‍රී ලාංකේය රාජාණ්ඩු පාලනය ද බිඳ වැටිණි.

ඒ සමඟම එතෙක් පැවති සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය ද බිඳ වැටුණි.

ස්වයංපෝෂීත ආර්ථික රටාවක් පැවති මෙරට තුළ ආනයන අපනයන මත පදනම් වූ ආර්ථීක රටාවක් ඇති විය.

දේශීයත්වය හා දේශීය සම්ප්‍රදායන් නොතකා හැරි බ්‍රිතාන්‍යය පාලකයෝ වතු වගාවට මුල්තැනක් දුන්හ.

තේ, කෝපි, රබර් වැනි වතු වගාවලට මේ මහපොළොව වෙන්වූයේ බ්‍රිතාන්‍යයන්ගේ වගා සංකල්පවල ප්‍රතිඵලයක් වශයෙනි.

උඩරට ගිවිසුම යටතේ රදළ අධිපතිවරුන්ට ලබා දුන් පොරොන්දු බ්‍රිතාන්‍යයන් විසින් අමු අමුවේම උල්ලංඝනය කරන ලදී.

මෙය උඩරට රදළයන් තුළ මෙන්ම ජනතාව තුළ ද කලකිරීමක් දනවන්නට හේතු වූ අතර ආගමික නායකයන් ද මහත් නොසන්සුන්තාවකට පත්කළ කරුණක් විය.

එහි ප්‍රතිඵලයක් ලෙස 1818 මෙරට ප්‍රථම නිදහස් සටන ආරම්භ විය.

දේශපාලන අස්ථාවරභාවයත්, තනතුරට කෑදරකමින් සිංහල නායකයින් පාවා දීමත් යන කරුණු හේතුවෙන් එම කැරැල්ල උපන් ගෙයිම අසාර්ථක විණි.

එකී නිදහස් අරගලයට පණපෙවූ මඩුගල්ලේ දිසාව, කැප්පෙට්ටිපොල අදිකාරම් වැනි වීරයන්ගේ හිස් ගසා දැමු අතර, ඇතැම් සිංහල නායකයන් රටින් පිටුවහල් කෙරුණී.

උඩරට ප්‍රදේශ වතුපිටි භවබෝග, හරකබාන විනාශ කරමින් ජන ජීවිතයට වින කැටු බ්‍රිතාන්‍යයෝ තම ආධිපත්‍යය දිගින් දිගටම පතුරුවා හැරියහ.

මේ කැරැල්ල ඇති වූ වසර 30 කට පසු නැවතත් සිංහලයන් විසින් බ්‍රිතාන්‍යන්ට විරුද්ධව කැරැල්ලක් ඇති කළේ, ඒ 1848 වර්ෂයේදීය.

ඒ රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාර සමයේ දී ය.

මේ කැරැල්ලට ආසන්නම හේතුව වූයේ බ්‍රිතාන්‍යය පැනවූ අසාධාරණ බදු ක්‍රමයයි.

1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් වැවිලිකරුවන් කෙරේ වැඩි අවධානයක් යොමුවෙන, ගැමියන් කෙරේ ඉතා අඩු සැලකිල්ලක් දක්වන වාතාවරණයක් ලංකා සමාජය තුළ ඇති විය.

කෘෂිකර්මය පිරිහී යාම නිසා වැව් අමුණු කේන්ද්‍ර කරගත් වාරිමාර්ග පද්ධතිය ද පිරිහීමට ලක් විය.

දුරාචාරය රටපුරා පැතිර ගියේය. ගැමියන් සතු වූ පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් වතුවගාව සඳහා ලබා ගත්හ.

බෞද්ධාගමට සිදු වූ කෙනෙහිලිකම් නිසා භික්ෂූන් වහන්සේලා මහත් සේ කලකිරීමට පත්වූහ.

උඩරට රදළයෝ නොසන්සුන් වූහ. එයට විරෝධය පෑම සදහා සිංහලයෝ ද එක් වූහ. බ්‍රිතාන්‍යයෝ බලුබද්ද, බෝට්ටු බද්ද, මාර්ග බද්ද, තුවක්කු බද්ද, ඇඟ බද්ද, වැනි අසාධාරණ බදු පැනවීම් කළේ, මෙම වාතාවරණය මධ්‍යයේ ය.

මේ බදු ඇතුළුව බදු වර්ග 30 ක් පමණ පනවන්නට බ්‍රිතාන්‍යයෝ සුදානම් වූහ.

මේ ආරංචියෙන් රට පුරා ජනතාව මහත් සේ කළබලයට පත් වූහ.

1848 ඌව – වෙල්ලස්ස කැරැල්ලට ආසන්නම හේතුව ලෙස ඉතිහාසයේ සදහන් වන්නේ මේ වාතාවරණය නිසා ජනතාව තුළ ඇති වූ පීඩනයයි.

වීර පුරන් අප්පු, හඟුරන්කෙත ඩිංගිරාළ, ගොංගාලේගොඩ බණ්ඩා යන නායකයෝ මේ කැරැල්ලේ පුරෝගාමීන් වූ අතර තමන්කඩුව, නුවරකලාවිය, සතර කෝරලය, සත් කෝරලය, හරිස්පත්තුව, වැනි ප්‍රදේශ මේ සිංහල නායකයෝ තම පාලනය යටතට ගත් අතර හතර කෝරලයේ යුව රජු ලෙස ඩිංගිරාළ පත් කෙරුණි.

බ්‍රිතාන්‍ය පාලන තන්ත්‍රයට එරෙහිව නැගී සිටි පිරිස සිරගෙවල්වලට පහර දී ඉඩම් පනතට එරෙහි වීම නිසා සිරකරුවන් බවට පත් ව සිටි සිංහලයන් නිදහස් කරගත් අතර උසාවියට පහර දී ඉඩම් පිළිබද වාර්තා පුළුස්සා දැමූහ.

ඉංග්‍රීසින් මේ නැගීසිටීම මැඩලීම සඳහා විශාල හමුදාවක් උඩරටට එවීය.

එහි දී සිංහල කැරැල්ලට නායකත්වය ලබා දුන් නායකයින් ඉංග්‍රීසීන් විසින් ප්‍රසිද්ධියේ වෙඩි තබා මරා දමන ලද අතර ඩිංගිරාළගේ මළකඳ දින ගණනාවක් පුරා එල්ලා තැබු බව ඉතිහාසයේ සඳහන් වේ.

එපමණක් ද නොව, ඉංග්‍රීසීන්ගෙන් දළදා වහන්සේ රැකගැනීම සඳහා වීර පුරන් අප්පුගේ උපදෙස් මත දළදාව බෙලිගල පර්වතයේ ගුහාවක ද සඟවා තැබූ බව ද ඉතිහාසයේ සඳහන් වේ.

ඉංග්‍රීසීන්ට එරෙහි සටනේ තවත් ප්‍රාණවත් චරිතයක් වූ කුඩාපොළ උන්නාසේ ඉංග්‍රීසීන් විසින් දළදා මාළිගාව ඉදිරිපිටදී වෙඩි තබා මරා දමන ලදී.

අවසානයේ ඒ කැරැල්ල ද අසාර්ථකත්වයට පත් විය.

බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ක්‍රිස්තියානි දහම ප්‍රචාරණයට මිෂනාරී පාසල් ඇරඹීය.

ක්‍රිස්තු ධර්මය පිළිබද පොත් සිංහල, දෙමළ භාෂා වලින් ද මුද්‍රණය කර බෙදා හරින ලදී.

බෞද්ධ මධ්‍යස්ථාන මුල්කරගත් අධ්‍යාපනය මේ මිෂනාරී පාසල් නිසා පරිහානියට පත් විය.

මිෂනාරී පාසල් අධ්‍යාපනය උසස් රැකියාවට මග හසර උදා කළ නිසා බෞද්ධ හින්දු දරුවන් පවා එම පාසල්වලට යැවීමට මව්පියෝ කටයුතු කළහ. කෝල්බෲක් කොමිසම නිර්දේශ කළේ ප්‍රතිපත්තියක් ලෙස මේ මිෂනාරී පාසල්වල ඉංග්‍රිසීයෙන් උගන්වන ලෙසය.

මේ හේතුවෙන් බෞද්ධ හින්දු ජනතාව තම උරුමය රැකගැනීමට විවිධ ජාතික ව්‍යාපාරවලට පණ දුන්හ.

වලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් රත්මලානේ පරම ධම්මචේති විහාරය මුල් කරගෙන බෞද්ධ අධ්‍යාපනය ආයතනය පිහිටුවා තිබු අතර එය පසු කාලීනව බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය.

1873 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියෝ විද්‍යෝදය පිරිවෙන ද 1875 දී රත්මලානේ ධර්මාලෝක හිමියන් විද්‍යාලංකාර පිරිවෙන ද ආරම්භ කරන ලදී.

සිංහල ජාතියත් ආගමත් ආරක්ෂා කර ගැනීම සදහා මෙරට නායකයින් විසින් සිංහල පුවත්පත් සඟරා ද ආරම්භ කරන්නට විය.

ඒ හරහා නිදහස, ස්වරාජ්‍ය සංකල්පය වැනි අදහස් ජනතාව වෙත සන්නිවේදනය කරන්නට විය.

මේ තත්ත්වය තේරුම්ගත් බ්‍රිතාන්‍යයන් විසින් සිංහල ජනතාව මර්දනය කරන්නට මත්පැන් මෙරට ජනතාවට පුරුදු කරන ලදී.

මත්පැන්වලින් මෙරට ජනතාව රැක ගැනීම සදහා මෙරට තුළ අමද්‍යප ව්‍යාපාරය ආරම්භ විය.

ඉස්ලාම් භක්තිකයෝ ද බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි වෙමින් නිදහස උදෙසා සටනට අවතීර්ණ වූහ.

එම්.සී. සිද්ධි ලෙබ්බේ මේ සටනේ ප්‍රමුඛතමයෙක් වූ අතර ඔහු වටා ජාතිහිතෛෂි ඉස්ලාම් භක්තිකයෝ පෙළ ගැසුණහ.

මෙහි ප්‍රතිඵලයන් ලෙස කොළඹ මුස්ලිම් අධ්‍යාපනය සංගමය පිහිට වූ අතර ඒ මගින් කොළඹ සහිරා විද්‍යාලය අරඹන ලදී.

වතු වගාව මෙරට ප්‍රචලිත වීම නිසා ඉංග්‍රීසි උගත් මධ්‍යම පන්තියක් ලංකාවේ බිහිවිය.

1850 න් පසු උද්ඝෝෂණ ව්‍යාපාර ඇති කළේ, මේ නව කොම්පදෝරු පංතිය විසිනි.

ඔවුන් විසින් ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටියහ. ඒ උද්ඝෝෂණවල මූලික ලක්ෂණ වූයේ සමිති සමාගම් මගින් සාමකාමීව තම ඉල්ලීම් ඉංග්‍රීසි ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමය.

ලංකා ජාතික සංවිධානය, හලාවත සංගමය, යාපනය සංගමය, මහනුවර මහජන සංගමය, ලංකා මුස්ලිම් සංගමය, පහතරට වැවිලිකරුවන්ගේ සංගමය මේ සමිති අතර ප්‍රධාන විය.

1919 දී සියලු ජාතික නායකයන් එක්වී ලංකාවට නිදහස ලබා ගැනීමේ පරමාර්ථයෙන් ලංකා ජාතික සංගමය පිහිට වූයේය.

1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ දේශීය නායකයන්ට රටේ පාලනයට වැඩි වශයෙන් හවුල් වීමේ ඉඩ ප්‍රස්ථාව හිමි විය.

අර්ධ වගකීමක් ඔවුන් වෙත පැවරුණී. වාමාංශික දේශපාලන ව්‍යපාර බිහිවීම ද නිදහස් සටනට ප්‍රබල අත්වැලක් විය. ඔවුහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සම්පූර්ණයෙන් වෙන් වූ ස්වාධීන පාලනයක් ඉල්ලා සිටියහ.

දොස්තර එස්. ඒ වික්‍රමසිංහ, ආචාර්ය ඇන්. එම්. පෙරේරා වැනි වාමාංශික නායකයෝ එහි ප්‍රමුඛයෝ වූහ.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යටත් විජිතවලට නිදහස හිමිවිය.

1947 දෙසැම්බර් 03 වැනිදා ලංකා නිදහස් පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත විය.

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ලෙස ඩී.එස්. සේනානායක මහතා පත් විය. 1948 පෙබරවාරි 04 වැනිදා, උදේ 07:30 ට නිදහස් ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මුනර් ආණ්ඩකාරවරයා දිවුරුම් දුන්නේය.

ලේ වැගිරීමකින් තොරව ලබාගත් නිදහසක් ලෙස මේ අර්ථ දැක්වුව ද සැබැවින්ම මේ නිදහස වූ කලී කාලාන්තරයක් තිස්සේ සිදු වූ විශාල කාර්යභාරයක ප්‍රතිඵලයකි.

1948 වසරේ නිදහස ලබා ගැනීමට මහාමාත්‍ය සේනානායක විසින් ඉංග්‍රීසි ආණ්ඩුව වෙත ශ්‍රී ලංකාවාසීන් මුහුණ දෙන කම්කටොලු දන්වමින් ලියූ ලිපිය රැගෙන ගියේ සපත්තු අඩියෙහි සඟවාගෙන ය.

එවන් තත්ත්වයක දී ලබාගත් 1948 නිදහස මෙරට බොහෝ දෙනෙක් උත්සවශ්‍රීයෙන් සැමරුව ද අප සුද්දාගෙන් පූර්ණ නිදහසක් සැබවින්ම එදින ලැබුවේ නැත.

එය මුලා කිරීමක් ම විය.

එනම්, සෝල්බරි අවසන් වුව ද , ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටය බැදුණු බැම්ම කැඩුණේ හෝ ලිහුණේ ද නැත.

අපට කියා ස්වාධීන ව්‍යවස්ථාවක් නොතිබිණි.

මෙරට වගකියුවේ බ්‍රිතාන්‍ය රැජින වෙත යි.

එය ප්‍රිවි කවුන්සිලය වූ අතර, ලෝකයේ පළමු අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පත්වී පළමු අගමැති ධුරය 1972 ලබන තෙක් ම ශ්‍රී ලංකාව අර්ධ නිදහස් රාජ්‍යයක් විය.

සැබවින්ම අප ඩොමීනියන් බවින් සදහටම නිදහස් වූයේ, 1972 මැයි 22 වැනිදා ය.

එහෙත්, ඉන් පසු ද 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රමය තෙක් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වුව ද බ්‍රිතාන්‍යයන් වරින්වර මෙරටට අත පොවන්නට උත්සාහ කළ අවස්ථාවන් ද නැතිවා ම නොවේ.

පූර්ණ සහ අසීමිත බලයක් සහිත නිදහසක් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් සමාජීය සහ දේශපාලනික ලෙස 1978 දී ලැබුව ද, එතැන් සිට දේශපාලනික ක්‍රියාවලිය හරහා එය අයහපත් පරිවර්තනයකට ලක්ව තිස් අවුරුදු යුද්ධයකට මංපෙත් විවර ව, මෙරට ජනතාව රට දෙකඩ බෙදීමට ලක්ව පීඩා විඳින්නට තරම් මාවත සැකසෙන්නේ ද මෙරට ඇතැම් දේශපාලන නායකයින් විසින් සකසන ලද 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව නිසා ය.

එබැවින් අද (04) දින භුක්ති විඳින 74 වැනි නිදහස උත්සවශ්‍රීයෙන් සැමරුව ද, එහි සැබෑ අරුත සහ රසය මැවෙන්නේ, ශ්‍රී ලංකාව යම් දිනෙක අධිකරණයේ සිට පහළ තෙක් ස්වාධීන සහ වගකීම්සහගත සහ වංචාවෙන් තොර මානසික නිදහසින් ජනතාවට හුස්ම ගැනීමට හැකි වූ දිනක බව අප සැම සිහි තබාගත යුතු වන්නේය.

+++++++++

අමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජාතික නිදහස් දිනයට සුබපතයි

(04.02.2022 – 11:41 +0530 – hirunews.lk/sinhala)

අද (04) ට යෙදී ඇති මෙරට 74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සුබපැතුම් පණිවුඩයක් එක්කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සහ සහයෝගීත්වයට දීර්ඝ ඉතිහාසයක් ඇති බවයි.

ආර්ථික පුනර්ජීවනය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ දෙරටේ ජනතාව එක් කිරීමට ඒකාබද්ධව කටයුතු කරනු ලබනවා.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ සාමුද්‍රික ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමටත්, එයින් පීඩාවට පත් ජන ප්‍රජාවට සහයවීමටත් ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කළා.

ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට සහ කාන්තාවන් හා කුඩා ව්‍යාපාරවලට පවතින අවස්ථා ඉහළ නැංවීමට ද එක්සත් ජනපදය සහය වී තිබෙනවා.

කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ඇමරිකාව ලබාදුන් එන්නත්, වෙන්ටිලේටර් සහ තාක්ෂණික සහය පිළිබඳවද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සිහිපත් කළා.

දෙරටේ රජයන් සහ සමාජයන් එක්ව කටයුතු කිරීමෙන් සශ්‍රිකත්වය, ආරක්ෂාව සහ සුහද සබඳතා ලොව පුරා පැතිරවීමට කටයුතු කළ හැකි බවයි ඔහු අවධාරණය කළේ ෴

++++++++++++++

+++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *