කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස ක්‍රමයෙන් ඉහළට

කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස ක්‍රමයෙන් ඉහළට

*********************************************

කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස ක්‍රමයෙන් ඉහළට

(03.02.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රවණතාව යළි ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට මෙරට ජනගහනයෙන් 37% ක් පමණක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවයි.

තවත් කොරෝනා ආසාදිතයන් 1156 ක් ඊයේ (02) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,13,478ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,492 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (02) වාර්තා වුූ මරණ 19 ත් සමගයි.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණු කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මියගිය සියලු කොරෝනා ආසාදිතයන් බූස්ටර් මාත්‍රාව ලබාගෙන නොමැති බවටයි.

මේ අතර, දුම්රිය සේවා බිඳ වැටීම වළක්වා ගැනීමට කොරෝනා ආසාදනය වී සිටින සහ නිරෝධායනයට ලක් වෙමින් සිටින දුම්රිය නියාමකවරුන්ගේ රාජකාරී ආවරණය සඳහා තාවකාලිකව දුම්රිය ස්ථානාධිපතිවරුන් යෙදවීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශය සහ දුම්රිය පාලන අධිකාරිය දැනුවත් කර ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ දෛනික කාර්යාල දුම්රිය ගමන්වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය පාලන අධිකාරිය මේ වන විට කටයුතු කර ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන්.

++++++++++++

කැබිනට්ටුවේ තවත් ප්‍රබලයෙකු කොරෝනාවලට ගොදුරු වෙයි

(03.02.2022 – 09:59 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ තවත් ප්‍රබල අමාත්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකුටයි මෙලෙස වෛර්සය ආසාදනය වී ඇත්තේ.

ඒ අනුව කොරෝනා වෛරසයට ගොදුරුව ඇත්තේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යි.

රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයකින් අනතුරුව තමාට මෙම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අනුව, පසුගිය සති කිහිපය තුළ කොරෝනා වැළඳුණු මැති ඇමතිවරුන් සංඛ්‍යාව 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අමාත්‍යවරයා මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති අතර, ඔහුගේ සමීපතමයින් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

කෙසේවෙතත්, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 46 දෙනෙකුට මේ වනවිට වෛරසය ආසාදනය වී තිබෙනවා.

මීට ආසන්න දිනකදී වෛරසය ආසාදනය වූයේ කථානායක මහින්ද යාපා අබේවර්ධනටයි.

ඊට පෙර ඇමති අලගියවන්න, රෝහිණී කවිරත්න , සම්පත් අතුකෝරාළට ද වෛරසය ආසාදනය වූ බවට වාර්තා කෙරුණා.

++++++++++++

නියොකොව් වෛරසයෙන් මිදෙන්න හොඳම විසඳුම ගැන සෞඛ්‍ය අංශ කියයි

(03.02.2022 – 10:46 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් වෛරසයේ උප ප්‍රභේදයක් ලෙස සමාජගත ව පවතින BA.2 උප ප්‍රභේදය ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14 කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

මෙම ප්‍රභේදය මේ වන විට දකුණු අප්‍රිකානු රටවල්වල සහ මැදපෙරදිග රටවල්වල මෙන්ම යුරෝපීය රටවල ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මෙම ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් මියයාමේ දැඩි අවදානමක් ඇති බවයි සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත්තේ.

BA.2 ලෙස හැඳින්වෙන මෙම උප ප්‍රභේදය ඔමික්‍රොන් ප්‍රභේදයටත් වඩා 1.5 ක ගුණයකින් සංසරණය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ඔමික්‍රෝන් ප්‍රභේදය ද පෙර පැවැති ප්‍රභේදයන් අභිබවා ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක මෙම කොවිඩ් ප්‍රභේදය ද පෙර ප්‍රභේදවලට වඩා වැඩි වේගයකින් ව්‍යාප්ත විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

එබැවින් මෙම ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා ද කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව ලබාගෙන සිටීම ඉතාම වැදගත් බවත් එම නිසා කඩිනමින් එන්නත ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා පවසනවා.

මෙම නව වෛරසය BA.2 ඉදිරියේදි මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බවත් එය ආසාදනය විම වළක්වාගැනීමට සියලු දෙනා සුදානම් විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා වැඩිදුරටත් පවසනවා.

මේ අතර පාසල් වලින් නව කොවිඩ් රැල්ලක් මතු වීමේ අවධානමක් මතුව ඇති බව මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවනවා.

ඔහු චෝදනා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදෙන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවන බවයි.

දහසකට ආසන්නව දෛනිකව වාර්තාවන එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෛනිකව සමාජයෙන් වාර්තා වන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා ෴

++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 460 ක් සුවය ලබයි

(03.02.2022 – 15:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 460 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,79,780 ක් ලෙසටයි.

තවත් ආසාදිතයන් 18,206 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 15,492 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 6,13,478 ක් වාර්තාවී තිබෙනවා ෴

++++++++++++

කොවිඩ් ආසාදිත සහ නිරෝධායනය වන සිසුන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන

(03.02.2022 – 16:52 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිත සහ නිරෝධායනය වන සිසු සිසුවියන් වෙනුවෙන් මෙවර උසස් පෙළ විභාගයේදී විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නිරෝධායනය වන විභාග අපේක්ෂකයින් තම විභාග ප්‍රවේශපත්‍රයේ දක්වා ඇති නියමිත විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කර තමන් නිරෝධායනය වන අයෙක් බව ශාලාධිපති වෙත දැන්වීම අනිවාර්ය බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

විභාග ශාලාධිපති විසින් විභාග මධ්‍යස්ථානය තුල පිහිටුවා ඇති විශේෂ විභාග කාමරයක් තුල නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව එම සිසු සිසුවියන්ට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දෙනු ඇති.

කොවිඩ් ආසාදිත විභාග අපේක්ෂකයන් දිස්ත්‍රික් මට්ටමින් ඇති රෝහල් ආශ්‍රිතව පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථාන අතුරින් තමන්ට අදාළ දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථානයේදී හෝ තමන්ගේ පදිංචි නිවසට ආසන්නයේම තිබෙන එහෙත් වෙනත් දිස්ත්‍රික්කයක පිහිටුවා ඇති විශේෂ විභාග මධ්‍යස්ථානයේදී හෝ නේවාසිකව සිටිමින් විභාගයට පෙනී සිටිය යුතුයි.

එම අපේක්ෂකයන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් විශේෂ විභාග මධ්‍යස්ථානයන්හි සංවිධාන කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් සියලු සෞඛ්‍ය අංශ දැනුවත් කර ඇති බැවින් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගෙන් ද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

මෙම විශේෂ විභාග මධ්‍යස්ථාන තුල ද විභාග නීති රීති ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව තරයේ දන්වා සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී ධර්මසේන කියාසිටියේ.

මේ සම්බන්ධයෙන් පාසල් විභාග සංවිධාන ශාඛාවේ 011 278 4208 හෝ 011 278 4537 අංකවලට අමතා ලබාගත හැකියි.

එමෙන්ම 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් ද තොරතුරු ලබාගැනීමට හැකියාව පවතිනවා.

උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 07 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි 07 වනදා සිට මාර්තු මස 05 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438 කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් මෙවර පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව 3,45,242 ක්.

ඉන් 2,79,141 ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 66,101 ක් වනවා.

එම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේයි 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල්දමනු ලැබුවේ.

මේ අතර පෙබරවාරි 07 වනදා ආරම්භ වීමට නියමිත උසස්පෙළ විභාගයේ කාලසටහන අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (03) තීන්දු කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල්.ජේ. නවරත්න නම්කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බවයි.

විෂය නිර්දේශ පවා නිසි පරිදි සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ බවයි ඔහු මෙම පෙත්සම මගින් පෙන්වා දී තිබුණේ.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඊට අදාළ තීන්දුව ලබා දුන් අතර, විනිසුරුවරයා එහිදී සඳහන් කළේ මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහන ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.

++++++++++++

තවත් කොරෝනා මරණ 23 ක්

(03.02.2022 – 17:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 23 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,515 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 11 ක් සහ පිරිමි පුද්ගලයන් 12 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමින් දෙදෙනෙකු (2) සහ කාන්තාවන් දෙදෙනෙකු (2) මියගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 19 ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 9 ක් සහ පිරිමි 10 ක් වශයෙන් ෴

++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 1181 ක්

(03.02.2022 – 19:20 +0530 – hirunews.lk/sinhala)

අද (03) මෙරටින් කොරෝනා ආසාදිතයන් 1181 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,14,659 ක් ලෙසටයි ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

මත්ද්‍රව්‍ය භාවිත කළොත්, වැඩ වරදියි – රිය අනතුරුත් එකපිට එක වැඩිවෙයි

(03.02.2022 – 08:29 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින්, කොකේන් සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් පසුව රිය ධාවනය කරන්නන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, පසුගිය මාසයේ දී ත්‍රීරෝද රථ අනතුරු 39 කින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළා.

පොලිස් මුලස්ථානයේ දත්ත වලට අනුව මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය කරන්නන් අතර ත්‍රීරෝද රථ රියදුරන් ඉදිරියෙන්ම සිටින අතර අනෙක් ප්‍රවාහන මාධ්‍යන් වන්නේ බස් රථ සහ යතුරුපැදියි.

මේ අතර, පසුගිය මාසයේදී සමස්ත රිය අනතුරු සංඛ්‍යාව වන 1,875 න් මාරක රිය අනතුරු 233 ක් සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, එම අනතුරුවලින් 230 දෙනෙකු මියගොස් ඇති බවයි.

යතුරුපැදිකරුවන් 77 ක්, පසුපැදිකරුවන් 24 ක්, රියදුරන් 29 ක්, පාපැදිකරුවන් 13 ක්, මගීන් 36 ක් සහ පදිකයින් 69 ක් එලෙස මියගොස් ඇති බව සඳහන්.

පසුගිය වසරේ රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,473 ක් වනවා ෴

***************************************

පිළිකා රෝගීන් ගැන ඛේදනීය පුවතක්

(03.02.2022 – 08:41 +0530 – hirunews.lk/sinhala)

පිළිකා රෝග හේතුවෙන් මෙරට දිනකට පුද්ගලයන් 40 දෙනෙකු පමණ මිය යන බව ජාතික පිළිකා මර්දන ඒකකය පවසනවා.

කොළඹ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ඊෂානි ප්‍රනාන්දු කියා සිටියේ, 2019 වසරේ දී මෙරට පුද්ගලයන් 31,848 දෙනෙකු පිළිකා හේතුවෙන් මිය ගොස් ඇති බවයි.

මේ අතර ලෝක පිළිකා දිනය හෙටට (04) යෙදී තිබෙනවා.

මෙවර එය සිහි කෙරෙන්නේ ‘සත්කාරයේ හිඩැස පුරවමු’ යන්න තේමා කර ගනිමින් ෴

***************************************

අපරික්ෂාකාරී ධාවනය වාට්ටුවට තල්ලු කළ හැටි

(03.02.2022 – 10:21 +0530 – hirunews.lk/sinhala)

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ත්‍රිරෝද රථයක ගැටිමෙන් යතුරුපැදිකරු බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අනතුරට ලක් වූ යතුරුපැදිකරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කෙරුණා.

ඊයේ (02) පස්වරුවේ අදාළ සිදුවීම සිදු වී ඇති අතර, එය සිදු වී ඇත්තේ, නාවලපිටිය – බව්වාගම ප්‍රදේශයේදී යි.

නාවලපිටිය සිට දෙකිද දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෙම යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වු ලොරි රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යාමට උත්සාහ කිරිමේ දී දෙකිද සිට නාවලපිටිය දක්වා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ත්‍රිරෝද රථයේ යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදු වුණා.

යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරි රිය ධාවනයත්, යතුරුපැදිකරු බීමත්ව සිටිමත් නිසා මෙම අනතුර සිදු වී ඇති බවයි නාවලපිටිය පොලිසිය පැවසුවේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *