යළි හිස ඔසවපු රුදුරු කොවිඩ් සහ ඩෙංගු

යළි හිස ඔසවපු රුදුරු කොවිඩ් සහ ඩෙංගු

*********************************************

යළි හිස ඔසවපු රුදුරු කොවිඩ් සහ ඩෙංගු

(02.02.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

ලොව රටවල් බොහෝමයකින් තවමත් ඔමික්‍රොන් ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීම හේතුවෙන් කොවිඩ් මාර්ගෝපදේශ ලිහිල් කිරීම පියවරෙන් පියවර සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව අවධාරණය කරනවා.

ගෙවුණු දිනයේදී සිදුකරන ලද කොවිඩ් පරීක්ෂණවලින් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1137 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,12,322 ක් දක්වා ඉහළ යනවා.

පෙරේදා (31) දිනයට අදාළ නව කොවිඩ් මරණ 32 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (01) තහවුරු කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ ගියේ 15,473 ක් දක්වායි.

ගෙවුණු දිනයේ තෙවැනි (3) මාත්‍රාව ලෙස ලබා දී ඇති කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් සංඛ්‍යාව 91,619 ක්.

එය ගතවූ දින කිහිපටය හා සැසඳීමේදී කැපී පෙනෙන ඉහළයාමක්.

පසුගිය සතියේ බූස්ටර් එන්නත් මාත්‍රා ඉහළම සංඛ්‍යාවක් ලබා දී තිබුණේ පසුගිය 29 වැනිදා වන අතර, එය එන්නත් මාත්‍රා 78,789 ක්.

පෙරේදා (31) එන්නත් මාත්‍රා 58,969 ක් බූස්ටර් මාත්‍රාව ලෙස ලබා දී ඇති අතර, ඊට සාපේක්ෂව 32,650 ක ඉහළ යාමක් ඊයේ (01) දිනයේදී දක්නට ලැබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙරට තුළ තෙවැනි (3) මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 53,64,788 ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

මේ අතර, හොරණ – මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ එන්නත් ලබා නොගත් පිරිස දැනුවත් කිරීමට එම කාර්යාලයේ වෛද්‍යවරුන් ඇතුළු පිරිස කටයුතු කළේ මෙලෙසින්.

මේ අතර, ලොව බොහෝ රටවල තවමත් ඔමික්‍රොන් ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන හෙයින් කොවිඩ් මාර්ගෝපදේශ සීමා ලිහිල් කළ යුත්තේ පියවරෙන් පියවර බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව අවධාරණය කරනවා.

මේ අතර, මේ වසර ආරම්භයේ සිට ජනවාරි මාසය අවසන් වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 7702 දෙනෙක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

2021 වසරේ ජනවාරි මාසයේදී හඳුනා ගෙන තිබුණේ ඩෙංගු රෝගීන් 2,122 ක් පමණයි.

ඒ අනුව මේ වසරේ ගතවූ මාසය තුළ දී ඩෙංගු රෝගීන් 5,580 දෙනෙකුගේ වර්ධනයක් පෙන්නුම් කරනවා.

++++++++++++

තවත් කොරෝනා ආසාදිත මරණ 19 ක්

(02.02.2022 – 18:37 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 19 ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 5 ක් සහ පිරිමින් 14 ක් වනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,492 ක් ලෙසටයි.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ. අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමින් දෙදෙනෙකු (2) මියගිය පිරිසට අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 17 ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 5 ක් සහ පිරිමි 12 ක් වශයෙන් ෴

+++++++++++

බූස්ටර් එන්නත ගන්නැයි යළිත් ඉල්ලීමක්

(02.02.2022 – 19:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම සියලුදෙනාගේම වගකීම බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වසරේ මේ දක්වා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මිය ගිය සියලු කොරෝනා ආසාදිතයන් බූස්ටර් මාත්‍රාව ලබා ගෙන නොමැති බවයි.

මේ අතර දුම්රිය සේවා බිඳ වැටීම වලක්වා ගැනීමට කොරෝනා ආසාදනය වී සිටින සහ නිරෝධායනයට ලක් වෙමින් සිටින දුම්රිය නියාමකවරුන්ගේ රාජකාරී ආවරණය සඳහා තාවකාලිකව දුම්රිය ස්ථානාධිපතිවරුන් යෙදවීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කලේ ඒ පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශය සහ දුම්රිය පාලන අධිකාරිය දැනුවත් කර ඇති බවයි.

පවතින තත්වය හමුවේ දෛනික කාර්යාල දුම්රිය ගමන්වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කිරීමට දුම්රිය පාලන අධිකාරිය මේ වන විට කටයුතු කර ඇති බවද අදාල නිවේදනයේ සඳහන් ෴

+++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 1156 ක්

(02.02.2022 – 19:51 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1156 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,13,478 ක් ලෙසටයි. අද (02) හඳුනාගත් ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි 05 දෙනෙකු ද වනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

විදුලි බිල වැඩි කළ යුතු බව මහජන උපයෝගිතා කොමිසම කියයි

(02.02.2022 – 19:05 +0530 – hirunews.lk/sinhala)

නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් අනිවාර්යයෙන් විදුලි ගාස්තු ඉහළ දැමිය යුතු බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.

හිරු ප්‍රවෘත්තී අංශය සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ දෙසැම්බර් 03 වනදා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදුවූ හදිසි බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බවයි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදුන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කල බවද සභාපතිවරයා සඳහන් කළා ෴

+++++++++

නොරොච්චෝලේ පූර්ණ ධාරිතාවයෙන්

(02.02.2022 – 19:33 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රීයව පැවති ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව මේ වනවිට පූර්ණ ධාරිතාවයෙන් විදුලි ජනන කටයුතු සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පසුගිය දෙසැම්බර් 03 වැනිදා අක්‍රිය වූ නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරයේ තුන්වැනි (3) ජනන යන්ත්‍රය පෙරේදා ජාතික පද්ධතියට එක්කිරීමෙන් පසු ඊයේ යළි අක්‍රීය කෙරුණේ නඩත්තු කටයුත්තක් සඳහායි.

එම ජනන යන්ත්‍රය අද (02) පෙරවරුවේ යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති අතර එමඟින් මේ වනවිට මෙගාවොට් 300 ක විදුලි ප්‍රමාණයක් උත්පාදනය කෙරෙනවා.

***************************************

වෛද්‍ය සිසුන්ට ගැහුවේ අරුන්දිකගේ පුතා – රාගම පොලීසියටත් භාර වේ

(03.02.2022 – 06:35 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය පීඨයේ ඊයේ (02) උදෑසන ශිෂ්‍ය නේවාසිකාගාරයකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා වන ‘අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු’ රාගම පොලීසිය වෙත භාර වී තිබෙනවා.

මෙම පුද්ගලයා නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් ඊයේ (02) රාත්‍රියේ දී පොලිසීය වෙත භාර වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම මෙම පහර දීම සඳහා පැමිණි BMW වර්ගයේ මෝටර් රථය කළුබෝවිල ප්‍රදේශයේ දී රාගම පොලිස් භාරයට ගත්තා.

සැකකරු 23 හැවිරිදි අයෙකු වන අතර, හෙතෙම වලව්වත්ත – දංකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ අනුව අදාළ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් මුළු සැකකරුවන් ගණන 07 ක් වන අතර, ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.

මේ අතර, විධිමත් පරීක්ෂණයකින් අනතුරුව තමන් නිදොස් යැයි ඔප්පු වන තෙක් සිය ධුරයෙන් සහ සියලු තනතුරුවලින් ඉවත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වෙත දැනුම් දී ඇති බව ද වාර්තා වනවා.

ඊයේ (02) පෙරවරුවේ රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2 ක් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරුණා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 6 දෙනාගෙන් 5 දෙනෙකු අද (03) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර, මෙම සිද්ධියට විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ද පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න හට නියෝග කළා.

ඒ අනුවයි පොලිස් කණ්ඩායම් දෙකක් (2) විමර්ශන ආරම්භ කළේ.

එමෙන්ම මෙම ප්‍රහාරයට දේශපාලන සම්බන්ධයක් පවතින බව පවසමින් රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ද ඊයේ (02) පස්වරුවේ විවේචනාත්මක ලිපියක් යොමු කළ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම සාධාරණාත්මක අයුරින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද ඉල්ලීමක් සිදු කෙරුණා.

මේ අතර, අදාළ සිද්ධියට තමන් සම්බන්ධ බවට විධිමත් පරීක්ෂණයකින් ඔප්පු වුවහොත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

සිද්ධියට අදාළව මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සිසුවෙකු ඇතුළුව 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව, එම සිසුවා හැර අනෙකුත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු අද (03) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පෙරේදා (01) මධ්‍යම රාත්‍රියේ සිදුකළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා.

මෝටර් රථ දෙකකින් (2) පුද්ගලයින් 15 දෙනෙකු පමණ එහි පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

පහරදිමෙන් තුවාල ලැබු සිසුන් 04 දෙනාගෙන් තුන්දෙනෙකු (3) රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, එක් සිසුවෙකු මීගමුව මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව කළා.

පහරදීම සඳහා එම පිරිස පැමිණි එක් මෝටර් රථයක් සිසුන් විසින් නේවාසිකාගාර භූමිය තුළ රඳවා තබා ගෙන තිබූ අතර, පොලීසිය එම ස්ථානයට පැමිණ අදාළ මෝටර් රථය තම භාරයට ගනු ලැබුවා.

එහිදී අනාවරණ වූයේ ඩබ්ලිව්.පී.කේ.අයි. 2376 අංකය සහිත එම මෝටර් රථය ‘පොල් සංවර්ධන අධිකාරිය’ට අයත් එකක් බවයි.

මෝටර් රථය මෙම වසර (2022) සඳහා ලියාපදිංචි නොකළ එකක් බවට ද පොලිස් පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

මේ අතර, අදාළ ශිෂ්‍ය නේවාසිකාගාර භූමියෙහි තිබී මුදල් පසුම්බියක් හමු වී ඇති අතර එය පහරදීමට පැමිණි පුද්ගලයෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා.

එහි තිබී පොල් සංවර්ධන සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකු බවට සඳහන් පුද්ගල හැඳුනුම්පතක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අරුන්දික ප්‍රනාන්දු මේ වනවිට කටයුතු කරන්නේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, අදාළ පහරදීමේ සිද්ධියෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන තුන්වන වසරේ වෛද්‍ය සිසුවෙකුගේ සුවදුක් විමසීම සඳහා ද රෝහලට පැමිණියා.

එහිදී රෝහලේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යයාගේ මව වන, විශේෂඥ වෛද්‍ය කේ.ඩී.සී. පරණවිතාන මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි අතර ඇය එහිදී කියා සිටියේ සිසුන් අතර පවතින ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි ෴

***************************************

කැලණිතිස්ස විදුලි බලාගාරය යළි නවතියි

(03.02.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 280 ක ධාරිතාවක් එක් කරන කැලණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු ඊයේ (02) සිට යළි අක්‍රීය වී තිබෙනවා.

බලාගාර සංකීර්ණයේ එක් (1) බලාගාරයකින් මෙගාවොට් 165 විදුලි ධාරිතාවක් සහ අනෙක් බලාගාරයෙන් මෙගාවොට් 115 ධාරිතාවක් නිපදවනු ලබනවා.

ඊයේ (02) රාත්‍රියේ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2700 ක උපරිමයක් දක්වා ළඟා වනු ඇති බවට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කළ ද එය දැක්වුණේ, මෙගාවොට් 2418 ක් ලෙසයි.

ඉන් සියයට 64 ක් තාප විදුලි බලාගාරවලින් ද සියයට 32 ක් ජල විදුලි බලාගාරවලින් සහ සියයට 4 ක් සුළං, සූර්ය බලය හා ජෛව ස්කන්ධ යන පුනර්ජනීය බලක්ති ප්‍රභවයන්ගෙන් සම්පූර්ණ කර තිබුණා.

මේ අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී තිබූ සපුගස්කන්ද බලාගාරවලට සහ කොළඹ වරායේ බත්තල බලාගාරයට අවශ්‍ය ඉන්ධන සැපයීමේ මේ වනවිට කටයුතු සිදුකෙරුණා.

ඊට අමතරව ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 130 ක විදුලිය ප්‍රමාණයක් එක් කරන කැලණිතිස්ස සොජිස්ට් බලාගාරයේ නඩත්තු කටයුතු අද (03) දිනය වනවිට අවසන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අක්‍රීයව පැවති ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමෙන් අනතුරුව ඊයේ (02) පස්වරුවේ සිට පූර්ණ ධාරිතාවයෙන් ජනන කටයුතු සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

පසුගිය දෙසැම්බර් 03 වැනිදා අක්‍රිය වූ නොරොච්චෝලේ ගල් අඟු‍රු බලාගාරයේ තුන්වැනි (3) ජනන යන්ත්‍රය ජනවාරි 31 වැනිදා ජාතික පද්ධතියට එක්කිරීමෙන් පසු යළි අක්‍රීය කෙරුණේ නඩත්තු කටයුත්තක් සඳහායි ෴

***************************************

බැසිල් මූල්‍ය අරමුදලට යන ලකුණු

(03.02.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

පවතින මුල්‍ය අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් සිදු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද (03) පෙරවරුවේ පැවැත්වීමට නියමිත ‘වැඩ ලක්ෂයක්’ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමට ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රටේ පවතින මූල්‍ය අර්බුදයන් විසඳා ගැනීමට අවශ්‍ය කරන තාක්ෂණික දැනුම මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමින්, මෙරටට අවශ්‍ය කරන ආර්ථිකමය ශක්‍යතාව එතුළින් නිර්මාණය කර ගැනීම මෙහි අරමුණයි.

මේ අතර පසුගිය දිනෙක පවතින ආර්ථික අර්බුදයන් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මෙන්ම ආර්ථික විශ්ලේෂකයින් ද විවිධ අවස්ථාවලදී අදහස් පළ කර අතර, බොහෝ දෙනෙකුගේ මතය වූයේ ගැටලුව නිරාකරණය කිරීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතු බව සහ එය වඩාත් සුදුසු බවයි.

වැඩි විස්තර :

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (02) දින පැවසූවේ, රටේ ආර්ථික ගැටලු විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්නේ නව සාර්ව මූල්‍ය ඒකකය සඳහා සාමාන්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීමක් සඳහා පමණක් බවයි.

අද (03) පෙරවරුවේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි, මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ.

***************************************

ජල බිල්පත් නොගෙවපු මැති ඇමතිවරුන් ගැන වාසු කට අරියි

(03.02.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට වැඩි ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇතැයි කියන හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වර්තමාන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගන්නා බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

මේ වනවිටත් විශාල වශයෙන් හිඟ ජල බිල්පත් නොගෙවා ඇති මැති ඇමතිවරුන් සිටින බවත්, මණ්ඩලයෙන් දැනුම් දී ඇතත්, කිසිදු සැලකිල්ලක් නොදක්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

30 වනදා පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට එල්ලකළ බිත්තර ප්‍රහාරය ගැන පොලිස්පතිට පැමිණිල්ලක් (02.02.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *