රජරට රැජින බිලිගත් එකම පවුලේ සිව් (4) දෙනා

රජරට රැජින බිලිගත් එකම පවුලේ සිව් (4) දෙනා

*********************************************

රජරට රැජින බිලිගත් එකම පවුලේ සිව් (4) දෙනා

(01.02.2022 – 12:20 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – බූස්ස ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එකම පවුලේ ඥාතීන් සිව් (4) දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (01) පෙරවරුවේ මෙම අනතුර සිදු වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුර සිදුව තිබෙන්නේ ගාල්ල – බූස්ස – වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේ දී බෙලිඅත්තේ සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන්.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රිරෝද රථයේ සිව් (4) දෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පියා, පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ මෙන්ම බිරිඳගේ මව මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

මේ අතර මෙම අනතුරේ නවතම සී.සී.ටී.වී. දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

+++++++

එකම පවුලේ ඥාතීන් සිව් (4) දෙනෙකු ජිවිතක්ෂයට පත් කරමින් ගාල්ල – බූස්ස – රිල්ලඹ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමේ සිද්ධියට හේතුව නොසැලිකිලිමත් රිය ධාවනය බව පොලිසිය ප්‍රකාශ කලා.

රිය අනතුර සිදු වු අවස්ථාවේදි රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේ විදුලි සංඥා ක්‍රියාත්මකව තිබී ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

බෙලිඅත්තේ සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජින සිග්‍රඝාමී දුම්රියේ අදාළ ත්‍රිරෝද රථය ගැටීමෙන් එකම පවුලේ ඥාතීන් සිව් (4) දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ මෙම අනතුර වාර්තා වූයේ අද (01) පෙරවරුවේයි.

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රී රෝද රථයේ රියදුරු සමග පුද්ගලයින් සිව් (4) දෙනෙකු එහි සිට තිබූ අතර ඔවුන් බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාතීන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මේ අතර කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් 10 හැවිරිදි කුඩා දරුවෙකු සහ එහි රියදුරු ජීවිතක්ෂයට පත්වී තවත් හතරදෙනෙකු (4) අද (01) තුවාල ලැබුවා.

හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹුක හන්දිය ප්‍රදේශයේ දී ද ඇඟලු‍ම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී අද (01) සිදුවූ අනතුරකින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

මේ වසරේ ගතවූ දින 28 තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 198 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

***************************************

පානදුර වෙඩි තැබීමේ ඝාතකයින් ඇල්ලීමට පොලීසිය මහජන සහාය පතයි

(01.02.2022 – 15:15 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මස 27 වැනි දින පානදුර මූලික රෝහල ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසල දී ගිලන් රථ රියදුරෙකු ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් සිදු කිරීමට තැත් කිරීමක් පිලිබඳ ව වූ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව මෙම වෙඩි තැබීම සිදු කිරීමේ අරමුණින් යතුරුපැදි දෙකකින් (2) සැකකරුවන් සිව් (4) දෙනෙකු පැමිණ ඇති බව මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම සැකකරුවන් සිව් (4) දෙනාගෙන් දෙදෙනකුගේ (2) පුද්ගලික තොරතුරු විමර්ශනවල දී හෙළි වී ඇති බවයි.

ඔවුන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතන අතර, ඒ සඳහා ඔවුන්ගේ ඡායාරූප ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එලෙස තොරතුරු ලබාදෙන්නෙකු වේ නම්, ඔවුන්ගේ පෞද්ගලික රහස්‍යභාවය් ආරක්ෂා කිරීමට පොලීසිය විසින් පියවර ගනු ලබන බවත්, තොරතුරක් ඇතොත්, පොලිස් මූලස්ථානය වෙත දැනුම්දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එලෙස නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට මුදලින් රුපියල් ලක්ෂ දහයක (10,00,000) ත්‍යාග මුදලක් ලබාදීමට ද පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු අංක 198, ගැමුණු මාවත, පානදුර – වලාන පදිංචි ‘කඳන ආරච්චිගේ ප්‍රමෝද් සඳකැලුම්’ නොහොත් ‘සිම් මල්ලි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නෙකු වන අතර, ඔහු 24 හැවිරිදි වියෙහි පසුවන්නෙක් බවයි පොලීසිය පැවසුවේ.

මෙම සැකකරු වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ ලෙස මේ වනවිට හඳුනාගෙන ඇත්තේ, පානදුර, හිරණ, වලාන, අළුබෝමුල්ල, මිනුවන්පිටිය, බොක්කේගම, මාතර සහ පොළොන්නරුව යන ප්‍රදේශයි.

මේ අතර අනෙක් සැකකරු ‘බැමින හැන්නදිගේ චමිඳු සංකල පීරිස්’ නමැති 23 හැවිරිදි අයෙකු වන අතර, හිරණ – පළමුවන පටුමගෙහි අංක 52/1 දරණ ලිපිනයෙහි පදිංචිව සිට තිබෙනවා.

මෙම සැකකරු ගැවසෙන ප්‍රදේශ වන්නේ, පානදුර, හිරණ ගල්කිස්ස, කළුතර, පොළොන්නරුව, ගිරිතලේ යන ප්‍රදේශයි.

සැකකරුවන් ගැන තොරතුරක් වෙතොත්, ඒ පිළිබඳ ව දැනුම්දීමට පොලීසිය විසින් විශේෂ දූරකථන අංක දෙකක් (2) ද හඳුන්වා දී තිබෙනවා.

එම දූරකථන අංක ලෙස බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දූරකථන අංකය වන 071 859 2686 ට හෝ 071 859 2745 යන කළුතර අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂවරයාගේ අංක වෙත හෝ දැනුවත් කළ හැකියි ෴

***************************************

වල් වැදුණු වැල්ගොල්ලගම පාසල

(01.02.2022 – 15:42 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල අධ්‍යාපන කලායට අයත් හාලිඇල, වැල්ගොල්ලගම විද්‍යාලයට අද අත්ව ඇති ඛේදනීය ඉරණම පිළිබඳ තොරතුරු වාර්තා වුණා.

1975 වර්ෂයේදී ආරම්භ කෙරුණු මේ විද්‍යාලය හරහා ප්‍රදේශයේ සිසු සිසුවියන්ට දශක 3 කට අධික කාලයක් සෙත සැලසුණද මේ වනවිට වසර 15 ක පමණ කාලයක සිට එය වසා දමා ඇත්තේ ප්‍රමාණවත් පරිදි ළමුන් නොපැමිණීම හේතුවෙන්.

පැවති ගැටලුවලට විසඳුම් දී එය යථා තත්ත්වයට පත්කිරීම වෙනුවට අධ්‍යාපන බලධාරීන් මෙම පාසල අමතක කර දැමීමේ ප්‍රතිඵලය ලෙස මේ වනවිට එම පාසලේ ගොඩනැගිලි විවිධ අපචාරවලට තෝතැන්නක් වී තිබෙනවා.

ගම්වැසියන් පෙන්වා දෙන්නේ, මෙම ගොඩනැගිල්ලේ යළි පාසල ආරම්භ කිරීමට හෝ වෙනත් පොදු කටයුත්තකට ඒවා යොදාගැනීමට හැකි නම් එය ගමේ
ජනතාවගේද දියුණුවට හේතුවන බවයි.

සිය ගම්මානයේ පැවති පාසල අහිමි වීමෙන් මේ වනවිට දැඩි ලෙස පීඩාවට පත්ව සිටින්නේ පාසල් ළමුන්.

සංවර්ධනය සඳහා යන ගමනේ දී නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට තරම් ආර්ථික තත්ත්වය ප්‍රමාණවත් නොවන පසුබිමක පවතින සම්පත් හෝ පිළිසකර කර ප්‍රයෝජනයට ගැනීම රට කරවන බලධාරීන්ගේ වගකීමක්.

වැල්ගොල්ලගම විද්‍යාලයේ ගොඩනැගිලි අධ්‍යාපන ක්ෂේත්‍රයට හෝ වෙනත් ප්‍රයෝජනවත් කර්තව්‍යයක් වෙනුවෙන් යොදාගන්නා තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

කුණු පොහොර නිසා වැනසුණු වගාව

(01.02.2022 – 15:43 +0530 – hirunews.lk/sinhala)

පොහොර අර්බුදය හේතුවෙන් මෙවර මහ කන්නයේ වී අස්වනු අලෙවි කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බව ප්‍රදේශ රැසක ගොවීන් පවසනවා.

ඔවුන් පවසන්නේ මෙවර අස්වැන්න සියයට 80 කින් පමණ පහළ ගොස් ඇති බවයි.

කන්තලේ සිරිමංගලපුර ප්‍රදේශයේ මහ කන්නයේ වී වගා කළ ගොවීන් මේ වන විට සිය අස්වනු නෙළීම ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ මෙවර අස්වැන්න 80% පමණ අඩු වී ඇති .

පොලොන්නරුව ගිරිතලේ ගොවීන්ද පෙන්වා දෙන්නේ තමන් කාබනික පොහොර යොදා වගා කළ ද අස්වැන්න නෙලා ගැනීම පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි.

මේ අතර කන්දකැටිය – තලාහේන ප්‍රදේශයේ වට්ටක්කා වගා කළ ගොවීන් ද මැසිවිලි නගන්නේ කාබනික පොහොර යොදා තමන් සිදු කළ වගාවන් අසාර්ථක බවයි.

ඒ වගේ මෙතෙක් ඵල හටගෙන නැහැ.

කෙසේ වෙතත් දැදිගම වද්දෙනිය ප්‍රදේශයේ ගොවීන් කාබනික වගාව මගින් සාර්ථක වී අස්වැන්නක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.

ඒ සඳහා ඔවුන්ට මඟ පෙන්වා තිබෙන්නේ අඹේපුස්ස ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරින් විසින්.

මේ අතර දොම්පේ – දෙකටන ප්‍රදේශයේ ගොවි මහතෙකුද තමන් විසින්ම නිෂ්පාදනය කළ කාබනික පොහොර මගින් සාර්ථක වගාවක් සිදුකර තිබෙනවා.

මීට අමතරව ඔහු විසින් නිපදවූ කාබනික පොහොර මගින් තවත් බෝග රැසක් ද සාර්ථකව වගා කර ඇත්තේ මෙලෙසින්.

පොලොන්නරුව – කිරිඔය සහ අතරගල්ලෑව ප්‍රදේශවල ගොවීන් මෙවර සිය හේන් වගා සිදු කර තිබෙන්නේ කාබනික පොහොර භාවිතයෙන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *