විදුලිය කපනවා ද ? නැද්ද ?

විදුලිය කපනවා ද ? නැද්ද ?

*********************************************

විදුලිය කපනවා ද ? නැද්ද ?

(31.01.2022 – 14:50 +0530 – hirunews.lk/sinhala)

නැවත දැනුම්දෙනතුරු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව අද (31) ප්‍රකාශ කළා.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම උපයෝගීතා කොමිසම රැස්වූ අතර, එහිදී තීරණය වූයේ අද (31) දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවටයි.

ඒ අනුව අද (31) දින මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ, නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

දිවයිනේ සියලුම බලාගාර පාහේ දැඩි ඉන්ධන අර්බුදයක් හේතුවෙන් වරින් වර සක්‍රීයතාවයෙන් ගිලිහී ගියේ, එම විදුලි උත්පාදන කටයුතු සඳහා අත්‍යවශ්‍ය කරන ඩීසල් සහ නැප්තා හිඟවීම හේතුවෙන්.

මෙම තත්ත්වය මත සපුගස්කන්ද, නොරොච්චෝලේ ආදී බලාගාර වසා දැමුණු අතර, ලක්ෂපාන, ඉහළ කොත්මලේ ආදී සෙසු බලාගාර සඳහා ද වැසි තත්ත්වයේ අඩුවීමක් හේතුවෙන් විදුලි ජනන කටයුතු සීමා කිරීම්වලට ලක් වුණා.

එමෙන්ම රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමේ කටයුතු යම් මන්දගාමී පසුබිමක පැවතිය ද, පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වරායේ සිරවී තිබූ ඉන්ධන නෞකා දෙකක් මුදා හැරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය නිදහස් කිරීම හේතුවෙන් බලාගාරවල පැවති ඉන්ධන අර්බුදයට යම් සැනසිලිදායී විසඳුමක් ලැබීමට එය ප්‍රයෝජනවත් වුණා.

මෙවන් තත්ත්වයක දී යි, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇතැම් බලාගාර වෙත අවශ්‍ය කරන ඉන්ධන දින කිහිපයකට ලබාදීමට විදුලිබල අමාත්‍යවරයා ප්‍රමුඛ බලාගාර නියෝජිතයින්, තෙල් සංස්ථා නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේ දී තීරණය කෙරුණේ.

කෙසේවෙතත් කාණ්ඩ 04 කට බෙදා දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින්වර විදුලි කප්පාදුවක් සිදු කෙරුණු අතර, ඇතැම් අවස්ථාවල දී ජනතාව අසීරුවට පත් කරමින් නොදන්වා විදුලි කප්පාදුවක් ද සිදු කෙරුණා.

මෙවන් පසුබිමකදී මහජන උපයෝගීතා කොමිසම රැස්වූ අතර, මෙලෙස අත්තනෝමතික සහ වගකීම් විරහිත ලෙස සිදු කළ විදුලි කප්පාදුව ගැන සොයා බැලීමට ද එම කොමිසම වෙත පැවරුණා.

ඒ අනුව මෙම කොමිසම විසින් අද (31) දිනයේ දී නිවේදනය කළේ, යළි දැනුම්දෙන තුරු කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවටයි.

කෙසේවෙතත් අක්‍රීයව පැවති සපුගස්කන්ද සහ නොරොච්චෝලේ බලාගාර ඊයේ (30) දින සිට යළි පණ ගැන්වූ අතර, අද (31) දිනයේ දී නොරොච්චෝලේ බලාගාරයෙන් මෙගාවොට් 160 ක විදුලි ප්‍රමාණයක් ද ජාතික විදුලිබල පද්ධතිය වෙත මුදා හැරුණා ෴

***************************************

ගමන බියකරු වූ පාලම

(31.01.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල, යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටි යක්කලමුල්ල පාලම ඉවුරු ඛාදනයට ලක්වීම හේතුවෙන් මේ වනවිට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, කඩිනමින් මීට පිළියම් යෙදීමට අපොහොසත් වුවහොත් ඉදිරියේදී විශාල විනාශයක් සිදුවිය හැකි බවයි.

ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ පොල්අතුමෝදර ගංගාවට ඉහළින් මෙම පාලම ඉදිකර ඇත්තේ මීට වසර 20 ක පමණ පෙරයි.

ඒ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමදායකත්වය ද සමඟින්.

මෙම පාලම මතින් දෛනිකව වාහන තුන් හාරසියයක් (300 – 400) පමණක් ගමන් කරන අතර, කළුදියවල, පොල්පාගොඩ, කරාගොඩ, වල්පොල, මාරගස්දූව ආදී ගම්මාන රැසක ජනතාවට යක්කලමුල්ල නගරයට යාම සඳහා ඇති කෙටිම මාර්ගය ද මෙය වනවා.

කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ පාලම දෙපස ඉවුරු දැඩි ලෙස ඛාදනය වීම හේතුවෙන් පාලම දැඩි අවදානම් තත්ත්වයට පත්ව ඇති බවයි.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ වර්ෂාව රහිත මේ කාලයේදී පාලමේ බැතිබැමි කඩිනමින් පිළිසකර නොකළහොත් මෙම ගැටලුව දැඩි ආර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බවයි.

යක්කලමුල්ල පාලමේ අවදානම් තත්ත්වය තවදුරටත් තීව්‍ර වී විශාල විනාශයක් සිදුවීමට පෙර එම ගැටලුව විසඳාලීම ප්‍රාදේශයේ දේශපාලන බලධාරීන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ද පැවරෙන වගකීමක්.

***************************************

මැති ඇමතිවරුන්ගේ සියලු වරප්‍රසාද අහෝසි වෙයි ද ?

(31.01.2022 – 14:18 +0530 – hirunews.lk/sinhala)

මේ වන තෙක් හිමිගැන්වෙන සියලුම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කර, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ට හිමිවන විශ්‍රාමික වැටුප ද නතර කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ජනතාවගේ බදු මුදලින් දීර්ඝ කාලයක් යන තෙක් මහජන නියෝජිතයින් හට විශ්‍රාමික වැටුප් ගෙවීම සිදු නොකළ යුත්තක් බවයි ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ.

එමෙන්ම පසුගිය දිනක පරිසර අමාත්‍ය මහින්ද අමරවීර යෝජනා කළේ, සියලු දෙනා හට පරිසරය රැකගැනීම සඳහා බයිසිකලයෙන් සිය රාජකාරි සඳහා පැමිණෙන ලෙසයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ටිල්වින් සිල්වා ලේකම්වරයා කියා සිටියේ, පරිසර අමාත්‍යවරයා විසින් ජනතාවට එවැනි යෝජනා සිදු කළ ද, ඇමති අමරවීර ඇතුළු මැති ඇමතිවරුන් කිසිදිනෙක එම යෝජනාව සිය ජීවිතයට ආදේශ කර නොගන්නා බවයි.

***************************************

දකුණු මුහුදෙන් ඇල්ලූ හෙරොයින් ජාවාරම්කරුවන්ට අධිකරණයෙන් තීන්දුවක්

(31.01.2022 – 14:58 +0530 – hirunews.lk/sinhala)

දකුණු මුහුදු තීරයේදී රුපියල් මිලියන 3,300 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 17 දෙනාගෙන් 12 දෙනෙකු අද (31) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සෙසු සැකකරුවන් පස්දෙනා (5) ඇප මත මුදාහැර තිබෙනවා.

පසුගිය 17 වැනි දින රාජ්‍ය බුද්ධි සේවාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් අනුවයි මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ ෴

***************************************

මිරිස්ස වෙරළ තීරයේ පියැඹූ ඩ්‍රෝන යානාව ආවේ කොහෙන් ද ?

(31.01.2022 – 15:04 +0530 – hirunews.lk/sinhala)

මිරිස්ස සංචාරක කලාප වෙරළ තීරයේ ඩ්‍රෝන යානාවක් මෙහෙයවමින් ඡායාරූප ගනිමින් සිටි, රුසියානු ජාතික සංචාරකයකු එම වෙරළ තීරයේ රාජකාරියේ නිරතව සිටි වෙරළාරක්ෂක බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව අදාළ සංචාරකයා මිරිස්ස පොලිසිය වෙත භාර දුන් බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඩ්‍රෝන යානාවක් හසුරුවමින් මිරිස්ස අවට කලාපයේ ඡායාරූප ගෙන ඇත්තේ රුසියානු ජාතික සංචාරක ඡායාරූප ශිල්පියකු බවයි වාර්තා වන්නේ.

ඔහු සිය නිවාඩුව ගත කිරීම සඳහා මෙරටට පැමිණ ඇති අතර මෙරට දර්ශනීය ස්ථාන රූගත කිරීම ද ඔහුගේ සංචාරයේ එක් අරමුණක්.

අදාළ සංචාරකයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිරිස්ස ‍ප්‍රදේශයේ ප්‍රකට සංචාරක හෝටලයක අධිපතිවරයෙකු කියා සිටියේ මේ වන විට කොවිඩ් ව්‍යසනයෙන් ඇද වැටී තිබුණු සංචාරක ව්‍යාපාරය ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවද්දී මේ ආකාරයෙන් දුරදිග නොබලා සිදු කරන අත්අඩංගුවට ගැනීම් සහ පීඩාවට පත් කිරීම් මෙරට සංචාරක කර්මාන්තයට අයහපත් ලෙස බලපානු ඇති බවයි.

එමෙන්ම මෙම රුසියානු ජාතික ඡායාරූප ශිල්පියා වැනි සංචාරක ඡායාරූප ශිල්පීන් හරහා මෙරට සංචාරක ව්‍යාපාරයට ඉතා ඉහළ ජාත්‍යන්තර ප්‍රචාරණයක් ලැබෙන බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකාව තුළ ඡායාරූපකරණයේ සහ වීඩියෝකරණයේ නිරත වන සංචාරකයින් සඳහා නිකුත් කරන අවසර පත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දීම සංචාරක මණ්ඩලය විසින් සිදුකළ යුත්තක් බව‍යි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

විශේෂයෙන්ම මේ වන විට ලෝ පුරා සංචාරකයින්, සංචාරක බ්ලොග් සහ සංචාරක ව්ලොග්, කෙටි සංචාරක චිත්‍රපට නිපදවන්නන් අතිබහුතරයක් ඩ්‍රෝන කැමරා භාවිත කරන බවත් ඔවුන්ට මෙම කැමරා නිදහසේ භාවිතා කිරීමට අවශ්‍ය පරිසරය මෙරට අදාළ අංශ විසින් සකසා දිය යුතු බවත් ඔහු අවධාරණය කළා ෴

***************************************

රුපියල් ලක්ෂ 50 කට අධික කේරළ ගංජා ජාවාරම – මහ මොළකරුවන් දැලේ

(31.01.2022 – 16:09 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘වැල්ලවායේ බතල හීන්නි’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අත් අඩංගුවට ගැනුණේ, රුපියල් ලක්ෂ හතළිහකට (40) ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් ජීප් රථයකින් රැගෙන යමින් සිටියදීයි.

තිස් හැවිරිදි (30) වියෙහි පසුවන අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලවාය කොහොඹගහ පැලැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

වැල්ලවාය දෙසින් පැමිණි ජීප් රථය කොහොඹගහ පැලැස්ස පොලීසිය අසල දී නවතා පරික්ෂා කිරීමේදී එහි පාර්සල් 05 ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 යි ග්‍රැම් 310 ක් සොයා ගැනුණා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා නඩු භාණ්ඩ සමග තිස්සමහාරාම පොලීසියට භාර දී තිබෙනවා.

මේ අතර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද (31) පස්වරුවේ සිදු කරන ලද මෙහෙයුමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටීම සහ අලෙවි කිරීමේ චෝදනාව මත පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගත්තා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු මෙරට ප්‍රධාන පෙළේ කේරළ ගංජා ජාවාරම්කරුවෙකු බවයි හෙළි වී ඇත්තේ.

දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් භාරයට ගැනුණු මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ තක්සේරු වටිනාකම රුපියල් එකොළොස් ලක්ෂයකට (11,00,000) අධික බවටත් තහවුරු වී තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබූ අතර, ජාවාරමට යොදාගත් මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් (2) ද පොලිස් භාරයට ගැනුණා.

මේ අතර, පානදුර – අලුබෝමුල්ල ප්‍රදේශයේ දී යතුරු පැදියකින් කේරළ ගංජා ග්‍රෑම් 450 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු සහ ග්‍රෑම් 25 ක් ප්‍රවාහනය කරමින් සිටි තවත් පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඔවුන්ගෙන් ලද තොරතුරු මත කළුතර – මොරොන්තුඩුව මාර්ගයේ දී මෙම ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ජාවාරම්කරු මෝටර් රථයෙන් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගන්නා මොහොතේ සැකකරුවන් සන්තකයේ තිබූ මුළු කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරකට (1,50,000) ආසන්න බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුබෝමුල්ල, කළුතර සහ බෝඹුවල ප්‍රදේශයේ පදිංචි 26, 30 සහ 37 හැවිරිදි පුද්ගලයන්.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා කළුතර උතුර සහ පානදුර දකුණ පොලිස් ස්ථාන වෙත භාර දී තිබෙනවා ෴

***************************************

පුනරුත්ථාපන ක්‍රියාවලිය නව මුහුණුවරකින් ක්‍රියාත්මක කෙරේ

(31.01.2022 – 16:30 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ පස් (5) අවුරුදු සැලැස්මේ එක් ප්‍රධාන අංශයක් ලෙස පුනරුත්ථාපන ක්‍රියාවලිය නව මුහුණුවරකින් ක්‍රියාත්මක කිරිම හදුන්වනු ලබනවා.

එය පසක් කිරිමට මුලිකත්වය දරමින් බන්ධනාගාර කොමසාරිස් (පාලන/පුනරුත්ථාපන) චන්දන ඒකනායක උපදෙස් හා අධික්ෂණය යටතේ සිරකරු පුනරුත්ථාපනයේ තවත් පියවරක් ඉදිරියට තබමින් බන්ධනාගාර නිලධාරින් හට 11 වන අධියර මානවක බාලදක්ෂ නායක ආචාර්ය පුහුණු පාඨමාලාවක්, පවත්වනු ලබන බවට සදහන්.

එය මෙම මස 28 වන දින සිට 30 දක්වා මිරිගම දසනායක ජාත්‍යන්තර මානවක බාලදක්ෂ කඳවුරේ දී මේ වන විටත් පැවැත්වෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිකාරිවරුන් දෙදෙනෙකු (2) හා සෑම බන්ධනාගාරයක්ම නියෝජනය වන පරිදි නිලධාරින් සියල්ල 50 දෙනෙකු මේ සදහා සහභාගි වෙනු ඇති.

මෙම පාඨමාලාවේ නායකයා වශයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 11 පෙළ ජේලර් ශ්‍රි ලංකා බාලදක්ෂ සංගමයේ විශේෂ කොමසාරිස්, වයඹ හා මධ්‍යම පලාත් භාර කොමසාරිස් හා පහුණු කිරිම් නායක ඊ.කේ.ඩි. දුමින්ද කටයුතු කරනු ලබන බවටයි, වාර්තා වන්නේ.

පාඨමාලාවේ සමාරම්භක උත්සවය 28 උදෑසන ආරම්භ වු අතර, ඒ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නිතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ගම්පහ දිසා බාලදක්ෂ සංගමයේ හිටපු දිසා කොමසාරිස් ජ්‍යෙෂ්ඨ පුහුණු කිරිමේ නායක එච්.පි.ඩබ්. සෙනරත් ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්හා බාලදක්ෂ සංගමයේ පුහුණු ආචාර්ය වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා ෴

***************************************

විභාග කොමසාරිස් ජනරාල්ගෙන් දැනුම් දීමක්

(31.01.2022 – 17:58 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය පැවැත්වීමේදී තමන්ගේ වේලාව නිවැරදිව ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් මගින් සකස් කර ප්‍රදර්ශනය කරන ලෙස සියලුම විභාග ශාලාධිපතිවරුන්ට නිත්‍ය නියෝගයක් පනවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන අවධාරණය කරනවා.

ඒ අනුව විභාගය පවත්වන අවස්ථාවේදී පන්ති කාමරය භාරව සිටින ගුරුවරුන් හරහා නියමිත වේලාව දැනගෙන සිය ඔරලෝසුවේ වේලාව නිවැරදිව සකස් කරගන්නා ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාලවරයා දරුවන්ගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර උසස් පෙළ විභාගය සම්බන්ධ යම් ගැටලුවක් පවතීනම් 1911 දුරකථනය අංකය අමතන ලෙසද එල්.එම්.ඩී. ධර්මසේන මෙහිදී ඉල්ලීමක් කළා.

මීට අමරතව 011 278 4208 / 011 278 4537 යන දුරකථනය අංකය අමතන ලෙසද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සදහන් කළා ෴

***************************************

‘කිරි සමන්’ කියන කතාව

(31.01.2022)

11 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කලැයි, රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ‘කිරි සමන්’ හෙවත් ‘ඕෂක නිලාන් වීරපුර’ අද (31) පළමුවරට මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

එම අවස්ථාවේ, ඔහු තමන් බන්ධනාගාර ගතව සිටියදී මුහුණ දුන් අමානුෂික ක්‍රියා ගැන මෙසේ හෙළිදරව් කළා :

++++++

+ [ https://www.youtube.com/watch?v=T0eiA3uFVlI ]

***************************************

+ [ https://www.youtube.com/watch?v=MwUnMhJATiE ]

***************************************

නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුවක් නැහැ – මහජන උපයෝගීතා කොමිසම කියයි

(31.01.2022 – 19:30 +0530 – hirunews.lk/sinhala)

නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසන් සභාව අද ප්‍රකාශ කළා.

එසේම විදුලි අර්බුදය පිළිබදව අද (31) ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට විදුලිබල අමාත්‍යාංශයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එක්ව සිටියා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ ලබන අප්‍රේල් මාසය දක්වා කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොවන බවයි.

මේ අතර, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ හෙටින් ආරම්භ වන පෙබරවාරි මාසය තුළ විදුලි ඉල්ලුම කළමනාකරණය කර ගත හැකි බවයි.

කෙසේ වෙතත්, විදුලිය සංරක්ෂණය සඳහා සියළු විදුලි පාරිභෝගිකයන් තවදුරටත් දායක විය යුතු බව ද ඔහු අවධාරණය කළා.

***************************************

රුපියල් 75 ට පොල් නැහැ – පාරිභෝගිකයින්ගෙන් චෝදනා

(31.01.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

සතොස මගින් අද (31) සිට රුපියල් 75 කට පොල් මිලදී ගතහැකි බවට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළද එලෙස මිලදී ගැනිමට ලංකා සතොස අලෙවි සැල් තුල පොල් නොතිබු බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.

වසර පුර පොල් ගෙඩියක් රුපියල් 75 ක මිලකට අලෙවි කිරීමට අදාල ගිවිසුම , පොල් සංවර්ධන මණ්ඩලය සමග අත්සන් කිරීම අද (31) පෙරවරුවේ සිදු කෙරුණු අතර ඒහි නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරුනේ කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්.

පසුගිය කාල සීමාවේදි පොල් ගෙඩියක මිල රුපියල් 120 ක් දක්වා ඉහල ගිය අතර, අද (31) සිට සහන මිලට පොල් ලබාදීමේ වැඩපිලිවෙල ආරම්භ කිරීමට වෙළද අමාත්‍යවරයා කටයුතු කරනු ලැබුවේ එවන් පසුබිමකයි.

කෙසේ වෙතත්, රුපියල් 75 ට පොල් මිලදී ගැනීම සදහා සතොස අලෙවි සැල් වෙත ගිය පාරිභෝගික ජනතාව කියා සිටියේ එම මිලට පොල් නොමැති බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *