අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක්

අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක්

*********************************************

අනුර කුමාරට බිත්තර ප්‍රහාරයක්

(30.01.2022 – 19:57 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගයේ අද (30) පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

පාක්ෂිකයන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සැක සිතූ පුද්ගලයින් දෙදෙනෙකු (2) අල්ලාගෙන පොලීසියට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්ක සමුළුව අද (30) පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවකදීයි පැවැත්වුණේ.

සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර එම ස්ථානයට පැමිණෙමින් සිටියදී උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව අසලදී මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සඳහන් කර තිබුණේ ඔවුන් සමග 16 දෙනෙකු පමණ පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය ඇතිවීමත් සමග පිරිසක් පළාගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නෙ.

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

(30.01.2022 – 22:10 +0530 – hirunews.lk/sinhala)

දික්ඔය මුලික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් අද (30) පස්වරු 06:45 ට පමණ අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ අනතුරින් වෑන් රථයේ ගමන්ගත් රෝහල් කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කර ඇති බව හැටන් පොලීසිය සඳහන් කළා.

එම අනතුර සිදුවී ඇත්තේ, හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වනරාජා වත්තේ තේ කර්මාන්ත ශාලාව අසලදී.

රෝහලේ කාර්ය මණ්ඩලය රැගත් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අඩි 20 ක පමණ ප්‍රපාතයක පෙරළී එම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ රෝහල් කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු සිට ඇති බවත්, අනතුරෙන් තුවාල ලැබු රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින් වෑන් රථයෙන් ඉවතට ගෙන රෝහල් ගත කිරීමට පියවරගෙන තිබුණා.

අනතුරට පත් වෑන් රථය පෞද්ගලික රථයක් බවත්, අධික වේගය අනතුරට හේතුව වී ඇති බවත් අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පැවසුවා.

++++++++

බිත්තර ගැසූ සැකකරුවන් පිළිබඳ තොරතුරු හෙළිවෙයි

(31.01.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ වනවිටත් එම සිද්ධියට අදාළ ව පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා ඊයේ (30) එහි නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් කලගෙඩිහේන ප්‍රදේශයට පැමිණ තිබුණා.

එහි සිටි කිසියම් පිරිසක් බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණේ, එම අවස්ථාවේදියි.

පසු ව සමුළුවට සහභාගිවීමට පැමිණ සිටි පාක්ෂිකයින් පිරිසක් විසින් බිත්තර ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලීසියට භාර දීමට කටයුතු කර තිබුණා.

අදාළ බිත්තර ප්‍රහාරය එල්ල කරන පුද්ගලයින් හා එම බිත්තර ප්‍රහාරය එල්ල කරන ආකාරය අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබුණා.

+++++++++++

මාලිමාවට බිත්තර ගැහුවේ කවුද ? – ප්‍රසන්නත් ලිපි යවයි

(31.01.2022 – 10:42 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජනබලවේගය නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ජන හමුවකට සහභාගී වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ සී.සී.ටී.වී දර්ශන මාධ්‍යය වෙත ලැබී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (30) පොලිස් භාරයට ගැණුනා.

‘බිදවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ මැයෙන් ජාතික ජනබලවේගය සංවිධාන කරන ජන හමු මාලාවේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව කළගෙඩිහේනේ දී ඊයේ (30) පැවැත්වුණා.

ඊට සහභාගී වීම සඳහා එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැමිණි මෝටර් රථයට එහි සිටි කිසියම් පිරිසක් බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

ප්‍රහාරයට පැමිණි පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) පාක්ෂිකයින් විසින් අල්ලා පොලීසියට භාරදීමට කටයුතු කළා.

පොලිස් භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (2) වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධියට අදාළව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට ද චෝදනා එල්ල වුණා.

ඒ අනුව අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත ලිපි යොමු කරමින් ඉල්ලා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙසයි.

ආණ්ඩුව කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ අරමුණින් මෙවැන්නක් සිදු කර ඇති බවට සැකයත් පවතින බවයි අමාත්‍යවරයා එමඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

මේ අතර , සමුළුවට සහභාගී වූ අනුර දිසානායක සඳහන් කළේ රටකටත් ජනතාවටත් සිදුකළ හැකි සියලු ආකාරයේ විනාශයන් මෙතෙක් රට පාලනය කළ පක්ෂ විසින් සිදුකර අවසන් බවයි.

+++++++++

31-01-2022

+++++++++

30-01-2022

+++++++++++

බිත්තර ප්‍රහාරය ගැන තවත් කරුණු රැසක් හෙළිවේ

(31.01.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala)

කළගෙඩිහේන ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගිවීම සදහා එහි නායක අනුර කුමාර දිසානායක පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාර එල්ල කළ පිරිස අතරින් අල්ලා ගත් දෙදෙනා (2) තවදුරටත් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව නිට්ටඹුව පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 5 දෙනෙකු යොදවා තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ පුද්ගලයින් දෙදෙනා (2) මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැහැ. නිට්ටඹුව පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සදහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පැය 24 කට වඩා රදවා තබා ගැනීමට නොහැකිවීම ඊට හේතුව බවයි.

එසේම බිත්තර ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි සෙසු පිරිස පිළිබදව අදාළ පුද්ගලයින් දෙදෙනා (2) ගෙන් ප්‍රශ්න කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන්නේ ද යන්න අප නිට්ටඹුව පොලීසියේ අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගෙන් වැඩිදුරටත් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ රෝහල්ගතව සිටින බැවින් අදාළ පුද්ගලයින් දෙදෙනා (2) ගෙන් ඒ පිළිබදව කිසිදු විමසීමක් සිදුනොකළ බවයි.

එසේම සී.සී.ටී.වී. දර්ශන භාවිතා කරමින් සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව ද පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වූ ජන හමුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් සමාගම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

දැනට අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයන් දෙදෙනා (2) එම සමාගමේ ආරක්ෂක නිලධාරීන් බවයි අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ.

ප්‍රහාරයෙන් අනතුරුව පුද්ගලයින් දෙදෙනෙකු (2) සමුළුවට පැමිණි පිරිස විසින් අල්ලා ගනුලබන ආකාරය ද සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙනවා.

එලෙස අල්ලා ගැනුනු පුද්ගලයින් දෙදෙනාට (2) පහරදෙන ආකාරයක්ද එම දර්ශනවල සටහන්ව තිබූ අතර, පසුව ඔවුන් පාපොච්චාරණය කරන වීඩියෝවක්ද අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ නම අදාළ පිරිස ප්‍රකාශ කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේ බිත්තර ප්‍රහාරය එල්ල කිරීමට අදාළ පිරිස යොමුකර ඇත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග බවයි.

මේ සම්බන්ධයෙන් සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එසේම ඔහු පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

මේ අතර කොළඹ මහ නගර සභාවේ පරිසර කමිටු සභාපති ධුරයට පත්වූ ප්‍රදීප් ජයවර්ධනට අද (31) මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ, කොළඹ මහ නගර සභාවේ පළමු වැනි පරිසර කමිටු රැස්වීම අද (31) පැවැත්වූ අවස්ථාවේදියි.

එහිදී ඡන්ද විමසීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේදී වැඩි ඡන්දයෙන් තේරී පත්වූ ප්‍රදීප් ජයවර්ධනට එහි සිටි තවත් පිරිසක් මෙම මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නගර සභිකයෙකු වන ප්‍රදීප් ජයවර්ධන අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ මුණුපුරෙකු වනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *