උසස් පෙළ සමයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස දිනේෂ්ගෙන් උපදෙස්

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස දිනේෂ්ගෙන් උපදෙස්

*********************************************

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස දිනේෂ්ගෙන් උපදෙස්

(30.01.2022 – 16:19 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස අදාළ අංශවලට දැනුම් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

2021 වසරට අදාළව උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වන දා ආරම්භ වී මාර්තු 05 වන දා තෙක් පැවැත්වීමට නියමිතයි.

උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදහස් දක්වා සිටියේ හෝමාගම – ගොඩගම මාර්ග 8 ක් කාපට් අතුරා සංවර්ධනය කර විවෘත කිරීමේ අවස්ථාවට අද (30) එක්වෙමින්.

එමෙන්ම මෙම විභාග කොරෝනා වසංගතය සමග කල් ගිය බැවින්, කිසිදු විටෙක යළි එය වෙනස් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ, දරුවන් ඒ සඳහා වඩාත් හොඳින් සූදානම් විය යුතු බවයි.

මේ වනවිටත් විවිධ අවස්ථාවලදී විභාගය සම්බන්ධයෙන් සාකච්ඡා ද අදාළ අංශ සමග සිදු කෙරෙමින් පවතින බව ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

***************************************

පුලස්තිපුර එස්.ටී.එෆ්. මෙහෙයුම – දෙදෙනකු (2) අත්අඩංගුවට

(30.01.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) දින සිදු කළ වැටලීමක දී නීතිවිරෝධී ලෙස බලපත්‍ර රහිතව ළඟ තබාගෙන සිටි විදේශීය ගිනි අවියක් සහ ඊට යොදන ජීව පතොරම් සමග පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පුලස්තිපුර පොලිස් වසමේ තඹාල ධීවර ගම්මානය පිටුපස වෙහෙරගොඩ යාය – ආඩිමුල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දි යි.

මෙම ගිනි අවි බලපත්‍ර රහිතව ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනුණු අතර, එහිදී ‘බයිකල්’ (Baikal) වර්ගයේ බෝර 12 ‘ෂොට්ගන්’ ගිනි අවියක් සහ බෝර 12 ජීව උණ්ඩ ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 56 සහ 61 වියෙහි පසුවන්නන් වන අතර වැඩිදුර විමර්ශන සඳහා පුලස්තිපුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴

***************************************

සජිත්ගේ කාඩ්බෝඩ් වීරයා ගැන ශෙහාන්ගෙන් උපහාසාත්මක කතාවක්

(30.01.2022 – 16:15 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ දී තම පක්ෂය විපක්ෂය ලෙස කටයුතු කරන විට පැවසූ කරුණ සත්‍යයක් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මේ වනවිට පිළිගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විසින් එදවස විපක්ෂය විසින් කියූ කාඩ්බෝඩ් වීරයින් කතාව අද ඔහුගේ කණ්ඩායමට වලංගු බවට පිළිගෙන ඇති බවයි.

එය එසේ නොවන්නේ නම්, යහපාලන වකවානුවේ සජිත් ප්‍රේමදාස කියූ පරිදි කාඩ්බෝඩ් වීරයින් නොවී, තමන් වගේ කටයුතු කරන ලෙස ව්‍යංගයෙන් පැවසූවේ මන්ත්‍රී අනුර කුමාර දිසානායකට දැයි ද රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

***************************************

කරදර යැයි තිදරු පියා මිරිස් කුඩු ගසා මරා දමලා

(30.01.2022 – 18:47 +0530 – hirunews.lk/sinhala)

නිවසේ හුදෙකලාව දිවි ගෙවූ තිදරු පියකුට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන මරා දැම්මේ යැයි කියන කතුන් දෙදෙනකු (2) ඇතුළු හත් දෙනකු (7) සැකපිට අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය පවසනවා.

සැකකාරියන් සහ සැකකරුවන් අසල්වැසි නිවෙසට පදිංචියට ආ පිරිසක් බව ද පොලිසිය පවසනවා.

දුනගහ නැගෙනහිර පල්ලියපිටියේ පදිංචිව සිටි කේ. වින්සන් නැමැති 68 හැවිරිදි පෙදරේරුවෙක්වයි මෙලෙස ඝාතණය කර ඇත්තේ.

ඔහු සිය බිරිඳ මිය යාමෙන් පසුව හුදකලාව කල් ගත කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

අසල්වැසි නිවසක පදිංචියට ආ පිරිසකගෙන් තමන්ට කරදරයක් බව පැවසීමේ හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම පිරිස 29 අලුයම නිවසට කඩාවැදී මෙම පුද්ගලයාට මිරිස් කුඩු ගසා පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිස් සඳහන් කළා.

පුද්ගලයා මරා දැමීමෙන් පසු කුස්සියේ තිබූ මිරිස් කුඩුවලින් සිරුර වැසෙන්නට අතුරා දමා ඇති බව පොලිසිය පැවසුවා.

මෙම සිද්ධියෙන් පසු සැකකරුවන්ගේ නිවෙසට කිසියම් පිරිසක් ගිනි තබා ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළා ෴

***************************************

අක්‍රිය වූ විදුලි ජනන යන්ත්‍රය සක්‍රීය වෙයි ද?

(30.01.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

හෙට (31) දිනය දක්වා විදුලි කප්පාදුවක් නොකරන බවට මහජන උපයෝගීතා කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දුන්නා.

ඒ අනුව හෙට (31) උපයෝගීතා කොමිසම යළි රැස්වී විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අදාළ අනුමැතිය ලබා දීමට නියමිතයි.

එමෙන්ම නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ අක්‍රියව තිබූ විදුලි ජනන යන්ත්‍රය හෙට (31) සිට යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

මෙගාවොට් 900 ක ධාරිතාවයකින් යුත් මෙම බලාගාරයේ මෙගාවොට් 300 ක ජනන යන්ත්‍රයක් හදිසියේ බිඳ වැටීමට ලක්වුණේ පසුගිය දෙසැම්බර් 03 වන දායි.

***************************************

13 ඉල්ලන දෙමළ පක්ෂවලට එරෙහිව යාපනයේ විරෝධතා

(30.01.2022 – 19:36 +0530 – hirunews.lk/sinhala)

දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (30) යාපනයේ දී විරෝධතාවයක් පැවැත්වුණා.

දෙමළ ජනතාව නියෝජනය කරන තවත් පක්ෂයක් වන ‘දෙමළ ජාතික ජනතා පෙරමුණ’ විසිනුයි මෙය සංවිධාන කර තිබුණේ.

පා ගමනක ද නිරත වූ එම පිරිස අද (30) දහවල් යාපනය නගරයේ දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ජන හමුවක් ද සංවිධාන කර තිබුණා.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ කිහිපයක් විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙරට තුළ ක්‍රියාත්මක කරන ලෙස ලක් රජයට බල කරන ලෙස ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පසුගිය දා ලිපියක් ද භාරදී තිබෙනවා.

කෙසේ වෙතත් අද (30) පැවති විරෝධතාවයට එක්ව සිටි පිරිස සඳහන් කළේ, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් දෙමළ ජනතාවට කිසිදු විසඳුමක් නොලැබෙන බවයි.

එබැවින් 13 ට එහා ගිය බලයක් උතුරු නැගෙනහිර ජනතාවට අවශ්‍ය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

***************************************

පාසල් සිසුන්ට වසරක් කලින් සරසවි වරම්

(30.01.2022 – 11:57 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ සිසුවෙකු උසස් පෙළ හැදෑරීමට ප්‍රවිෂ්ඨ වන කාලය මෙන්ම උසස් පෙළ සිසුවෙකු විශ්වවිද්‍යාලයට ඇතුලුවීමට ගතවන කාලය අවම කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඊට අමතරව විභාග ප්‍රතිඵල කඩිනම් කිරීම, විභාග කාල රාමු සංශෝධනය මෙන්ම විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීමට ද අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ රත්නපුරයේ ඊයේ (29) පැවති උත්සවයකට එක්වෙමින් ෴

***************************************

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 12 ක්

(30.01.2022 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු අධි අවධානම් කලාප ලෙස දිස්ත්‍රික්ක 12 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශ 81 ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්කවල මෙලෙස ඩෙංගු අධි අවධානම් තත්ත්වයක් පවතින බවයි එම ඒකකය පෙන්වා දෙන්නේ.

ජනවාරි මාසයේ තුන් (3) වන සතියේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර, එම සංඛ්‍යාව 411 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 305 දෙනෙකු, කළුතරින් 120 දෙනෙකු, කුරුණෑගලින් 109 දෙනෙකු, පුත්තලමෙන් 96 දෙනෙකු, ගාල්ලෙන් 83 දෙනෙකු, මහනුවරින් 73 දෙනෙකු, රත්නපුරෙන් 62 නෙකු, හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, කල්මුණෙන් 42 නෙකුත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙකුත් හදුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.

මෙම වසරේ ගත වූ මාසයක කාලය තුළ ඩෙංගු රෝගීන් 7000 ක් හමුවී ඇති අතර මරණ දෙකක් ද වාර්තා වී තිබෙනවා ෴

***************************************

මන්නාවලින් වැඩ පෙන්නූ ‘මන්නා මලින්ද’ අත්අඩංගුවට

(30.01.2022 – 20:33 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් සිව් (4) දෙනෙකු තියුණු ආයුධයකින් පහර දීම ඇතුළු තවත් අපරාධ කිහිපයකට චෝදනා එල්ල වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ඉසුරු නිලන්ත’ හෙවත් ‘මන්නා මලින්ද’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නා ආයුධවලින් පුද්ගලයින්ට පහර දී තුවාල සිදුකිරීම, බිය වැද්දීම ඇතුළු තවත් අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති මොහු ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබුවේ හෝමාගම මුල්ලේගම ප්‍රදේශයේදීයි.

මොහු දීනමුල්ල කංකානම්ලාගේ ‘නලීන් චතුරංග’ හෙවත් ‘අතුරුගිරියේ ලඩියා’ගේ සමීපතයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ ක්‍රියාත්මක කරන අවස්ථාවේදී ප්‍රදේශය හැර ගොස් සැගව සිට ඇති අතර ඊයේ (29) රාත්‍රියේ මොහු නිවසට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

***************************************

ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කරනවා – සජිත් ප්‍රේමදාස

(30.01.2022 – 23:06 +0530 – hirunews.lk/sinhala)

වැඩවර්ජන, උද්ඝෝෂණ අත්හිටුවමින් ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කිරීමට පියවර ගනිමින් සිටින බවට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා. කැකිරාවේ පැවති ජන හමුවකදී විපක්ෂ නායකවරයා මේ අදහස් පළකළා.

***************************************

කටුගස්තොට දී මනුෂ්‍ය ඝාතනයක්

(31.01.2022 – 07:10 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට පොලිස් වසමේ මහංගොඩ ප්‍රදේශයෙන් මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

දෙදෙනෙකු (2) අතර ඇති වූ අරවුලක් අතරතුර, එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාගේ පාද දෙක ගස් කපන යාන්ත්‍රික කියතකින් කපා බරපතළ තුවාල සිදු කර තිබෙන අතර, තුවාලකරු පේරාදෙණිය රෝහලට ඇතුළත් කර, ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටිය දී මිය ගිය බව යි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 32 ක පොහොලියද්ද – ගලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 54 ක පුද්ගලයෙකු බවට යි කරුණු වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු කටුගස්තොට පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.

මේ අතර ගොකරැල්ල ප්‍රදේශයෙන් ද කාන්තාවක් ඝාතනය කළ සිදුවීමක් වාර්තා වනවා.

යකඩ ඉන්නකින් ඔළුවට ඇන මෙම ඝාතනය සිදු කර ඇති අතර, ඝාතනය සිදු කර ඇත්තේ, ගොකරැල්ල පොලිස් වසමේ රබර්වත්ත ප්‍රදේශයේ නිවසකදි යි.

මරණකාරිය වයස අවුරුදු 65 ක කාන්තාවක් වන අතර, ඇය දෙහෙල්ගමුව – ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ඝාතනයට සම්බන්ධ සැකකරු මානසික ආබාධයක් සහිත බවට තොරතුරු හෙළි වී ඇති අතර, ඔහු අත් අඩගුවට ගැනීම සඳහා ගොකරැල්ල පොලිසිය විසින් පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *