තාලේබානුන් බාමියන් බුද්ධ ප්‍රතිමාඝර පුපුරුවා හැරීමට සැරසේ

තාලේබානුන් බාමියන් බුද්ධ ප්‍රතිමාඝර පුපුරුවා හැරීමට සැරසේ

*********************************************

තාලේබානුන් බාමියන් බුද්ධ ප්‍රතිමාඝර පුපුරුවා හැරීමට සැරසේ

(30.01.2022 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ පිහිටා තිබූ ලොව විශාලතම ශෛලමය ප්‍රතිමාවල ප්‍රතිමාඝර ද තලේබාන් සංවිධානය විසින් පුපුරුවා හැරීමට සැළසුම් කර ඇති බව වාර්තා වනවා.

මෙහි පිහිටා තිබූ ක්‍රිස්තුපූර්ව පස්වන සහ හයවන සියවස්වල ඉදිකළ බුද්ධ ප්‍රතිමා 2001 වසරේදී තලේබාන් සංවිධානය විසින් විනාශ කරනු ලැබුවා.

එහෙත් ඒවායේ ප්‍රතිමාඝර තවදුරටත් ඉතිරිව ඇත්තේ ලෝක උරුමයකට ඔවුන් සිදුකළ අපරාධයේ සළකුණක් ලෙසින්.

බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ඇෆ්ගනිස්ථාන පුවත් වෙබ් අඩවියක් මගින් හෙළිදරව් කර ඇති පරිදි තලේබාන් හමුදා විසින් මීටර 53 ක් උසැති ප්‍රතිමාඝරවල පිටුපස මීටර 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් කැන තිබෙනවා.

එමෙන්ම පාකිස්ථාන ජාතිකයන් ද උපයෝගී කරගනිමින් බුද්ධ ප්‍රතිමාවේ පාදාන්තය පිහිටි ප්‍රදේශයේ ද මීටර කිහිපයක් කැනීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොයි මොහොතක හෝ ඔවුන් බාමියන් බුද්ධ ප්‍රතිමාවල මෙම ප්‍රතිමාඝර පුපුරුවා හරිනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

2001 වසරේදී තලේබාන් හමුදා ඓතිහාසික බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළේ එම සංවිධානයේ නායක ‘මුල්ලා මොහොමඩ් ඕමාර්’ගේ නියමයෙන්.

මීටර 38 ක් උසැති නැගෙනහිරට මුහුණලා පිහිටි ප්‍රතිමාව සහ මීටර 55 ක් උසැති බටහිර දෙසට මුහුණලා පිහිටි ප්‍රතිමාව ශෛලමය පවුර කෙළවර ඉදිකර තිබූ අතර, ඒ අවට ලෙන් දහස් ගණනක් පිහිටා තිබුණේ ඇෆ්ගනිස්ථානයේ එවකට පැවති බෞද්ධ පුනරුදය මූර්තිමත් කරමින්.

මෙම ප්‍රතිමා විනාශ කිරීමේ ක්‍රියාවලිය තලේබානුන්ට ද පහසු කරුණක් වී නොමැති අතර, ඒ සඳහා සති ගණනාවක් ගතවූ බව සඳහන්.

ගුවන් යානා නාශක අවි ඒ සඳහා මුලින් යොදාගෙන ඇති අතර, පසුව එය ප්‍රමාණවත් නොවූයෙන් බුද්ධ ප්‍රතිමාවල පාදාන්තයේ සහ ශීර්ෂ අන්තයේ සිදුරු විද ඩයිනමයිට් පුරවා ඒවා පුපුරුවා හැර තිබෙනවා.

තලේබානුන් බාමියන් ප්‍රතිමාඝර විනාශ කිරීමට සැළසුම් කරන බවට චෝදනා කරන ඇෆ්ගනිස්ථාන වෙබ් අඩවිය සඳහන් කළේ අදාළ තොරතුරු බාමියන් ප්‍රදේශයට අනුයුක්ත එරට සංස්කෘතික දෙපාර්තමේන්තු සේවකයෙකු විසින් ජර්මානු ප්‍රවෘත්ති සේවාවක් වෙත පවසා ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් දැන් ඇෆ්ගනිස්ථානයේ බලය හිමිකරගෙන සිටින තලේබානුන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ ෴

+++++++

How Taliban Destroyed Buddhas of Bamyan? (20.07.2019)

***************************************

පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට අත්වාරුවක්

(30.01.2022 – 14:16 +0530 – hirunews.lk/sinhala)

මෙරටට අවශ්‍ය සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබාදීමට පාකිස්ථානය එකඟ වී තිබෙනවා.

පසුගියදා එරට සංචාරයක නිරත වූ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ අදාළ ආනයනයන් ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාව මගින් සිදු කරන බවයි.

වෙළඳ අමාත්‍යාංශය ඒ සඳහා වූ එකඟතාව මුදල් අමාත්‍යාංශයට යොමු කරන අතර, හෙට (31) දිනයේ අමාත්‍ය මණ්ඩලය වෙත ද ඉදිරිපත් කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියා.

අදාළ ගිවිසුම අනුමත කොට අත්සන් තැබූ පසු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් ඒ සම්බන්ධයෙන් පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර ණය පහසුකම යටතේ එම ද්‍රව්‍ය ඇණවුම් කරනු ඇති.

අමාත්‍යවරයා සඳහන් කළේ සිමෙන්ති, බාස්මති සහල් සහ ඖෂධ වර්ග අදාළ ණය පහසුකම යටතේ මේ වසරේදී ආනයනය කිරීමට හැකිවනු ඇති බවයි.

මීට අමතරව ශ්‍රී ලංකා පාකිස්ථාන – නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පාකිස්ථානයට සිදු කරන මෙරට අපනයනයන් ඉහළ නැංවීමටද පියවර ගැනෙනවා.

ඒ යටතේ මෙතෙක් පාකිස්ථානයට අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 500 ක් වටිනා භාණ්ඩ පමණයි.

එය, ඩොලර් බිලියන දෙක (2) දක්වා ඉහළ නැංවීම පිළිබඳව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සමඟ සාකච්ඡා කළ බවද වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියා.

මේ අතර ආහාර අර්බුදයක් පිළිබඳව දැඩිව කථාබහට ලක්වද්දී සිය අස්වැන්න නිසි ආකාරයෙන් පාරිභෝගිකයා අතට පත් කිරීමට නොහැකිවීමේ ගැටලුවකට වේයන්ගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන් මුහුණපා තිබෙනවා.

ඔවුන් පවසන්නේ සිය අස්වැන්න අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා කරගැනීමට නිසි ආවරණයක් හෝ එහි නොමැති බවයි.

එසේම කාබනික ගොවිතැනට යොමුවීම නිසා ඌව – පරණගම ප්‍රදේශයේ අල ගොවීන් පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටයි.

ඒ, නිසි පරිදි අස්වැන්න නොලැබීම හේතුවෙන්.

එවන් පසුබිමක වනඅලින් විසින් සිය අස්වැන්නට හානි සිදුකිරීම හේතුවෙන් ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා ෴

+

ජනවාරි මාසයේදි සංචාරකයින්ගේ වැඩිවීමක්

(30.01.2022 – 14:26 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 75,000 ඉක්මවා තිබෙනවා.

පසුගිය 01 වනදා සිට 29 වනදා දක්වා සංචාරකයින් 76,536 දෙනෙකු මෙලෙස පැමිණ ඇති අතර, ඉන් 12,368 ක් පැමිණ ඇත්තේ රුසියාවෙන්.

ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය යන රටවලින් මීළඟට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි බවයි සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට අමතරව සංචාරකයන් සැළකිය යුතු පිරිසක් පැමිණ ඇති අනෙකුත් රටවල් වන්නේ පෝලන්තය, මාලදිවයින සහ කසක්ස්ථානයයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේදි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරකයින් 1,682 ක් පමණයි.

මෙම වසරේදී ලක්ෂ 11 කට වැඩි සංචාරකයින් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.

මේ අතර, සංචාරකයින් දිවයිනට පැමිණීමේ වර්ධනයක් තිබුණ ද, තවමත් අර්බුද රැසකට මුහුණපා ඇති ව්‍යාපාරිකයින් ගැන ද බොහෝ විට තොරතුරු වාර්තා වනවා.

සැලකිය යුතු තරම් සංචාරකයින් මෙරටට පැමිණෙන බවට මාධ්‍ය වාර්තා කළත් විදෙස් සංචාරකයින් පොළොන්නරුව පූජා නගරයට නොපැමිණීම හේතුවෙන් තම ව්‍යාපාර සිදුකරගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින බවට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් පවසනවා.

සංචාරක හෝටල් හිමියන්, අවන්හල් හිමියන්, ත්‍රි රෝද රථ හිමියන්, ජීප් රථ හිමියන් හා විදේශීය සංචාරක‍යින් සදහා විවිධ අත්කම් භාණ්ඩ අලෙවි කිරීම මඟින් දිවි සරිකරගත් බොහෝ පිරිසක් මෙලෙස පීඩාවට පත්ව තිබෙනවා ෴

***************************************

තබ්බෝව අභය භූමියට පරෙවියන් නිදහස් කිරීමට උත්සාහ කළ පිරිසකට වැඩ වරදියි

(30.01.2022 – 14:31 +0530 – hirunews.lk/sinhala)

තරගයක් සඳහා තබ්බෝව අභයභූමිය තුළ දී පරවියන් මුදාහැරිමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු (2) කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අද (30) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි මොවුන් සතුව සිටි පරවියන් 359 දෙනෙකු සහ ප්‍රවාහනයට යොදාගත් ලොරි රථයක් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වනසංරක්ෂණ සහ වෘක්ෂලතා ආඥා පනත අනුව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිසි අවසරයකින් තොරව ජාතික රක්ෂිතයකට හෝ අභය භූමියකට සතුන් හෝ ශාඛ වර්ග නිදහස් කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

වනජීවී භාරයට ගත් පරෙවියන් අද (30) දහවල් කරුවලගස්වැව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

***************************************

රතු දත්ත පොතේ සඳහන් විල්මුව පැටවෙකු ගාල්ලේ නිවසක

(30.01.2022 – 15:14 +0530 – hirunews.lk/sinhala)

වඳ වී යන සත්ව විශේෂයක් ලෙස රතු දත්ත පොතට ඇතුළත්, විල්මුව පැටවෙකු ගාල්ල – කරන්දෙණිය ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටිය දී නිවැසියන් කළ දැනුම්දීමක් අනුව වනජීවී නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

මෙරට සංරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති මෙම විල් මුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය, බටපොල, කොස්ගොඩ ආදී ප්‍රදේශවල කුරුඳු ඉඩම් ආශ්‍රිත ලදු කැලෑවල ජීවත් වනවා.

ඊයේ (28) රාත්‍රියේ මෙම පැටවා රංචුවෙන් වෙන්වී අතරමංව කරන්දෙණිය – ගලගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී නිවැසියන් එම මුව පැටවා ආරක්ෂිතව තම නිවසේ තබාගෙන ඒ පිළිබඳව හික්කඩුව වනජීවී කාර්යාලයට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අද (30) වනජීවී නිලධාරීන් පැමිණ අදාළ විල් මුව පැටවා අත්තිඩිය – බෙල්ලන්විල පිහිටි වනජීවී රැඳවුම් මධ්‍යස්ථානය වෙත භාරදීම සඳහා රැගෙන ගොස් ඇති බව සඳහන්.

***************************************

විසඳුම් නැති පොහොර අර්බුදය

(30.01.2022 – 15:43 +0530 – hirunews.lk/sinhala)

කාබනික පොහොර යෙදීමෙන් වගාවන් අසාර්ථක වූ වී ගොවීන් සහ එළවළු ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ සිය ජීවිකාව අහිමි වූ තමන්ට රජයෙන් වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කිරිමැටියපිටිය ගොවීන්ගේ වී වගාවන් විනාශ වෙමින් පවතින බවට එම ගොවීන් පෙන්වා දෙනවා.

මෙවර මහ කන්නය යටතේ කිරිමැටියපිටිය ගොවි ව්‍යාපාරයේ ගොවීන් අක්කර 150 කට වැඩි බිම් ප්‍රමාණයක වගා කළ වී වගාවන්ට මාස 02 කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා.

වගාවන් නිසි ලෙස වර්ධනය නොවීම මත අස්වනු ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවටයි ගොවීන් මැසිවිලි නඟන්නේ.

මේ අතර ඌව පරණගම ප්‍රදේශයේ අර්තාපල් වගාවන්ට වැළදී ඇති පණු රෝගයක් හේතුවෙන් අස්වනු නෙලා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවට එම ගොවීන් මැසිවිලි නගනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රජය ලබාදුන් කාබනික පොහොර යෙදීමෙන් පසු මෙම වගා හානිය සිදුව ඇති බවයි.

තම ජීවිකාව සරි කර ගැනීමට ඇති එකම මාර්ගය විනාශ වී ඇති බැවින් ඔවුන් සිය වගාවන් වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

***************************************

අව්වට වේළෙන – වැස්සට සේදෙන වේයන්ගොඩ ආර්ථිකය

(30.01.2022 – 15:45 +0530 – hirunews.lk/sinhala)

ආහාර අර්බුදයක් පිළිබඳ දැඩිව කතාබහට ලක්වන පසුබිමක නෙලූ අස්වැන්න හෝ නිසි ආකාරයෙන් පාරිභෝගිකයා අතට පත් කරන්නට නොහැකිවීමේ ගැටලුවකට වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන් පත්ව සිටිනවා.

එම ගොවීන් ඉල්ලා සිටින්නේ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන සිය එළවළු අව්වෙන් වැස්සෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිසි ආවරණයක් සකස් කර දෙන ලෙසයි.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාතමක වන ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානයක් වන වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පොහොය දින හැර සෙසු සෑම දිනකම පස්වරු 4 සිට පසුදා අලුයම 2 පමණ දක්වා ක්‍රියාත්මක වනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙම ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන විශාල ලොරි ප්‍රමාණයක් පැමිණෙන අතර ඒවා නවතා තැබීම සඳහා නිසි ස්ථානයක් නොමැති වීමේ ගැටලුව දිගින් දිගටම පවතින්නක්.

අදාළ ලොරි දැනට නවතා තබන ස්ථානයේ නිසි ආවරණයක් නොමැති වීම හේතුවෙන් අව්වටත් වැස්සටත් හසු වී එළවළු විනාශ වන බවටයි ගොවීන් මෙන්ම වෙළඳුන් චෝදනා කරන්නේ.

විශේෂයෙන් වැසි සමයේදී එම ආර්ථික මධ්‍යස්ථානයේ පවතින තත්ත්වයයි මේ.

එළවළු ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ටෙන්ට් රෙදි යොදා තාවකාලික ආවරණයක් සකස් කර ගැනීමට ගොවීන් සහ වෙළෙඳුන් එක්ව කටයුතු කළ ද මේ වන විට එයද විනාශ වෙමින් පැවතීම හේතුවෙන් දිගින් දිගටම එය සකස් කිරීම පහසු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් ආහාර අර්බුදයක් පිළිබඳවද ඉඟි පළවන මෙවන් කාලයක ගොවීන් විසින් ඉතා අපහසුවෙන් නෙලාගෙන රැගෙන එන එළවළු ආරක්ෂාකාරී ව පාරිභෝගිකයා අතට පත් කිරීම වෙනුවෙන් වැඩපිළිවෙලක් සකසන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම මෙහි පවතින තවත් ගැටලුවක් වන්නේ වෙළඳාම සඳහා එළවළු රැගෙන එන ලොරි රථ මෙන්ම එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන වාහන ගාල් කිරීම සඳහා නිසි ස්ථානයක් නොමැති වීමෙන් මාර්ගය දෙපස ඒවා නවතා තැබීමට සිදු වීමයි.

මේ හේතුවෙන් බොහෝ අවස්ථාවල සවස් කාලයේ දී ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද පවතින බවයි ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පෙන්වා දෙන්නේ.

ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේම රජයේ ඉඩමක් වන දිසා – ධාන්‍යාගාරයට අයත් භූමියක් භාවිතයට නොගෙන වල් බිහිවෙමින් පවතින බැවින් එම භූමියෙන් කොටසක් හෝ ලබා දී තම ගැටලුවට නිසි පිළියමක් යොදන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

***************************************

අලි වැනසූ අස්වැන්න – රජරට ජනයා අසීරුවට

(30.01.2022 – 15:48 +0530 – hirunews.lk/sinhala)

දශක ගණනාවක් පුරා මෙතෙක් නිසි විසඳුම් නොලද අලි මිනිස් ගැටුම හේතුවෙන් රජරට ජනතාව තවදුරටත් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

අවස්ථා ගණනාවකදී තමන් මුහුණ දෙන ජිවිත අවදානම පිළිබඳ බලධාරීන්ට පැමිණිලි කළ ද එය ඵල රහිත වී ඇති බවටයි එම ජනතාව මැසිවිලි නගන්නේ.

දීර්ඝ කාලයක සිට පැවත එන අලි මිනිස් ගැටුම, විසඳුමක් පේනමානයක දැකිය නොහැකි අර්බුදයක් බවට පත්ව අවසන්.

පසුගිය දශක කීහිපය තුළ මීට විසඳුමක් ලෙස කෝටි ගණන් මුදල් වැය කර විදුලිවැටවල් ඉදිකළ ද වර්තමානයේ අසන්නට ලැබෙන්නේ එම විදුලි වැටවල විදුලිය නොමැති නිසා එය බිඳ දමා අලි ගම් වැදුණු පුවත්.

එලෙස ගල්ගමුව තෝරාව ප්‍රදේශයේද වන අලීන්ගෙන් ආරක්ෂාවීමට ඉදිකර ඇති විදුලිවැටවල විදුලිය නොමැති නිසා වන අලීන් ගම්වැද වගා හානි සිදු කර ඇති බවට වාර්තා වනවා.

ඉගිනිපිටිය රක්ෂිතයේ සිට පැමිනෙන වන අලීන් මෙලෙස ගම් වදින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් විදුලි වැට සකස් කර දෙන ලෙසයි.

මේ අතර ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව පැරණිගම හා පලුගස්වැව, මෛත්‍රීගම, හල්මිල්ලවැව යන ගම්මානවලට මේ වන විට වන අලි තර්ජනය උග්‍රවී තිබීම හේතුවෙන් එම ගම්වාසින් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා.

වසර ගණනාවක සිට ප්‍රදේශවාසින්ගේ දෛනික ජිවිතය අඩාල කරමින් හුරුලුවැව හා හබරණ රක්ෂිත ප්‍රදේශවල සිට ගම්වදින වන අලින් ඉවක් බවක් නොමැතිව සැරිසරමින් පොල් කෙසෙල් අඹ හා වෙනත් ගොඩ බෝගයන් ද විනාශ කර දමන බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *