පහකට (5) මරු කැඳවූ ගැරඬි ඇල්ලේ ඛේදවාචකය – තරුණියක් තවමත් අතුරුදන්

පහකට (5) මරු කැඳවූ ගැරඬි ඇල්ලේ ඛේදවාචකය – තරුණියක් තවමත් අතුරුදන්

*********************************************

පහකට (5) මරු කැඳවූ ගැරඬි ඇල්ලේ ඛේදවාචකය – තරුණියක් තවමත් අතුරුදන්

(30.01.2022 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ මාරක අනතුරවලින් පුද්ගලයින් 09 දෙනෙකුට දිවි අහිමි ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ මරණයට හේතුව වන්නේ දියේ ගිලීම්, රියඅනතුරු සහ අපරික්ෂාකාරී අයුරින් කටයුතු කිරීම වන බවයි.

11 දෙනෙකුනේ සමන්විත කණ්ඩායමක් ගැරඩි ඇල්ලේ දිය නෑමට පැමිණ තිබුණේ ඊයේ (29) පස්වරු 04:00 ට පමණ ඒ ඇටම්පිටිය – නාවල පාරේ සිටයි.

නිවසක පැවති දානමය පුණ්‍ය කර්මයකට සහභාගී විමෙන් පසු මෙම පිරිස දියනෑමට පැමිණ තිබුණා.

ඒ අතර තරුණ තරුණියන් පිරිසක් හා වැඩිහිටියන් කිහිප දෙනෙකු ද සිට තිබෙනවා.

ඔවුන් දිය නාමින් සිටියදී ප්‍රථමයෙන් 23 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී ඇති අතර ඔහුව බේරා ගැනීම සඳහායි තරුණියන් පිරිස උත්සාහ කර ඇත්තේ.

එහිදි එම තරුණයා සහ තරුණියන් සිව්දෙනා (4) දියේ ගිලී අතුරුදන්ව තිබුණා.

අනතුරුව ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ව අතුරුදන් වූවන් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර තරුණයා සහ තරුණියන් තිදෙනෙකුගේ සිරුරු එහිදී සොයා ගැනීමට හැකිවුණා.

ජීවිතක්ෂයට පත්වූ තරුණියන් තිදෙනා අවුරුදු 23, 21 හා 19 යන වයස්වල පසුවන්නන්.

සිද්ධියෙන් තවමත් අතුරුදන්ව සිටින තරුණිය 22 වැනි වියේ පසුවන අතර ඇය ජීවිතක්ෂයට පත් වු 19 හැවිරිදි තරුණියගේ සොහොයුරියයි.

ඇය සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මියගිය සිව්දෙනාගේ (4) මෘතශරිර මේවන විට බදුල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර අරලගංවිල පොලිස් වසමේ දිවුල්දමන ප්‍රදේශයේ දී මාදුරුඔයට පුද්ගලයෙකු වැටී මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 36 ක් වන මනම්පිටිය – දලුකාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙම පුද්ගලයා දිවුල්දමන 503 ප්‍රදේශයේ දී ට්‍රැක් රථයකට වැලි පටවමින් සිට දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව අත සේදීමට මාදුරුඔයට ගොස් සිටියදීයි ඔහුව දියට වැටී ඇති බවට හෙළි ව ඇත්තේ.

එමෙන්ම තඹුත්තේගම පොලිස් වසමේ දී කුඩා දැරියකගේ ඇඟ මතට යකඩ ගේට්ටුවක් කඩා වැටීමෙන් එම දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (29) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දැරිය සිය මව සමග ගුරුවරියකගේ නිවසට ගොස් එම නිවසේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ ඇති අතර, මව විසින් නිවසේ ගේට්ටුව ඇරීමට උත්සාහ කිරීමේදී එම ගේට්ටුව දරුවාගෙ ඇඟ මතට කඩා වැටී මෙම අනතුර සිදු වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වයස අවුරුදු 06 ක් වන මුසල්පිටිය ප්‍රදේශයේ පදිංචි දැරියක්.

මේ අතර, ගත වූ පැය 24 තුළ දිවයිනේ සිදු වූ රිය අනතුරුවලින් ද පුද්ගලයින්ට දිවි අහිමි වුණා.

බුත්තල – වැල්ලවාය මාර්ගයේ හල්මිල් ආර ප්‍රදේශයේ දී අනාරක්ෂිතව යතුරුපැදියේ ඉදිරිපස රෝදය ඔසවමින් තනි රෝදයෙන්, මාර්ගයේ එහා මෙහා අධික වේගයෙන් ධාවනය කළැ යතුරුපැදියක ධාවකයාට එය පාලනයෙන් ගිලිහීම හේතුවෙන් මාර්ගයේ පෙරලී අනතුරක් සිදුවුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම තරුණයා බුත්තල රෝහලට ඇතුළැත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට ඇතුළත් කිරීමේ දී ජිවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

එමෙන්ම ඊයේ (29)අලුයම් කාලයේ දී කල්පිටිය – පාලවිය ප්‍රධාන මාර්ගයේ නාච්චික්ල්ලිය – සුදුපියගම ප්‍රදේශයේ දී පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ මෝටර් රථයක් රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දූරකථන රැහැන් කණුවක ගැටී තිබෙනවා.

අනතුරින් මෝටර් රථයේ රියදුරු සහ තවත් දෙදෙනකු (2) තුවාල ලබා කල්පිටිය සහ පුත්තලම රෝහල්වලට ඇතුළත් කිරීමේ දී ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගියේ 26 හැවිරිදි දකුණු කුරිඤ්ඤම්පිටියේ පදිංචිකරුවෙක්.

මේ අතර, උඩප්පුව – කොත්තන්තිව් ප්‍රදේශයේ පිහිටි ඉස්සන් වගා කරන ගොවිපළක ඇති දිය ඇළට එම ගොවිපලේ සේවය කළ පුද්ගලයෙකු වැටී, එම පුද්ගලයා සැක කටයුතු අයුරින් මියගොස් අති බවට මේ වන විට කරුණු හෙළි වී ඇති බව උඩප්පුව පොලිසීය පවසනවා.

30 හැවිරිදි බෙරගල ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

උඩප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ගැරඬි ඇල්ල බිලිගත් අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා ගැනේ

(30.01.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala)

ගැරඬි ඇල්ලේ දිය නෑමේ දී සැඩ දිය පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් ව සිටි තරුණියගේ සිරුර අද (30) පස්වරු 3 ට පමණ සොයාගෙන තිබෙනවා.

මෙලෙස අතුරුදන් වූ 22 හැවිරිදි තරුණිය සහ ජීවිතක්ෂයට පත් වූ 19 හැවිරිදි තරුණිය එකම පවුලේ සොහොයුරියන් බවට ද වාර්තා වනවා ෴

+++++++

***************************************

රුපියල් මිලියන 25 කට ආසන්න විදෙස් මුදල් ජාවාරමක සුළමුල හෙළි වේ

(30.01.2022 – 09:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරින් විසින් දිගු කල සිට සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙරට සිට විදෙස් රටවලට විදෙස් මුදල් ජාවාරමේ නිරත වූ පිරිසක් අත් අඩංගුවට ගැනීමට සමත් වුණා.

ඊයේ (29) පස්වරුවේ සිදු කෙරුණු මෙම වැටලීමෙන් අදාළ ජාවාරමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගැනුණේ, විදෙස් මුදල් තොගයක් ද සමගින්.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි රාජ්‍යය බලා යාමට තැත් කිරීමේදී යි, මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම විමර්ශනයේ දී අදාළ සැකකරුවන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ දී ඒවා තුළ ඉතා සූක්ෂ්ම ලෙසින් සඟවා තිබූ විදෙස් මුදල් තොගය සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකි වුණා.

රේගුව භාරයට ගන්නා ලද විදෙස් මුදල් තොගය අතර තිබී එක්සත් ජනපද ඩොලර් 95,000 ක්, යුරෝ 18,000ක් සහ සවුදි රියාල් 37,000ක් ද තිබූ බවයි තොරතුරු අනාවරණ වන්නේ.

ශ්‍රී ලංකා රුපියල්වලින් මෙම මුදල්වල වටිනාකම රුපියල් මිලියන 25 කට ආසන්න වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

+++++++

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග පස්දෙනෙකු (5) දැලේ – කතකුත් (1) ඒ අතර

(30.01.2022 – 15:05 +0530 – hirunews.lk/sinhala)

සාලියවැව පොලිසිය විසින් සිදු කරන සෝදිසි කිරීමක දී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටීම සහ ඒවා අලෙවි කිරීමට උත්සාහ කිරීමේ චෝදනා මත පුද්ගලයින් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගැනුණා.

ඒ ඊයේ (29) පස්වරුවේ කරුවලගස් වැව – සාලියවැව ප්‍රදේශයේ දී යි.

මෙම සැකකරුවන් අතර කාන්තාවක් (1) ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අතර හෙරොයින් සහ ගංජා තිබී සොයා ගැනුණු අතර, ඒවායේ වටිනාකම රුපියල් 1,20,000 කට අධික බවට ද අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴

+++++++

***************************************

ශ්‍රී ලංකාවට තවත් අති (අ)ගෞරවණීය ලෝක ශ්‍රේණිගත කිරීමක්

(30.01.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

ලොව දූෂිතම රාජ්‍ය අංශයේ දූෂණ ක්‍රියාකාරකම් අනුව ලෝක ශ්‍රේණිගත කිරීම් සිදු කරන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් දූෂණ දර්ශකයේ තවත් පියවර අටක් (8) පහළට යන්නට 2021 වර්ෂයේ දී ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ඒ අනුව මෙම දර්ශකයේ සැලකීමට ගත් රටවල් අතරෙන් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 102 වැනි ස්ථානයයි.

දූෂණ මට්ටම් අනුව ලබාදෙන ලකුණු ප්‍රමාණයන්වල දී ශ්‍රී ලංකාවට ලකුණු 37 ක් ලැබී ඇති අතර එය ගිය වසරේ දී ලබාගත් ලකුණු සංඛ්‍යාවට වඩා තවත් එක් (1) ලකුණකින් පහළ යෑමක්.

2020 වසරේ ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාව 94 වන ස්ථානයේ පසු වූ අතර එහිදී ශ්‍රී ලංකාවට පසුපසින් සිටි භූතානය, ඉන්දියාව, සහ මාලදිවයින යන සාර්ක් රටවල් තුන (3) අප පසුකර දූෂණ දර්ශකයේ වඩාත් ගෞරවනීය ස්ථාන අත්පත් කර ගැනීම විශේශත්වයක්.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සකසන මෙම දූෂණ සංජානන දර්ශකයට අනුව ලකුණු 100 ක් ගන්නා රාජ්‍යය හෝ රාජ්‍යයන් දූෂණයෙන් තොර රාජ්‍යයන් ලෙස සලකන අතර, අවම ලකුණු ලබාගන්නා රට හෝ රටවල් අන්ත දූෂිත රාජ්‍යයන් ලෙස නම් කෙරෙනවා.

මෙම සංජානන දර්ශකය සැකසීම සඳහා පෞද්ගලික අංශයේ සහ විද්වතුන්ගේ අදහස් සහ තොරතුරු මෙන්ම, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, පුද්ගලික අවදානම් උපදේශන සමාගම් ඇතුළු භාහිර මූලාශ්‍රයන් 13 කින් නිකුත්කරන දත්ත භාවිත කරනවා.

2020 වසරේ දී ලංකාව මෙම ල්කුණු ලබාදීමේ ක්‍රමවේදයේ දී ලකුණු තිස් අටක් (38) ලබාගත් අතර, ඊට අදාළව ශ්‍රී ලංකාව ස්ථානගත කර තිබුණේ ලැයිස්තුවේ 94 වැනි ස්ථානයේයි.

නමුත් 2021 වසර වන විට එම ස්ථානය 102 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.

මෙම ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගත් අඩුම ලකුණු අගය වන්නේ 2016 දී ලබාගත් ලකුණු 36 යි.

එමෙන්ම ශ්‍රී ලංකාව 2012 වසරේ දී ලබාගත් ලකුණු 40 මෙම දර්ශකයේ මෙතෙක් වාර්තා කර ඇති හොඳම ලකුණු සංඛ්‍යාවයි.

නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 88 බැගින් ලබාගත් ඩෙන්මාර්කය, පින්ලන්තය සහ නවසීලන්තය ලොව දූෂණය අඩුම රටවල් අතර ඉහළින් සිටින අතර ලකුණු 13 ක අවමය ලබාගත් දකුණු සුඩානය, සෝමාලියාව සහ සිරියාව මෙම ලයිස්තුවේ පතුලේ ස්ථානගත වී තිබෙනවා.

මෙම වාර්තාව සැකසූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන්නේ රාජ්‍ය අංශයේ දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන නොමැති බවයි.

එය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මෙම ලකුණු ලබාදීමේ ක්‍රියාවලියේ දී අල්ලස, රාජ්‍ය මුදල් අවභාවිතාව, දූෂණ ක්‍රියා වලට එරෙහිව ඵලදායි ලෙස නඩු නොපැවරීම, තොරතුරුවලට ප්‍රවේශය, දූෂණ වංචා හෙළි කරන්නන් මාධ්‍යවේදීන් සහ විමර්ශකයන් සඳහා වන ආරක්ෂාව, ප්‍රමාණවත් නෛතික රාමු ආදී පරාමිතීන් මත පදනම්ව මෙම දර්ශකය සම්පාදනය කර තිබෙනවා ෴

***************************************

මන්ත්‍රී නිවසේ මියගිය ඉෂාලිනීගේ සිද්ධිය ගැන සැකකරුවන්ට එළැඹෙන සතියේ අධිචෝදනා

(30.01.2022 – 10:38 +0530 – hirunews.lk/sinhala)

ඉෂාලිනී ජූඩ් දැරියගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඔහුගේ බිරිඳ ඇතුළු පස් දෙනාට (5) ලබන මාසයේදී අධිචෝදනා ගොනු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

කොළඹ දකුණ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ එළැඹෙන සතියේදී අදාළ සිද්ධියට සම්බන්ධ නඩුව විභාගයට ගැනෙන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටියදී ඉෂාලිනී ජූඩ් දැරිය පසුගිය වසරේ ජූලි මස 03 වැනිදා පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කෙරුණු අතර, ඇය එම මාසයේම 15 වැනිදා ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා සහ ඇයගේ සහෝදරයා මෙන්ම දැරිය මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන පැමිණි තැරැව්කරුවාද පසුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වනවිටත් වෙනත් හේතුවක් මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ටද අදාළ දැරියගේ මරණය සම්බන්ධයෙන් පසුව චෝදනා එල්ල වුණා.

අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කෙරුණු අතර, මන්ත්‍රීවරයාගේ නිවසේ ඇය සිටි කාමරයේ බිත්තිවල තිබී අත්අකුරු කිහිපයක්ද පොලිසිය විසින් සොයා ගත්තා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරුණු අතර, ඒ අනුව ඇයගේ සිරුර මීට මාස 06 කට පෙර එනම් පසුගිය වසරේ ජූලි මස 30 වැනිදා යළි ගොඩගෙන දෙවන (2) පශ්චාත් මරණ පරීක්ෂණය ද පවත්වනු ලැබුවා.

ඒ අනුව අදාළ මරණ පරීක්ෂණ වාර්තාව සහ අනෙකුත් සියලු පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කෙරුණු අතර, ඒ අනුවයි එළැඹෙන සතියේ කැඳවනු ලබන නඩු දිනයේදී චෝදනා ලැබූවන්ට අධිචෝදනා ගොනු කෙරෙන්නේ ෴

***************************************

විදුලිය මිල දී ගන්න පෞද්ගලික බලාගාරවලින් ඇස්තමේන්තු කැඳවීමක්

(30.01.2022 – 10:57 +0530 – hirunews.lk/sinhala)

විදුලි සැපයුම පිළිබඳ පවතින අර්බුදය තවදුරටත් උග්‍ර වුවහොත් ඊට පිළියමක් ලෙස විදුලිය මිලදී ගැනීම සඳහා පෞද්ගලික බලාගාරවලින් ඇස්තමේන්තු කැඳවා ඇති බව විෂයභාර අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

කෙසේ වෙතත් එම ඇස්තමේන්තුවලින් අඩුම මිලට මිල දී ගැනීම් සිදු කිරීමේ ප්‍රතිපත්තියක සිට කටයුතු කරන අතර, කිසිදු අයුරකින් එය හදිසි මිලදි ගැනීමක් ලෙස අර්ථ දැක්විය නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වූ මෙගාවොට් 300 ජනන යන්ත්‍රය මේ වනවිට යළි පණ ගන්වා ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් එම විදුලි ධාරිතාව මේ වනතුරුත් ජාතික පද්ධතියට එක් කර නැහැ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ විදුලි බිල ඉහළ නැංවීමට මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම් සභාවට යෝජනා කර ඇතැයි වෘත්තීය සමිති ඊයේ (29) චෝදනා කළා.

එම චෝදනා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ, සභාපති ජනක රත්නායක කියා සිටියේ එම ප්‍රකාශ අධ්‍යයනය කිරීමකින් තොරව තමන්ට ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.

එමෙන්ම වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් රැගත් නෞකාවක් පසුගියදා කොළඹ වරායට ළඟා වුණා.

ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (30) දිනයේදී යළි ඇරඹීමටයි සැලසුම් කර ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *