වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

*********************************************

වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

(26.01.2022 – 13:23 +0530 – hirunews.lk/sinhala)

හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෘත්තීය සමිති 16 ක සේවකයින් දියත් කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ගුරුවරුන්ට වැටුප් වැඩිකිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවයේ වැටුප් විෂමතාවක් ඇතිවීම ඇතුළු ඉල්ලීම් 7 ක් මුල්කර ගනිමින් මෙම වර්ජනය දියත් කර ඇති අතර මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු බස්නාහිර පළාතේ රෝහල් වෙත ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්වුණා.

වර්ජනයේ නිරත වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය කියා සිටියේ, තම ගැටලු‍වලට විසඳුම් නොලැබුණ හොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට වුව ද යොමුවන බවයි.

මේ අතර, වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මේ වන විට කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් ද හට ගෙන තිබෙනවා.

මේ අතර දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ සේවකයින් අද (26) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඒ, විශේෂ භාණ්ඩ හා සේවා බද්ද පරිපාලනය කිරීමේ කටයුතු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින්.

මේ හේතුවෙන් බදු රැස් කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

***************************************

ජ.වි.පෙ. නායකයා ජනපති කොමිසමට යයි

(26.01.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය සිදු කළ විමර්ශන සොයන විශේෂ ජනපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද (26) පෙනී සිටියා.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඊට අදාළ ව කරුණු දැක්වීම සඳහා යි ඔහුව එම කොමිසම සභාව හමුවට කැදවා ඇත්තේ.

පෙරවරු 10:30 ට පමණ පර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම ස්ථානයට පැමිණි අතර ඔහු තවදුරටත් එහි රැඳී සිටිනවා ෴

***************************************

රවී කරුණානායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය අප්‍රේල් 27 වැනි දා

(26.01.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)

2016 මාර්තු මස 31 වැනි දා පැවති මහබැංකු බැදුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15 කට අදාළ බැදුම්කර වංචාව කළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය අප්‍රේල් 27 වන දා ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (26) නියෝග කළා.

එම නඩුව කැදවනු ලැබුවේ අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැදිගේ විනිසුරු මඩුල්ල හමුවේයි.

එහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබු අධිචෝදනා 22 අතරින් 11 කින් විත්තිකරුවන් නිදහස් කිරීමට පසුගිය දෙසැම්බර් 06 වැනි දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ප්‍රතිශෝධණ අයදුම්ගොනු කර ඇති බවයි.

එම ප්‍රතිශෝධන අයදුම්පත ඉදිරියේ දී අභියාචනාධිකරණය හමුවේ කැදවීමට නියමිතව ඇති බව ද ඔහු අධිකරණයට පෙන්වා දුන්නා.

ඒ අනුව, මෙම නඩු විභාගය සදහා අද (26) දිනයේ දින නියම නො කරන ලෙසත් වෙනත් දිනයක නඩුව කැදවා දින නියම කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවන ඉල්ලා සිටියා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය මේ වන විට විත්තිකරුවන්ට එරෙහිව ඉතිරිව ඇති අධිචෝදනා 11 යටතේ නඩු විභාගය ආරම්භ කිරීමට යි නියෝග කළේ ෴

***************************************

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

(26.01.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍ය වෙත පළා ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබදතා පවත්වන පුද්ගලයෙකු දික්වැල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 122 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (25) අත්අඩංගුවට ගත් මොහු දික්වැල්ල ප්‍රදේශයේම භාවිතයට නොගෙනෙන හෝටලයක රැකියාවක නිරත 25 හැවිරිදි තරුණයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ෴

***************************************

ත්‍රිකුණාමලය වෙරළ පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක්

(26.01.2022 – 14:23 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය වෙරළ පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ පැවැත්වුණා.

මෙහිදි අතිශය කැළි කසළ වලින් පිරි තිබූ ත්‍රිකුණාමලය බැක්බේ මුහුදු තිරය ආණ්ඩුකාරවරියගේ නිරීක්ෂණයට ලක් වූවා.

වෙරළ පිරිසිදු කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුධ හමුදාව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා තරුණ සේවා සභාව සහ ආණ්ඩුකාර ලේකම් කාර්යාලය නියෝජනය කරමින් බොහෝ පිරිසක් එක්ව සිටියා.

***************************************

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය වර්ජනයක

(26.01.2022 – 14:49 +0530 – hirunews.lk/sinhala)

ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් ඉහළ දැමීමට සාපේක්ෂ ව අධ්‍යාපන පරිපාලන හා ගුරු අධ්‍යාපනඥ සේවාවල ද වැටුප් වැඩි කරන ලෙස බල කරමින් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා සංගමය මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා.

අසනීප නිවාඩු වාර්තා කරමින් අද (26) ඔවුන් සේවයෙන් ඉවත්ව ඇති අතර, පස්වරුවේ වෘත්තීය සමිති සාමාජිකයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත බවයි එම සංගමයේ ලේකම් නීල් අතුකෝරළ ප්‍රකාශ කළේ.

ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් එම සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා ෴

***************************************

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(26.01.2022 – 14:58 +0530 – hirunews.lk/sinhala)

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කර ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ දේශීය ආදායම කොමසාරිස්වරුන්ගේ සම්මේලනයේ සභාපති එම්.පී. සරත් අබේරත්න ඇතුළු එම සංගමයේ ලේකම්වරු සිව් දෙනකු (4) විසින්. අදාළ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලතල හා පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලතල කප්පාදු වීමක් සිදු කරන බවයි ෴

***************************************

ගොවි වන්දිය ප්‍රමාණවත් නෑ – නාමල්

(26.01.2022 – 15:21 +0530 – hirunews.lk/sinhala)

කාබනික වගාවට යොමු වී වගා හානි වූ ගොවීන් වෙනුවෙන් රජය ගෙවීමට නියමිත වන්දිය කිසිසේත් ප්‍රමාණවත් නො වන බව ගොවි සංවිධාන පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, වී ගොවීන්ට අවම වශයෙන් අක්කරයක් සඳහා රුපියල් ලක්ෂයක (1,00,000) වන්දියක් අවශ්‍ය බවයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න විසින් මෙම අදහස් පළ කළා.

***************************************

ගතේ අඩුපාඩුකම් මගහරවා ගත් දිරිය මිනිසෙකුගේ කතාව

(26.01.2022 – 15:34 +0530 – hirunews.lk/sinhala)

හිත ඇත්නම් පත කුඩාද, මේ අප සමාජයේ වර්තමාන කාලයටත් ඉහළ වටිනාකමක් සපයන අතීත කියමනක්.

හිතේ ධෛර්යයෙන්, ගතේ අඩුපාඩුකම් මගහරවා ගත් එවන් දිරිය මිනිසෙකු පිළිබඳවයි මේ තොරතුරු.

මේ, මඩොල්සිම කඳු පන්තියට මායිම්ව පිහිටි ගල්වෙලගම ගම්මානයේ පදිංචි ආර්.එම්. සෝමදාස.

උපතින්ම පාදයක් අහිමි වුවත්, එම ආබාධිත තත්ත්වය ගැටලුවක් කරගනොගන්නා සෝමදාස තම ජීවිකාව තමන්ම සරි කරගන්නේ කිසිවෙකුටත් බරක් නොවෙමින්.

සිය ආබාධය හේතුවෙන් ඔහුට කුඩා කාලයේදී පාසල් අධ්‍යාපනය ලැබීමටද වරම් ලැබී නැහැ.

ගල්වෙලගම ග්‍රාමයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන කිතුල් කර්මාන්තය සෝමදාසගේද ජීවන වෘත්තියක් බවට පත් වන්නේ ඒ අනුවයි.

සාමන්‍ය පුද්ගලයෙකු මෙන් ඔහු එම කටයුතුවල නිරත වන ආකාරය ගම්වැසියන්ට සුපුරුදු දසුනක්.

දෛනිකව කිතුල් ගස් නැග තෙලිජ්ජ ගෙනැවිත් කිතුල් පැණි හා හකුරු නිෂ්පාදනය කරන සෝමදාස ඒවා අලෙවියෙන් සිය දිවි පෙවත සරිකර ගන්නවා.

***************************************

කුඹුරු අක්කරයකට ලක්ෂ දෙකහමාරක වන්දියක්

(26.01.2022 – 15:43 +0530 – hirunews.lk/sinhala)

කුඹුරු අක්කරයකට ලක්ෂ දෙකහමාරක (2,50,000) වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් රජයට කියා සිටිනවා. ඒ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

උපරිම සිල්ලර මිල නියම කළ ගැසට්ටුව, අහෝසි කරන්නැ යි ඉල්ලීමක්

(26.01.2022 – 13:20 +0530 – hirunews.lk/sinhala)

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා බෝතල් කරන ලද පානීය ජල ඇසුරුම්කරුවන්ගේ සංගමය පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංගමයේ සභාපති උපුල් සෙනරත් සඳහන් කළේ නැව් ගාස්තු, ප්ලාස්ටික් ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම මීට ප්‍රධාන හේතුව බවයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

පානීය ජල බෝතල් නිෂ්පාදකයින් එකසිය හැට දෙදෙනෙකු (162) මේ වනවිට ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති අතර, ඔවුන් මිලිලීටර 500 ජල බෝතලයක් වෙළෙඳසල් වෙත අලෙවි කරනු ලබන්නේ, රුපියල් විසි දෙකත් විසි පහත් (22-25) අතර තොග මිලකට යි.

කෙසේ වෙතත් මිලිලීටර 500 පානීය ජල බෝතලයක් පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ දී පාරිභෝගික අධිකාරිය රුපියල් 35 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

ලීටරයේ ජල බෝතලයක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 50 ක්.

ලීටර එකයි දශම පහේ (1.5) ජල බෝතලයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 75 ක් වන අතර, ලීටර පහේ (5) ජල බෝතලයක් සඳහා රුපියල් 150 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *