කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් අයි.ඩී.එච්. උපරිම ධාරිතාවට

කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් අයි.ඩී.එච්. උපරිම ධාරිතාවට

*********************************************

කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් අයි.ඩී.එච්. උපරිම ධාරිතාවට

(26.01.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ජාතික බෝවන රෝග විද්‍යායතන හෙවත් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි රෝහල් ධාරිතාවය උපරිම මට්ටමට ලඟා වී තිබෙනවා.

මෙම තත්ත්වය හටගෙන තිබෙන්නේ, මෙරටින් ප්‍රථම වරට කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාව හමු වී ඊයේ (25) දිනට වසර 02 ක් සම්පූර්ණ වු පසුබිමකයි.

තවත් කොරෝනා ආසාදිතයන් 891 ක් ඊයේ (25) මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 63,654 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 15,330 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (25) මෙරටින් තවත් කොරෝනා මරණ 17 ක් වාර්තා වීමත් සමග යි.

මෙලෙස මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යමින් ඇති පසුබිමක ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝහල් ධාරිතාවය උපරිම මට්ටමට ළගා වෙමින් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කළා.

මේ අතර මඟී ප්‍රවාහන බස් රථ වල ආසන ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යන බස් රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද (26) සිට ක්‍රියාත්මකයි.

පොලීසිය සඳහන් කළේ, බස් රථ තුල රියදුරු, සහයක මෙන්ම මගීන්ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමන කිරීම පිළිබඳව අද (26) සිට දැඩි අධීක්ෂණයට ලක් කෙරෙන බවයි.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ වෘත්තීය සමිති 16 කට අයත් සෞඛ්‍ය සේවකයන් අද (26) පෙරවරු 7 සිට බස්නාහිර පළාත තුල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ, වැටුප් ගැටලු සහ උසස්වීම් ගැටලුවලට විසඳුම් ලබා දීම ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් ෴

+++++++++++++

බස්නාහිර පළාත තුල සෞඛ්‍ය ආරක්ෂිත උපසෙස් පිළිපැදීම ගැන පරික්ෂා කිරීමේ මෙහෙයුම්

(26.01.2022 – 09:47 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුල සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීම ගැන පරික්ෂා කිරීමේ මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මක වනවා.

මේ වන විට ජනතාව සාමාන්‍ය ජන ජීවිතයට එළඹ යලි තමන්ගේ සුපුරුරු ජිවන රටාවට අනුගත වෙමින් පවතින මොහොතක ජතාවට සෞඛ්‍ය පුරුදු කෙමින් කෙමින් අමතක වී යන බව අපට පෙනෙනවා.

එහි ප්‍රතිපල ලෙස මේ දිනවල නැවත කොවිඩ් අසාදිතයින් පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්නුම් කරනවා.

එමෙන්ම කොරෝනා ආසාදිතයින්ගෙන් නැවත ප්‍රධාන රෝහල් සහ ප්‍රාදේශීය රෝහල් පීරී යමින් පවතිනවා.

එම හේතුවෙන් නැවතත් සුපුරුදු පරිදි පොලිසිය ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් සිහි කරවීමට මහ මඟට පැමිණ තිබෙනවා ෴

+++++++++++

කොරෝනා ආසාදිතයින් 241 දෙනෙකු සුවය ලබයි

(26.01.2022 – 14:59 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 241 දෙනෙකු අද (26) සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,76,781 ක්. තවදුරටත් ආසාදිතයින් 11,543 දෙනෙකු රෝහල් තුල සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++

තවත් කොරෝනා මරණ 16 ක්

(26.01.2022 – 18:28 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 16 ක් වාර්තාවී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කරන ලද මෙම මරණ අතර කාන්තාවන් 8 ක් සහ පිරිමින් 8 ක් වනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,346 ක් ලෙසටයි. වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ. අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමින් දෙදෙනෙකු (2) සහ කාන්තාවන් දෙදෙනෙකු (2) මියගිය පිරිසට අයත්. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 12 ක් වාර්තාවන අතර ඒ කාන්තාවන් 6 ක් සහ පිරිමි 6 ක් වශයෙන් ෴

++++++++++

අද (26) කොරෝනා ආසාදිතයන් 927 ක්

(26.01.2022 – 20:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් අද (26) කොරෝනා ආසාදිතයන් 927 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,04,581 ක් ලෙසටයි.

මෙම ආසාදිතයන් අතර විදේශගතව සිට පැමිණ සිටියදී හඳුනාගත් 05 දෙනෙකු ද වනවා.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 12,454 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,76,781 ක්.

මෙරටින් කොරෝනා මරණ 15,346 ක් ද වාර්තාවී තිබෙනවා. ඒ අද (26) වාර්තා කළ මරණ 16 ත් සමගින්.

මේ අතර කොරෝනා රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකක වල ඇති ඇඳන් 70 වෙන් 63 කම කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එසේම, කොච්චිකඩේ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිවු පුද්ගලයින් එකසිය පනස් දෙනෙකු (150) ගෙන් තිස් දෙනෙකු (30) ට කොරෝනා අසාදනය වී ඇති බව හඳුනා ගැනුනා.

ගෙවුනු දිනයේ ලොව පුරා ලක්ෂ 33 ඉක්මවු කොරෝනා අසාදිතයින් වාර්තා වී ඇති අතර පිට පිට 07 වන දිනටත් අඛණ්ඩව ඊයේ (25) මෙරටින් කොරෝනා අසාදිතයින් 800 සීමාව ඉක්මවා ගියා.

එසේම, කොච්චිකඩේ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිවු පුද්ගලයින් 150 කගේ 30 නෙකුට කොරෝනා අසාදනය වි ඇති බව ඇති බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තහවුරු කළා.

ඊට අමතරව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පුද්ගලයින් 153 දෙනෙකුට කළ කොරෝනා පරීක්ෂණ වලදි 65 දෙනෙකු අසාදිතයින් බව හදුනාගෙන තිබෙනවා.

මීට අමතරව තවත් පුද්ගලයින් 43 දෙනෙකු කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දී ඇත්තේ පෞද්ගලිකව සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී තමන් අසාදිතයින් බව හදුනා ගැනුන බවයි.

එසේම, පෞද්ගලිකව රෝහල් මගීන් සිදුකරණ කොරෝනා පරික්ෂණ වලින් අනතුරුව අසාදිතයින් වාර්තාවුව හොත් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කිරීමක් මේ වන විට සිදුනොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද චෝදනා කරනවා ෴

+++++++++++

වෙන්කර ඇති දැඩි සත්කාර ඇඳන් 70 න් 63 කම කොරෝනා ආසාදිතයින්

(26.01.2022 – 21:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර ඒකක වල ඇති ඇඳන් 70 වෙන් 63 කම කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ගෙවුනු දිනයේ ලොව පුරා ලක්ෂ 33 ඉක්මවු කොරෝනා අසාදිතයින් වාර්තා වී ඇති අතර පිට පිට 07 වන දිනටත් අඛණ්ඩව ඊයේ (25) මෙරටින් කොරෝනා අසාදිතයින් 800 සීමාව ඉක්මවා ගියා.

එසේම, කොච්චිකඩේ ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගිවු පුද්ගලයින් 150 කගේ 30 නෙකුට කොරෝනා අසාදනය වි ඇති බව ඇති බව කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තහවුරු කළා.

ඊට අමතරව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පුද්ගලයින් 153 දෙනෙකුට කළ කොරෝනා පරීක්ෂණ වලදි 65 දෙනෙකු අසාදිතයින් බව හදුනාගෙන තිබෙනවා.

මීට අමතරව තවත් පුද්ගලයින් 43 දෙනෙකු කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දී ඇත්තේ පෞද්ගලිකව සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී තමන් අසාදිතයින් බව හදුනා ගැනුන බවයි.

එසේම, පෞද්ගලිකව රෝහල් මගීන් සිදුකරණ කොරෝනා පරික්ෂණ වලින් අනතුරුව අසාදිතයින් වාර්තාවුව හොත් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දැනුවත් කිරීමක් මේ වන විට සිදුනොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද චෝදනා කරනවා.

මේ අතර මෙරටින් ප්‍රථමවරට කොවිඩ් ආසාදිත චීන ජාතික කාන්තාව හමුවී ඊයේ (25) දිනට වසර දෙකක් (2) සම්පූර්ණ වනවා ෴

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඉල්ලා අස් වෙයි

(26.01.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරයේ සිටි නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊයේ (25) දිනයේ දී ඊට අදාළ අස්වීමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බවට යි වාර්තා වන්නේ.

පසුගිය දිනවල ඔහුට එරෙහි ව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සේවකයින් විරෝධතාවල ද නිරත වුණා.

ඉල්ලා අස්වූ කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිගෙන් ප්‍රකාශයක් :

ඉහල නිලධාරියාගේ සිට පහල නිලධාරියා දක්වා දූෂණ වංචා සිදු කරන බැවින් තමන් ධූරයෙන් ඉවත් වු බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා ප්‍රකාශ කළා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (25) දිනයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත භාර දී තිබෙනවා.

කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවීන්ට සහ ධීවරයින්ට විශ්‍රාම වැටුප් ගෙවීම සහ වන්දි ලබාදීම සිදු කෙරෙනවා.

පසුගිය කාලය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරීන් සිය ධුරවලින් ඉල්ලා අස්වුණා.

ඊට අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු (3) ද ඇතුළත් ෴

***************************************

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

(26.01.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

තීරු බදු නො ගෙවා මෙරටට රැගෙන එන ලද රුපියල් දාහතර ලක්ෂයකයට (14,00,000) වැඩි දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පත් වී තිබෙනවා.

විශේෂ කාර්ය බලකා මුලස්ථාන විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට නාවික හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව යි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහි ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) වැනි දින වත්තල පොලිස් වසමේ හැදල, වත්තල ප්‍රදේශයේ දී සිදු කළ මෙම වැටලීමෙන්, වෙළඳසලක් තුළ තීරුබදු නො ගෙවා රහසිගත ව මෙරටට රැගෙන එන ලද මෙම දුම්වැටි තොගය සොයා ගත් බව වාර්තා වනවා.

සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු වත්තල පොලිසිය මඟින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

එක්දින රෝහල් වැඩ වර්ජනයක්

(26.01.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අද (26) එක්දින වැඩවර්ජනයක නිරත වන බව වාර්තා වනවා.

හෙද සේවාවේ, පරිපූරක සේවාවේ සහ අතුරු වෛද්‍ය සේවාවේ ඒකාබද්ධ වෘත්තීය සමිති 16 ක් අද (26) දින බස්නාහිර පළාත තුළ පමණක් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.

මෙම වැඩවර්ජනය අද (26) උදේ හතේ (07:00) සිට හෙට (27) උදේ 07:00 දක්වා පැය 24 ක කාලයකට ක්‍රියාත්මක වීමට නියමිත යි.

මහජන සෞඛ්‍ය සේවාව ද අද (26) වැඩ වර්ජනය නිරත වනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවුල් සෞඛ්‍ය නිලධාරීන් MOH කාර්යාල වැඩවර්ජනය නිරත වනවා.

මෙම වර්ජනය තුළ අත්‍යාවශ්‍ය සහ හදිසි සේවාවන් ක්‍රියාත්මක බව යි වෘත්තීය සමිති පවසන්නේ.

හෙද සේවාවේ විෂමතාව උසස් වීම් දහතුන් දහසකට (13,000) නො ලැබීම මෙම වර්ජනයට සෘජුව ම බලපා ඇති බව වෘත්තීය සමිති ප්‍රකාශ කළා ෴

***************************************

වාහන ආනයනය පිළිබඳ අතිවිශේෂ දැනුවත් කිරීමක්

(26.01.2022 – 11:02 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රට තුළ ඇති ලියාපදිංචි කළ හෝ නො කළ වාහන මිල දී ගෙන සිදු කරන වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරය මාෆියාවක් බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

මෙම ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකු තවත් මාස තුන-හතරකින් (3-4) වාහන ආනයනයට රජය ඉඩ දෙන බව පවසමින්, ගැනුම්කරුවන් හදිසි කරවමින්, වාහන මිල දී ගන්නා බව බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බොහෝ විට මෙම ව්‍යාපාරිකයින් හෝ එම ව්‍යාපාරිකයින්ගේ තැරැව්කරුවන් හරහා සිදු කෙරෙන මෙම පෙළඹවීම් හරහා නොමඟ යන වාහන හිමිකරුවන් තමන්ගේ වාහන වහ වහා අලවියට පියවර ගන්නේ යම් හෙයකින් තවත් මාස ගණනාවකින් වාහන ආනයනයට ඉඩ ලබා දුන හොත් මේ වන විට ඔවුන්ගේ පාවිච්චි කළ වාහනවලට ඇති ඉල්ලුම පහළ යන නිසාවෙන්.

මේ හේතුවෙන් රට තුළ දෛනික ගමනාගමනය සඳහා භාවිත කරන වාහන වල ගුණාත්මක තත්ත්වය බරපතළ ලෙස පහළ යා හැකි බවත් තත්වයෙන් උසස් නොවූ පැරණි වාහන භාවිතය හේතුවෙන් මෙරට ඉන්ධන වියදම සහ භාවිතය ද ඉහළ යන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම රජයට සහ මුදල් අමාත්‍යාංශයට නැවත වරක් ඉල්ලීමක් කරමින් ඔවුන් පවසා සිටින්නේ, වාහන ආනයනය හරහා රජයට අති විශාල ආදායමක් ද උපයා ගත හැකි බවයි.

ඇතැම් සුඛෝපභෝගී කාණ්ඩයේ වාහන සඳහා අය කරන බදු මුදල් සම්බන්ධයෙන් සලකා බැලූ විට රජයට ඒ හරහා උපයා ගත හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් ඔවුන් පුරෝකථනයක් ද සිදු කරනවා.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ, ඇතැම් සුඛෝපභෝගී වාහන සඳහා අය කරන බදු මුදල් ප්‍රමාණයක් පමණක් ඇතැම් අවස්ථාවල දී එම වාහනයේ වටිනාකම මෙන්ම තුන්-හතර (3-4) ගුණයක් හෝ ඊටත් වඩා වැඩි වන බවයි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ, මේ වන විට ජපානයේ ඇමරිකානු ඩොලර් 60,000 කට පමණ මිල දී ගත හැකි Toyota land cruiser prado – 2021 මාදිලියේ වාහනයක් සියලු බදු ආදිය ගෙවා මෙරට වරායකින් පිට කර ගන්නා විට එම වාහනය වටිනාකම රුපියල් කෝටි නවයකටත් (9,00,00,000) අධික වන බවයි.

මීට අමතර ව එම වාහන ලියාපදිංචියේ දී අය කරන මුදල, වාර්ෂික බලපත්‍ර ගාස්තු, එමෙන්ම සුඛෝපභෝගී වාහන ගාස්තු, ආදී බදු මුදල් හරහා ද රජයේට අතිවිශාල ආදායමක් ලැබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එබැවින් මේ වනවිට අත්හිටුවා ඇති වාහන ආනයනය නැවත සක්‍රිය කර ඒ හරහා ආදායම් උපයා ගන්නා වූ ව්‍යාපාරිකයින්ට සහ එම ව්‍යාපාරික ආයතනවල සේවකයින්ගේ ජීවන තත්ත්වය නැවතත් ඉහළ දමා ගැනීමට උපකාර කරන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.

මේ වන විට රජය මගින් වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා හේතුවෙන් දේශීය වෙළෙඳපොළේ ඇති ලියාපදිංචි නොකළ වාහන සීමිත සංඛ්‍යාවක් සහ ලියාපදිංචි කළ වාහනවල මිල අන් කවර දා වත් නො තිබූ තරමට ඉහළ ගොස් ඇති බවත් ඇතැම් කුඩා වාහනවල මිල කිසිසේත් එම වාහනවල වටිනාකමට නොගැලපෙන ආකාරයටට කෘත්‍රීම ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරන එක් කරුණක් වන්නේ, මෙලෙස වාහනයේ වටිනාකමට නො ගැලපෙන මිලක් ගෙවා ලබාගන්නා වාහන නැවත වාහන වෙළඳපොළ යථාවත් වූ කාලයක අලෙවි කිරීමට යෑමේ දී එම වාහන මිල දී ගත් පුද්ගලයන් දැඩි අපහසුතාවකට පත්වන බවයි.

එබැවින් මේ කරුණු සියල්ල සලකා බලා අවම තරමින් යම් යම් සීමා යටතේ හෝ වාහන ආනයනයට අවසර ලබාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

ඒ අනුව මගී ප්‍රවාහනය සඳහා අවශ්‍ය කරන වාහන සහ අවම තරමින් කුඩා වාහන හෝ ආනයනයට අවසර ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙස ඔවුන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය අයවැයේ දී මෙන්ම ජනාධිපතිවරයා ද වරින් වර අවධාරණය කළ පරිදි විදුලි බලයෙන් ධාවනය වන වාහන ආනයනය කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ හරහා මේ වන විට රටට බරපතළ ගැටලුවක් නිර්මාණය කර ඇති ඛනිජ තෙල් හිගයට ද සාර්ථක පිළිතුරක් ලබාගත හැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ ෴

***************************************

දයා මාස්ටර්ට නිදහස

(26.01.2022 – 12:28 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ‘දයා මාස්ටර්’ හෙවත් ‘වේලායුදම් දයානිධි’ට වසර දෙකක (2) සිර දඬුවමක් වසර පහකට (5) අත්හිට වූ වව්නියාව මහාධිකරණය, ඔහුව නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, එල්.ටී.ටී.ඊ. සංවිධානය නගා සිටුවීමට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත නීතිපතිවරයා ඔහුට එරෙහිව ගොනු කර තිබූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන් ඊයේ (25) ප්‍රකාශයට පත් කරමින්.

දයා මාස්ටර් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් පෙනී සිටි අතර, ඔහු කියා සිටියේ තම සේවාදායකයා වරද පිළිගන්නා බවයි.

එමෙන්ම ඔහු මාසික වැටුපකට එල්.ටී.ටී.ඊ. සංවිධානයට සේවය කර ඇති බව ද ඔහු සදහන් කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් 2018 වසරේ දී දයා මාස්ටර්ට එරෙහි ව මෙම නඩුව පවරනු ලැබූ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ දයා මාස්ටර් යුද්ධයේ අවසන් දින කිහිපය තුළ යුද හමුදාවට භාර වුණා ෴

***************************************

අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ඡන්ම දිනයට ජනපතිගෙන් සුබපැතුම්

(26.01.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala)

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඡන්ම දින සුබපැතුම් පුද කර තිබෙනවා.

උන්වහන්සේගේ ඡන්ම දිනය නිමිත්තෙන් අද (26) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළා.

නාහිමියන්ට ආශිර්වාද පිණිස පැවති දානමය පුණ්‍ය කර්මයට සහභාගී වූ ජනාධිපතිතුමා මහා සංඝරත්නයට දානය පිළිගැන්වූ වා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, අමරපුර ශ්‍රී ධම්මරක්ඛිත නිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියා.

***************************************

විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය ශ්‍රී ලංකාවට ?

(26.01.2022 – 13:14 +0530 – hirunews.lk/sinhala)

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2022 ජනවාරි 17 වැනි දා අභාවප්‍රාප්ත වූ විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය අද (26) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත ව තිබුණා.

නමුත් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඇයගේ දේහය හෙට (27) රැගෙන ඒමට නියමිත ව ඇති බව යි.

ඒ අනුව හෙට (27), ඇයගේ දේහය ළඟ ම ඥාතින් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී භාර ගැනීමට නියමිත බව යි වාර්තා වෙන්නේ.

ඉකුත් 17 වැනි දා අභාවප්‍රාප්ත වූ විශාරද නීලා වික්‍රමසිංහ ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයට කළ මෙහෙය අනුපමේය යි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *