අපොස සාමාන්‍ය පෙළ අයදුම් පත්‍ර කැඳවීම දීර්ඝ කෙරෙයි

අපොස සාමාන්‍ය පෙළ අයදුම් පත්‍ර කැඳවීම දීර්ඝ කෙරෙයි

*********************************************

අපොස සාමාන්‍ය පෙළ අයදුම් පත්‍ර කැඳවීම දීර්ඝ කෙරෙයි

(22.01.2022 – 06:37 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීමේ දිනය 2022-01-20 වැනි දිනට සිට 2022-02-03 දක්වා දීර්ඝ කර ඇති බව යි සඳහන් වන්නේ.

මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ( www.doenets.lk ) හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම යෙදවුම (Mobile App ‘Exams Sri Lanka’) පිවිස අදාළ අයදුම් පතර යොමු කළ හැකි යි.

විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති ‘පරිශීලක නාම’ (User name) හා ‘මුරපද’ (Password) භාවිතයෙන් අයදුම් කළ යුතු බව නිවේදනයේ දැක්වෙනවා.

අයදුම් පත්‍රය සම්පූර්ණ කළ පසු එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිත ව තබා ගත යුතු බව ද එම නිවේදනයේ සඳහන්.

මේ අතර, 2021 – පහ (5) ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (22) පැවැත්වෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 3,40,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2943 ක දී පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්.ඩී ධර්මසේන සඳහන් කළා.

එමෙන්ම, නියමිත වේලාවට විභාග මධ්‍යස්ථානය වෙත ළමයින් යොමුකරන ලෙස ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

වෙනත් වසරවල අගෝස්තු මාසයේ පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය වසරේ අවස්ථා කිහිපයක දී කල් දැමුණේ, කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන්.

අද (22) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 2,55,062 ක් ද දෙමළ මාධ්‍යයෙන් 85,446 ක් ද පෙනී සිටිනවා.

එමෙන්ම කොරෝනා ආසාදිත සිසුන් සඳහා විශේෂ මධ්‍යස්ථාන 108 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සහ අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම මැයි මාසයෙන් පසු

(22.01.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ ජූනි 03 වැනි දා සිට අගෝස්තු 31 දක්වා කාළය තුළ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සඳහා වැය කළ වියදම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක වන්දියක් ලබා දෙන ලෙස නෞකාව හිමි සමාගමෙන් ඉල්ලීමක් කළ බව සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර සඳහන් කළා.

එම මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් ලැබීමට නියමිතව තිබුණ ද එය තවම මෙරටට ලැබී නොමැති බවයි ඇය කියා සිටියේ.

එසේම පසුගිය වසරේ සැත්තැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා කාළය තුළ සිදු වූ වියදම් සම්බන්ධයෙන් ද වාර්තාවක් සැකසෙමින් පවතින බව ඇය සඳහන් කළා.

කෙසේ වෙතත්, නෞකාව අනතුරට ලක් වීමෙන් සිදු වූ පරිසර හානීය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා පරිසර හානි ගණනය කර ඊට අදාළ පළමු අතුරු වාර්තාව ඔස්ට්‍රේලියානු නීති සමාගමක් වෙත යවා තිබෙනවා.

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ නෞකාව සහ මුහුදට එකතු වී ඇති අබලි ද්‍රව්‍ය මැයි මස අවසන් වන විට ඉවත් කිරීමට හැකි වනු ඇති බවයි.

***************************************

පොල් සංවර්ධන මණ්ඩලයට චෝදනාවක්

(22.01.2022 – 07:20 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ආනයනික පොල්තෙල් මෙරට වෙළෙඳපොළට නිකුත් කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

කෙසේ වෙතත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය සඳහන් කළේ, දේශීය කර්මාන්ත ආරක්ෂා කළ යුතු පොල් සංවර්ධන මණ්ඩලය ආනයනකරුවන් වෙනුවෙන් පෙනීසිටීම ගැටලු සහගත බව යි ෴

***************************************

රසායනික පොහොර සාධාරණ මිලකට ?

(22.01.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala)

ගොවි ජනතාවට අවශ්‍ය රසායනික පොහොර සාධාරණ මිලකට ලබා දීමේ ක්‍රමවේදයක් ලබන කන්නයේ සිට ආරම්භ කරනු ඇතැ යි බලාපොරොත්තු වන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, 9 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා පසුගියදා සිදු කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන සභාව කල් තැබීමේ විවාදයට එක් වෙමින්.

දින 3 ක් පුරා පැවති එම විවාදය ඊයේ (21) අවසන් වුණා.

රසායනික පොහොර ගැටලුව දැන් වසරකට ආසන්න කාලයක් පුරා ලාංකීය ගොවිබිම්වල ඔඩුදුවා ඇති ගැටලුවක් වන තර, තවමත් ඒ පිළිබඳ නිසි විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වී තිබෙනවා.

දිනෙන් දින රට පුර ගොවි ජනයා රජයට හා වගකිව යුතු බලධාරින්ට බරපතළ ලෙස චෝදනා කරමින් කියා සිටිටේ, කෙසේ හෝ තමන්ට රසායනික පොහොර ලබා දෙන ලෙස යි.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ දිගින් දිගට ම ස්ථාවර මතයක් ඉදිරිපත් කරමින් පවසන්නේ, රජය ගෙන යන හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනස් කිරීමට කිසිදු අදහසක් නො මැති බවක් ෴

***************************************

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව අත්හිටුවයි

(22.01.2022 – 08:53 +0530 – hirunews.lk/sinhala)

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය ලබන සඳුදා (24) සිට තාවකාලිකව අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ නමුත් සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට සිදු කිරීමට පහසුකම් සපයා තිබෙනවා.

එමෙන්ම සහතික පත් අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත හෝ අධිවේගී තැපැල් මගින් අයදුම්කරුගේ ලිපිනය වෙත යොමු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

පෙබරවාරි මාසයේ ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා උපරිම කාර්ය මණ්ඩලයක් යෙදවීම හේතුවෙන් මෙලෙස එක්දින සහතික පත් නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි අනතුරු

(22.01.2022 – 09:31 +0530 – hirunews.lk/sinhala)

නොච්චියාගම පොලිස් වසමේ පුත්තලම – ත්‍රිකුණාමලය මාර්ගයේ නොච්චියාගම නගරය ආසන්නයේ දී මාරක රිය අනතුරක් සිදු වී තිබෙනවා. යතුරු පැදියක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී තිබෙන්නේ. අනතුරෙන් යතුරු පැදියේ ගමන් කළ පසුපැදිකරු මිය ගිය බව වාර්තා වෙනවා. මරණකරු වයස අවුරුදු 45 ක ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරු සිදු වූ බස් රථ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නොච්චියාගම පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.

දෙහිඅත්තකණ්ඩියේ සිදු වූ රිය අනතුරකින් ද පුද්ගලයෙකු මිය ගිය බව වාර්තා වෙනවා. මහියංගණ – පොළොන්නරුව මාර්ගයේ බක්මීදෙණිය හන්දිය ආසන්නයේ දී බස් රථයකට යටවීමෙනු යි මෙම අනතුරු සිදු වී තිබෙන්නේ. මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 74 ක බක්මීදෙණිය – දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ කාන්තාවක්.

මේ අතර, අහංගම ප්‍රදේශයෙන් ද තවත් රිය අනතුරක් වාර්තා වනවා. යතුරු පැදියක් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ මෙම අනතුරෙන්, වයස අවුරුදු 61 ක කේතේවත්ත – තිත්තගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මියගොස් තිබෙනවා.

මහරගම හා තිරප්පනේ යන ප්‍රදේශවලින් ද තවත් රිය අනතුරු දෙකක් (2) වාර්තා වන අතර, මියගොස් ඇත්තේ, රාජකාරි නිමා වී ගිය මහරගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු හා 50 හැවිරිදි ගල්වඩුවාගම – ගල්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

කුරුවිට – වර්ණගල රක්ෂිතය සංරක්ෂිත පාරිසරික කලාපයක් කිරීමේ තීරණයක්

(22.01.2022 – 09:39 +0530 – hirunews.lk/sinhala)

කුරුවිට – වර්ණගල රක්ෂිතය සංරක්ෂිත පාරිසරික කලාපයක් ලෙස නම් කිරීමට ජාතික පරිසර සභාව තීරණය කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහගේ ප්‍රධානත්වයෙන් ජාතික පරිසර සභාව ඊයේ (21) රැස්වුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට පිහිටි වර්ණගල වන රක්ෂිතය පහත රට තෙත් සදාහරිත වෘක්ෂ ලතා ආදියෙන් සමන්විත ජෛව විවිධත්වයෙන් ඉහළ පරිසර පද්ධතියක්.

සත්ත්ව විශේෂයන් 219 ක් සහ සපුෂ්ප ශාක 164 කින් අදාළ රක්ෂිතය සමන්විත යි.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයන් 11 ක් ශාක 3 ක් මෙම රක්ෂිතය තුළ සිටින බවයි හඳුනාගෙන ඇත්තේ ෴

***************************************

කිරිඳිවැල කර්මාන්තශාලාවක ගින්නක්

(22.01.2022 – 09:54 +0530 – hirunews.lk/sinhala)

කිරිඳිවැල පොලිස් වසමේ විහාරකුඹුර ප්‍රදේශයේ කර්මාන්තශාලාවක ඊයේ (21) දින ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හටගත් වහාම ක්‍රියාත්මක කිරිඳිවැල පොලිසිය, ප්‍රදේශවාසින්ගේ සහාය ද සමඟින් ගින්න මැඬ පවත්වා ඇති බව යි වාර්තා වෙන්නේ.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නො මැති අතර, දේපොළ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරුවක් සිදු කර නෑ.

ගින්නට හේතුව අනාවරණය කරගෙන නො මැති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කිරිඳිවැල පොලිසිය මඟින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

රන්මාල කොල්ල කන කණ්ඩායමක් අත් අඩංගුවට

(22.01.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් සිදු කරන ලද මෙහෙයුමකින් රන් මාල කොල්ල කන සොර කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරු පැදි යොදාගෙන මහ මඟ ගමන් කරන පුද්ගලයින්ගේ රන් මාල සොරාගෙන ඇති මෙම කණ්ඩායම මීට පෙර ද මෙවැනි සොරකම් කිහිපයක් ම සිදු කර ඇති බව වාර්තා වෙනවා.

අත් අඩංගුවට ගන්න විට මොවුන් සතු ව කොල්ල කන ලද රන් මාලයක් හා රන් භාණ්ඩ උණුකර ලබා ගත් රත්‍රන් ග්‍රෑම් 36 ක් පොලිස් භාරයට ගත් බව යි පොලිසිය වාර්තා කරන්නේ.

සැකකරුවන් වයස අවුරුදු 30, 29, 27,45 හා 49 යන වයස්වල පසු වන පුත්තූර්, චුන්නාකම්, සහ කොකුවිල් ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත් අඩංගුවට ගත් අය අද (22) මල්ලාකම් ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

පොලිස් ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි

(22.01.2022 – 10:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත ව සිටින මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර නාරාහේන්පිට පොලිස් රෝහලේ සිට අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයට (IDH) මාරුකර යවා තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඒ බව සඳහන් කළා.

“අමාත්‍යවරයා ඇත්ත වශයෙන්ම පොලිස් රෝහලෙන් IDH රෝහලට මාරු කරලයි තියෙන්නේ. නමුත් ඔහුගේ තත්ත්වය ස්ථාවරයි” යනුවෙන් වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කරනවා ෴

***************************************

නිධානයකින් ගන්නා ලද යැයි සැකකරන මැණික් ගල් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට

(22.01.2022 – 10:40 +0530 – hirunews.lk/sinhala)

සොරකම් කරන ලද හෝ නිධානයකින් ගන්නා ලද යැ යි සැකකරන විවිධ වර්ණයෙන් යුත් මැණික් ගල් බවට සැක කරන විවිධ වර්ණයෙන් යුත් ගල් කැබලි විශාල ප්‍රමාණයක් සමඟ පුද්ගලයකු සැකපිට (21) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු, අම්බලම්පිටිය කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස 47 ක පුද්ගලයෙක්.

එහි දී විවිධ වර්ණයෙන් යුත් මැණික් ගල් බවට සැක කරන කුඩා ගල් කැබලි ග්‍රෑම් අසූ හයයි (86) මිලි ග්‍රෑම් තිස් දෙකක (32) බරකින් යුක්ත කුඩා ගල් කැබලි අඩංගු කප් එකක් ද සොයා ගත් බව වාර්තා වෙනවා.

සොයාගත් භාණ්ඩ වල වටිනාකම මෙතෙක් අනාවරණ වී නො මැති අතර වැඩිදුර විමර්ශන කටයුතු කුරුඳුවත්ත පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

තුර්කි ගම්මාන වෙඩි තැබීමේ සැකකරුවෙකු රිමාන්ඩ්

(22.01.2022 – 11:13 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – මිදිගම – තුර්කි ගම්මානයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු, මියගිය පුද්ගලයාට මීට පෙර අවස්ථාවක තර්ජනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පෙරේදා (20) රාත්‍රියේ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් අවුරුදු 46 ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

වැලිගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ජීව අත්බෝම්බයක්ද සමඟින් ෴

***************************************

යාපනය – චුලිපුරම් ප්‍රදේශයෙන් රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂයක කේරළ ගංජා

(22.01.2022 – 11:16 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 24 කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා තොගයක් සමඟ යාපනය – චුලිපුරම් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ (21) රාත්‍රියේ සැකකටයුතු නිවසක් පරීක්ෂා කිරීමේ දී මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

එහි දී එම නිවස තුළ උර පහක (5) පාර්සල් 38 ක් වශයෙන් අසුරා සඟවා තිබිය දී මෙලෙස කේරළ ගංජා කිලෝ 80 කට වැඩි තොගයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා චුලිපුරම් පොලිසිය වෙත භාරදුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ තනතුරෙන් ඉවතට ?

(22.01.2022 – 11:36 +0530 – hirunews.lk/sinhala)

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිවැරැදි විමර්ශනයක් සිදු කර, පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත් වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසනවා.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඇය ඒ බව ලිපියක් මඟින් දන්වා ඇති බව යි වාර්තා වෙන්නේ.

එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ, දින 14 ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා ඇය වෙත රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙන ලෙස යි.

එසේ නො මැති වුව හොත් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවක පිරිසකගේ අත්තනෝමතික, විනාශකාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ ඒ හේතුවෙන් අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව සහ සත්ත්වෝද්‍යානයේ සත්ත්වයින්ට ඇති වී තිබෙන බලපෑම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරමින් තමන් එම ලිපිය යොමු කළ බවත් අවසන් වශයෙන් ඇය එහි දී අවධාරණය කරනවා.

***************************************

අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර් දහසක් (1000) තවමත් කොළඹ වරායේ

(22.01.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,000 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායේ තවදුරටත් සිර වී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමාදය ඊට හේතුව බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මේ අතර පෙරේදා (20) දිනයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කන්ටේනර් 300 ක් නිදහස් කරගැනීමට ආනයනකරුවන්ට හැකියාව ලැබී තිබුණා.

ඒ මහබැංකුවෙන් ඩොලර් විනිමය ලැබීමත් සමඟ යි.

මෙලෙස දැනට වරාය තුළ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහලුම් තුළ සහල්, පරිප්පු, සීනි, කඩල, කොත්තමල්ලි, සූදුරු, මාදුරු, වියලි මිරිස් සහ ටින් මාළු ද පවතින බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *