දේවස්ථානයේ බෝම්බ තැබූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ ගැන විමර්ශන

දේවස්ථානයේ බෝම්බ තැබූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ ගැන විමර්ශන

*********************************************

දේවස්ථානයේ බෝම්බ තැබූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ ගැන විමර්ශන

(21.01.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔහුගේ ඇතැම් ප්‍රකාශ පරස්පර තත්ත්වයක පැවතීම ඊට හේතුවයි.

අදාළ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවූයේ පසුගිය 11 වනදායි.

එදින සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගත් අතර, පසුව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී පළ කළේ දැඩි විරෝධයක්.

එහි දී ප්‍රකාශ කළ ප්‍රධාන කාරණය වූයේ, පොලිසිය සී සී ටී වී දර්ශන නිසි පරිදි නිරික්ෂණය කර නොමැති බවයි.

කාදිනල් හිමිපාණන්ගේ මෙම ප්‍රකාශයෙන් පසු උන්වහන්සේ පෙන්වා දුන් තොරතුරුවලට අනුව ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී දේවස්ථානයේ බෝම්බය තැබූ බවට සැක කෙරුණු පුද්ගලයා අත්අඩංගුවට ගත්තා.

එම සැකකරු ප්‍රශ්න කිරීම්වල දී හෙළි කළේ, වෛද්‍යවරයෙකු තමාට බෝම්බය ලබාදුන් අතර, රුපියල් 50,000 ක මුදලක්ද ලැබුණු බවයි.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ විශ්‍රාමික වෛද්‍යවරයා පිළියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අතර, ඔහුට බෝම්බය අලෙවි කළ පුද්ගලයා හම්බන්තොට රන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා.

විශ්‍රාමික වෛද්‍යවරයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ බොරැල්ල දේවස්ථානයේ තැබූ අත්බෝම්බය මෙන්ම පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලක තැබූ අත්බෝම්බයද තමන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ බවයි.

1974 වසරේ බෞද්ධ කාන්තාවක් සමඟ තමන් විවාහ වූ බවත්, බිරිඳ බෞද්ධවීම හේතුවෙන් එවකට දේවස්ථානයේ පූජකවරයා තමන්ට මංගල උත්සවයට අදාළ පූජාවට අවසර ලබා නොදීම හේතුවෙන් තමන් දීර්ඝ කාලයක් සිත් තැවුලෙන් පසුවූ බව විශ්‍රාමික වෛද්‍යවරයා පවසා තිබෙනවා.

එම ද්වේෂය පිරිමසා ගැනීමට සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයට අත්බෝම්බය ගෙනවිත් තැබූ බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම තම මියගිය බිරිඳට හොඳින් ප්‍රතිකාර කළ නාරාහේන්පිට පෞද්ගලික රෝහලට ප්‍රසිද්ධියක් ලබාදීම සඳහා එම රෝහලේ අත්බෝම්බය තැබූ බවද විශ්‍රාමික වෛද්‍යවරයා අනාවරණ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා පවසන තොරතුරු, සිද්ධිය හා සම්බන්ධ සත්‍ය තොරතුරුද යන්න සැක මතුවන අවස්ථා ඇති බව පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියා.

ඒ අනුව විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා සිදු කළ රහසිගත පාපොච්චාරණය මාධ්‍ය වෙත හෙළි කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු (2) සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අපරාධ කොට්ඨාස ආරංචි මාර්ග සඳහන් කළේ ෴

+++++++++

අත්බෝම්බ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් රහස්‍ය ප්‍රකාශයක්

(21.01.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය තුල අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (21) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ පැය එකහමාරකට (1½) ආසන්න කාලයක් රහස්‍ය ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

දේවස්ථානයට බෝම්බය ගෙන ආ පුද්ගලයා මෙලෙස රහස්‍ය ප්‍රකාශයක් ලබාදී ඇති බවයි, වාර්තාවන්නේ.

මෙහිදී මහේස්ත්‍රාත්වරිය සැකකරු අමතමින් තමා ඉදිරියේ මෙම ප්‍රකාශය ලබාදීමට සූදානම් වන්නේ ස්වේච්ඡාවෙන්ද නැත්නම් බලපෑමක් අනුවදැයි විමසා තිබෙනවා.

එවැනි ප්‍රකාශයක් ලබාදුන්නොත් එය, තමන්ට එරෙහිව සාක්ෂි වශයෙන් යොදාගැනීමට හැකියාව පවතින බවත් මහේස්ත්‍රාත්වරිය සැකකරුට කරුණු පහදා දුන්නා.

මෙහිදී එම පුද්ගලයා සඳහන් කර සිටියේ තමන් ස්වේච්ඡාවෙන් මෙම ප්‍රකාශය ලබාදීමට ඉදිරිපත් වන බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් මෙම සැකකරු, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝගයට අනුව දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ද හිමිවී තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා ලබාදුන් ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔහුගේ ඇතැම් ප්‍රකාශ පරස්පර තත්වයක පැවතීම ඊට හේතුවයි.

මෙම විශ්‍රාමික වෛද්‍යවරයාට බෝම්බය අලෙවි කළ පුද්ගලයා හම්බන්තොට රන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ඊයේ (20) සඳහන් කළා.

විශ්‍රාමික වෛද්‍යවරයාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ බොරැල්ල දේවස්ථානයේ තැබූ අත්බෝම්බය මෙන්ම පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලක තැබූ අත්බෝම්බය ද තමන්ගේ මෙහෙයවීමෙන් සිදුවූ බවයි.

***************************************

පොලිස් අණ නොතකා රිය පැදවූ පිරිසකට වැඩ වරදියි

(21.01.2022 – 20:18 +0530 – hirunews.lk/sinhala)

මාරවිල පොලිසියට ලද තොරතුරකට අනුව අද (21) අලුයම සිදු කළ වැටලීමක දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල – ගොඩවෙල හන්දියේ දී යි.

මාරවිල සිට මීගමුව දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් පරීක්ෂා කිරීමට අදාළ රථය නවත්වන ලෙස පොලීසිය සිදු කළ අණ කිරීම් නොතකා ධාවනය කිරීමේ දී, මීගමුව පොලීසිය විසින් එය පසුපස හඹා ගොස් මෝටර් රථය නවත්වා ගෙන තිබෙනවා.

ඒ කොච්චිකඩේ පොලිස් වසමේ දී යි.

එහිදී මෝටර් රථය පරීක්ෂා කිරීමේ දී ප්‍රවාහනය කෙරෙමින් තිබූ නීතිවිරෝධී මත්පැන් ලීටර් 262.5 ක් සොයා ගැනුණේ, අදාළ මත්ද්‍රව්‍ය පොහොර උර 08 ක බහා තිබිය දී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු අද (21) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 වැනි දින රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයින් අධිකරණය නියෝග කළේ.

කෙසේවෙතත් මෝටර් රථය පැදවූ රියැදුරු පලා ගොස් ඇති අතර, ඔහු සොයා වැඩිදුර පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මකයි ෴

***************************************

රුපියල් කෝටි තුනක් (3) වටිනා වාලම්පූරි දෙකක් (2) අත්අඩංගුවට

(21.01.2022 – 23:25 +0530 – hirunews.lk/sinhala)

මොනරාගල විශේෂ අපරාධ විමර්ශන කාර්යංශය විසින් මොනරාගල නගරයට ආසන්න හෝටලයක සිදු කළ වැටලීමකදී පුද්ගලයින් තිදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මිලෙන් අධික වාලම්පුරි දෙකක් (2) ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි.

මෙලෙස සොයා ගැනුණු වාලම්පුරි දෙකෙහි (2) වටිනාකම රුපියල් කෝටි තුනක් (3,00,00,000) බවයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් සන්තකයේ තිබී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගැනුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල, සූරියවැව සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 73, 31 සහ 21 යන වයස්වල පසුවන්නන්.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඊයේ (20) දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 827 ක්

(21.01.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (20) දිනයේ දී ආසාදිතයින් 827 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,99,363 දක්වා ඉහළ ගියා.

එසේම, පෙරේදා දිනයේ දී (19) සිදු වූ බවට තහවුරු කළ කොරෝනා ආසාදිත පුද්ගල මරණ මරණ 12 ක් ද ඊයේ (20) වාර්තා වුණා.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්ක්‍යන් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, තමන් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව ඇති බවයි.

++++++++++++

කොරෝනා ආසාදිතයින් 214 ක් පූර්ණ සුවය ලබයි

(21.01.2022 – 17:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 214 ක් අද (21) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු සංඛ්‍යාව ද ඒ සමගින් ඉහළ යනු ඇති. ඒ 5,69,043 ක් ලෙසින්.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව මේ වනවිටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15,065 ක් වන අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,255 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත වෛරසය ආසාදිත සංඛ්‍යාව ද හයලක්ෂය (6,00,000) සීමාවට ආසන්න වී තිබෙනවා ෴

++++++++++++

තවත් කොරෝනා මරණ 17 ක්

(21.01.2022 – 18:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 17 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,272 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 04 ක් සහ පිරිමි පුද්ගලයන් 13 ක් වනවා.

ඔවුන් අතරින් වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් කාන්තා මරණයක් ද වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 6 ක් වන අතර ඒ එක් කාන්තාවක් සහ පිරිමි 5 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 10 ක් වනවා.

කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමි 8 ක් ඊට අයත්.

+++++++++++

පෙබරවාරි වන විට කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාමක්

(21.01.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ලබන පෙබරවාරි මුල් සතිය වනවිට පසුගිය අගෝස්තු මාසයේ මෙන් ආසාදිතයින් ඉහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (21) අනතුරු ඇඟවීමක් සිදුකළා.

මේ අතර, අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි එහි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්තී අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආසාදිතයන් සඳහා ඔක්සිජන් අවශ්‍යතාවයේද සුළු ඉහළ යාමක් සිදුව ඇති බවයි.

මේ අතර කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත්කරණයේ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රවණතාවය ඉතා අඩු මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

++++++++++++

ආසාදිතයින් 840 ක් – සමස්ත ගණන සය ලක්ෂය ද ඉක්මවයි

(21.01.2022 – 21:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 840 දෙනෙකු අද (21) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මෙම නව ආසාදිතයින් 840 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ හයේ සීමාව ඉක්මවා යනවා.

ඒ 6,00,203 ක් සටහන් කරමින්.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 15,888 ක් වන අතර, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,69,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

වෛරසය ආසාදිතව මෙරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,272 ක්.

කෙසේවෙතත් වෛරසය මර්දනයට මේ වනවිටත් දිවයින පුරා කොව්ඩි මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මකයි.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ජාතික කොවිඩ් මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ද උපරිම දායකත්වය යටතේ.

++++++++++++

කොවිඩ් නිසා අහිමි වූ වසර දෙක (2) ජනපතිට දෙන්නැයි යෝජනාවක්

(21.01.2022 – 19:31 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා හේතුවෙන් ජනාධිපතිවරයාට අහිමි වූ වසර දෙකක (2) කාලය, තුනෙන් දෙකේ බලය භාවිත කර ලබාදීමට යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඩයනා ගමගේ අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එසේම, පාර්ලිමේන්තු කාලය ද වසර දෙකකින් (2) දීර්ඝ කිරීමට ද යෝජනා කරන බවයි ජනාධිපතිවරයා සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදයේ තුන්වන (3) දිනයට එක්වෙමින් ඇය කියා සිටියේ.

විවාදය අතරතුර දෙවරක්ම (2) ඝණපූර්ණ සීනුව නාද කිරීමට මූලාසනයට සිදු වුණේ මන්ත්‍රීවරුන් සභා ගැබේ නොමැති වීම හේතුවෙන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *