සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

*********************************************

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

(21.01.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ ඩීසල් මෙට්‍රික් ටොන් දස දහසම (10,000) මේ වනවිට කැලණිතිස්ස බලාගාරයට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

බලාගාර ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, ඊයේ (20) රාත්‍රිය වනවිට ඉන්ධන තොගයම බලාගාරය වෙත ලැබුණු බවයි.

ඊයේ (20) දහවල් වනවිට කැලණිතිස්ස විදුලි බලාගාර දෙක (2) ම ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට කටයුතු කෙරුණා.

දිනකට කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 286 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, ඒ සඳහා දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 ත් 1800 ත් අතර ප්‍රමාණයක් වැය වනවා.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලද ඩීසල් තොගය විදුලිය නිෂ්පාදනය සඳහා තවත් දින 08 ක කාලයකට ප්‍රමාණවත්.

එසේම, සපුගස්කන්ද විදුලි බලාගාරයද යළිත් දැවි තෙල් අර්බුදයකට මුහුණ දී සිටිනවා.

එහි දැවිතෙල් අද (21) දිනය සඳහා ප්‍රමාණවත්ව පවතින අතර, එමඟින් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන ධාරිතාවය මෙගාවොට් 108 ක්.

මේ අතර, මෙගාවොට් 300 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රිය ව පවතිනවා.

++++++++++++

ඉන්ධන ලැබුණත් අක්‍රිය වූ කැලණිතිස්ස බලාගාරය යථා තත්ත්වයට

(21.01.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ලබා දී තිබියදිත් ඊයේ (20) රාත්‍රියේ අක්‍රිය වු කැළණිතිස්ස බලාගාරය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

ඉන්ධන නොමැති විම හේතුවෙන් පසුගියදා කැළණිතිස්ස බලාගාරය අක්‍රියවීමත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පාදුවක් සිදු කිරිමටයි විදුලි බල මණ්ඩලය කටයුතු කළේ.

කෙසේ නමුත් ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වු පරිදි ඊයේ (20) දිනයේදි ඩීසල් මෙට්‍රික් ටොන් දසදහසක් (10,000) කැළණිතිස්ස බලාගාරයට ලබා දිමට කටයුතු කළා.

එලෙස ඉන්ධන ලබා දෙන අතරතුර ඉන්ධන සම්ප්‍රේෂණ නළයේ පීඩනය එකවර අවම වීමෙන් එම බලාගාරය පැය කිහිපයක් අක්‍රිය වු බවයි විදුලි ඉංජිනේරුවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඊට හේතුව ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් දැයි සැකයක් මතු වන බව ද වාර්තා වනවා.

කැලණිතිස්ස බලාගාරයේ තෙල් නළ සම්බන්ධයෙන් මේ වනවිට සොයා බැලිමක් සිදු කෙරන අතර, අද (21) පෙරවරුවේ අක්‍රිය වු කැළණිතිස්ස බලාගාරය නැවත ජාතික විදුලිබල පද්ධතියට එක් කිරිමට හැකි වු බවයි එහි ඉංජිනේරුවන් සඳහන් කළේ.

ඒ අනුව සුපුරුදු පරිදි කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගා වොට් 165 ක ධාරිතාවයක් සහ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් මෙගවොට් 115 ක් මේවනවිට උත්පාදනය කෙරෙමින් පවතිනවා.

විදුලි බල මණ්ඩලයෙන් ලැබුණු ඩීසල් තොග දින 7 ක් සඳහා ප්‍රමාණවත් වන බවයි විදුලි බල මණ්ඩල සඳහන් කළේ.

මේ අතර, දැවිතෙල් සංවිත අවසන් විමෙන් පසු පසුගිය 17 වන දා දහවල් වසා දැමුණු සපුගස්කන්ද බලාගාරයට ඛනිජ තෙල් සංස්ථාව දැවිතෙල් මෙට්‍රික් ටොන් 900 ක් ලබා දිමෙන් පසු එහි කටයුතු සක්‍රිය කර බවයි විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සමාජික එරංග කුඩාහේවා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත් විදුලිබල අමාත්‍යවරයා සඳහන් කරන්නේ, බලාගාරවල හදිසි අක්‍රිය වීම් සිදු වුවත් මින් පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

++++++++++++

වැසි එනතුරු පැය එකහමාරක විදුලි කප්පාදුවක් – ගම්මන්පිල

(21.01.2022 – 19:46 +0530 – hirunews.lk/sinhala)

වැසි කාලය පැමිණෙන තෙක් දිනකට පැය එකහමාරක් (1½) විදුලි කප්පාදුවක් සිදු කළ යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟතාව පළවී ඇත්තේ හෙට (22) දක්වා පමණක් වන අතර, නොරොච්චොලේ බලාගාරය යළි සක්‍රීය වීමට මේ මස 28 වැනිදා දක්වා කල් ගත වනු ඇතැයි අද (21) අනාවැකි පළවුණා.

අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රීය කර තිබෙනවා.

ඒ අනුව සුපුරුදු පරිදි කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165 ක ධාරිතාවක් සහ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් මෙගාවොට් 115 ක් මේ වනවිට උත්පාදනය කෙරෙනවා.

කෙසේ වෙතත්, දැවිතෙල් හිඟවීමෙන් සපුගස්කන්ද බලාගාරය යළි අක්‍රීය වීමේ අවදානමක් මතුව ඇති බවයි ඉංජිනේරුවන් ප්‍රකාශ කළේ.

ඒ තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීමට එකඟතාව පළවී ඇත්තේ හෙට (22) දක්වා පමණක් වීම හේතුවෙන්.

මේ අතර වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි විවෘත කරන්නැයි බලකරමින් තෙල් සම්පත සුරැකීමේ වෘත්තීය සමිති එකතුව අද (21) දහවල් උද්ඝෝෂණයක නිරත වුණා.

***************************************

විරෝධතාවක් නිසා ජාඇල – මීගමුව ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

(21.01.2022 – 11:22 +0530 – hirunews.lk/sinhala)

තම නිවාස අසල ක්‍රියාත්මක කෙරෙන කාබනික පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් හේතුවෙන් මේ වන විට සිය නිවාසවල ජීවත් විය නොහැකි බවට පවසමින් ජා-ඇළ පිටිපන ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයේ නිරත වනවා.

මෙලෙස විරෝධතාවයේ නිරත පිරිස කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ජා-ඇළ පිටිපන දේවස්ථානය අසලින් අවහිර කරමින් මෙම විරෝධතාවය පවත්වන බවයි වාර්ථා වන්නේ.

මේ හේතුවෙන් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු පවසන්නේ.

මෙම කාබනික පොහොර නිෂ්පාදන සමාගමේ නිශ්පාදන ක්‍රියාවලිය සිදු වන විට ප්‍රදේශය පුරා අධික දුර්ගන්දයක් සහ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවන බවට විරෝධතාවයේ නිරත ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඒ අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ දැඩි ලෙස ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයෙන් අදාල කාබනික පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාව ඉවත් කර දෙන ලෙස යි.

ජා-ඇල පිටිපන 273 බස් මාර්ගයේ පිහිටා ඇති අදාළ කර්මාන්ත ශාලාවට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගෙන එන අමුද්‍රව්‍ය ප්‍රදේශයේ බල්ලන් විසින් තැන තැන රැගෙන යාමත් බරපතළ සමාජීය ගැටලුවක් ඇති කර ඇති බවට යි ඔවුන් චෝදනා කරන්නේ ෴

***************************************

අනවසර පදිංචිකරුවන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

(21.01.2022 – 11:53 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියමයකට අනුව, අවිස්සාවේල්ල නගරයේ සිට බලංගොඩ පාර, ඕපනායක දක්වා දිවෙන මාර්ගය නැවත පිළිසකර කිරීමකට සූදානම් වනවා.

මේ හේතුවෙන්, දුම්රිය මාර්ගය දෙපස පදිංචිව සිටින සියලුම පදිංචිකරුවන්ගේ අලුත් ඉදිකිරීම් නතර කරන ලෙසයි, දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

රාජකාරිය නිමවා ගිය අවසන් ගමන

(21.01.2022 – 11:52 +0530 – hirunews.lk/sinhala)

අද (21) උදෑසන රථවාහන රාජකාරියක් සඳහා මහරගම පොලිස් ස්ථානයෙන් නික්ම ගොස් රාජකාරී නිමවා නැවත පැමිණෙන අතර වාරයේ මහරගම දඹහේන මාර්ගයේ දී යතුරුපැදිය අනතුරට ලක්වීම හේතුවෙන් මහරගම පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙනවා.

අදාළ පොලිස් කොස්තාපල්වරයා පන්නිපිටිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් අසල රථ වාහන රාජකාරි සඳහා ගොස් එය නිමවා නැවත පැමිණෙන අතරවාරයේ යි මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ.

මෙතෙක් කරන ලද විමර්ශන අනුව අනතුරට ලක් වූ පොලිස් නිලධාරියා පැද වූ යතුරු පැදිය පාලනයෙන් ගිලිහී අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදු වී ඇති බවට යි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ, වයස අවුරුදු විසි හතරක් (24) වන පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි එස්.එම්. සංජීව නමැති පොලිස් කොස්තාපල්වරයෙක් ෴

***************************************

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා සඳහා නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කරයි

(21.01.2022 – 16:56 +0530 – hirunews.lk/sinhala)

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ කටයුතු සඳහා නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (21) ප්‍රකාශයට පත්කෙරුණා.

කෙසේ වෙතත්, මීට පෙර එම කාරක සභාවේ සභාපති ධුරය ඉසිලූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම කාරක සභාවට පත්කර නැහැ.

මේ අතර, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද (21) පෙරවරුවේ ආරම්භ වුණේ තුන්වැනි (3) දිනටයි.

***************************************

කෝටියක අයිස් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(21.01.2022 – 17:22 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක් (1) සමඟ පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, මේවායේ වටිනාකම රුපියල් කෝටියකට (1,00,00,000) අධික බවයි.

මේ අතර, තලෙයිමන්නාරම මුහුදු තීරයේදී රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 485 ක් සමග තවත් සැකකරුවෙකු නාවික හමුදාව විසින් ඊයේ (20) අත්අඩංගුවට ගත්තා.

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු තලෙයිමන්නාරම පොලීසියට භාර දී තිබෙනවා ෴

***************************************

ප්‍රියන්ත කුමාර ඝාතනයේ වීඩියෝ පට එළියට දැමූ පුද්ගලයා සිපිරිගෙට

(21.01.2022 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරීමට සම්බන්ධ පුද්ගලයෙකුට පකිස්ථානයේ ත්‍රස්ත විරෝධී අධිකරණයක් වසරක (1) සිරදඬුවම් නියම කර තිබෙනවා.

අද්නාන් නමැති විත්තිකරු මීට පෙර අධිකරණය හමුවේ තම අපරාධය පාපොච්චාරණය කළ අතර, එම සිද්ධිය සම්බන්ධයෙනුයි එරට අධිකරණය විසින් මෙම තීන්දුව අද (21) දින ප්‍රකාශයට පත් කෙරුණේ.

පසුගිය දෙසැම්බර් මස දී අමානුෂික ලෙස අන්තවාදීන් පිරිසක් විසින් පාකිස්ථාන කර්මාන්ත ශාලාවක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත කුමාර ඝාතනය කෙරුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සමග පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් පාකිස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 24 ද නික්ම වීමට ප්‍රථමයෙන්.

මේ වනවිටත් අදාළ නඩුව එරට අධිකරණය මගින් විභාග කෙරෙන අතර, සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ මෙරට ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් පාකිස්ථාන රජයෙන් ඔහුගේ පවුලට සහ දරුවන්ට අඛණ්ඩව ඔහුට හිමි වැටුප සහ වන්දි ගෙවීමට ද එකඟ වුණා.

ඒ එරට අගමැති ඉම්රාන් ඛාන්ගේ පූර්ණ අනුදැනුම සහ මැදිහත් වීම මතයි ෴

***************************************

මරදානේ රාජ්‍ය ආයතනයකට පෞද්ගලික බැංකුවක් කඩා පනී – සේවකයින් අතර උණුසුම් තත්ත්වයක්

(21.01.2022 – 18:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මරදානේ පිහිටා ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට අද (21) සවස පෞද්ගලික බැංකුවක නියෝජිතයින් පිරිසක් පැමිණ උසාවි නියෝගයක් ඉදිරිපත් කර එම කාර්යාලයේ කොටසක් වෙන්කර ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

මේ සිද්ධියත් සමඟ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා පරිශ්‍රය තුළ උණුසුම් තත්ත්වයක් මතු වූයේ එම උත්සාහයට සංස්ථා සේවකයින් විරුද්ධ වීමත් සමඟයි.

පසුගිය රජය සමයේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා ප්‍රධාන කාර්යාලයට එදිරිව අදාළ පෞද්ගලික බැංකුව විසින් ගොනුකළ නඩු කටයුත්තක තීන්දුව අනුව ලබාදුන් උසාවි නියෝගයක් ක්‍රියාත්මක කිරීමටයි එම පෞද්ගලික බැංකුවේ නියෝජිත පිරිස් පැමිණ ඇත්තේ.

අදාළ පෞද්ගලික බැංකුව වෙතින් ලබාගත් ණය මුදලක් නොපිය වීම හේතුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා ගබඩා පරිශ්‍රයේ බිම් කොටසක් අදාළ පෞද්ගලික බැංකුවට උසාවි නියෝගයක් හරහා පවරා ඇති බවටයි එහි පැමිණි පිරිස් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම මැදිහත් වීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවකයින් පිරිස් විරෝධය පෑම හේතුවෙන් ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කැඳවීමටත් සිදු වී තිබෙනවා.

මෙහිදී එහි පැමිණි පොලිස් නිලධාරීන් පවසා සිටියේ මෙම කාරණය අදාළ පෞද්ගලික බැංකුව සමඟ සාකච්ඡා කර සාමකාමීව විසඳා ගන්නා ලෙසයි.

එමෙන්ම උසාවි නියෝගයක් ක්‍රියාත්මක කිරීමට කිසිවකුටත් බාධා කළ නොහැකි බවත් ඔවුන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් දිගින් දිගටම එල්ල වූ සේවක විරෝධතා හමුවේ අදාළ පෞද්ගලික බැංකුවේ නිලධාරීන් පිරිස ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගියා ෴

***************************************

ලක් පොහොර සමාගමේ මුල් පුටුවට මිල්කෝ හිටපු සභාපති

(21.01.2022 – 18:42 +0530 – hirunews.lk/sinhala)

ලංකා පොහොර සමාගමට නව සභාපතිවරයෙකු අද (21) දින පත් කර තිබෙනවා.

එලෙස පත්ව ඇත්තේ මිල්කෝ සමාගමේ හිටපු සභාපතිවරයා වන ලසන්ත වික්‍රමසිංහ යි.

ලසන්ත වික්‍රමසිංහ මිල්කෝ ආයතනයේ සභාපති අධුරය භාර ගැනීමෙන් අනතුරුව, එම ආයතනය ලාබ ලබන තත්ත්වයට ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළා.

එතෙක් පාඩු ලබමින් තිබූ මිල්කෝ ආයතනයට නව නිෂ්පාදන කිහිපයක් ම හඳුන්වා දෙමින්, ඔහු ආයතනයේ ආදායම් තත්ත්වය ඉහළ දැමීම සඳහා අගනා කළමනාකරණ මූල්‍ය උපායන් භාවිත කළ බවටයි ආර්ථික විශේෂඥයින් පවසා සිටියේ.

කෙසේවෙතත්, ආයතනය ලාබ ලබන තත්ත්වයට ගෙන ආ සභාපතිවරයා හදිසියේ මාරු කිරීමට රජය තීරණය කළ අතර, එයට එම ආයතනයේ සේවකයින් සහ මිල්කෝ ආයතනයට කිරි සපයන කිරි ගොවීන් පවා විරෝධය පළ කළා.

කෙසේවෙතත්, ඊයේ (20) සවස මිල්කෝ ආයතනයේ සභාපති ධුරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා වෙත පිරිනැමීමටයි කටයුතු කෙරුණේ.

ඉන් අනතුරුව ලසන්ත වික්‍රමසිංහ අද (21) දින ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙසින් පත් කර ඇති අතර, ඔහුට එම තනතුරත් සමග භාරදූර ඉලක්ක කිහිපයක් ම සපුරාලිය යුතු ව තිබෙනවා.

ඒ රජයේ කාබනික කෘෂි ආර්ථික රටාව සංවර්ධනය කිරීමේ කාර්යභාරයෙහි ලා ලංකා පොහොර සමාගමට විශාල වගකීමක් පැවරී තිබීම හේතුවෙන්.

වෘත්තීය ඩිජිටල් අලෙවිකරණ උපදේශකවරයෙක්, මාර්ගගත අලෙවිකරණ, ඊ-වාණිජ්‍යය සහ නවෝත්පාදන තාක්‍ෂණයට සම්බන්ධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයකු ද වන ලසන්ත වික්‍රමසිංහ මෙරට ප්‍රසිද්ධියක් උසුලන පෞද්ගලික ව්‍යාපාර රැසක ද නිර්මාතෘ සහ ප්‍රධාන විධායක ධුර හොබවනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *