රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට කොරියානු රජයේ සහාය

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට කොරියානු රජයේ සහාය

*********************************************

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට කොරියානු රජයේ සහාය

(20.01.2022 – 18:27 +0530 – hirunews.lk/sinhala)

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් – සියෝග් (Park Byeong-Seug) මහතා පවසනවා.

පාර්ක් බ්යෝන්ග් – සියෝග් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේ දීයි මේ බව සඳහන් කෙරුණේ.

පාර්ක් බ්යෝන්ග් -සියෝග් (Park Byeong-Seug) කොරියානු ජනරජයේ 21 වන ජාතික සභාවේ කතානායකවරයා යි.

ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුළ පුළුල් අවකාශයක් පවතින අතර එම අවස්ථාව උදාකරගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙසටයි ජනාධිපතිවරයා පාර්ක් බ්යෝන්ග් – සියෝග්ගෙන් ඉල්ලා සිටියේ.

ශ්‍රී ලාංකිකයින් 22,000 කට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර ඔවුන් ඉතා සතුටින් ඉහළ ශ්‍රම දායකත්වයක් ලබා දෙනවා.

එම ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බවයි සියෝග් මහතා ජනාධිපතිවරයා සමග ප්‍රකාශ කර ඇත්තේ.

මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කරගැනීමට කොරියානු රජයේ ආධාර ලබාදීමට ද දකුණු කොරියානු කථානායකවරයා එකඟතාව පළ කර තිබෙනවා.

එමෙන්ම මෙරට අවශ්‍යතාව අනුව එය ඉටුකර දීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බවයි කථානායකවරයා සඳහන් කර ඇත්තේ.

ජාතික සභාවේ මන්ත්‍රී ජුන්ග් පිල්මෝ (JUNG Pilmo), ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (JEONG Woonjin), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

***************************************

කුවේට් එයාර්වේස් ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් ගමන් අත්හිටුවයි

(20.01.2022 – 19:04 +0530 – hirunews.lk/sinhala)

කුවේට් එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිදුකරනු ලබන ගුවන් ගමන් මෙම සතියේ සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් සමාගම මෙම තීරණයට එළඹ ඇති බවයි.

ප්‍රාදේශීය කාර්යාල මගින් ගෙවීමට ඇති මුදල් මෙතෙක් එම සමාගමට ගෙවා නොමැති බව සඳහන්.

මෙම තත්වය මත පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ කුවේට් එයාර්වේස් සමාගම ශ්‍රී ලංකාව වෙත සිදුකරනු ලබන ගුවන් ගමන් අත්හිටුවා තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙත ඔවුන් ගමන් කරනු ලැබුවේ එක් ගුවන් ගමන් වාරයක් පමණයි.

එම අත්හිටුවීම සිදුකර තිබුණේ ද කිසිදු නිල හේතු දැක්වීමකින් තොරව වයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව වෙත පියාසර කිරීමේ මෙහෙයුම් වියදම් හා අනෙක් රටවල් වෙත සිදුකරන ගමන් සමග සසඳන විට ගුවන් සේවයේ ආදායම ඉතා අඩු බව විශ්වාසදායක ආරංචි මාර්ග පැවසූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් බටහිර ආසියාවේ සහ ගල්ෆ් රාජ්‍යවල රැකියා සඳහා පිටත්වීම වෙනුවෙන් කුවේට් ගුවන් සේවය භාවිතා කරනවා.

අදාළ සමාගමේ මෙම තීරණය දීර්ඝ කාලයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම ගුවන් සමාගමේ අඩුව පිරවීම වෙනුවෙන් වෙනත් සමාගමක් එම ගුවන් ගමන් වෙනුවෙන් යෙදවෙනු ඇතැයි අපේක්ෂිතයි ෴

***************************************

ගල් අඟුරු ප්‍රමාණවත් නොවීමෙන් තවත් අර්බුදයක් අතළඟ

(20.01.2022 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන තොග ලැබුණ ද ප්‍රමාණවත් පරිදි ගල් අඟුරු නොමැතිවීම නිසා ඉදිරියේදී විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බව විදුලි විශේෂඥයන් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත්, අද (20) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි ප්‍රකාශ කළේ.

ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙකද මේ වනවිට යළි පණ ගන්වා තිබෙනවා.

කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති අංශය ඇමතූ කිහිපදෙනෙකු සඳහන් කළේ අද (20) දිනයේදීත් ප්‍රදේශ කිහිපයකට විදුලි කප්පාදුවක් සිදුව ඇති බවයි.

මේ අතර, මෙරට ජාතික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40 ත් 45 අතර ප්‍රමාණයක් සපුරාගන්නේ ජල විදුලිබලාගාර මගින්.

විදුලි උත්පාදනය වෙනුවෙන් දායක වන අනෙකුත් මූලාශ්‍ර අතරට ගල් අඟු‍රු බලාගාර සහ ඉන්ධන මඟින් විදුලි උත්පාදනය කරන බලාගාර මෙන්ම සූර්ය, සුළං ආදී වෙනත් ප්‍රභව ආශ්‍රිත බලාගාර අයත්.

පසුගිය වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේදී විදුලි ඉල්ලු‍ම ඉහළ ගොස් ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, 2021 වනවිට සියයට 50 කට ආසන්න විදුලි උත්පාදනයක් සහ සැපයුමක් ජාතික විදුලිබල පද්ධතියට සපයා ඇත්තේ ගල්අඟු‍රු බලාගාරයෙන් වන අතර මේ වසර වනවිට එම උත්පාදනය සියයට 30 කටත් අඩු මට්ටමක් දක්වා පහත වැටී තිබෙනවා.

ඒ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක් එක්කළ මෙරට පිහිටි එකම ගල්අඟු‍රු බලාගාරය වන නොරොච්චොලේ බලාගාරයෙන් එක්කළත් එය අක්‍රියව තිබීම හේතුවෙන්.

එම නිසා මේ වනවිට එමගින් උත්පාදන කෙරෙන්නේ මෙගාවොට් 600 ක් පමණක් වන අතර හිඟව පවතින මෙගාවොට් 300 සපයාගැනුණේ සපුගස්කන්ද සහ කැලණිතිස්ස බලාගාර සංකීර්ණයෙන්.

ඩොලර් අර්බුදයත් සමඟ ඉන්ධන සපයා ගැනීමේ දී මතුවූ ගැටලු‍වක් ‍මත කැලණිතිස්ස බලාගාර දෙකද පෙරේදා (18) රාත්‍රීයේ අක්‍රිය වුණා.

මේ හේතුවෙන් ඊයේ (19) පස්වරු 02:30 න් පසු රාත්‍රී 09:30 දක්වා කාලය තුළ කලාප වශයෙන් පැය 1 යි මිනිත්තු 45 බැගින් වූ විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදු කෙරුණා.

කෙසේවෙතත්, කැලණිතිස්ස බලාගාරයට එළඹෙන 22 වැනිදා දක්වා දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් (1000) බැගින් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු සම්පාදනය කළා.

බලාගාර ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, මේ දක්වා ඉන්ධන මෙට්‍රික් ටොන් 7600 ක ප්‍රමාණයක් බලාගාරයට සම්ප්‍රේෂණය වී ඇති අතර අද (20) දහවල් වනවිට එහි බලාගාර දෙකම ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට හැකියාව ලැබුණු බවයි.

නිසි කලට බලාගාර ඉදිනොකිරීමෙන් පත්ව ඇති තත්ත්වය සේම පවතින බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සහ ගල්අඟු‍රුද හිඟවෙම්න් පවතින පසුබිමක ඉදිරියේදී කුමක් සිදුවේ ද ?

***************************************

සංකේත වැඩවර්ජනයක් ගැන වෘත්තීය සමිති කිහිපයකින් අනතුරු ඇඟවීම්

(20.01.2022 – 22:21 +0530 – hirunews.lk/sinhala)

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමත් සමඟ හටගෙන ඇති සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා අර්බුදය නොවිසඳුනහොත් ලබන 26 වැනිදා සංකේත වැඩවර්ජනයකට අවතීර්ණ වන බව හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති අනතුරු අඟවනවා.

මේ අතර, රාජ්‍ය සේවකයින්ට ලබාදීමට නියමිතව ඇති රුපියල් 5000 ක දීමනාව තාවකාලිකව අත්හිටවූ බව අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය විදුහල්පතිවරුන්, පරිවෙනාධිපතිවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙත ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබුණා.

කෙසේ වෙතත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහපත් මහත්මිය හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ඊට අදාළ මුදල් ප්‍රතිපාදන ලබාදුන් පසු රුපියල් 5000 දීමනාව හිඟ මුදල්ද සමඟ ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පසුගිය 03 වැනිදා ප්‍රකාශ කළා.

ඒ අනුව මාසික වැටුප් ලබන ස්ථිරල තාවකාලික හෝ කොන්ත්‍රාත් නිලධාරීන් දෛනික වැටුප් ලබන නිලධාරීන් හා විශ්‍රාමිකයින්ට එම දීමනාව හිමිවනවා.

ඊට අදාළ තොරතුරු සඳහන් කරමින් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පසුගිය 13 වැනිදා චක්‍ර ලේඛයක්ද නිකුත් කළා.

මෙවන් පසුබිමක් තුළ අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලය මගින් එම කලාපයේ සියලු විදුහල්පතිවරුන්, පරිවෙනාධිපතිවරුන්, ගුරුභවතුන් සහ කාර්ය මණ්ඩල වෙත ලිපියක් නිකුත් කරමින් දැනුම්දී ඇත්තේ රාජ්‍ය සේවකයින්ට ලබාදීමට නියම කළ රුපියල් 5000 ක දීමනාව තාවකාලිකව අත්හිටවු බවයි.

මෙම මස 19 වැනිදා යොමුකර ඇති අදාල ලිපියේ සඳහන් වන්නේ පසුගිය 18 වැනිදා නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පැවති ගණකාධිකාරීවරුන්ගේ රැස්වීමේදී මේ බව දැනුම්දී ඇති බවයි.

ඒ අනුව මෙම මස වැටුප් පත්‍රිකාවේ රුපියල් 5000 ක දීමනාව සඳහන් වුවද එය වැටුපට එකතු කර නොමැති බවද අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ සඳහන්.

කෙසේ වෙතත් එම තීරණය සංශෝධනය වූ බව සඳහන් සටහනක් ඇතුළත් තවත් ලිපියක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.ආර්. හසන්ති නමින් යොදා ඇති එම සටහනේ දැක්වුණේ තම අනුදැනුමකින් තොරව නිකුත් කර ඇති ඉහත ලිපිය නොසලකා හරින ලෙසයි.

එමෙන්ම රුපියල් 5000 ක දීමනාව ලබන මස සිට හිඟ මුදලද සමග ගෙවනු ලබන බවත් සංශෝධිත වැටුප් පත්‍රිකා එළැඹෙන සඳුදා සිට ලබාගත හැකි බවත් එහි සටහන්ව තිබුණා.

මධ්‍යම පළාතේ ගුරු විදුහල්පතිවරුන්ට ද රුපියල් 5000 දීමනාව ලබා නොදෙන බවට ලිපියක් නිකුත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය අද (20) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.

මේ අතර, මෙම මස සිට ඉහළ දැමූ ගුරු වැටුප් ගෙවීමට රුපියල් බිලියන 30 ක මුදලක් වෙන්කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

මේ අතරල ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමත් සමඟ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා අර්බුදයක් යළිත් හටගෙන ඇති බව හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති පවසනවා.

ඔවුන් සඳහන් කරන්නේ කඩිනමින් ඊට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

***************************************

බුත්තල කතරගම පාරේ අලි කරදර – දිවි බේරා ගැනීමට පරිශ්‍රමයක්

(20.01.2022 – 23:05 +0530 – hirunews.lk/sinhala)

නිමාවක් නැති අලි මිනිස් ගැටුම්වලට මිනිස් ක්‍රියාකාරකම්ද හේතුවන බවට විවාදයක් නැහැ.

මේ අනාවරණය මිනිසුන්ගේ එවැනි නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් මතුව ඇති අවදානමක් පිළිබඳවයි.

බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගයේ මේ දිනවල සුලභව දැකිය හැකි දර්ශන පෙළක් වන්නේ වන අලියෙක් රථවාහනවලට පහරදෙන ආකාරයයි.

එහිදී ඇතැමුන් දිවි බේරාගන්නේ මහත් පරිශ්‍රමයක් දරමින්.

වන අලින් මෙලෙස මාර්ගයට පැමිණෙන්නේ රථවාහනවලින් ආහාර ලබාගැනීමේ අරමුණින්.

වන්දනාවේ පැමි‍ණෙන පිරිස් ආහාර ලබාදීම හේතුවෙන් ඊට පුරුදු වූ වන අලින් මෙලෙස මාර්ගයට පැමිණෙන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

***************************************

මිදිගම දී මනුෂ්‍ය ඝාතනයක්

(20.01.2022 – 23:33 +0530 – hirunews.lk/sinhala)

මිදිගම පොලිස් වසමේ තුර්කි ගම්මානයේ දී වෙඩි තැබීමකින් සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ මරණකරු, වලාන රෝහලට ඇතුළත් කිරිමේදි යි මිය ගොස් ඇත්තේ.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 46 ක තුර්කි ගම්මානය – මිදිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට එරෙහි ව මාතර අධිකරණයේ නඩුවක් පැවත ඇති අතර, ඔහු ඊයේ (20) උදෑසන ඒ සදහා සහභාගි වී ඇති බව යි වාර්තා වෙන්නේ.

අනතුරු ව මරණකරු, කිසියම් පුද්ගලයකු සමඟ යතුරුපැදියකින් නිවසට පැමිණ ඇති බවත් එම අවස්ථාවේ දී ඔහු සමඟ පැමිණි බවට සැක කෙරෙන පුද්ගලයකු විසින් මරණකරුට වෙඩි තබා පලා ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

මියගිය පුද්ගලයාගේ සහෝදරයකුගේ විවාහ උත්සවය ඊයේ (20) දින කැලණිය ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත ව තිබී ඇති අතර, ඒ සඳහා බිරිඳ, දරුවන් හා තවත් ඥාතින් පිරිසක් සහභාගී වෙමින් සිටියදී යි මෙම වෙඩි තැබිම සිදු කොට ඇත්තේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මාතර රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, වෙඩි තැබූ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිසිය වාර්තා කරනවා.

වැඩිදුර විමර්ශන කටයුතු මිදිගම හා වැලිගම පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

ඊනියා දේශානුරාගයෙන් රාජපක්ෂලා රට විකිණුවා – අකුදි

(20.01.2022 – 09:02 +0530 – hirunews.lk/sinhala)

දේශප්‍රේමීත්වය තවරාගත් රාජපක්ෂගේ හත් කට්ටුවේ ආණ්ඩුව සීරුවෙන් මාරුවෙන් රටේ දේපළ ටික විකුණමින් ජනතාවට රටක් නැති කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක චෝදනා කරනවා.

ඔහු මේ චෝදනාව කළේ ‘ත්‍රිකුණාමලය තෙල් ටැංකි ජාතික සම්පත ඉන්දියාවට පාවාදීමේ ගිවිසුම හකුළා ගනු’ යන සටන් පාඨය මුල් කරගෙන ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයට සහභාගි වෙමින්.

මෙම උද්ඝෝෂණ පා ගමන ඊයේ (19 දා) මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කර කොටුව දුම්රියපොළ දක්වා පැමිණි අතර, ඊට පක්ෂ සාමාජිකයන්, වෘත්තීය සමිති, සිවිල් ක්‍රියාධරයන් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක් සහභාගි වුණා.

ජවිපෙ නායකයා එහි දී වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළා :

“ආණ්ඩුව ජනතාවගේ වටිනා සම්පත් එකිනෙක විකුණමින් තිබෙනවා. ආර්ථිකයේ නරක ප්‍රතිඵලවලට අපි මුහුණ දෙමින් ඉන්නවා. ස්වාභාවික සම්පත් හා බලශක්ති ක්ෂේත්‍රයටත් ආණ්ඩුව අත තියලා. ඒවා විකුණමින් සිටිනවා. මෙගා වොට් 300 ක විදුලි නිෂ්පාදනය කරන ඉතා වැදගත් කෙරවළපිටිය බලාගාරයටත් අත තියලා ඉවරයි. එහි ඉතා වැදගත් කොටස් ඇමෙරිකාවේ සිට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඇමෙරිකානු පුරවැසියකු වන බැසිල් රාජපක්ෂ විසින් විකුණා දැමුවා. විදුලිබල මණ්ඩලයේ සේවකයන් අදටත් එම ගිවිසුමට එරෙහිව සටන් කරනවා. අපි ඊට උපරිම සහාය දෙන බව අවධාරණය කරනවා. ආණ්ඩුව වරාය භූමියේ අක්කර 13 ක් චීන සමාගමට දෙන්න කැසකවමින් ඉන්නවා.

දේශප්‍රේමීත්වය තවරාගත් ආණ්ඩුවේ ඛනිජ තෙල් ඇමැති පසුගිය දා (06 දා) ඉන්දියානු සමාගම් එක්ක ගිවිසුම් අස්සන් කරනු ලැබුවා වැදගත්ම කොටස වන තෙල් ටැංකි සංකීර්ණය පවරා දීම සඳහා. ඒ වගේම වටිනා ගොඩනැඟිලි කිහිපයක් විකිණීමට ආණ්ඩුව සැලසුම් කරලයි තිබෙන්නේ. දේශප්‍රේමීත්වය තවරාගෙන තමයි මේ ආණ්ඩුව බලයට ආවේ. එහෙම දේශප්‍රේමය කරපින්න ගෙන ඇවිත් සීරුවට මාරුවට වරාය, බලාගාර, වටිනා ගොඩනැඟිලි, තෙල් ටැංකිවල ජනතාවට ඇති අයිතිය නැති කරලා. දැන් මේක රටක්ද? ජනතාවට වගකීමෙන් කියනවා අපි මේ සම්පත් ටික රැකගන්න සටනක් ගෙනියමු. ඒකට අපි සහාය දෙනවා. රාජපක්ෂගේ හත්කට්ටුව ආණ්ඩුවේ. මේ ගනුදෙනුවලට අපි ඉඩ නො තියන බවත් අපි අවධාරණයෙන් කියනවා. දේපළ විකුණගෙන කන මේ උත්සාහය නවත්තන්න පෙරට එන්න කියලා මම ජනතාවට ආරාධනා කරනවා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *