අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙක යළි පණ ගන්වයි

අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙක යළි පණ ගන්වයි

*********************************************

අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙක යළි පණ ගන්වයි

(20.01.2022 – 14:17 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් අක්‍රීය වූ කැලණිතිස්ස බලාගාර දෙක මේ වනවිට යළි පණ ගන්වා තිබෙනවා.

සංචිත ඩීසල් සහ නැප්තා නොමැතිවීම හේතුවෙන් කැලණිතිස්ස බලාගාර දෙක නවතා දැමුණේ පෙරේදා රාත්‍රී කාලයේයි.

ඒ හේතුවෙන් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165 ක ධාරිතාවක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ අතර කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් අහිමි වූ ධාරිතාව මෙගාවොට් 115 ක්.

කැලණිතිස්ස බලාගාර අක්‍රීය වූ පසුබිමක විදුලිබල මණ්ඩලයේ සෙසු බලාගාරවලින් ගතවූ දිනයේ මෙරට ජාතික විදුලිබල පද්ධතියට ලැබී තිබුණේ 13.5% ක විදුලි සැපයුමක් පමණයි.

මේ හේතුවෙන් ඊයේ (19) පස්වරු 02:30 න් පසු රාත්‍රී 09:30 දක්වා කාලය තුළ කලාප වශයෙන් පැය 1 යි මිනිත්තු 45 ක බැගින් වූ විදුලි කප්පාදුවක් දිවයින පුරා සිදු කෙරුණා.

කෙසේවෙතත් කැලණිතිස්ස බලාගාරයට එළඹෙන 22 වැනිදා දක්වා දිනකට ඉන්ධන මෙට්‍රික් ටොන් දහසක් (1000) බැගින් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු සම්පාදනය කළා.

ඒ අනුව ඊයේ (19) රාත්‍රී 11 ට පමණ එම බලාගාර සංකීර්ණයට ඉන්ධන ලැබීම ආරම්භ වී තිබෙනවා.

බලාගාර ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, මේ දක්වා ඉන්ධන මෙට්‍රික් ටොන් 2000 ක පමණ ප්‍රමාණයක් බලාගාරයට සම්ප්‍රේෂණය වී ඇති අතර අද (20) දහවල් වනවිට එහි බලාගාර දෙකම ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට හැකියාව ලැබෙන බවයි.

ඒ අනුව අද (20) දිනයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි මහතා සඳහන් කළා.

ඉන්ධන මෙට්‍රික් ටොන් 1800 ක් ඊයේ (19) රාත්‍රී 11:30 ට පමණ පළමුව කැළණිතිස්ස බලාගාරය වෙත පොම්ප කිරීම ආරම්භ කර තිබුණා.

ඒ අනුව, කැළණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි බලාගාර දෙක යළි පණ ගැන්වූ බවයි, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ.

කෙසේ වෙතත්, විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා කියා සිටියේ, අඛණ්ඩව ඉන්ධන නොලැබුණහොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.

මේ අතර, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද (20) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ, මෙරටට තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමසමක් පත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා මහබැංකුවෙන් මුදල් නිදහස් කිරීමත් සමග වරායේ සිර වී තිබූ ඉන්ධන අඩංගු නෞකා දෙකක් ද ඊයේ (19) දින මුදා හැරීමට පියවර ගැනීම හේතුවෙන් අක්‍රීය වූ බලාගාර යළි පණගැන්වීමට හැකියාවක් පවතින බව බලශක්ති අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර, ඊයේ (19) පෙරවරුවේ විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කිසිම විටෙක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.

මෙවන් තත්ත්වයකදියි ඊයේ (19) පස්වරුවේ දී විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විසින් ඉන්ධන නොමැති වීමෙන් ධාරිතාව සහ සමබරතාව රැක ගැනීම සඳහා වරින්වර විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව නිවේදනය කළේ.

ඒ අනුවයි ඊයේ (19) පස්වරු 02:30 සිට 09:30 තෙක් කාණ්ඩ 04 ක් යටතේ පාරිභෝගික ජනතාවට පැය 1 යි මිනිත්තු 45 ක කාලයක් අඳුරේ සිටීමට සිදු වූයේ.

***************************************

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තිකයන්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා

(20.01.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය වෘත්තිකයන්ට බ්‍රිතාන්‍යයේ රැකියා අවස්ථා හිමිවන ගිවිසුමකට විදේශ අමාත්‍යංශය අත්සන් තබා තිබෙනවා.

ඒ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා අතර පැවති හමුවේ දීයි.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සඳහා විදේශ අමාත්‍යාංශයේදී අත්සන් තැබීම, මෙම ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා.

ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ රැකියා අවස්ථා ලබා දෙන මෙම අවබෝධතා ගිවිසුම සඳහා, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ සහ එක්සත් රාජධානියේ රජය වෙනුවෙන් අහමඩ් සාමිවරයා අත්සන් තැබූවා.

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ බ්‍රිතාන්‍යයේ දකුණු ආසියාව පිළිබඳ අමාත්‍ය අහමඩ් සාමිවරයා අතර පැවති හමුවේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය බහුවිධ හවුල්කාරිත්වය ද පිළිගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය භුක්ති විඳින, හවුල් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ඓතිහාසික බැඳීම් මත පදනම් වූ ‘අද්විතීය, බහුවිධ හවුල්කාරිත්වය’ විදේශ අමාත්‍යවරයා වධාරණය කළ බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය අඟහරුවාදා විදේශ අමාත්‍යාංශයේ දී, දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විම්බල්ඩන් හි තරික් අහමඩ් සාමිවරයා හමුවූ අවස්ථාවේදීයි.

ඊට සමාන හැඟීම් පළකරමින්, සහයෝගීතාව සඳහා පෙළඹවීමක් ලබා දෙන හවුල්කාරිත්වයේ ස්ථිර ස්වභාවය අහමඩ් සාමිවරයා පිළිගෙන තිබෙනවා.

එක්සත් රාජධානියේ ‘ගෝලීය බ්‍රිතාන්‍යයක්’ පිළිබඳ දැක්මේ සන්දර්භය තුළ, ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීමට ඇති අවස්ථාව පිළිගනිමින්, අනෙකුත් කරුණු අතර, දේශපාලන සබඳතා, වෙළඳාම, ආයෝජන සහ සංචාරක කටයුතු, ඉන්දියානු සාගර සහයෝගීතාව, ආරක්ෂක කටයුතු සහ ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම, දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්තිය, අධ්‍යාපනය සහ STEM සහ රැකියා උත්පාදනය පිළිබඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා දෙපාර්ශ්වය උනන්දුවක් දැක්වා තිබෙනවා.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කරන ලද, 2021 ඔක්තෝබර් මාසයේ ලන්ඩනයේ දී, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් එලිසබෙත් ට්‍රස් මහත්මිය සමඟ පැවති තමාගේ ද්විපාර්ශ්වික හමුව පිළිබඳව ද විදේශ අමාත්‍යවරයා සිහිපත් කළා.

මෙම විදේශ අමාත්‍යාංශ දෙක අතර නිල මට්ටමේ උපදේශන ආරම්භ කිරීමේ පවතින වැදගත්කම දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර පුද්ගලාන්තර සම්බන්ධතාවල ප්‍රබලත්වය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය වත්මන් හවුල්කාරිත්වයට සරිලන අයුරින් සැමරීම කෙරෙහි ද සාකච්ඡාව යොමු කෙරුණා.

ප්‍රතිසන්ධානයේ ප්‍රගතිය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්, අනෙකුත් කරුණු අතර, ස්වාධීන කොමිෂන් සභාවල කාර්යයන්; ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ එහි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා යෝජිත සංශෝධන සහ රාජ්‍ය ආයතන සහ පාලනය ශක්තිමත් කිරීමේ දී තිරසාර සංවර්ධන ඉලක්ක කවුන්සිලයේ සහ තිරසාර සංවර්ධන ඉලක්ක 16 සඳහා වන මෙහෙයුම් කමිටුවේ කටයුතු පිළිබඳව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්, අහමඩ් සාමිවරයා දැනුවත් කර තිබෙනවා.

දේශීය වශයෙන් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසන්ධාන සහ වගවීමේ ක්‍රියාවලියක් සහ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ අඛණ්ඩව නිර්මාණාත්මක සම්බන්ධකම් පැවැත්වීම සඳහා රජයේ පවතින කැපවීම පිළිබඳව අමාත්‍යවරයා යළි අවධාරණය කළා.

එල්ටීටීඊ සංවිධානය එක්සත් රාජධානිය තුළ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීම තහවුරු කිරීම ඇතුළුව, ත්‍රස්ත මර්දන ක්‍ෂේත්‍රයේ දී ලබා දුන් සහයෝගය වෙනුවෙන් විදේශ අමාත්‍යවරයා එක්සත් රාජධානියට රජයේ හෘදයාංගම කෘතඥතාව පළ කර තිබෙනවා.

එක්සත් රාජධානියේ සිටින බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික ඩයස්පෝරා ප්‍රජාවන් එක්සත් රාජධානියේ සමෘද්ධිය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අද්විතීය සම්පතක් බව දෙපාර්ශ්වයම හඳුනා ගත් අතර මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ධනාත්මක ලෙස දායක වන, එක්සත් කිරීමේ ආඛ්‍යානයක් ගොඩනැගීම සඳහා ඩයස්පෝරාවේ සහභාගීත්වය සම්බන්ධයෙන් සියල්ල ඇතුළත් ප්‍රවේශයක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද විදේශ අමාත්‍යවරයා අවධාරණය කළා.

2021 නොවැම්බර් මස ග්ලාස්ගෝ හිදී පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (CoP 26) සාර්ථක ලෙස පැවැත්වීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ සුබපැතුම් පිරිනමුවා.

CoP 26 සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කැපවීම් අගය කළ බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා, පසු විපරම් ක්‍රියාමාර්ග සහ හරිත බලශක්ති මූලාරම්භයන්ට සහය දැක්වීම සඳහා ඔවුන් දක්වන උනන්දුව පිළිබඳව දැනුවත් කළා.

කොළඹ අගනගර ප්‍රදේශයේ පිහිටි ජෛව විවිධත්වයෙන් පොහොසත් තෙත් බිමක් වන බෙල්ලන්විල – අත්තිඩිය අභයභූමිය නැරඹීමට ද ගිය ඔහු, එහිදී කුඹුක් (Terminalia arjuna) පැලයක් ද රෝපණය කර තිබෙනවා.

ගෝලීය වෙළෙඳාම තුළ ඉන්දියන් සාගරයේ වැදගත්කම පිළිගනිමින්, හවුල්කාරිත්වයේ ආර්ථික මානය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව දෙපාර්ශ්වයම එකඟ වූ බවයි විදේශ අමාත්‍යංශය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි වාණිජ මණ්ඩලය මෑතක දී ලන්ඩනයේ දී ආරම්භ කිරීම සාදරයෙන් පිළිගනිමින්, දෙපාර්ශ්වයම තවදුරටත් ශක්තිමත් ව්‍යාපාර අන්තර සබඳතා දිරිමත් කර තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ පවතින සබඳතා දෙස අලුතින් බැලීම සඳහා ලැබී ඇති අවස්ථාව පිළිගනිමින්, රුවන්ඩාවේ කිගාලි හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහ බර්මින්හැම් 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට දෙපාර්ශ්වයම අපේක්ෂාව පළ කළා.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර සෞඛ්‍ය ආරක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සඳහා විදේශ අමාත්‍යාංශයේදී අත්සන් තැබීම, මෙම ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා.

ශ්‍රී ලාංකික හෙද හෙදියන්ට සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එක්සත් රාජධානියේ රැකියා අවස්ථා ලබා දෙන මෙම අවබෝධතා ගිවිසුම සඳහා, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන සහ වෙළෙඳපොළ විවිධාංගීකරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ සහ එක්සත් රාජධානියේ රජය වෙනුවෙන් අහමඩ් සාමිවරයා අත්සන් තැබූවා.

කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම හමුවට සහභාගී වූණා.

අහමඩ් සාමිවරයා සමඟ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මැතිනිය සහ මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද එක්ව සිටියා.

බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ තෙදින සංචාරයක් සඳහායි.

මීට පෙර 2019 ඔක්තෝබර් මාසයේ දී සංචාරය කර ඇති එතුමාගේ දෙවැනි සංචාරය මෙයයි.

මෙම සංචාරයේ දී අහමඩ් සාමිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිත අතර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද හමුවීමට නියමිතයි.

ව්‍යාපාරික ප්‍රජාව හමුවූ බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා, උතුරු හා නැඟෙනහිර පළාත්වල ද සංචාරය කරනු ඇති අතර, එහිදී ඔහු අනෙකුත් කටයුතු අතර, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මැතිතුමා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මැතිතුමා ද හමුවනු ඇති ෴

***************************************

හිජාස් හිස්බුල්ලාට ඇප දීමට විරුද්ධ නැහැ – නීතිපති අධිකරණයට දැනුම් දෙයි

(20.01.2022 – 15:06 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසර දෙකක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඊට විරුද්ධ නොවන බව නීතිපතිවරයා අද දැනුම් දුන්නා.

ඒ තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (20) කැඳවූ අවස්ථාවේදීයි.

නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩුව ලබන 28 වනදා පුත්තලම මහාධිකරණය යළි විභාගයට ගැනීමට නියමිතයි.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර නිදහස් කරන්නේ ද නැද්ද යන නියෝගය ලබන මස 18 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළා.

ඒ එම නඩුව නාමල් බළල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවු අවස්ථාවේදීයි.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබෙනවා.

එමෙන්ම, මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නිදහස් කරන්නේද? නැද්ද යන නියෝගය ද ලබන මස 18 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ ප්‍රකාශ කළා ෴

***************************************

ගුවන් යානා සඳහා ඉන්ධන හිඟයක් නැහැ. – රාජ්‍ය ඇමති ඩී.වී. චානක

(20.01.2022 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන අර්බුදයක් පැවතියත් ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන තොග පවතින බව ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ඉදිරි මාස එකහමාරක කාලයක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතුව ඉන්ධන සංචිතයක් පවතින බවයි.

පසුගිය සතියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 32 ක වටිනාකමකින් යුත්, ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇණවුම් කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්ධන මිළ දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක් ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු වන බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව මෙරට ගුවන් සේවා සදහා සපයනු ලබන සේවාවන් කිසිවිටකත් අඩාල නොවන ලෙස පවත්වාගෙන යාමට තම අමාත්‍යාංශය පියර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴

***************************************

ළිඳකට වැටීමෙන් 16 හැවිරිදි තරුණියක් මරුට

(20.01.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

තම නිවසේ ඇති දැඩි කරන එළුවෙකුට ලැගුම් ගැනීම සඳහා වලක් කැපීමට ගිය 16 හැවිරිදි දැරියක් ළිඳකට වැටීමෙන් මියගොස් තිබෙනවා.

පසුගියදා රාත්‍රී තම ඉඩමේ ළිඳ ආසන්නයේ වලක් කපමින් සිටින අතර පය ලිස්සා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

නිවැසියන් විසින් දැරිය එම අවස්ථාවේදීම ළිඳෙන් ගොඩට ගෙන පේදුරුතුඩුව මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

පසුගිය 18 වනදා රාත්‍රී මෙම අනතුර සිදුවී ඇති අතර රෝහල්ගතව බරපතල තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (19) සවස මියගොස් ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

සිද්ධිය පිළිබඳ නෙල්ලිඅඩි පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

***************************************

මීරිගම – කුරුණෑගල කොටසින් රුපියල් කෝටියක ආදායමක්

(20.01.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරිමෙන් පසු පළමු දින තුන (3) ඇතුලත රුපියල් කෝටියක (1,00,00,000) ආදායමක් උපයා තිබෙනවා.

එම කාලසීමාව තුලදී එම කොටසේ රථ වාහන 50,000 ක් පමණ ධාවනය කර ඇති බවයි, මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේ.

පසුගිය දා විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ විවෘත කරපු දිනට පසු දින දහවල් 12 දක්වා නොමිලේ ගමන් කිරීමට අවස්ථාව හිමි වුණා.

ඉන් අනතුරුවයි මෙලෙස ගාස්තු අය කරනු ලැබුවේ ෴

***************************************

තමා එනතුරු පාරට තාර දැමිම නතර කළ අගමැති ආරක්ෂක ඒකකයේ පොලිස් ලොක්කා

(20.01.2022 – 18:13 +0530 – hirunews.lk/sinhala)

පානදුර ප්‍රදේශයේ මාර්ගයක් කාපට් අතුරා සංවර්ධනය කිරීම තමා එනතුරු නතර කර තැබූ අග්‍රාමාත්‍ය ආරක්ෂක ඒකකයේ සහකාර පොලිස් අධිකාරිවරයකු පිළිබඳ පුවතක් හිරු පුවත් වෙත වාර්තා වුණා.

මෙලෙස අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් බලහත්කාරයෙන් නතර කර ඇත්තේ පානදුර පිංවත්ත ශීලානන්ද මාර්ගය කාපට් යොදා සකස් කිරීමයි.

එම මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භකර ඇත්තේ වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ගෙන් ප්‍රදේශවාසින් කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව අදාළ මාර්ගය කාපට් අතුරා සකස් කිරීම ඊයේ (19) පෙරවරුවේ ආරම්භ කර ඇති අතර ඒ සඳහා ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලා සහ මාර්ගය දෙපස වෙළඳසල් පවා වසා දමා ජනතාව ඒ සඳහා සහයෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම මාර්ගය ආසන්නයේ පදිංචිව සිටින බව කියන සහකාර පොලිස් අධිකාරිවරයා, තමා නිවසට පැමිණෙන තුරු මාර්ගයේ කාපට් ඇතිරීම නවතා තබන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා හරහා අදාළ මාර්ග සංවර්ධන කටයුත්තේ නිරතව සිටි නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා කරනවා.

ඒ අනුව මාර්ගය කාපට් කිරීම ඊයේ (19) පස්වරුවේ අතරමග නවතා තිබෙනවා.

කාපට් එළීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය පවා මාර්ගය මත යොදා, කාපට් කරනු ලබන යන්ත්‍රයද මාර්ගය මැද නවතා, නිසි උෂ්ණත්වයට සකස් කරන ලද කාපට් ලොරි ගණන් ගෙනැවිත් තිබියදීත් එම මාර්ග සංවර්ධන කටයුතු අදාළ නිළධාරින් විසින් එකවරම නතරකර තිබෙනවා.

මේ හේතුවෙන් නිසි ප්‍රමිතියට සහ උෂ්ණත්වයට සකස් කර තිබූ කාපට් මිශ්‍රණය නිසි කලට මාර්ගයට යෙදීමට නොහැකි වී ඇති අතර මෙලෙස පැය 06 කට ආසන්න කාලයක් එම කාපට් මිශ්‍රණය යෙදීම නවතා දමා තිබුණු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

උෂ්ණත්වය අඩුවූ පසු එම කාපට් මිශ්‍රණය ඇතිරීම සුදුසු නොවන බවත් මෙලෙස කාපට් ඇතිරීම කිසිදු මාර්ගයක ප්‍රමාදකර නැති බවත් මෙම මාර්ග සංවර්ධන කටයුත්තේ නිරතව සිටි තාක්ෂණ නිලධාරීන් ගම්වාසීන්ට පවසා තිබෙනවා.

මේ පිළිබඳ ව ප්‍රදේශවාසීන් විසින් වරාය හා නාවික අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ව මේ පිළිබඳ දැනුවත් කර කඩිනමින් මෙම සංවර්ධන කටයුත්ත ආරම්භ කරන ලෙසට දැනුම් දී තිබුණ ද අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා නිවසට එන තුරු මාර්ගය කාපට් කිරීම සිදු නොවුණු බවයි ප්‍රදේශවාසින් පැවසුවේ.

මේ අවස්ථාවේ නොසන්සුන්කාරී ලෙස හැසිරිණු ගම්වාසීන් පාලනය සඳහා පොලීසිය ද කැඳවා තිබුණා.

මෙලෙස අදාළ සංවර්ධන කටයුත්තට බාධා පමුණුවා ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක ඒකකයේ සහකාර පොලිස් අධිකාරී සිසිල් කරුණාරත්න බවටයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *