මුරුත්තෙට්ටුවේ හිමි ඉව අල්ලන මත්තෙගොඩ බෝධිය

මුරුත්තෙට්ටුවේ හිමි ඉව අල්ලන මත්තෙගොඩ බෝධිය

*********************************************

මුරුත්තෙට්ටුවේ හිමි ඉව අල්ලන මත්තෙගොඩ බෝධිය

(20.01.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

හතළිස් වසරක බෞද්ධ සමිතියක් මගින් පාලනය වූ මත්තේගොඩ බෞද්ධ මන්දිරය සුළු පිරිසකගෙ වුවමනාවට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ජනතාව එක්ව අද (20) දහවල් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

වසර හතළිහක් පුරා බෞද්ධ සමිතියක් මගින් පාලනය කිරීමට හැකි නම් ඉදිරියටත් බෞද්ධ සමිතිය මගින් ම පාලනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමිනුයි, විරෝධතාකරුවන් උද්ඝෝෂණයේ නිරත වූයේ.

මෙම ස්ථානයේ පැවති සෑම ආගමික කටයුත්තකට ම අවට විහාරස්ථානවල මහා සංඝරත්නයේ අවවාද, අනුශාසනා අනුව පවත්වාගෙන ආ අතර ඉදිරියටත් එලෙසම කටයුතු කරගෙන යෑමට ඉඩ සලසා දෙන ලෙසටත් ප්‍රදේශයේ මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා.

තව ද ගමකින් ගමකට පැමිණ බෞද්ධ ස්ථානයක් භාර ගැනීමේ දී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ශාසනික සම්ප්‍රදාය කඩ කර ඇති බවටයි ප්‍රදේශයේ මහා සංඝරත්නය චෝදනා කරන්නේ.

මෙම ස්ථානය පාලනය කරන බෞද්ධ සංගමය වාර්ෂිකව නිලවරණයකින් පත්විය යුතු වුවත්, වසර හතරක් පුරා නිලවරණය නො පවත්වා වත්මන් නිලධාරීන් නීති විරෝධී ලෙස කටයුතු කරගෙන යන බවත්, ඊට එරෙහිව මේ වන විට අධිකරණ ක්‍රියාමාර්ගයක් ද ගෙන ඇති බවත් උද්ඝෝෂකයින් වැඩිදුරටත් සඳහන් කළා.

එවන් තත්ත්වයක් මත නීතිවිරෝධී නිලධාරි මණ්ඩලයක් විසින් ගෙන ඇති මෙම තීරණය වහා හකුළා ගන්නා ලෙස උද්ඝෝෂකයන් අදාළ පාර්ශ්ව වෙත අවධාරණය කරනු ලබනවා.

***************************************

මහබැංකුව පොලී අනුපාත ඉහළ දමයි

(20.01.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් පිටත පදිංචි පුද්ගලයින්ට සපයන ලබන සේවාවන් සදහා විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස මහබැංකුව සියළුම ලියාපදිංචි සංචාරක ආයතන වලට අනිවාර්ය කර තිබෙනවා.

ඊයේ (19) දින රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ, ඉන්ධන මිලදී ගැනීම සදහා වන අත්‍යාවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යණය කිරීම බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම්වලට සමානුපාතිකව බෙදා හැරීමටයි.

මේ අතර, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ දැමීමට ද තීරණය වුණා.

ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.5 මට්ටම දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.5 මට්ටම දක්වා ඉහළ දැමීමටයි ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය පියවර ගත්තේ.

මීට පෙර නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 5 මට්ටමේ පැවති අතර නිත්‍ය ණය පහසුකම් අනුපාතය පැවතියේ සියයට 6 ක මට්ටමේයි.

එමෙන්ම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින සියයට 4 රේ මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම මහබැංකුවේ අද (20) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සදහන් කළේ ඩොලර් හිඟය මත වරායේ සිර වී තිබෙන සියළුම බහාලුම් නිදහස් කර ගැනීම සදහා අවශ්‍ය මුදල් ලබාදී ඇති බවයි.

++++++++

ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය ගැන කිසිවෙකු සැකයක් ඇති කරගත යුතු නැහැ – මහබැංකු අධිපති

(20.01.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් සැකයක් ඇති කර නොගත යුතු බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

මහබැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ රට තුල පවතින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට ඉදිරියේදී විසඳුම් ලැබෙනු ඇති බවයි.

එසේම, මෙරටින් පිටත පදිංචි පුද්ගලයින්ට සපයන ලබන සේවාවන් සදහා විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස මහබැංකුව සියළුම ලියාපදිංචි සංචාරක ආයතන වලට අනිවාර්ය කර තිබෙනවා. ඊයේ (19) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ ඉන්ධන මිලදී ගැනීම සදහා වන අත්‍යාවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යණය කිරීම බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම්වලට සමානුපාතිකව බෙදා හැරීමටයි.

මේ අතර, ඇමෙරිකානු ඩොලර් ඇතුළු රුපියල් කෝටි 4 කට අධික විදෙස් මුදල් තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට උත්සාහ කළ 5 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් ඊයේ (19) අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර සිංහල රාවය සංවිධානයේ නියෝජිතයින් පිරිසක් අද (20) මහ බැංකුව වෙත පැමිණිලි කළේ මහ බැංකුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් කල යුතු විදේශීය විභාග සඳහා සිසුන් විදේශ ගත කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයක් සිදුකරමින් පවතින බවට චෝදනා කරමින්.

මේ අතර මෙරටින් පිටත පදිංචි පුද්ගලයින්ට සපයන ලබන සේවාවන් සදහා විදේශ විනිමය පමණක් භාර ගන්නා ලෙස මහබැංකුව සියළුම ලියාපදිංචි සංචාරක ආයතන වලට අනිවාර්ය කර තිබෙනවා.

ඊයේ (19) දින රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ, ඉන්ධන මිලදී ගැනීම සදහා වන අත්‍යාවශ්‍ය ආනයන බිල්පත් මූල්‍යණය කිරීම බලපත්‍රලාභී බැංකු අතර ඔවුන්ගේ විදේශ විනිමය ලැබීම්වලට සමානුපාතිකව බෙදා හැරීමටයි ෴

***************************************

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන පොම්ප කිරීම ඇරඹේ

(20.01.2022 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාදුන් මෙට්‍රික් ටොන් දස දහසේ (10,000) ඉන්ධන තොගය මේ වන විට කැළණිතිස්ස බලාගාරය වෙත පොම්ප කරමින් සිටින බව, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි ප්‍රකාශ කළා.

ඒ අනුව, අදාළ ඉන්ධන තොගය අද (20) දිනය අවසන් වීමට පෙර බලාගාරයේ ඇති ටැංකිවල ගබඩා කර ගැනීමට හැකි වනු ඇති බවයි, ඔහු කියා සිටියේ.

ඉන්ධන මෙට්‍රික් ටොන් 1800 ක් ඊයේ (19) රාත්‍රී 11:30 ට පමණ පළමුව කැළණිතිස්ස බලාගාරය වෙත පොම්ප කිරීම ආරම්භ කර තිබුණා.

ඒ අනුව, කැළණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි බලාගාර දෙක යළි පණ ගැන්වූ බවයි, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ.

කැළණිතිස්ස බලාගාරයට යලි ඉන්ධන ලැබීමත් සමඟ අද (20) දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, විදුලි ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා කියා සිටියේ, අඛණ්ඩව ඉන්ධන නොලැබුණහොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි.

මේ අතර, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද (20) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ, මෙරටට තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජනාධිපති කොමසමක් පත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි

***************************************

නව කාරක සභා ගැන විපක්ෂයෙන් ඉල්ලීමක්

(20.01.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම හේතුවෙන් අහෝසි වූ කාරක සභා වලට ඉදිරිපත් වූ සාක්ෂි නව කාරක සභාවලට අදාල වන සේ නිර්දේශ නිකුත් කරන්නැයි, විපක්ෂය අද (20) දින කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඉදිරිපත් කළ මෙම ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් කතානායකවරයා සඳහන් කළේ, එම තීරණය අලුතින් පත් කෙරෙන කාරක සභා විසින් ගත යුතු බවයි.

මේ අතර, විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත හා එකතු කළ අගය මත බදු සංශෝධන අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

***************************************

ඇමති අමරවීර දේශපාලනඥයින් ගැන දකින විදිය

(20.01.2022 – 13:52 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතනවල සිට අමාත්‍ය මණ්ඩලය දක්වාම දේශපාලනඥයින් පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් කටයුතු කිරීමේ සංස්කෘතියක් නිර්මාණය වී ඇති බව, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ, ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියේ සාධනීය වෙනසක් හා කාන්තා දේශපාලන නියෝජනය ඉහළ දැමීම අරමුණු කරගෙන පැෆ්රල් සංවිධානය කොළඹ දී ඊයේ (19) සංවිධාන කළ සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

***************************************

ආනයනික පොල්තෙල් ප්‍රමිතිය හොඳයි – පොල් සංවර්ධන මණ්ඩලය

(20.01.2022 – 13:53 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ආනයනය කරන පොල්තෙල්වල ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නො මැති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

එහි සභාපති කීර්ති වීරසිංහ මේ බව කියා සිටියේ, ආනයනික පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට කොළඹ දී ඊයේ (19) මාධ්‍ය හමුවක් කැදවා පිළිතුරු ලබා දෙමින් ෴

***************************************

පූජිත් නිදහස් වෙයි ද නො වෙයි ද ? – තීරණය පෙබරවාරි මස

(20.01.2022 – 13:54 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කරන්නේ ද නැද්ද යන නියෝගය ලබාදීමට අධිකරණය විසින් දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එම තීන්දුව පෙබරවාරි මස 18 වැනි දින ලබාදෙන බවයි කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දැනුම්දී ඇත්තේ.

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදින මෙරට කිතුණු දේවස්ථාන සහ සුපිරි හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරීම් ඇතුළු ව තවත් චෝදනා රැසක් ගොනු කරමිනුයි මෙම නඩුව විභාග වන්නේ.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව කරන පරීක්ෂණවලට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය අනිවාර්ය නිවාඩු යවා සිටි අතර, ඔවුන් 2019 වසරේ මැයි 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝගය කළේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජිත් ජයසුන්දර හා හේමසිරි ප්‍රනාන්දු යන අයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 2019 ජුනි 09 වැනිදා ඇප ලබා දුන් අතර, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි එම ඇප නියෝගය පසුගිය 09 වන දා නිෂ්ප්‍රභා කළා.

මහාධිකරණයේ නිගමනය වූයේ, මහේස්ත්‍රාත්වරිය ලබා දී ඇති ඇප නියෝගය ඉතා බරපතළ නෛතික දෝෂ සහිත හා නීතියට පටහැනි බව ය.

සැකකරුවන් දෙදෙනා එකී නියෝගය නිකුත් කිරීමට පෙර සිටි තත්ත්වයට පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියට මහාධිකරණය එදින (2019 ජුනි 09 වැනි දින) නියෝග කළා.

මෙවන් පසුබිමක පැවති නඩුව තෙවසරකට ආසන්න කාලයක් උපරිමාධිකරණ සංකීර්ණ තුළ විභාග වූ අතර, එලෙස විභාග වූ නඩු තීන්දුවට අනුවයි එළඹෙන පෙබරවාරි මස 18 වැනි දින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදහස් කරනවා ද නැද්ද යන කාරණය පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ෴

***************************************

සිතෙහි ඇඳි සිතුවමට පණ පොවන පිළිසරණක් අහිමි ව්‍යවසායකයින්

(20.01.2022 – 14:22 +0530 – hirunews.lk/sinhala)

සිතෙහි ඇඳි සිතුවමට පණ පොවමින් වේවැල් ආශ්‍රිත අලංකාර නිර්මාණ බිහි කිරීමට උපන් හපන්කම් ඇති නමුත් නිසි වටිනාකමක් නොමැතිවීමෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති පිරිසක් පිළිබඳව බිබිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප ඔවුන් පිළිබඳ රටට කියන්නේ ඔවුන්ට නිසි පහසුකම් සැපයීම රටේ ආර්ථිකයට දායක කර ගැනීම තුළින් මෙරට ආර්ථිකයට විදෙස් විනිමය උපයා ගැනීමට ද හැකියාව පවතින නිසායි.

මේ ඌව පළාතේ බිබිල ප්‍රදේශයේ පාරම්පරිකව වේවැල් කර්මාන්තයේ නියැලී සිටින කර්මාන්තකරුවන්.

ස්වයං රැකියාවක් ලෙස වේවැල් කර්මාන්තය පවත්වාගෙන යන මොවුන් මෙම නිර්මාණ බිහි කරන්නේ කිසිදු උපකරණයක ආධාරයක් නොමැතිව දෑතේ සවියෙන්.

තම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම මේ වනවිට බරපතළ ගැටලුවක් වී තිබෙනවා.

එක් නිර්මාණයක් සඳහා දිගු කාලයක් වැය කළ ද ඒ සඳහා නිසි වෙළෙඳපොළක් නොමැතිකම පිළිබඳව කර්මාන්තයේ නියැලී සිටින්නන් සිය අදහස් පළ කළා.

තම කර්මාන්තය සඳහා රජයෙන් කිසිදු සහනයක් ලබා නොදීම නිසා කර්මාන්තය අතහැර දැමීමට සිදුව තිබෙන බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර නව නිර්මාණාත්මක හැකියාව උපයෝගී කර ගනිමින් දේශීය මෙන්ම විදෙස් වෙළෙඳපොළ ජයගන්නට උත්සාහ දරන මැටි ආශ්‍රිත නිර්මාණ කරන ශිල්පීන් පිරිසක් ද හලාවත ප්‍රදේශයෙන් අපට හමුවුණා.

***************************************

වෑන් රථයකට පහරදීමට උත්සාහ කළ සද්දන්තයා

(20.01.2022 – 14:34 +0530 – hirunews.lk/sinhala)

බුත්තල – කතරගම මාර්ගයේ නිරන්තරයෙන් වනඅලින් සැරිසරන අතර, වනඅලියෙකු එහි ගමන්ගත් වෑන් රථයකට පහරදීමට උත්සාහ කිරීමේදී අවට පිරිස් වන අලියා පලවා හැර වෑන් රථය බේරා ගැනීමට කටයුතු කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

මාර්ගයේ ගමන් කරන පිරිස් පෙන්වා දෙන්නේ වන්දනාවේ පැමිණෙන පිරිස් වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් මෙලෙස වනඅලින් මාර්ගයට පැමිණෙන බවයි.

මේ අතර, මේ දිනවල යාල ජාතික වනෝද්‍යානයේ නිරන්තරයෙන් දක්නට ලැබෙන ‘සැන්ඩෝ’ නම් දළ ඇතා දැක ගැනීම සඳහා මේ දිනවල දෙස් විදෙස් සංචාරකයින් බොහෝ පිරිසක් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *