අධ්‍යක්ෂවරිය සොයන දූෂණ ගැන විමර්ශන නවත්වන්න ! – සත්තු වත්තේ විරෝධතාවක්

අධ්‍යක්ෂවරිය සොයන දූෂණ ගැන විමර්ශන නවත්වන්න ! – සත්තු වත්තේ විරෝධතාවක්

*********************************************

අධ්‍යක්ෂවරිය සොයන දූෂණ ගැන විමර්ශන නවත්වන්න ! – සත්තු වත්තේ විරෝධතාවක්

(20.01.2022 – 09:17 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට දෙහිවල සත්ත්වෝද්‍යානයේ සේවය කරන සේවකයින් පිරිසක් විසින් උද්ඝෝෂණයක් සමග සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

අද (20) පෙරවරුවේ සිට ඇරඹි මෙම අඛණ්ඩ සත්‍යග්‍රහයට හේතු වී ඇත්තේ, සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ඇතැම් ක්‍රියාකලාප සහ තීන්දු තීරණ බවටයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

මෙම සේවකයින් විසින් සිය විරෝධතාව ක්‍රියාත්මක කරමින් මේ වනවිට සියලුම සතුන්ගේ කූඩුවල ඉබි යතුරු මාරුකර, එම සතුන් කිසිවෙකුටත් ආහාරපාන ලබාදීමට හෝ පිටතට ගැනීමට හෝ ඇති නිදහස ද නැති කරමින් උද්ඝෝෂණයේ නිරත වන බවටත් තොරතුරු වාර්තා වනවා.

හිරු ප්‍රවෘත්ති විසින් දෙහිවල සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ ගෙන් මේ පිළිබඳ ව විමසූ අවස්ථාවේ දී ඇය කියා සිටියේ, සත්ත්වෝද්‍යාන පරිපාලනය තුළ විවිධ නිලධාරින් සිදු කර ඇති දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සහ නීතිවිරෝධී ලෙස සතුන්ගේ වසුරු යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති කාබනික පොහොර සම්බන්ධයෙන් ද තමන් මේ වනවිට පොලීසියට පැමිණිල්ලක් සිදු කර, පරීක්ෂණයක් අරඹා ඇති බවයි.

අදාළ පරීක්ෂණ වහාම නතර කරන ලෙසට ඉල්ලමිනුයි මෙම විරෝධතාකරුවන් සත්‍යග්‍රහයක නිරත වන්නේ.

මෙම විරෝධතාකරුවන් චෝදනා කරන්නේ අධ්‍යක්ෂවරිය විසින් දෛනිකව මියයන සත්ත්වයින් පිළිබඳ කිසිදු විමර්ශනයක් ක්‍රියාත්මක නොකිරීම ද ගැටලුකාරී බවයි.

එමෙන්ම, සත්‍යග්‍රහයේ නිරත වන සේවකයින් විසින් සත්ත්වෝද්‍යානයට ජලය ලැබෙන ප්‍රධාන ජල කරාම පද්ධතිය ද අක්‍රීය කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

+++++++++++

සත්‍යග්‍රහයේ නිරත සත්වෝද්‍යානයේ සේවකයින්ට අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක්

(20.01.2022 – 19:34 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යක්ෂ ජනරාල්වරියට විරෝධය පල කරමින් ආරම්භ කල සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක කරන බව දෙහිවල සත්වෝද්‍යානයේ වෘත්තීය සමිති පවසනවා.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද (20) දිනයේ ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවති අතර හෙට (21) පෙරවරුවේදී විෂය භාර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් පාලිත ප්‍රනාන්දු සමගද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිතයි.

දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිටදී එහි සේවකයන් අද (20) 3 වන දිනටත් මෙම සත්‍යග්‍රහයේ නිරත වන්නේ රුපියල් 5000 සේ අතුරු දීමනාව කඩිනමින් ලබාදීම, සතුන් මිය යාම සහ රෝගී වීම සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන් සහ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සොයා නොලැබීම ඇතුලු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලමින්.

සත්‍යග්‍රහයත් සමග සේවකයින් සතුන්ගේ කුටිවල අගුළු මාරු කර කුටි විවෘත කිරීමට නොහැකි වන ලෙසට සකසා තිබූ බවත් ජලය සැපයෙන නළ මාර්ග අක්‍රිය කර තිබූ බවත් සත්වෝද්‍යාන පාලන අධිකාරිය සදහන් කළා.

කෙසේ වෙතත්, පසුව සතුන්ගේ කුටිවල දොරගුළු කඩා ආහාරපාන ලබාදීමට කටයුතු කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සත්වෝද්‍යාන පාලන අධිකාරිය සදහන් කළේ.

කෙසේ වෙතත් වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ තමන් විරෝධතාවයේ නිරත වුවද සතුන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ඇති බවයි.

සත්වෝද්‍යාන සේවකයන්ගේ සත්‍යග්‍රහයට සහය දක්වමින් ඉන්ධන, දුම්රිය හා වරාය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින්ද අද (20) එම ස්ථානයට පැමිණ තිබුණා.

මේ අතර රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ මැදිහත්වීම මත සිදු කරන බවට සැකයක් පවතින බවයි.

+++++++++++

දෙහිවල සත්වෝද්‍යාන වෘත්තීය සමිති වර්ජනය අත්හරී

(21.01.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

පාලනාධිකාරියට විරෝධය පළ කරමින් දෙහිවල සත්වෝද්‍යානයේ වෘත්තීය සමිති සේවකයන් ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් කියා සිටියේ, ඊයේ (20) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරු ව බලධාරීන් විසින් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වීම හේතුවෙන් වර්ජනය සහ සත්‍යග්‍රහය අවසන් කරන බවයි.

දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට දී එහි සේවකයන් දින 03 ක් පුරා මෙම වර්ජනය සහ සත්‍යග්‍රහය ක්‍රියාත්මක කළේ, රුපියල් පන්දහසේ අතුරු දීමනාව නො ලැබීම, සතුන් මිය යාම සහ රෝගී වීම සම්බන්ධයෙන් පශු වෛද්‍යවරුන් සහ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සොයා නො බැලීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ෴

***************************************

ස්වාභාවික වන වැස්ම ඉහළ නැංවීමට සැලසුමක්

(20.01.2022 – 09:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ස්වභාවික වන වැස්ම ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ 29.2% ක්ව පවතින ස්වභාවික වන වැස්ම 30% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු සැලසුම් කර ඇති බවයි.

ඒ සඳහා තවත් ඉඩම් හෙක්ටයාර 65,000 ක් වගා කළ යුතු වනවා.

ඉදිරියේ දී මෙරට රබර් වගාව ද ස්වභාවික වන වැස්මට ඇතුළත් කිරීමට යි පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ අනුව මේ වසර තුළ හෙක්ටයාර 500 ක රබර් වගාවක් ආරම්භ කිරීමට නියමිත අතර එහි පළමු අදියර සඳහා වැය වන මුදල රුපියල් මිලියන 100 ක්.

දැනට හෙක්ටයාර 1,36,000 ක රබර් වගාවක් මෙරට තුළ පවතිනවා ෴

***************************************

කාන්තාවක් ඝාතනය කළ සැකකරුවෙකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට

(20.01.2022 – 10:08 +0530 – hirunews.lk/sinhala)

වෙලගෙදර – ගෝනදෙනිය ප්‍රදේශයේ නිවසක කාන්තාවක් ගෙල කපා ඝාතනය කර අනියම් සැමියා ද ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇති කාන්තාවගේ වයස අවුරුදු 46 වන අතර පිරිමි පුද්ගලයා 41 හැවිරිදි වියේ පසුවනවා.

කාන්තාව ඝාතනය කිරීමෙන් පසුව අනියම් සැමියා ද නිවස ආසන්නයේ පිහිටි පාළු නිවසක දී ගෙළ වැළලාගෙන මියගොස් ඇති බවයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ ෴

***************************************

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව ගැන සාක්ෂි කැඳවීමට දින නියම වේ

(20.01.2022 – 10:52 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන කාලයේ දී විශාල වශයෙන් සමාජයේ කතාබහට සහ ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක් අද (20) පෙරවරුවේ නිකුත් කර තිබෙනවා.

ඒ මෙම සිද්ධියට සම්බන්ධ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ මොහොමඩ් රූමිට එරෙහිව ගොනු කර ඇති අදාළ නඩුව කැඳවීම සම්බන්ධවයි.

ඒ අනුව කොළඹ මහාධිකරණය නියෝග කර ඇත්තේ, මෙම නඩුව ගැන සාක්ෂි කැඳවීමට මාර්තු මස 15 වැනි දින නියම කරන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න 2020 වර්ෂයේ ජුනි 10 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළේ 2020 වසරේ මැයි මස 27 වැනි දිනයි.

සේනාරත්න මන්ත්‍රීවරයා සම්බන්ධ නඩුව මාර්ගගත වීඩියෝ තාක්ෂණය ඔස්සේ 2020 වර්ෂයේ මැයි මස 27 වැනි දින විභාග කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නඩු ගොනු නිරීක්ෂණය සඳහා හිටපු අමාත්‍යවරයාව තවදුරටත් බන්ධනාගාරගත කිරීමටයි එහිදී නියෝග කෙරුණේ.

ඒ වනවිට පල්ලන්සේ කඳවුරේ රක්ෂිත භාරයේ නිරෝධායන වෙමින් සිටින සැකකාර රාජිත සේනාරත්න අධිකරණය වෙත ඉදිරිපත් නොකර ස්කයිප් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් වුණා.

මෙම සිද්ධියට අදාළව ඇප අවලංගු වු සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න 2020 වර්ෂයේ මැයි 13 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් භාරවීමෙන් අනතුරුවයි එලෙස රක්ෂිත බන්ධනාගාර භාරයට පත් වුණේ.

මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර රාජිත සේනාරත්නට ඇප දෙනු ලැබුවේ ඉකුත් 2019 දෙසැම්බර් මස 30 වැනි දින වන අතර, පසුව එම ඇප නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය එම වසරේ මැයි 13 වැනිදා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා මෙරට දණ්ඩ නීති සංග්‍රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදු කළ බව සැලකෙන සිද්ධිය සබන්ධයෙන් එවක හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ශනෙලුම්දෙණිය මුලින්ම විවෘත වරෙන්තු නිකුත් කළේ.

ඒ 2019 වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනිදා යි.

පසුව, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකාර හිටපු අමාත්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියදීම කොළඹ මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප ලබා දුන්නේ 2019 දෙසැම්බර් මස 30 වැනිදායි.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, මෙම සිද්ධියේ තෙවැනි සැකකරු වන අතර, මෙහි පළමු, දෙවැනි සහ සිව්වැනි සැකකරුවන් වූයේ, ඩබ්ලිව්. ජී. අතුල සංජීව මදනායක නොහොත් ‘උණ්ඩියල් අතුල’, එස්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි යන අයයි.

මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙනුයි සාක්ෂි විමසීම සඳහා මාර්තු මස 15 වැනි දිනට අධිකරණය මගින් අද (20) දින නියම කෙරුණේ ෴

***************************************

මධ්‍යම අධිවේගී මාර්ගයේ අලුත් කොටසේ පොදු මගී ප්‍රවාහන සේවා ඇරඹේ

(20.01.2022 – 11:10 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල කොටස භාවිත කරමින් පොදු මගී ප්‍රවාහන සේවා අද (20) දින ආරම්භ කෙරුණා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ, කොළඹ සිට මහනුවර දක්වාත්, කොළඹ සිට කුරුණෑගල දක්වාත් සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ සේවා පමණක් අද (20) මෙලෙස ආරම්භ කළ බවයි.

කොළඹ සිට කුරුණෑගල දක්වා බස් ගාස්තුව රුපියල් 390 ක් වන අතර, කොළඹ සිට මහනුවර දක්වා ගාස්තුව රුපියල් 500 ක් ෴

***************************************

අනවසරයෙන් විදුලිය ලබාගත් 18 දෙනෙකු අත් අඩංගුවට

(20.01.2022 – 11:30 +0530 – hirunews.lk/sinhala)

තලවකැලේ වටගොඩ වතු නිවාස යෝජනා ක්‍රමයට අනවසරෙන් විදුලිය ලබාගත් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ වැටලිම් ඒකකයේ නිලධාරින් විසිනුයි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

තලවකැලේ ඔස්පොඩ් වත්තේ අලුතින් ඉදි කරන ලද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස 20 ක් ඉදි කර ඇති අතර, එම නිවාස යෝජනා ක්‍රමයට මෙතෙක් විදුලිය ලබා දී නෑ.

ඒ හේතුවෙන් එම නිවාසවල පදිංචිකරුවන් නිවාස ආසන්නයෙන් ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියෙන් අනවසරෙන් විදුලිය ලබාගෙන ඇති බව යි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ අනවසරෙන් විදුලිය ලබාගත් විදුලි රැහැන් කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් (20) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, වැඩිදුර පරීක්ෂණ තලවකැලේ පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති ෴

***************************************

ආරක්ෂක ලේකම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා පීඨය විවෘත කරයි

(19.01.2022 – defence.lk)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා පීඨය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් උත්සවාකාරයෙන් අද (ජනවාරි 19) දින රත්මලානේදී විවෘත කරන ලද අතර විශ්වවිද්‍යාල මුද්‍රණාලයේ දෙවන අදියර විවෘත කිරීම ද එහිදී සිදු විය.

අලුතින් පිහිටුවන ලද පීඨය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 11 වන පීඨය වන අතර මෙම විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපනයේ ප්‍රමුඛ අයතනයක් බවට පත්වෙමින් තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න මහතා පැවසුවේ මෙවැනි පීඨයක් පිහිටුවීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් 2020 ඔක්‌තෝබර් 19 වැනි දින පැවැති ආරක්‍ෂක කවුන්සිලයේදී මුලින්ම සඳහන් කළ බවත්, එහිදී ඔහු ජාතියට ඵලදායී ලෙස සේවය කිරීම සඳහා නීතිය සහ එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශාස්ත්‍රීය හා වෘත්තීය සුදුසුකම් ඇති නිලධාරීන්ගෙන් සමන්විත වෘත්තීය පොලිස් සේවයක් නිර්මාණය කිරීමේ වටිනාකම අවධාරණය කළ බවත්ය . අනතුරුව, අවශ්‍ය අධ්‍යයන වාතාවරණය නිර්මාණය කිරීමේ වගකීම කොතලාවල විශ්වවිද්‍යාලය වෙත පැවරුණු අතර එහි කළමනාකරණ මණ්ඩලය 2021 මැයි 21 වන දින යෝජිත අපරාධ විද්‍යා පීඨය පිහිටුවීමට අනුමැතිය දුන් බව ගුණරත්න මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

පාසල් අධ්‍යාපනය නිම කරන්නන් සහ වෘත්තිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය අපේක්ෂා කරන බැවින් නව පීඨය කාලීන අවශ්‍යතාවයක් සපුරාලන බවත් එමෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ විද්‍යාව සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල මෑත කාලීනව වර්ධනයන් අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ නියැලී සිටින පුද්ගලයින්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය තීව්‍ර වී ඇති බවත් ඔහුගේ අදහස විය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් ගන්නා ලද මෙම විශිෂ්ට පියවරේ ප්‍රතිඵලයක් ලෙස අපරාධ යුක්ති ක්‍ෂේත්‍රයේ හොඳින් හඳුනන වෘත්තිකයන්ගේ ප්‍රජාවක් අප මාතෘභූමියට සපයමින් නීතිය ක්‍රියාත්මක කිරීමට සහ ඒ ආශ්‍රිත පද්ධතිවලට ඉමහත් දායකත්වයක් සපයනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.

උත්සවය අතරතුර නව පීඨයේ වෙබ් අඩවිය විවෘත කිරීම ද ආරක්ෂක ලේකම්වරයා අතින් සිදු විය.

රණවිරුවන්ගේ ජීවිත පරිත්‍යාගයට කෘතගුණ දැක්වීම සඳහා මොහොතක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් උත්සවය ආරම්භ වූ අතර අපරාධ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජීවා නිරිඇල්ල මහත්මිය පිළිගැනීමේ කතාව කළේය.

මෙම උත්සවයේදී උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් විසින් ආරක්ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් (විශ්‍රාමික), පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් ගුණරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ විශ්ව විද්‍යාල අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ.

***************************************

කටුනායක ගුවන් තොටුපලෙන් මතුවූ ධන නිධානය

(20.01.2022 – 11:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල් වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (20) දින සමත් වුනා.

ඒ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසින්.

අත්අඩංගුවට ගත් පිරිස අතර, කාන්තාවන් තිදෙනෙකු (3) හා පිරිමින් දෙදෙනෙකු (2) සිටිනවා.

අත්අඩංගුවට ගත් පිරිස ඊයේ (19) දින එමිරේට්ස් (Emirates) ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර පරීක්ෂා කිරීම් වලදී මගීන්ගේ ගමන්මලු තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වුණා.

අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර, එක්සත් ජනපද ඩොලර් 22,300, යුරෝ 63,500, ස්ටර්ලින් පවුම් 8,725, සවුදි රියාල් 2,92,000 හා ඩිරාම් 75,000 තිබුනා.

මෙම මුදලේ ශ්‍රී ලාංකා රුපියල් වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට (42) ආසන්න බවයි, රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *