ඇමති ගම්මන්පිල රටම කළුවරේ තියන්නට සැරසෙයි

ඇමති ගම්මන්පිල රටම කළුවරේ තියන්නට සැරසෙයි

*********************************************

ඇමති ගම්මන්පිල රටම කළුවරේ තියන්නට සැරසෙයි

(17.01.2022 – 08:32 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අදින් පසුව (17) ලබා නොදෙන බවයි බලශක්තිය අමාත්‍යවරයා පවසන්නේ.

ඉන්ධන නොමැතිකම හේතුවෙන්, විදුලි බලාගාර කිහිපයක් ම ගිය සතියේ නතර වූ අතර, ඒවා යථා තත්ත්යට පත්කර ගැනීමට ඩීසල් මෙට්‍රික් ටොන් තුන්දහසක් (3000) අවස්ථා දෙකක (2) දී ලබා දුන් බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කරන්නේ, මෙලෙස විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග පිළිබඳව කලින් දැනුවත් කළ යුතු බවයි.

ඒ ඩොලර් ලබාදුන් පසුවද ඉන්ධන ආනයනය සඳහා සතියක පමණ කාලයක් ගතවන බව ඊට හේතුව ලෙස අමාත්‍යවරයා පවසා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසන්නේ, විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතුව නොමැති බවයි.

යම් හෙයකින් දැනට ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති ඉන්ධන තොග විදුලිය නිෂ්පාදනයට ලබා දුන හොත් ඉදිරි සතියකින් පමණ මෙරට දෛනික ප්‍රවාහන අවශ්‍යතා සඳහා නිකුත් කිරීමට ඉන්ධන තොග නැතිව යන බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

ඒ අනුව දැනට ඉතිරි ව ඇත්තේ, පැහැදිලි විකල්ප දෙකක් (2) පමණක් බව පවසන ඔහු පෙන්වා දෙන්නේ, එක්කෝ විදුලිය නිෂ්පාදනය කර ජනතාව පයින් ගමන හුරුවිය යුතු බව හෝ නැතිනම් පැය කිහිපයක් අඳුරේ සිට නිසි කළමනාකරණයකින් යුතුව එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීම බවයි.

කෙසේ වෙතත් දිනකට පැය දෙක තුනක් (2-3) විදුලිය කපා හැර මේ තත්ත්වය කළමනාකරණය කරගත හැකි වුව ද ‍රථ වාහන අවශ්‍යතා සඳහා එවැනි විකල්ප වැඩපිලිවෙළක් කරා යොමු වීමේ හැකියාවක් නොමැති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසන්නේ.

මේ වන විට විදුලිබල මණ්ඩලයට වරින් වර ලබා දී ඇති ඉන්ධන වෙනුවෙන් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 920 ක මුදලක් බලශක්තිය අමාත්‍යාංශයට ලබා දිය යුතු බව අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද රුපියල් කෝටි 650 ක ඉන්ධන බලශක්ති අමාත්‍යංශයෙන් ණයට ලබාගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

එබැවින් අදාළ ආයතන දෙකට (2) ම ඉන්ධන අවශ්‍ය නම් කඩිනමින් ඩොලර් ලබාදීමට කටයුතු කරන ලෙස නිල වශයෙන් දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම නිල දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ඉන්ධන සඳහා ඩොලර් ලබාදුන් බවත් මෙතෙක් විදුලිබල මණ්ඩලය එසේ කර නො මැති බවත් අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම ඔහු අවධාරණය කරන්නේ සිය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයට සිදු කළ දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් විදුලි බල මණ්ඩලයේ පවසා ඇත්තේ, ජනවාරි මස අවසන් භාගය වන තෙක් තමන් සතු ව ඇති තෙල් සංචිත කළමනාකරණය කරගත හැකි බවයි.

තත්ත්වය එසේ තිබිය දී පසුගිය 13 වැනි දා සිට විදුලිබල මණ්ඩලයට ඉන්ධන අවශ්‍යව ඇති බව ඊට දින දෙකකට (2) පමණ පෙර සිය අමාත්‍යාංශයට දැනුම් දුන් බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

මෙරට ආර්ථිකය බරපතළ ඩොලර් හිඟයකට මුහුණ පා ඇති අවස්ථාවක එවැනි හදිසි දැනුම් දීම් සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්විය නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පවසන්නේ, දැනට පවතින තත්ත්වය අනුව ඛණිජ තෙල් ආනයනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සකසා ගත නොහැකි වුව හොත් ඉදිරියේ දී විදුලිය නිෂ්පාදනයට මෙන්ම මෙරට දෛනික ප්‍රවාහනයට ද බරපතළ ගැටලු සහගත තත්ත්වයක් ඇති කරනු ඇති බවට යි.

බොහෝ විට පෙබරවාරි මස මුල සිට පැය හතරක (4) පමණ කාලයක විදුලිය කප්පාදුවක් සිදු විය හැකි බවටත් ඔහු අනතුරු අඟවනවා ෴

++++++++++++

ඉන්දියාවෙන් තෙල් මිල දී ගැනීමට ලොකුගේ සැරසෙයි

(17.01.2022 – 13:03 +0530 – hirunews.lk/sinhala)

විදුලි අර්බුදයට විසඳුම් ලෙස බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ඉන්දීය තෙල් සමාගමෙන් ලබාගැනීමට සාකච්ඡා කරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

අද (17) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සාකච්ඡා ආරම්භ කරන ලෙස තමන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බවයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වී තිබීම සහ කැලණිතිස්ස බලාගාරයේ හටගත් දෝෂ සහගත තත්ත්වයත් සමඟ මෙරට අඛණ්ඩ විදුලි සැපයුම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් උද්ගත වුණා.

ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ තමන් මුහුණදෙන ඩොලර් අර්බුදය හමුවේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබාදිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මාසිකව මෙරටට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 400 ක් පමණ වැය වන අතර, විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය මාසික ඉන්ධන පිරිවැය ඩොලර් මිලියන 30 ක්.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ‘හිරු හාඩ් ටෝක්’ විශේෂාංගය සමඟ එක්වෙමින් පසුගිය දා සඳහන් කළේ, හෙටින් පසු විදුලි උත්පාදනයට ඉන්ධන ලබාදිය හැක්කේ විදුලිබල මණ්ඩලය ඩොලර් සැපයුව හොත් පමණක් බවයි.

කෙසේ වෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (17) ප්‍රකාශ කළේ, බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව සතුව පූර්ව සැළැස්මක් තිබිය යුතු බවයි.

ඒ සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරන තෙක් බලා සිටීම සාධාරණ නො වන බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ, එළඹෙන අප්‍රේල් මාසය වනවිට රට බරපතල විදුලි අර්බුදයකට මුහුණදීම වැළැක්විය නොහැකි බවයි.

කෙසේ වෙතත් ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ අද (17) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, විදුලි අර්බුදයට විසඳුම් ඉදිරිපත් නොකර, අර්බුදයක් ගැන ප්‍රකාශ සිදු කිරීමට ඉංජිනේරුවන් අවශ්‍ය නොවන බවයි.

++++++++++++++

විදුලි ඉංජිනේරුවන් හෙට (18) ලෙඩ වෙයි

(17.01.2022 – 15:32 +0530 – hirunews.lk/sinhala)

නව සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව හෙට (18) දින ලෙඩ නිවාඩු වාර්තා කොට වෘත්තීය ක්‍රියාමාර්කයකට එළඹෙන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළා.

මේ අතර විදුලිබල මණ්ඩලයට තෙල් දීමට සිදු වුණොත් රටේ සමස්ත ඉන්ධනවල හිඟයක් ඇති වන බව පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන්කුමාර පවසනවා.

+++++++++++++

අර්බුදය මැද විදුලි ඉංජිනේරුවන් හෙට (18) ලෙඩ වෙයි

(17.01.2022 – 19:38 +0530 – hirunews.lk/sinhala)

නව සාමාන්‍යාධිකාරිවරයාගේ පත්වීමට එරෙහිව හෙට (18) දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් විරෝධතාවක නිරත වීමට විදුලි ඉංජිනේරු සංගමය තීරණය කර තිබෙනවා.

මේ අතර, විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් සැපයිය යුතු බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ.

මෙවන් පසුබිමක විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය ඉන්ධන ‘ලංකා අයි.ඕ.සී.’ සමාගමෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් ලබාදීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා පියවර ගනු ලැබුවා.

ඒ මත පදනම්ව විදුලිබල අමාත්‍යවරයා මීට පෙර පැවසුවේ හෙට (18) දිනය දක්වා විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

කෙසේ වෙතත්, නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇති පසුබිමක ලබන 22 වැනිදා දක්වා අවශ්‍ය ඉන්ධන නොලැබුණහොත් විදුලිබල සැපයුමට බාධා එල්ල විය හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙවන් පසුබිමක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ විදුලිබල මණ්ඩලයට මින් ඉදිරියට ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බවයි.

ඒ අනුව විදුලි උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන අදින් පසුව ලබා නොදෙන බව අප කළ විමසීමකදී බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ අද (17) පෙරවරුවේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වූ බවයි.

විදුලි අර්බුදයක් පවතිද්දී, අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට ලංකා විදුලි ඉංජිනේරු සංගමය තීරණය කර තිබෙනවා.

***************************************

උසස් පෙළ සිසුන්ට වන අසාධාරණයක් ගැන විපක්ෂ නායක කතා කරයි

(17.01.2022 – 08:00 +0530 – hirunews.lk/sinhala)

විෂය නිර්දේශ ආවරණය නොකර උසස් පෙළ සිසුන් වෙනුවෙන් විභාගය පැවැත්වීම ඔවුන්ට සිදු කරන අසාධාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේගයේ මස්කෙළිය බලමණ්ඩලය හැටන් ප්‍රදේශයේ ඊයේ (16) සංවිධාන කර තිබූ ජන හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ ෴

***************************************

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

(17.01.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ සති අන්ත නිවාඩුවේදී ජාතික සත්ත්වෝද්‍යානයට අයත් ආයතනවලට වාර්තාගත ආදායමක් ලැබී තිබෙනවා.

පසුගිය 14, 15 සහ ඊයේ (16) දිනය වන විට රුපියල් 1,30,44,221 ක ආදායමක් ලැබී ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ සඳහන් කළේ.

ඒ අනුව දෙහිවල, පින්නවල සහ රිදීගම සෆාරි යන ආයතනවලට මෙම ආදායම් ලැබී තිබෙනවා.

රිදීගම සෆාරි උද්‍යානය ආරම්භ කළ දිනයේ පටන් මේ දක්වා කාලය තුළ වැඩිම ආදායමක් ලැබී ඇත්තේ ද ගෙවුණු දින දෙක (2) තුල දී බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

‘දෝරා’ සිංහ පැටවා හෙට (18) සිට මහජන ප්‍රදර්ශනයට

(17.01.2022 – 20:25 +0530 – hirunews.lk/sinhala)

රුහුණු රිදියගම සෆාරි උද්‍යානයේ උපන් මාස හතර හමාරක් (4½) වයසැති ‘දෝරා’ සිංහ පැටවා හෙට (18) සිට මහජන ප්‍රදර්ශනයට එක්කරන බව සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

***************************************

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් වැසේ

(17.01.2022 – 09:57 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධන කටයුත්තක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා කොටස මාස 06 ක කාලයක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව කිලෝමීටර 120 ක දුරක් සංවර්ධනය කිරීමට නියමිත අතර, ඒ සදහා ඩොලර් මිලියන 92 ක් වැය වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

දැනට මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කළ හැකි උපරිම වේගය වන්නේ පැයට කිලෝමීටර 80 ක්.

මහව සිට ඕමන්තේ දක්වා කොටස සංවර්ධනය කිරීමෙන් පසු පැයට කිලෝමිටර 100 ක උපරිම වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකියි ෴

***************************************

පොල්පිතිගම දී හා තිස්සමහාරාමයේ දී මනුෂ්‍ය ඝාතන දෙකක් (2)

(17.01.2022 – 11:04 +0530 – hirunews.lk/sinhala)

පොල්පිතිගම පොලිස් වසමේ මඩහපොළයාය – පොතුවිල දී වායු තුවක්කුවකින් වෙඩි තබා කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වෙනවා.

මරණකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතකයා සහ මියගිය පුද්ගලයා අතර දින හතරකට පෙර ආරවුලක් ඇති වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට යි විමර්ශනවලින් අනාවරණය වෙන්නේ.

වැඩිදුර පරීක්ෂණ පොල්පිතිගම පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.

මේ අතර, ගෙල මිරිකා සිදු කළ ඝාතනයක් පිළිබඳ තිස්සමහාරාම – විරහෙල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

නිවසක පැවති විවාහ මංගල උත්සවයක් අතරතුර එක ම පවුලේ සාමාජිකයින් අතර ඇති වූ ආරවුලක් හේතුවෙනු යි මෙම මරණය සිදු වී ඇත්තේ.

මරණකරු වයස අවුරුදු 54 ක පඩවිගම – ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ තිස්සමහාරාම පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති ෴

***************************************

‘ටික්-ටොක් කිරි සමන්’ බන්ධනාගාරගත කෙරෙයි

(17.01.2022 – 11:16 +0530 – hirunews.lk/sinhala)

එකළොස් (11) හැවිරිදි දැරිවියක් අපයෝජනය කිරීමේ ඛේදනීය පුවතක් රාජගිරිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

රාජගිරිය – කලපලුවාවේ පදිංචි සමාජ මාධ්‍ය ජාලාවල ටික්ටොක් කරන ‘ඕෂධ නිලාන්’ නමැත්තෙකු විසින් මෙම දැරිය අපයෝජනය කර ඇති බවයි ‘එක්සත් මානව හිමිකම් සංවිධානය’ නිවේදනය කරන්නේ.

අදාළ දැරියගේ දෙමව්පියන් ගොළු පුද්ගලයන් වන බවත් වාර්තා වනවා.

සමාජ මාධ්‍ය ජාලාවල ටික්ටොක් කරමින් කාලය ගත කරන ‘ඕෂධ නිලාන්’ නොහොත් ‘ටික්ටොක් කිරි සමන්’ නමැත්තෙකුගේ මුල්වීමෙන් අදාළ දැරිය අපයෝජනය කර ඇති අතර, 21 හැවිරිදි ‘මොහාන්’ නමැති ‘කිරි සමන්’ගේ මිතුරෙකු ද දැරිය අපයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරුවන් වට්ස් ඇප් මාර්ගයෙන් මෙම දැරිය හා මිතුරු වී ඇත්තේ, ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ දැන හඳුනා ගැනීමෙන් පසුව යි.

අනතුරුව ‘කිරි සමන්’ නමැත්තා පසුගිය දෙසැම්බර් මස දිනක රාත්‍රියේ දී අදාළ දැරිය නිවසින් පිට කරවාගෙන සාදයකට ගෙන ගොස් මත්ද්‍රව්‍ය ද පොවා, පසුව දා නිවසට ඇරලවා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඉන්පසුව කිහිප වතාවක් ම මෙලෙස දැරිය නිවසින් බැහැර ව ගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති අතර, ‘කිරි සමන්’ නමැත්තාගේ මිතුරා වන ‘මොහාන්’ විසින් ජනවාරි මස පළමු වැනි දා (01) අදාළ දැරිය අපයෝජනය කර ඇති බව යි ‘එක්සත් මානව හිමිකම් සංවිධානය’ සඳහන් කළේ.

අදාළ දැරිය ව කැලණිය, දෙහිවල ප්‍රදේශවල සංවිධානය කෙරුණු සාදවලට රැගෙන ගොස් අපයෝජනය කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇති අතර මේ හේතුවෙන් දැරිය සති 02 කට ආසන්න කාලයක් මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා.

මෙම අපරාධයට වයස අවුරුදු 19 හා 23 වැනි වයස්වල පසුවන තරුණියන් දෙදෙනකු (2) ද සම්බන්ධ බවයි සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම අපරාධයට වගකිව යුතු ප්‍රධාන සැකකරුවන් වන ‘ඕෂධ නිලාන්’ ඇතුළු ඔහුගේ සගයා පෙරේදා දිනයේ දී (15) අත්අඩංගුවට ගෙන එළඹෙන 19 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කෙරුණා.

මේ වන විට ටික්ටොක් සමාජ මාධ්‍යය, සමාජයේ ජීවත් වන දරුවන්ගේ ජීවිත බිලිගන්නා මාරයෙක් බවට පත් ව ඇති බවත් තවත් මෙවැනි ඛේදනීය සිදුවීම් රට තුළ දෛනික ව වාර්තාවීමේ තත්ත්වයකට පත් වී ඇති බවත් වහාම මෙම ටික්ටොක් අත්හිටුවීමට වගකිව යුතු බලධාරින් කටයුතු කළ යුතු බවත් එක්සත් මානව හිමිකම් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

++++++++

බාල වයස්කාර දැරියකට මත්ද්‍රව්‍ය ලබාදී ඇයව අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියකට තරුණයන් සිව් දෙනෙකු (4) සහ තරුණියන් දෙදෙනෙකු (2) තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

11 හැවිරිදි දැරියක් මෙලෙස අපයෝජනයට ලක්වී ඇති අතර ඇය මේ වන විට මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සදහන් කළේ.

අදාළ තරුණයින් පිරිස මෙම දැරිය අවස්ථා කිහිපයකදී කොළඹ ප්‍රදේශයේ පිහිටි සාදවලට ද කැදවාගෙන ගොස් ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා යොමු කරගෙන ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් රාජගිරිය, මට්ටක්කුලිය සහ කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *