ඛේදවාචකයක් වූ සිරිපා ගමන – ජීවිත 5 ක් දියට බිලිවෙයි

ඛේදවාචකයක් වූ සිරිපා ගමන – ජීවිත 5 ක් දියට බිලිවෙයි

*********************************************

ඛේදවාචකයක් වූ සිරිපා ගමන – ජීවිත 5 ක් දියට බිලිවෙයි

(16.01.2022 – 21:23 +0530 – hirunews.lk/sinhala)

සිරිපාගම ශ්‍රී පලාබද්දල ප්‍රදේශයේ කළු ගඟේ දිය නාමින් සිටි සිව්දෙනෙකු (4) ජල පහරකට හසු වී ගසාගෙන ගොස් ඉන් තිදෙනෙකු (3) මියගොස් එක් (1) අයෙක් දිවි බේරාගෙන තිබෙනවා.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයකින්ද දියේ ගිලී සිදුවූ මරණ පිළිබඳව තොරතුරු වාර්තා වුණා.

ශ්‍රී පාද වන්දනාවේ පිටත්ව ගිය පිරිසක් සිරිපාගම ශ්‍රී පලාබද්දල ප්‍රදේශයෙන් කළු ගඟේ දිය නාමින් සිටියදී ජල පහරකට හසුව තිබුණේ ඊයේ (15) පස්වරුවෙයි.

ශ්‍රී පාද රක්ෂිත ප්‍රදේශය‍ට ඊයේ (15) පස්වරුවේ ඇදහැලුණු දැඩි වර්ෂාවත් සමග ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් පිරිස මෙම අනතුරට ලක්ව තිබෙනවා.

එහිදි එක් (1) අයෙකුගෙ දිවි බේරා ගැනිමට ප්‍රදේශවාසින්ට හැකිවු අතර අනෙක් තිදෙනා (3) ජිවිතක්ෂයට පත්වුණා.

දිවි බේරාගත්තේ අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි විමුක්ති මධුෂංකයි.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණේන බැතිමතුන් පිහිටි මෙම ස්ථානය නිරන්තරයෙන් භාවිත කළද අවදානම් පුවරුවක් හෝ ප්‍රදර්ශනය කර නොමැති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

දියේ ගිලීමෙන් ජිවිතක්ෂයට පත්වු දෙදෙනෙකු (2) පියා සහ පුතු දෙපලක් වන අතර අනෙක් පුද්ගලයා (1) යුද හමුදා සෙබලෙක්.

ඉන් දෙදෙනෙකුගේ (2) මෘත ශරීර ඊයේ (15) රාත්‍රියේ සොයාගත් අතර අනෙක් මෘත ශරීරය අද (16) උදැසන සොයා ගත්තා.

සිද්ධියෙන් මියගිය පියපුතු යුවළ අඟුරුවාතොට උඩුවර නව නිවාස හි පදිංචිකරුවන්.

40 හැවිරිදි සමන් ක්‍රිෂාන්ත සහ ඔහුගේ දෙවෙනි (2) පුතුවන මදුරාව මහා විද්‍යාලයේ හයවන (6) ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසිඳු නිමසර මෙලෙස ජීවිතක්ෂයට පත්වුණා.

ජිවිතක්ෂයට පත් වු අනෙක් පුද්ගලයාද අඟුරුවාතොට උඩුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පනාගොඩ යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ සාමාන්‍ය සෙබළෙක් වූ ඔහු 23 හැවිරිදි වියේ පසුවුණා.

මේ අතර කොස්ලන්ද ප්‍රදේශයේ මකල්දෙණිය ගඟේ දිය නාමින් සිටි 16 හැවිරිදි තරුණයෙකු ඊයේ (15) දියේ ගිලී ඇති අතර ඔහු කොස්ලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

එමෙන්ම සෙවනගල ප්‍රදේශයේ උඩවලව ජලාශයේ ජලය බෙදාහරින ඇළ පහරක දිය නාමින් සිටි කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකුද දියේ ගිලී මියගොස් තිබෙනවා.

***************************************

සේවය කම්බස් කරන බස් ලොක්කා

(16.01.2022 – 21:39 +0530 – hirunews.lk/sinhala)

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නම් ආයතනය මෙරට තුළ ස්ථාපිත කර ඇත්තේ බස් මගීන් සඳහා ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිවයි.

එහෙත්, වයඹ පළාතේ එම අධිකාරියේ සභාපතිවරයා විසින් සිදුකර ගෙන යන අයථා ක්‍රියාකලාපය හේතුවෙන් මේ වනවිට මගීන් දැඩි අනතුරුදායක තත්ත්වයකට පත් කර ඇති බව ‘හිරු සී.අයි.ඒ.’ වෙත වාර්තා වනවා.

අද (16) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

ගලෙන්බිදුනුවැව – කුරුණෑගල බස් මාර්ගයේ ධාවනයේ යොදාවා ඇති NL 3205 අංකය සහිත බස් රථය වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වන දිල්ෂාන් වර්ණපුර නැමැත්තාට අයත් වුවක්.

මෑතක සිට උදෑසන කාලයට පාසල් ළමුන්ල කාර්යාල සේවකයන් වැඩි වශයෙන් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට පැමිණෙන අවස්ථාවේ කුරුණෑගල දක්වා ගමන්වාරය සපුරා ගැනීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා හා ඔහු යටතේ සේවයේ නියුතු පිරිස විවිධ උපක්‍රම යොදවන බවයි බස් රථ සේවකයින් චෝදනා කරන්නේ.

තමන්ගේ ගමන් වාරය කල් දැමීමට සිදුකරන බලපෑමත් සමග බස් රථ අතර දැඩි තරගයක් ඇතිවීම හේතුවෙන් පැයට සැතපුම් 100 ඉක්මවු වේගයකින් බස් රථ ධාවනය කිරීමට සිදුව ඇති බවයි මෙම බස් රථ සේවකයින් පවසන්නේ.

මොවුන් පවසන්නේ වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාට රජයෙන් ලබාදී ඇති නිල රථය යොදාගෙන අනෙක් බස් රථවලට ඔහුගේ බස් රථය ඉස්සර කිරීමට ඉඩ නොදී ගමන් ගන්නා බවයි.

සභාපතිවරයා හා අධිකාරියේ සේවකයින් දළඳා ගමින් ඔහුගේ බස් රථයට ඉදිරියට යාමට ඉඩ කඩ ලබාදී වෙනත් බස් රථවල ගමනාගමනයට බාධා පමුණුවනවා.

මේ පිළිබඳව අප වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කලේ තමන් එලෙස බාධා කිරීම් සිදු නොකළ බවයි.

මෙපමණක් නොව අනෙකුත් සියලු මගී බස් රථ කුරුණෑගල බස් රථ නැවතුම් පළ වෙත යොමුකරද්දී සභාපතිවයාගේ බස් රථයට පමණක් නගරයේ රාජ්‍ය ආයතනල පාසල් අසලට ළමුන් ප්‍රවාහනය කිරීම් ආදී විශේෂ පහසුකම් සැපයීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.

කලින් කලට මගී ප්‍රවාහන අධිකාරියට පත්කෙරෙන සභාපතිවරුන්ගේ වගකීම තම මඩිය තර කර ගැනීම සඳහා මෙලෙස අත්තනෝමතිකව ක්‍රියා කිරීම දරෑ එසේත් නැතිනම් මගීන්ට ගුණාත්මක සේවයක් සැපයීමද ?

මේ අනාවරණයට විසඳුමක් ලැබෙන තුරු ‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් අවධානයෙන්.

***************************************

රිය අනතුරුවලින් ඊයේ (16) පුද්ගලයින් හතක් (7) මරුට

(17.01.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

හිගුරාන – සියඹලාන්ඩුව මාර්ගයේ අලිවංගුව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් තුන් දෙනෙකු (3) මියයෑමේ සිද්ධිය ඇතුලුව තවත් ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් හත්දෙනෙකු (7) මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හිඟුරාන – සියඹලාන්ඩුව මාර්ගයේ අලිවංගුව ප්‍රදේශයේ දී දමන දෙස සිට වඩිනාගම දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් ඊයේ (16) පස්වරුවේ අනතුරක් සිදුව ඇති බවයි.

සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් කළ එහි රියදුරු තවත් කාන්තාවක් සහ කුඩා පිරිමි දරුවෙ මියගොස් තිබෙනවා.

අනතුර වන අවස්ථාවේ දී මෝටර් රථයේ අටදෙනෙකු (8) ගමන් කර තිබෙනවා.

සිද්ධියෙන් මියගිය රියදුරුගේ වයස අවුරුදු 31 ක් වන අතර, කාන්තාව 29 හැවිරිදි වියේත් කුඩා දරුවා හතර (4) හැවිරිදි වියේත් පසුවනවා.

මොවුන් කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ තවත් පස්දෙනෙකු (5) තුවාල ලැබුවා.

ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ (2) තත්වය බරපතළ බව යි වාර්තාවන්නේ.

මෝටර් රථයේ සහ ලොරි රථයේ අපරික්ෂාකාරී සහ නො සැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

මීට අමතරව වැලිකන්ද, නවගමුව, පන්නල, යාපනය යන ප්‍රදේශවල සිදු වූ රිය අනතුරුවලින් තවත් හතර දෙනෙකු මියගියා ෴

***************************************

රාජ්‍ය ආයතනවල ඉඩම් සහ වාහන ගැන විමර්ශනයක්

(17.01.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala)

සියලු ම අමාත්‍යාංශවල සහ රාජ්‍ය ආයතනවල භාවිත කරන ඉඩම්, වාහන සහ ගොඩනැගිලි පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සෑම රාජ්‍ය ආයතනයකින්ම අදාළ තොරතුරු අප්‍රේල් මස මුල් සතියට පෙර ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඇතැම් රාජ්‍ය ආයතන සතු වාහනවලට අමතර ව තවත් වාහන ප්‍රමාණයක් කුලියට ලබාගෙන පාවිච්චි කරනු ලබන බවට තොරතුරු ලැබී තිබෙනවා.

රාජ්‍ය ආයතන සතු ඉඩම් සහ ගොඩනැගිලි සම්බන්ධයෙන් විවිධ තොරතුරු ලැබීම හේතුවෙනුයි මෙලෙස තොරතුරු පරීක්ෂා කිරීමක් ආරම්භ කර ඇත්තේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඩෙල්ටා අභිබවා ඔමික්‍රොන් මෙරට පැතිරේ

(16.01.2022 – 08:40 +0530 – hirunews.lk/sinhala)

පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින් සොයාගත් කොරෝනා ආසාදනය වූ විට සංකූලතා වැඩි කරන ජානය මෙරට පුද්ගලයින්ගේ ශරීර තුළ පවතින්නේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පර්යේෂණ පැවැත්වීමට අපේක්ෂා කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය පවසනවා.

පෝලන්තයේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අනාවරණ කරගෙන තිබුණේ එම ජානය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට කොරෝනා රෝගය උත්සන්න වියහැකි බවයි.

තවත් කොරෝනා අසාදිතයන් 661 ක් ඊයේ (15) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 5,95,657 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,197 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (15) වාර්තා වූ කොරෝනා මරණ 07 ත් සමගයි.

මේ අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය මගින් පර්යේෂණය කළ කොරෝනා ආසාදිතයන් 182 කුගේ සාම්පල වාර්තාවලින් 160 දෙනෙකු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් බව තහවුරු වුණා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ පරීක්ෂාවට ලක් කෙරුණු අනෙක් ආසාදිතයන් විසි දෙදෙනා (22) ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බවයි.

ඒ අනුව ඩෙල්ටා අභිබවා ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් පැතිර යන බව ඔහු පෙන්වා දෙනවා.

ඔමික්‍රොන් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනෙන් (3) දෙකක් (2) මෙරට සාම්පලවලින් හඳුනාගෙන ඇති අතර, ඉන් එක් ප්‍රභේදයක් ස්වභාවික සහ එන්නත්කරණ ප්‍රතිශක්තියට වැඩි ප්‍රතිරෝදයක් දක්වමින් වැඩි සම්ප්‍රේෂණ හැකියාවකින් යුක්ත වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම, මෙලෙස හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් විශේෂයෙන් හඳුනා ගෙන ඔවුන් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.

එම සංගමය වැඩිදුරටත් ජනතාවට දැනුම් දී සිටින්නේ පවතින තත්ත්වය හමුවේ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම සහ නිසි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන ලෙසටයි.

මේ අතර, කොරෝනා රෝග ලක්ෂණ පවතින්නේ නම් ඒවා පිළිබඳව දැනුවත් නොකර විභාග සඳහා පෙනී සිටින ලෙසට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ භාෂා හා සන්නිවේදන අධ්‍යයන පීඨයේ ප්‍රධානියා, ව්‍යාපාර හා සන්නිවේදන අංශයේ සිසුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, එහි පළමු වසරේ සිසුන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙන්.

මෙම දිනවල අවසන් වසරේ සිසුන්ට විභාග පැවැත්වෙන අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු කොරෝනා පරීක්ෂණ සඳහාද යොමුකර තිබෙනවා.

කොරෝනා වෛරසය විශ්වවිද්‍යාලයේ ව්‍යාප්තවීමත් සමඟ ත්‍රිකුණාමලය මණ්ඩපයේ සෙසු පීඨ දෙක (2) වසා දමා එහි සිසුන්ගේ විභාග කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළේ.

එලෙස තිබියදීයි රෝග ලක්ෂණ පවතින්නේ නම් ඒ පිළිබඳව කිසිවෙකුටත් දැනුම් නොදෙන ලෙසට ව්‍යාපාර හා සන්නිවේදන අංශයේ සිසුන්ට භාෂා හා සන්නිවේදන අධ්‍යයන පීඨයේ ප්‍රධානී, ආචාර්ය නවීන් රාජ් ප්‍රකාශ කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඔහුගෙන් අප විමසීමක් කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය නවීන් රාජ් ප්‍රකාශ කළේ තමාට ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, ගැටළුව පිළිබඳව පීඨාධිපතිවරයා දැනුවත් කළද අධ්‍යයන පීඨයේ ප්‍රධානියා විභාග කල් දැමීමට ඉඩ ලබා නොදෙන බවට පීඨාධිපතිවරයාද ප්‍රකාශ කළ බවයි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ භාෂා හා සන්නිවේදන අධ්‍යයන අංශයේ සිසුන් ප්‍රකාශ කළේ ෴

++++++++++++++

කොරෝනා ආසාදිතයින් අතුරින් තවත් 161 ක් සුවය ලබයි

(16.01.2022 – 14:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතයින් අතුරින් තවත් 161 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 568,210 ක්. දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 12,250 ක් ෴

++++++++++++++

ඔමික්‍රොන් සමග කොරෝනා තුරන්ව යා හැකියි – රාජ්‍ය ඇමති චන්න කියයි

(16.01.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රොන් ප්‍රභේදය සමඟ කොරෝනා වසංගතය ලෝකයෙන් තුරන්ව යා හැකි බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ එප්පාවල රජයේ රෝහලේ මිලියන 55 ක වියදමින් ඉදිකෙරෙන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට අද (16) එක්වීමෙන් අනතුරුව කොරෝනා සිව් වන මාත්‍රාවක් පිළිබදව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ෴

++++++++++++++

තවත් කොරෝනා මරණ 14 ක්

(16.01.2022 – 16:57 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 14 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කරන ලද මෙම මරණ 14 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,211 ක් ලෙසටයි.

මෙම මරණ අතර කාන්තාවන් 10 ක් සහ පිරිමි 4 දෙනෙකු වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් මෙම මරණ 14 අතර නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ මරණ 4 ක් වන අතර ඒ කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමි දෙදෙනෙකු (2) වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 08 ක් සහ පිරිමි දෙදෙනෙකු (2) වශයෙන් මරණ 10 ක් වාර්තාවී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 5,95,657 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් 12,250 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස්වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,68,210 ක් ෴

++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 690 ක්

(16.01.2022 – 21:21 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 690 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,96,347 ක් ලෙසටයි. විදේශගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයන් තුන්දෙනෙකු (3) ද අද වාර්තා කළ ආසාදිතයන් 690 අතර වනවා ෴

++++++++++++++

පාසල් ළමයින්ට දෙවැනි (2) මාත්‍රාව දින කිහිපයකින්

(17.01.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

වයස අවුරුදු 16 ත් 19 ත් අතර පාසල් ළමයින් සඳහා ද කොරෝනා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීම තවත් දින කිහිපයකින් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ඊයේ (16) දිනයේ මෙරටින් ආසාදිතයන් 690 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඊයේ (16) හඳුනාගත් නව ආසාදිතයන් 690 දෙනා සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියේ 5,96,347 ක් ලෙස යි.

ඒ අනුව මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 12,926 ක්.

නව මරණ 14 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 15,211 ක් ලෙසයි.

එමෙන්ම අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත ඊයේ (16) අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මේ වනවිට එන්නත්කරණ කටයුතු සාර්ථක ව සිදු වන බවයි.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් තිස් දෙකෝටි අසූ හය ලක්ෂ හැටහයදහස් අටසිය තිහක් (32,86,66,830) ලෙස දැක්වෙනවා.

සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 55,57,587 ක් ලෙසයි.

ගත වූ පැය විසි හතරේත් (24) ඇමරිකාව, ඉන්දියාව සහ ප්‍රංශයෙන් නව ආසාදිතයන් ලක්ෂ දෙක ඉක්මවා වාර්තාවන අතර, ඉතාලියෙන් ඊයේ දිනයේ දී ආසාදිතයින් ලක්ෂය ඉක්මවා වාර්තා වුණා ෴

+++++++++++++++

තවත් කොරෝනා මරණ 7 ක්

(17.01.2022 – 18:58 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 7 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 15,218 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *