බොරැල්ල පල්ලියේ අත්බෝම්බය ගැන අනුර කුමාර දිසානායකගෙන් හෙළිදරව්වක්

බොරැල්ල පල්ලියේ අත්බෝම්බය ගැන අනුර කුමාර දිසානායකගෙන් හෙළිදරව්වක්

*********************************************

බොරැල්ල පල්ලියේ අත්බෝම්බය ගැන අනුර කුමාර දිසානායකගෙන් හෙළිදරව්වක්

(15.01.2022 – 11:19 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයට බෝම්බයක් රැගෙන ඒමේ සිදුවීම පිළිබඳ අනුර කුමාර දිසානයක විශේෂ ප්‍රකාශයක් සිදු කරනවා.

රාගම පැවති ජනහමුවක් අමතමින් ඔහු පැවසුවේ, නිතැතින් ම එම සිදුවීම පසුපස දේශපාලන හස්තයක් ඇති බව යි.

සිදුවීමට අදාළ නො වන පුද්ගලයෙකු අත් අඩංගුවට ගනිමින්, පොලිසිය සිදු කරන්නේ, සත්‍යය වසන් කොට හැංඟිමුත්තන් සෙල්ලමක් බවට යි ඔහු ප්‍රකාශ කළේ.

වැළලී ගිය මෙරට සියලු අපරාධ පසුපස අදිසි දේශපාලන හස්තයක් හා රැකවරණයක් පවතින බව අවධාරණය කරන අනුර කුමාර දිසානායක, මෙම දේශපාලන අර්බුද සමඟ රට ගොඩ නැඟිය නො හැකි බව හෙළිදරව් කරනවා.

ඉන් මිදී නිවැරැදි දේශපාලන දැක්මක් සහිත දියුණු රාජ්‍යයක් ගොඩ නැඟිය හැක්කේ, නව පන්නයේ නිදහස් මහජන ව්‍යාපාරයක් තුළින් බවට යි ඔහු සඳහන් කරන්නේ.

++++++++++

බොරැල්ලේ අත්බෝම්බය ගැන පරීක්ෂණ අවසන් කිරීමට යම් කාලයක් අවශ්‍යයි – ආරක්ෂක ලේකම්

(15.01.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානය තුළින් හමුවූ අත්බෝම්බය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් කිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය බව, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රකාශ කළා. ඒ, මහනුවරදී අද (15) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

අද (15) විදුලි කප්පාදුව ගැන මෙතෙක් තීරණයක් නැහැ

(15.01.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට මතුව ඇති දුෂ්කරතා හේතුවෙන් ඊයේ (14) රාත්‍රියේත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක (1) පමණ කාලයක් විදුලිය විසන්ධි කෙරුණා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා දුන් ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක පමණ ප්‍රමාණය ගොඩබෑම ඊයේ (14) පස්වරුවේ සිට ආරම්භ කෙරුණු බවයි ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් පවතින තත්වය හමුවේ අද (15) දිනයේ දී විදුලිය කප්පාදු කරන්නේ ද යන්න පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් දැනුවත් කිරීමක් සිදු කර නැහැ ෴

++++++++++

අද (15) විදුලි කප්පාදුවක් නැහැ

(15.01.2022 – 09:49 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් ලබාදීම හේතුවෙන් අද (15) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි අතිරේක සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ, මේ වනවිට තෙල් සංස්ථාවෙන් ලැබුණු ඉන්ධන කැලණිතිස්ස බලාගාරය වෙත යොමු කරමින් පවතින බවයි.

පසුගිය දිනවල දී විදුලිය කප්පාදුව පිළිබඳ රට තුළ මහත් සේ කතාබහකට ලක් වුණා.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හා දිනක විදුලිය නිෂ්පාදනය අවශ්‍ය දැවි තෙල් ලබාගැනීමට පැවති ඩොලර් හිඟය මීට හේතු වුණා.

ගාමිණී ලොකුගේ ඇමතිවරයා පුන පුනා මාධ්‍යය ඉදිරියේ විදුලිය නො කපන බව පැවසුවත් පසුගිය දින කිහිපයේ ම විටින් විට විදුලි කප්පාදුව සිදු වුණා.

++++++++++

විදුලි අර්බුදය දැඩි වන ලකුණු

(15.01.2022 – 20:00 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධීව ඊයේ (14) දිනයේ පත් කර ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා එම තනතුරෙන් ඉවත් නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

මේ අතර,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 3000 ක් ලබාදීම නිසා අද (15) දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මෙගවොට් 60 ක පමණ ඌණතාවක් පැවතීම හේතුවෙන් අද (15) දිනයේදී මිනිත්තු 30 ක පමණ කාලයක් විදුලිය විසන්ධි වනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය කියා සිටියා.

කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු සඳහන් කළේ සපුගස්කන්ද බලාගාරයට අවශ්‍ය දැවිතෙල් තවත් සතියකට පමණ ප්‍රමාණවත් වන අතර, කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් ප්‍රමාණවත් වන්නේ දින 4 කට පමණක් බවයි.

ජල විදුලිය නිෂ්පාදනය ද මේ වනවිට දුෂ්කර තත්ත්වයක පවතින බැවින් ලබන අප්‍රේල් මාසයේදී වර්ෂාව නොලැබුණහොත් දැඩි විදුලි අර්බුදයකට ලක්වන බවත් විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙනවා.

***************************************

වාලච්චේන – කිරාන් මුහුදේ අතුරුදන්වූ ළමයින් සොයා තවමත් මෙහෙයුම්

(15.01.2022 – 14:42 +0530 – hirunews.lk/sinhala)

වාලච්චේන – කිරාන් මුහුදු තීරයේ දී රළ පහරට හසු ව අතුරුදන් වූ ළමයින් දෙදෙනා (2) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

පොලිසිය පැවසුවේ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව එම මෙහෙයුම් දියත් කරන බවයි.

කිරාන් මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිමි ළමයින් 3 දෙනෙකු ඊයේ (14) දහවල් රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටිය දී ඉන් එක් දරුවෙකු මුදා ගැනුණා.

අතුරුදන් වූ දරුවන් දෙදෙනා 15 සහ 16 යන වයස්වල පසුවන්නන්.

වාලච්චේන – කිරාන් මුහුදු තීරයේ දියනාමින් සිටි ළමයින් තුන්දෙනෙකු (3) ගෙන් දෙදෙනෙකු (2) දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එකවර පැමිණි රළ පහරකට හසුවී මොවුන් තුන්දෙනා (3) දියේ ගසාගෙන ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් එක්ව එක් (1) දරුවෙකු බේරාගෙන වාලච්චේන රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අතුරුදන්වූ 15 සහ 16 හැවිරිදි දරුවන් දෙදෙනා (2) සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නිලාවේලි මුහුදු තීරයේ දිය නාමින් සිටි අයෙකු දියේ ගිලෙමින් සිටියදී එම ස්ථානයේ සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහු බේරාගෙන ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

***************************************

නීතිවිරෝධී කැණීම් ස්ථානයක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(15.01.2022 – 10:19 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍ර කොන්දේසි උල්ලංගණය කර කළුගල් කැණීම් කරන ස්ථානයක් පවත්වාගෙන යමින් හා අවසරයක් නොමැතිව පුපුරණ ද්‍රව්‍ය අනාරක්ෂිත ලෙස සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.

14 වැනි දින අනුරාධපුර පොලිස් වසමේ අංක 260, මණ්ඩාගල, ශ්‍රාවස්තිපුර යන ලිපිනයේ පිහිටි කළුගල් කැණීමේ ස්ථානයේදි යි මෙම වැටලීම සිදු කර තිබෙන්නේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 53 ක් සහ 34 ක් වන අනුරාධපුර සහ ශ්‍රාවස්තිපුර ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් (2).

අත්අඩංගුවට ගත් භාණ්ඩ :

හැමර් යන්ත්‍ර 01 යි
විවිධ ප්‍රමාණයේ විදුම් කටු 03 යි
කළු කුඩු හෙවත් බ්ලාස්ටර් පවුඩර් ග්‍රෑම් 300 යි
වෝටර් ජේල් කරල් 10 යි
විදුලිමය නොවන ඩෙටනේටර් 14 යි
සාමාන්‍ය සේවා නුල් අඩි 90 යි
ඇමෝනියම් නයිට්‍රේට් කි.ග්‍රෑ. 7.8 යි
කාර්මික කැණීම් බලපත්‍ර 01 යි

වැඩිදුර විමර්ශන කටයුතු අනුරාධපුර පොලිසිය මඟින් මෙහෙයවෙනු ඇති.

***************************************

හමුදා කැලෑ ඇඳුම් ඇඳ සිවිල් ජනයාට ඩෙඟා නටන්නට බැහැ

(15.01.2022 – 11:08 +0530 – hirunews.lk/sinhala)

යුධ හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් සිවිල් ජනයාට සිවිල් ජීවිතයේ එදිනෙදා භාවිතය සඳහා යොදා ගත නොහැකි බව, යුද හමුදා ප්‍රධානීන් නැවත වරක් අවධාරණය කරනවා.

මේ කරුණු හෙළිවූයේ, යුද හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් මැසීම සඳහා භාවිත කරන රෙදි යොදා ගෙන නිර්මාණය කරන ලද ගවුමක් ඇඳ ගත් තරුණ කාන්තාවක් නිකුත් කළ ටික් ටොක් විඩියෝවක් සම්බන්ධයෙන් අප යුද හමුදා උසස් නිලධාරීයෙකු ගෙන් සිදුකළ විමසීමකදීයි.

මෙම combat cama හෙවත් යුධ හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් සිවිල් ජනතාවගේ භාවිතය සඳහා නිකුත් නොකරන බවත්, ඒවා ආනයනයට සහ මෙරට නිෂ්පාදනයට පවා විශේෂ බලපත්‍රයක් ලබාගත යුතු බවත්, අදාල උසස් හමුදා නිලධාරියා කියා සිටියා.

එමෙන්ම, එම ඇඳුම් භාවිත කර මෙරට ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් නිර්මාණය සහ නිෂ්පාදනය කිරීම සඳහා ද අවසර ලත් නිමි ඇඳුම් නිෂ්පාදන ආයතන ගණනාවක් ඇති බවත්, ඒවා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත්, ඔහු කියා සිටියා.

කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විශේෂ අවස්ථාවන් සහ විලාසිතා සන්දර්ශන සඳහා හෝ නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවන් සඳහා පමණක් විශේෂ අවසරයක් සහිතව එම රෙදි භාවිත කර නිර්මාණය කරන ලද ඇඳුම් නිර්මාණ භාවිත කළ හැකි බවයි.

කෙසේ වෙතත් එම ඇඳුම් නිර්මාණ හෝ එම නිෂ්පාදන අදාළ අවස්ථාවට පමණක් භාවිත කළ යුතු බවටත්, ඔහු අවධාරණය කළා.

මේ ආකාරයෙන් යුධ හමුදා කැලෑ ඇඳුම් අවභාවිත කරන සිවිල් පුද්ගලයින් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන යුධ හමුදා ආඥා පනතේ ඇති බවත්, එම උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

+++++

අනවසර විදුලි රැහැනක පැටලී කාන්තාවක් ජීවිතක්ෂයට

(15.01.2022 – 11:27 +0530 – hirunews.lk/sinhala)

කැප්පෙටිපොල – වෙලංගස්තැන්න ප්‍රදේශයේ වෙල්යායක් අසළ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 47 ක තැනැත්තියක බවයි, පොලිසිය පැවසුවේ. මෙම අනවසර විදුලි රැහැන අදින ලද 28 හැවිරිදි සැකකරුද අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය පැවසුවේ ෴

***************************************

කන්ටේනර් 1,700 ක් තවමත් කොළඹ වරායේ

(15.01.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු තවත් කන්ටේනර් 1,700 කට ආසන්න සංඛ්‍යාවක් මාස 2 කට අධික කාලයක් තිස්සේ කොළඹ වරායේ තවදුරටත් සිර වී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වානිජ බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමාදය ඊට හේතුව බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක දී බලධාරීන් සමග සාකච්ඡා කළ ද මෙතෙක් නිසි විසඳුමක් නො ලැබුණු බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

මෙලෙස වරාය තුළ සිර වී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහලුම් තුළ සහල්, පරිප්පු, සීනි, කඩල, කොත්තමල්ලි, සූදුරු, මාදුරු, වියලි මිරිස් සහ ටින් මාළු ද පවතින බවයි වාර්තාවන්නේ.

මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් මාස ගණනාවක් තිස්සේ වරාය තුළ සිර වී තිබීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු වශයෙන් එක් බහලුමකට ඩොලර් පණහේ සිට 200 දක්වා මුදලක් දෛනිකව ගෙවීමට සිදු වන බව ද ආනයනකරුවන් පවසනවා.

ඩොලර් ගැටලුව හේතුවෙන් වරායෙන් අදාළ බහලුම් මුදාහැරීමට නො හැකිවීම හේතුවෙන් අනවශ්‍ය ලෙස තවදුරටත් ප්‍රමාද ගාස්තු වශයෙන්ද ඩොලර් ගෙවීමට සිදු වන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

මෙලෙස ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වීම හේතුවෙන් එම පිරිවැය ද එක් කිරීම නිසා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්ද ඉහළ යනවා.

ඒ අනුව ප්‍රමාද ගාස්තු සඳහා වැයවන මුදල්ද ගෙවීමට සිදුව ඇත්තේ පාරිභෝගික ජනතාවට යි.

දිගින් දිගටම රට තුළට පැමිණෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු බහලුම් මුදා නො හැරීම හේතුවෙන් ඒවා සපයනු ලබන විදේශීය සමාගම් අතර ශ්‍රී ලංකාවේ කීර්තිනාමය පළුදු වී ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන් පෙන්වා දෙන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *