කාදිනල් හිමියන්ගෙන් පොලිස් ඇමතිට පිළිතුරු

කාදිනල් හිමියන්ගෙන් පොලිස් ඇමතිට පිළිතුරු

*********************************************

කාදිනල් හිමියන්ගෙන් පොලිස් ඇමතිට පිළිතුරු

(14.01.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳව පොලිස් විෂය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර සිදු කළ ප්‍රකාශයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රතිචාර දක්වා සිටියා.

කාදිනල් හිමිපාණන් ඊයේ (13) මෙම සිදුවීම සම්බන්ධයෙන් පෙරවරුවේ දේවස්ථානයේ සී.සී.ටී.වී. දර්ශනවල දැක්වෙන පුද්ගලයෙකු පිළිබඳව හෙලිදරව්වක් සිදු කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් මීරීගම – නුංගමුව පොලිස් ස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර කියා සිටියේ, සිද්ධියේ ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර වන බවයි.

කෙසේ වෙතත්, රාගම – තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ අද (14) පැවති විශේෂ දේව මෙහෙයට එක්වීමෙන් අනතුරුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, කියා සිටියේ පොලිස් විෂය භාර අමාත්‍යවරයාගෙන්, සත්‍ය හා සාධාරණත්වය ඉටු වේ යැ යි විශ්වාස කළ නො හැකි බවයි.

මේ අතර, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ද අද (14) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළා.

එමගින් ඔහු සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව යි.

***************************************

පාස්කු ප්‍රහාරයට දින දහසක් (1000) වීම නිමිත්තෙන් තේවත්ත බැසිලිකාවේ විශේෂ දේව මෙහෙයක්

(14.01.2022 – 13:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් වෙමින් පවතින බව, අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ, පාස්කු ඉරිදා පාස්කු ප්‍රහාරය එල්ල වී දින දහසක් (1000) ගතවීම නිමිත්තෙන් රාගම – තේවත්ත ජාතික බැසිලිකා දේවස්ථානයේ පැවති විශේෂ දේවමෙහෙයට එක්වෙමින්.

***************************************

අනුරාධපුර පූජා නගරයට වන අලි තර්ජනයක්

(14.01.2022 – 15:08 +0530 – hirunews.lk/sinhala)

අලි – මිනිස් ගැටුම වරින්වර සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක්.

නමුත් මෙම සදාතනික ගැටුමට තවමත් නිසි පිළියම සෙවීමට කිසිවෙකු සමත් වී නැහැ.

අනුරාධපුර පූජා නගරයටද යළිත් වන අලිනගෙන් තර්ජන එල්ල වී තිබෙනවා.

අනුරාධපුර පූජා නගරයට පසුගියදා වන අලි රංචුවක් කඩා වැදීම හේතුවෙන් ජනතාව නොසන්සුන් තත්ත්වයට පත්ව තිබෙනවා.

අනුරාධපුර තිසාවැව සුසානභූමිය ප්‍රදේශයේ මෙම වන අලි රංචුව සැරිසරමින් සිට ඇති අතර, පසුව එම රංචුව නිරාවිය රක්ෂිතයට පළවා හැරීමට පියවර ගෙන තිබුණා.

ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම ප්‍රදේශයේ අලි වැටක් නොතිබීම හේතුවෙන් තිසා වැව සහ නිරාවිය ගම්මානවලට නිරන්තරයෙන් වනඅලි තර්ජන එල්ල වන බවයි.

***************************************

ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ භූකම්පනයක්

(14.01.2022 – 15:53 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියාවට ආසන්න මුහුදේ රික්ටර් මාපක 6.6 ක භූකම්පනයක් සිදුව තිබෙනවා.

එමගින් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

ඒ අනුව, මුහුදුබඩ ජන ජීවිතය ආරක්ෂා සහිත බව, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟයීමේ මධ්‍යස්ථානය පවසනවා.

තවද මෙම නිවේදනය අදාළ ජාතික සහ අන්තර්ජාතික ආයතන සමග එකඟත්වයෙන් නිකුත් කරන ලද්දක් බව, තවදුරටත් දන්වා සිටියි ෴

***************************************

සතොසෙන් සහන මල්ලක්

(14.01.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)

සුපිරි සම්බා සහල් කිලෝ 10 ක් ඇතුළු ව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20 කින් සමන්විත භාණ්ඩ මල්ලක් රුපියල් 3998 කට ලංකා සතොසෙන් ලබාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (14) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, එවැනි සහන මලු ලක්ෂයක් (1,00,000) දිවයින පුරා ලංකා සතොසෙන් ලබාගත හැකි බව යි ඔහු සඳහන් කළේ.

මෙම සහන මල්ලට පහත සඳහන් භාණ්ඩ ඇතුළත් වනවා :

සුපිරි සම්බා කිලෝ 10 ක්
සුදු සීනි කිලෝවක් (1)
රතු පරිප්පු කිලෝවක් (1)
ඉඳිආප්ප පිටි කිලෝවක් (1)
හාල්මැස්සන් ග්‍රෑම් 500 ක්
නූඩ්ල්ස් ග්‍රෑම් 400 ක්
මේස ලුණු ග්‍රෑම් 400 ක්
පොල්ගෙඩි 2 ක කිරි (මිලිලීටර් 330 ක පැකට්ටුවක්)
මිරිස් කුඩු ග්‍රෑම් 100 ක්
ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100 ක්
තුනපහ කුඩු ග්‍රෑම් 100 ක්
කහකුඩු ග්‍රෑම් 100 ක්
STC තේකොළ ග්‍රෑම් 100 ක්
ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක් (1)
සතොස සඳුන් සබන් කැටයක් (1)
දෑත් සෝදන දියර මිලිලීටර් 100 ක්
සෝයාමීට් ග්‍රෑම් 90 ක්
සතොස TFM අගය සහිත රෙදි සෝදන සබන් කැටයක් (1)
පපඩම් පැකට් 1 ක්
ශල්‍ය මුහුණු ආවරණ 10 ක්

ඉහත භාණ්ඩ ඇතුළත් මෙම සහන මල්ල රුපියල් 3998 කට පාරිභෝගිකයා වෙත ලබා දීමට ලංකා සතොස අළෙවිසල් හරහා අද (14) සිට පහසුකම් සලසා ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළ අතර, ලංකා සතොස අළෙවිසල් නො මැති ප්‍රදේශවල ජනතාවට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසට ම ගෙන්වා ගත හැකි බව යි අමාත්‍යවරයා අවසාන වශයෙන් පැවසුවේ.

මේ අතර, සතොස අලෙවිසැල් ජාලයේ ශාඛාවක් ඊයේ (13) බලපිටිය ප්‍රදේශයේදී විවෘත කෙරුණා.

එම අවස්ථාවට එක්වෙමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ, පෞද්ගලික අංශය විසින් ආනයනය කළ සහල් කන්ටේනර් 500 ක් වනවිට කොළඹ වරායේ ඇති බවයි.

බදු සහන යටතේ ගෙන්වූ මෙම සහල් වෙළඳපොලට නිකුත් කළ පසු සහල් මිල අඩුවිය යුතු බවත් වෙළඳපොලේ කෘත්‍රිම මිල ඉහළ යාම වැළැක්වීමට තමන්ට බලතල ලැබී ඇති බවත්, ඔහු කියා සිටියා.

වෙළඳ අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළ ද දීප ව්‍යාප්තව ලංකා සතොස අලෙවිසැල් පවතින්නේ 443 ක් පමණයි.

ඒ අනුව, දිවයින පුරා ජනතාවට සතොස හරහා ලබාදෙන සහල් ලබා ගැනීම ප්‍රායෝගිකව ගැටලුවක් වී තිබෙනවා.

පිටකොටුව වෙළඳපොල සහල් සිල්ලර මිල ගණන් උපුටා දක්වමින් මහ බැංකුව පෙන්වා දෙන්නේ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 165 කටත් රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 155 කටත් මෙම සතිය තුළ අලෙවි වූ බවයි.

මේ අතර, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිල්ලර මිල අනුව, සම්බා කිලෝග්‍රෑමයක් 172 ක් ලෙසත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක් 168 ක් ලෙසත් පැවති බව මහබැංකු සතිපතා වාර්තාවේ සඳහන්.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙම සතියේ සම්බා සහල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 167.50 කටත් රතු කැකුළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 140 ක් ලෙසත් පැවතුණා.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මෙම සතියේ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 172.50 ක මිලකටත්, රතු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 168.75 ක මිලකටත් අලෙවි වූ බවයි එහි දැක්වෙන්නේ.

මේ අතර මරදගහමුල සහල් වෙළෙඳපොලේ මෙම සතියේ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 164.38 කටත් සුදුකැකුළු රුපියල් 150.75 කටත් රතු කැකුළු කිලෝග්‍රෑමයක් 152.50 කටත් නාඩු කිලෝග්‍රෑමයක් 161.25 කටත් අලෙවි වී තිබෙනවා.

***************************************

මාරාන්තික උපවාසයක නිරත හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු රෝහල් ගත කෙරේ

(14.01.2022 – 16:26 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු රෝගී තත්ත්වයක් හේතුවෙන්, හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස පසුගිය 11 වනදා මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණා.

මෙලෙස උපවාසයේ යෙදී සිටින අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මතයි ඔහු රෝහල් ගත කර තිබෙන්නේ.

***************************************

පළතුරු වෙළඳාම අතරතුර නීතිවිරෝධී දුම්වැටි අලෙවි කළ දෙදෙනෙකු (2) එස්.ටී.එෆ්. අත්අඩංගුවට

(14.01.2022 – 17:02 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි තොගයක් සමග දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, කොල්ලුපිටියේ නාගරික වෙළඳසැලක සිදුකළ වැටලීමකදී මෙම නීතිවිරෝධී දුම්වැටි තොගය සමග අදාළ පුද්ගලයින් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි.

පළතුරු වෙළඳාම සිදුකරන අතරතුර සූක්ෂමව මෙලෙස දුම්වැටි ද අලෙවි කර ඇති බවයි, සිදුකළ වැඩිදුර පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

දුම්වැටි 12,000 ක් සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාළඹේ සහ කඩවත පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

***************************************

ඇමරිකාවෙන් ලංකාවට ඇවිත් ‘සුද්ද සිංහලෙන්’ කතාකරන ගැරට් – පොලොස් ඇඹුල කන්න ගිහින් දීගකන්න පටන්ගත්තා (12.01.2022)

ඇමරිකානු ජාතික ගැරට් ෆීල්ඩ්, සහාය මහාචාර්ය, ඔහයියො විශ්වවිද්‍යාලය

Garrett Field, Assistant Professor of Ethnomusicology/Musicology, Ohio University

Curriculum Vitae

Garrett Field
Ohio University, Interdisciplinary Arts, School of Music, Faculty Member

+ https://www.facebook.com/garrett.field.7

***************************************

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි (14.01.2022)

***************************************

සුදත්ත තිලකසිරි CID යට..

(15.01.2022 – newsfirst.lk/sinhala)

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු වන සුදත්ත තිලකසිරි මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබේ. ඒ, ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි තමන්ට දැනුම් දී ඇති බව සුදත්ත තිලකසිරි මහතා පසුගියදා සමාජ මාධ්‍යයට ප්‍රකාශක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඒ අනුව අද (15) පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීමටයි.

මේ අවස්ථාවට කලාකරුවන් සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස්ද පැමිණ සිටියේ ය.

+++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *