ගෙවුණු පැය 24 තුළ ගෝලීය කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය (30,00,000) ඉක්මවයි

ගෙවුණු පැය 24 තුළ ගෝලීය කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය (30,00,000) ඉක්මවයි

*********************************************

ගෙවුණු පැය 24 තුළ ගෝලීය කොරෝනා ආසාදිතයින් තිස් ලක්ෂය (30,00,000) ඉක්මවයි

(13.01.2022 – 09:04 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (12) කොරෝනා ආසාදිතයින් 653 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,93,725 දක්වා ඉහළ ගියා.

නව මරණ 14 ක් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වුණේ 15,163 ක් ලෙසයි.

ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තුන්වන (3) ස්ථානයට මේ වනවිට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.

නාගරික සංවර්ධන අධිකාරියේ ඊයේ (12) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු කියා සිටියේ උපරිම එන්නත්කරණය තුළින් රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බවයි.

එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ කියා සිටියේ පාසල් ළමයින් ද ඇතුළු වැඩිහිටියන් නියමිත එන්නත් මාත්‍රා ලබා ගැනීමට බිය නොවිය යුතු බවයි.

මේ අතර ගත වූ පැය 24 ලොව පුරා කොරෝනා ආසාදිතයින් 30,42,278 ක් වාර්තා වී තිබෙනවා.

ඊයේ (12) දිනයේ ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 7,46,714 ක්.

එමෙන්ම මරණ 2198 ක් ද එරටින් වාර්තා වුණා.

ප්‍රංශයෙන් ආසාදිතයින් 3,61,719 ක් සහ අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයින් 2,41,976 ක් වාර්තා වනවා. ඊට අමතරව බ්‍රිතාන්‍ය, ඉතාලිය සහ ස්පාඤ්ඤයෙන් ද ලක්ෂය (1,00,000) ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් සටහන් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

++++++++++

කොරෝනා ආසාදිතයින් 181 සුව අතට

(13.01.2022 – 14:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්ගතව, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 181 දෙනෙකු අද (13) දිනයේ දී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමග වෛරසය ආසාදනය වී මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,67,700 ක්.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 10,862 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

වෛරසය ආසාදිතව ජීවිතක්ෂයට පත්ව මෙරට සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 15,163 ක් ෴

++++++++++

තවත් කොරෝනා මරණ 11 ක්

(13.01.2022 – 17:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 11 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,174 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (12) තහවුරු කර ඇති මෙම මරණ අතර කාන්තාවන් 4 ක් සහ පිරිමින් 7 ක් වනවා.

අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නොමැති අතර අවුරුදු 30 ත් 59 ත් අතර පිරිමි පුද්ගලයන් 3 දෙනෙකු මියගිය පිරිස අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 8 ක් සිදුව තිබෙනවා. ඒ පිරිමි 4 ක් සහ කාන්තාවන් 4 ක් වශයෙන්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 8 ක් සිදුව තිබෙනවා.

ඒ පිරිමි 4 ක් සහ කාන්තාවන් 4 ක් වශයෙන්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 5,93,725 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 10,862 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,67,700 ක් ෴

+++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 594 ක්

(13.01.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 594 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,94,319 ක් ලෙසටයි.

අද (13) හඳුනාගත් ආසාදිතයන් අතර විදේශගතව සිට පැමිණි 4 දෙනෙකු ද වනවා.

මෙම ආසාදිතයන්ගෙන් 11,445 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,67,700 ක්.

ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 15,174 ක් ද වාර්තාවී තිබෙනවා. ඒ අද (13) වාර්තා කළ මරණ 11 ත් සමගින් ෴

+++++++++++

කොරෝනා රැල්ලක් ගැන සෞඛ්‍ය අංශවලින් යළි අනතුරු ඇඟවීමක්

(13.01.2022 – 19:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ මේ වන විට මිලියන 16 ක් පමණ එක එන්නතක් හෝ ලබාගෙන ඇති අතර මිලියන 14 ක් පමණ එන්නත් දෙකම ලබාගෙන තිබෙනවා.

කාලයත් සමඟ එන්නත්වල ප්‍රතිශක්තිය අඩුවන බැවින් දෙවන (2) මාත්‍රාව ගෙන මාස 03 කට පසුව බූස්ටර් මාත්‍රාව ගැනීමෙන් ඉදිරියේදී තවත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමෙන් මිදී රට සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට ඉවහල් වනු ඇති බවයි විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.

අද (13) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීයි මෙම කරුණු අනාවරණය කෙරුණා.

බූස්ටර් මාත්‍රාව ගැනීමට ඉදිරිපත් වන පිරිසේ අඩුවීමක් දැන් දක්නට ලැබෙන අතර එන්නත ගැන පැතිර යන කටකථාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඔවුන් සඳහන් කරනවා.

එන්නත ගැනීමෙන් දියවැඩියාව, ආතරයිටීස්, ලිංගික බෙලහීනතාව වැනි අබාධවලට ගොදුරුවන බවට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රවෘත්ති සහ පැතිර යන කටකතාවල කිසිදු විද්‍යාත්මක පදනමක් නැහැ.

විශේෂයෙන් එන්නත නොගත් පිරීස මෙවැනි කට කතා පතුරුවන බවයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේ.

එක්සත් රාජධානියේ කරන ලද පරීක්ෂණයකට අනුව දෙවන (2) එන්නත ගත් පසු රෝගය වැළඳී රෝහල් ගතනොවීමේ ආරක්ෂණය 100% ක් වන අතර ඉන් මාස දෙකකට (2) පසුව 70% දක්වා අඩුව ගොස් මාස 06 කට පසුව 50% දක්වා අඩුවන බව තහවුරු වී තිබෙනවා.

බූස්ටර් එන්නත ගෙන සති දෙකෙන් 90% දක්වා ඉහළ යන එම ආරක්ෂණ මට්ටම මාස තුනකට (3) පසුව ද නොවෙනස්ව පවතිනවා.

කොවිඩ්-19 වසංගතයෙන් මිදීමේ විකල්පයක් ලෙස බූස්ටර් එන්නත ගැනීමේ හැකියාව තිබියදීත් මේ වන විට බූස්ටර් එන්නත ලබා ගෙන ඇත්තේ මිලියන 4.6 ක් පමණයි.

මිලියන 10 ක පමණ මහජනතාව බූස්ටර් එන්නත මෙතෙක් ලබා ගෙන නැහැ.

ප්‍රමාණවත් එන්නත් ලැබී තිබියදීත් අවදානමක් නොගෙන එන්නත ගැනීමෙන් නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා රට සාමාන්‍යකරණයට පත් කර ගත හැකි බවයි ජාතික රෝහලේ ශ්‍රී ලංකා කායික වෛද්‍ය විශේෂඥ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ.

ඇමරිකාව වැනි දියුණු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව එන්නත්කරණ වැඩපිළිවෙලේ ඉදිරියෙන් සිටින අතර කොවිඩ්-19 ආසාදනය වීමෙන් මිය යන සංඛ්‍යාව පළමු එන්නත් දෙක (2) ගැනීමෙන් 50% කින් අඩුවන බවත් බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් කොවිඩ් ආසාදනයෙන් රෝහල් ගතවන සංඛ්‍යාව 90% කින් අඩුවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිශක්තිකරණ විද්‍යා අණුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පෙන්වා දෙනවා.

ලෝක ජනගහනයෙන් බිලියන 10 කට පමණ කොවිඩ් එන්නත දී ඇති බවත්, 2020 හා 2021 වසර හා සසඳන විට කොවිඩ් ආසාදිත වී රෝහල් ගතවන සහ මිය යන පිරිසෙන් වැඩි දෙනා එන්නත් නොගත් අය බව මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙලේ පළමු සහ දෙවෙනි මාත්‍රාව ගැනීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් දක්නට ලැබුණ අතර රෝගීන් වාර්තාවීමේ පැහැදිළි අඩුවීමක් දක්නට ලැබුණා.

පසුගිය සති දෙක තුනක (2-3) පමණ කාලය තුළ වාර්තාවන රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, ශ්‍රී ලංකාවේ විවිධ ඔමික්‍රෝන් ප්‍රබේද වාර්තාවන බැවින් ඉදිරියේදී තව කොවිඩ් රැල්ලක් ඇතිවීමට ඉඩ ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ප්‍රකාශ කළා.

අත් සේදීම, මුව ආවරණ පැළඳීම, ජනතාව ගැවසෙන ස්ථානවල රැඳී සිටීමෙන් වැළකීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම වැනි නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හා එන්නත්කරණයට යොමු වීම නව කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීමට ගත හැකි සාර්ථක විසඳුම බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරනවා.

කාලයත් සමග එන්නත්වල ප්‍රතිශක්තිය අඩුවන නිසා බූස්ටර් මාත්‍රාව ගැනීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීමෙන් රෝගය වැළඳෙන සංඛ්‍යාව අඩුවන අතර රෝගය වැළඳුනත් මියයන ප්‍රමාණය අඩුවන බවයි මෙහිදී වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ෴

+++++++++++

2030 වන විට සංචාරකයන් මිලියන 07ක් – කර්මාන්තයේ ප්‍රගතියට නවතම මෘදුකාංගයක්

(13.01.2022 – 23:33 +0530 – hirunews.lk/sinhala)

කඩා වැටුණු ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තය සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුව යමින් නගා සිටුවීමට පියවර ගනු ලබන බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (13) පෙරවරුවේ පැවති ‘සංචාරයට අවසරයි’ මාධ්‍ය හමුවට එක් වෙමිනුයි ලේකම්වරයා මේ බව කියාසිටියේ.

ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය ඉතිහාසයේ නොවු විරූ ලෙස සංචාරක කර්මාන්තය බිඳවැටීමට ප්‍රධාන හේතුවක් වුණා.

ක්ෂේත්‍රයේ දසලක්ෂයකට (10,00,000) අධික පිරිසකගේ සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා අහිමි කිරීමට තරම් එය බලවත් වූ බවයි මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කෙරුණේ.

එමගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ලැබුණු විශාල මුදලක් රටට අහිමි වූ බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.

රටට විදේශ ප්‍රේෂණ ලැබීමේ ප්‍රධාන මූලාශ්‍රයන් අතර සංචාරක කර්මාන්තයට ලැබුණේ තුන්වන (3) ස්ථානයයි.

අන්‍ය මූල්‍ය උත්පාදන ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ ආදායම රටට ලැබුණේ ශුද්ධ ආදායමක් ලෙසය. පවතින තත්ත්වය මඟහරවා ගනිමින් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට සම්බන්ධ රාජ්‍ය, රාජ්‍ය නොවන සහ විදේශ දූත සේවා ද සම්බන්ධ කර ගනිමින් ධනාත්මක ප්‍රවේශයක සිට පොදු අරමුණකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බව ද නිලධාරීන් පෙන්වා දෙනවා.

නව සැලසුම් සහ ක්‍රමෝපායන්ට අනුගතව වසර 2030 වන විට සංචාරකයන් මිලියන 07 ක් මෙරටට ආකර්ෂණය කරගනිමින් ඇමරිකානු ඩොලර් බිලියන දහයක (10) ආදායමක් උපයා ගැනීම තම අමාත්‍යාංශයේ අරමුණ බව ද ලේකම්වරයා සඳහන් කළා.

අරමුණ සාධනය කරගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන්ට හා නිර්ණායකයන්ට ශ්‍රී ලංකාව ද එක්විය යුතු අතර ඒ සඳහා සියලු රටවැසියන් ද ආකල්පමය වශයෙන් ධනාත්මක ස්වරූපයක් දැරිය යුතු බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදී කියා සිටියා.

රජයේ නව වැඩපිළිවෙළ යටතේ සංචාරක අමාත්‍යාංශයට මෙතෙක් නොතිබූ නව ආයතන ගණනාවක් අනුබද්ධ ආයතන ලෙස සම්බන්ධ වී තිබීම සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට සෘජු දායකත්වයක් සපයනවා.

කොවිඩ් වසංගතය විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වීම හේතුවෙන් ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් ලංකාවේ දැකිය හැකියි.

අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් සංචාරක සංවර්ධන අධිකාරිය සතු බවයි එහි සභාපති ප්‍රකාශ කළේ.

සංචාරක ආකර්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් හා මානව සම්පත් සතු සංස්කෘතික හැකියා සහ විභවතා විද්‍යාත්මක ලෙස ප්‍රවර්ධනය කිරීමටත් එමගින් ලංකාවට සීඝ්‍රයෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට පියවර ගැනීම ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

ගෘහාශ්‍රිත සහ මධ්‍ය පරිමාණ වශයෙන් සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යවසායකයන් සියලු දෙනාට විධිමත් පුහුණුවක අවශ්‍යතාව පවතිනවා.

යටිතල පහසුකම් සංවර්ධනය මගින් ගුණාත්මක සේවයක් සැලසිය හැකි වන පරිදි සේවය ප්‍රමිතිගත තත්ත්වයන්ට පත්කිරීම ද අපේක්ෂාවක් බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය කියාසිටියේ.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සහ කළමනාකරණය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමට අවශ්‍ය නවතම මෘදුකාංගයක් ඉදිරියේ දී හඳුන්වා දීමට ද පියවර ගැනෙනවා.

සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය මගින් පවත්වාගෙන යනු ලබන සංචාරක පොලිස් සේවාව නවමු ස්වරූපයකින් ඒකක වර්ධනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි මෙහිදී අනාවරණ කෙරුණේ.

අමාත්‍යාංශයට සම්බන්ධ සෙසු අනුබද්ධ ආයතන පවත්වා ගැනීමේ දී රජයට බරක් නොවීමටත් ඒ ආයතනවලට අවශ්‍ය මුදල් ස්වාධීනව උපයා ගැනීමටත් පියවර ගැනීම ඉලක්කය බව ද බලධාරීන් පෙන්වා දෙනවා.

සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් කැමැත්ත පළ කර ඇති අතර ඊට අනුමැතිය ලබාදීමේ පූර්ව කටයුතු සිදු වෙමින් පවතිනවා.

කොවිඩ් වසංගතයත් සමග හෝටල් ක්ෂේත්‍රයේ නිරතව සිටි විශාල පිරිසකගේ ජීවනෝපාය අහිමි වීමට පිළියම් වශයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළ අතර මෙයට පෙර සංචාරක කර්මාන්තයේ නියැලි ඇතැම් පිරිස් එම ක්ෂේත්‍රයෙන් ඉවත් වී තිබෙනවා. එය අභියෝගයක් බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

එම අභියෝගය ජයගැනීමටත් නව වෘත්තිකයන් ක්ෂේත්‍රයට ආකර්ෂණය කර ගැනීමටත් පෙර සංචාරක ක්ෂේත්‍රයේ නියැළි සියලු දෙනාට විධිමත් පුහුණුවක් ලබාදී වෘත්තීය නිපුණතාවක් හා පිළිගැනීමක් ඇති කිරීමට සැලසුම් කර ඇති බව ද මෙම සාකච්ඡාවේදී අවධාරණය කර තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය පවතින තුරු මෙරට සංචාරක කර්මාන්තය වසර විස්සකට අධික කාලයක් පවත්වා ගෙන ගිය සාම්ප්‍රදායික විධි ක්‍රම නව ගෝලීය තත්ත්වයන්ට ගැළපෙන අයුරින් වෙනස් කිරීමට පියවර ගැනීම ද සංචාරක කර්මාන්තයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමට හේතු වනවා.

ශ්‍රී ලාංකේය එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරයේ පවතින පැසසුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනයට යොදා ගැනීම කාලෝචිත වැඩපිළිවෙළක්.

ඒ සඳහා සියලු දෙනාගේ ම සහාය අවශ්‍ය වන බව ද සභාපතිවරයා කියසිටියා ෴

***************************************

නිසි කලට පොහොර නො ලැබීමෙන් තවමත් දුක් විඳින ගොවීන්

(13.01.2022 – 16:04 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් පොහොර හා කෘමිනාශක නොමැතිවීමෙන් මෙවර මහ කන්නයේ වගා කටයුතුවල නිරත ගොවීන් තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

ගොවීන් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේ පොහොර ලබාදීමෙන් ඵලක් නොවන බැවින් සිය වගා හානි සඳහා වන්දි ලබා දීමට වහා කටයුතු කරන ලෙසයි.

මසකට අධික කාලයක් ඉක්මගිය සිය වී වගාව පොහොර නොමැතිවීමෙන් විනාශවී ගොස් ඇති බවට මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් චෝදනා කරනවා.

මේ අතර පොළොන්නරුව ඇලහැර ගොවිජනපද ව්‍යාපාරයේ පිහිටි සියඹලාව ගම්මානයේ මෙවර මහ කන්නයේ වී වගාව රසායනික පොහොර නොමැතිව විනාශවී ගොස් ඇති අතර, අක්කර 500 ක පමණ වී ගොවිතැන් කෙරෙන මෙම ප්‍රදේශයේ එමගින් ජිවිකාව සරිකරගන්නා පවුල් ගණන 200 කට ආසන්නයි.

පොහොර නොමැතිව හසලක ප්‍රදේශයේ ගොවීන්ද මුහුණ දී ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

මේ බිබිල ප්‍රදේශයේ බඩඉරිඟු වගාවේ නිරත ගොවීන්ද පොහොර අර්බුදයෙන් බැටකමින් සිටින අයුරුයි.

***************************************

රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

(13.01.2022 – 16:04 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමික පුරවැසියන්ට රුපියල් 5000 දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

මාසික වැටුප් ලබන ස්ථිර / තාවකාලික සහ කොන්ත්‍රාත් නිලධාරීන්ට දෛනික වැටුප් ලබන නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට මෙම දීමනාව සඳහා හිමිකම් පවතිනවා.

වැටුප් රහිත නිවාඩු ලබා සිටින නිලධාරීන්ට මෙම දීමනාව සඳහා හිමිකමක් ලැබෙන්නේ නැහැ. අඩ වැටුප් නිවාඩු ලබා ඇති නිලධාරීන්ට හිමිවන්නේ මෙම දීමනාවෙන් අඩක් පමණයි.

දෛනික වැටුප් ලබන පුද්ගලයන් සඳහා සේවයට වාර්තා කළ යුතු සම්පූර්ණ දින ගණනම සේවයට වාර්තා කර ඇත්නම් සම්පූර්ණ දීමනාව ගෙවිය යුතු අතර එසේ සේවයට වාර්තා කර නොමැති නම් සේවයට වාර්තා කළ දින ගණනට අනුපාතිකව දීමනාව ගෙවිය යුතුයි.

කිසියම් අයෙක් විශ්‍රාම වැටුප් කිහිපයක් හෝ විශ්‍රාම වැටුප සමග වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුපක් හෝ ලැබුව ද එවැනි අයෙකුට හිමිවන්නේ ද මාසයකට රුපියල් 5000 ක ඉක් දීමනාවක් පමණයි.

පවතින විධි විධාන අනුව නැවත සේවයේ යොදවා ඇති විශ්‍රාමිකයින් සඳහා හිමිවනුයේ විශ්‍රාම වැටුප සමග හිමිවිය යුතු දීමනාව පමණක් බව සඳහන්.

විශ්‍රාමිකයින් සඳහා මෙම දීමනාව ගෙවීම පිළිබඳ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් වැඩිදුර පැහැදිළි කිරීම් ලබාදෙනු ඇති.

++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *